Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Thursday, January 15, 2009

යූරෝවලට අලෙවි කළ මාධ්‍ය නිදහස සහ මාධ්‍යවේදී ආරක්ෂාව

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයකු ලෙස කටයුතු කරන රාවය පුවත් පතේ වික්ටර් අයිවන් නිදහස් මාධ්‍ය වෙනුවෙන් කැපවී සිටින බව ප‍්‍රදර්ශනය කරන මාධ්‍යවේදීන් දෙතුන් දෙනකු ගැන අපූරු අනාවරණයක් කරයි. සංඛ්‍යා ලේඛන සහ කරුණු සහිතව ඔහු කරන මේ හෙළිදරව්ව කොටුව දුම්රිය පොළේ නිතර මොර දෙන මේ මාධ්‍යවේදීන් ගැන අවබෝධයක් ලබාගත යුතුය. මොවුන්ට ඇත්තේ මාධ්‍ය නිදහස හෝ මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම නොව බඩගෝස්තරවාදය වෙනුවෙන් බොරු සටන් කිරීම පමණක් බව වික්ටර් අයිවන් නොකියා කියයි. මේ දෙතුන් දෙනා පසුපස යන මාධ්‍යවේදීන් මේ ලිපිය කියවිය යුතුය.
මම ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයෙක් වෙමි. එහෙත් එම ආයතනය ගොඩනගන මුල් දිනවලම මට මතභේද තිබුණි. මතභේද ඇතිවුණේ ව්‍යවස්ථාව ගැනය. ව්‍යවස්ථාව සකස් කර තිබුණේ ඕනෑම වෘත්තීය ජනමාධ්‍යවේදියෙකුට එම සංවිධානයට ඇතුළුවීමට ඉඩ ලැබෙන ආකාරයට නොවේ.
එහෙත් තෝරාගත් සුළු පිරිසකට පමණක් ඊට එකතු විය හැකි ආකාරයකටය. ඒ නිසා ඇතිවනු ඇත්තේ පොදුවේ ජනමාධ්‍යවේදීන්ගේ ව්‍යාපාරයක් නොව, එක්තරා කල්ලියකගේ ව්‍යාපාරයක් බවට මම අනතුරු ඇඟවූවෙමි.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
සියලු දෙනාට දොරටු විවෘත කරන ප‍්‍රතිපත්තියක් සංවිධානාත්මක පිරිසකට සංවිධානය අල්ලා ගැනීමට අවස්ථාව ලබාදෙනු ඇති බවට ඔවුහු තර්ක කළෝය. ඒ ගැන නගන තර්ක මගේ පිළිගැනීමට හේතු නොවූ නිසා කිසියම් දීර්ග කාලයක් මම එම ව්‍යාපාරයෙන් ඉවත්ව සිටියෙමි.
චන්ද්‍රිකා ආණ්ඩුවෙන් ජනමාධ්‍යවලට අතිවිශාල මර්දනයක් එල්ල වන්නට වූ විට මතභේද අමතක කොට මර්දනයට මුහුණදීම සඳහා එකතුවන ලෙස සුනන්ද හා වරුණ මට ආරාධනා කළහ. ඒ අනුව මම නැවත ඊට එකතු වූයෙමි.
එකල එයට තමන්ගේම න්‍යාය පත‍්‍රයක් තිබුණි. අප වැඩ කෙළේ අපේ සාක්කුවල සල්ලිවලිනි. වාර්ෂිකව සංවිධානයට ලැබුණු ආදායම රුපියල් දස දහසක් වත් නොවීය. වැටුපට වැඩකරන පිරිසක් ද එම සංවිධානයේ නොසිටියෝය.
එකල අපට ද මරණ තර්ජන එල්ල වුණ අවස්ථා තිබුණි. බෝම්බ ප‍්‍රහාර එල්ල වූ, ඇසිඩ් ප‍්‍රහාර එල්ල වූ අවස්ථා ද තිබුණි. ඒ සියලු දේට අප මුහුණ දුන්නේ අපේම ශක්තියෙනි. අපට සැඟවෙන්නට සුඛෝපභෝගී ආරක්ෂක නිවාස නොතිබුණි.
තර්ජනයට ලක්වූවන්ට විශේෂ ගෙවීම් කරන ක‍්‍රමයක් ද නොතිබුණි. අපට තිබුණේ එක ව්‍යාපෘතියක් පමණය. එය ජනමාධ්‍ය නිදහසට අදාළ ව්‍යාපෘතිය පමණය. එය අපේම ශක්තියෙන් හා දාඩිය මහන්සියෙන් දුවන ව්‍යාපාරයක් විය.
කාලයාගේ ඇවෑමෙන්, සංවිධානයේ ස්වරූපය ද ක‍්‍රමයෙන් වෙනස් විය. තමන්ගේ ශක්තියෙන් දුවන ව්‍යාපාරයක් වෙනුවට එය විදේශ ආධාරවල ශක්තියෙන් දුවන ව්‍යාපාරයක් බවට පත්විය.
විදේශ ආධාර ලබාගන්නවාට මා විරුද්ධ නැත. එහෙත් ඒවා අපේ ඇත්ත අවශ්‍යතාවන්ට ගැළපෙන ප‍්‍රමාණයකට විය යුතුය. ඒ නිසා අපේ න්‍යාය පත‍්‍රය හැසිරවීමේ අයිතිය ආධාර දෙන සංවිධානවල අයිතියක් බවට පත් නොකළ යුතුය.
එහෙත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කෙළවරක් නැති තරමට විදේශ ව්‍යාපෘතිවල හිර වූ සංවිධානයක් බවට පත්විය. සල්ලි අවශ්‍යම නම් තමන්ට ගැළපෙන, තම සංවිධානයේ ආත්ම ගෞරවයට හානියක් ඇති නොකරන එක ව්‍යාපෘතියක් හෝ දෙකක් කළාට වරදක් නැත.
ඒ වෙනුවට සිදුවූයේ කෙළවරක් නැති තරමට ව්‍යාපෘති බදාගත්, එක ව්‍යාපෘතියක්වත් හරියට නොකරන තමන්ගේ ව්‍යාපෘතිය අමතක කළ ව්‍යාපාරයක් බවට පත්වීමය.
මම මාගේ අතෘප්තිය ප‍්‍රකාශ කොට නැවතත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට ආයුබෝවන් කීවෙමි. මගේ විවේචනය වූයේ අපට තිබෙන ඇත්ත ප‍්‍රශ්න කතා කරනවා හා කි‍්‍රයා කරනවා වෙනුවට තමන්ට ලැබෙන විදේශ ආධාර මත විදේශ න්‍යාය පත‍්‍රයකට අනුව කටයුතු කරන සංවිධානයක් බවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පත්ව තිබෙන බවය.
සංවිධානයෙන් ඉවත්වීමෙන් කලකට පසුව උවිඳු කුරුකුලසූරිය සමග කරන ලද ලිඛිත විවාදයකදී මට ඒ වන විට පෙනෙන්නට තිබුණ එක් වැදගත් ප‍්‍රවණතාවක් හඳුන්වාදීමට මම උත්සාහ කෙළෙමි.
ජනමාධ්‍යවේදීන් අතර ජනමාධ්‍ය අද්වකාත්ලා පිරිසක් බිහිවී ඇති බවත්, මේ ජනමාධ්‍ය අද්වකාත්වරුන් ජනමාධ්‍යවේදීන්ගේ න්‍යාය පත‍්‍රය තීරණය කරන්නන් බවට පත්ව ඇති බවත්, මම එදා කීවෙමි. මේ ආරාවුල යට ඇති තවමත් සඟවාගෙන ඇති තොරතුරුවලින් මා එදා කියන ලද අනාවැකිය හොඳින් සනාථ වී තිබෙන බව පෙනේ.
ජනමාධ්‍ය ආරක්ෂක අරමුදල
කෙනත් නොයාර් පැහැරගෙන ගොස් ඔහුට අමානුෂිකව පහරදීමේ සිද්ධියේදී ඊට විරෝධය පළ කරන විරෝධතා ව්‍යාපාරයකට සහභාගි වන ලෙස ජනමාධ්‍යවේදියෙක් මට දුරකතනයෙන් ආරාධනා කෙළේය. එවැනි පහරදීම්වලදී ඔවුන් වෙනුවෙන් කි‍්‍රයාකිරීමට නිල ආයතනයක් හා ගෙවීම් ලබන විශේෂ නිලධාරීන් පිරිසක් ඇති බැවින් දැන් වෙනදා මෙන් එවැනි සිද්ධීන්ට අප වැනි ස්වෙච්ඡා සේවකයන් අවශ්‍ය නොවන බව මම කියා සිටියෙමි.
එහිදී ඔහු විසින් කරන ලද වැඩිදුර ප‍්‍රශ්න කිරීම්වලදී මා කියා සිටියේ නීතිය කි‍්‍රයාත්මක කිරීමට පොලිසියක් නොතිබුණු යුගයකදී සිදුවන අපරාධවලදී අපරාධකරුවන් මැඬලන්නට ස්වේච්ඡාවෙන් පුරවැසියන් කි‍්‍රයාකළ නමුත් නිල පොලිසියක් ඇති වූ පසු එම වගකීම පොලිසිය විසින් මිස පුරවැසියන් විසින් ඉටු නොකළ යුතු බවය.
මට එහෙන් මෙහෙන් ලැබී තිබෙන තොරතුරු අනුව ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා දැන් වසර හතකර කාලයක් තිස්සේ මාසිකව වැටුප් ලබන නිලධාරීහු දෙදෙනෙක් සිටිති. ඔවුන්ට වැටුප් දෙන්නේ ඉන්සි (INSI) නමැති ජාත්‍යන්තර ආයතනයයි. එක් පුද්ගලයෙකුට ගෙවන මාසික වැටුප යුරෝ 750 කි. 2007 යුරෝ එකක රුපියල් හුවමාරු අනුපාතිකය රුපියල් 160 කි. එවිට එක් පුද්ගලයෙකුගේ වැටුපේ රුපියල් වටිනාකම රුපියල් 1,20,000 කි.
මීට අතිරේකව ඒ දෙදෙනාගේ ගමන් වියදම්, ඉන්ධන බිල, ජංගම දුරකතනයක් මිලදී ගැනීම සඳහා යන වියදම, එම දුරකතන බිල, ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීම සඳහා යන වියදම, විද්‍යුත් තැපෑල සඳහා යන වියදම් ද දරනු ලැබේ. එවිට සමස්ත වැටුප් බිල රුපියල් ලක්ෂ 02 ක් පමණ විය හැකිය.
එහෙත් මේ ආදායම මේ වැටුප් ලබන්නන් දෙදෙනාට තිබෙන එකම ආදායම නොවේ. තිබෙන ආදායම් මාර්ගවලින් එකක් පමණය.
ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කි‍්‍රයා කරන වැටුප් ලබන ස්ථිර නිලධාරීන් දෙදෙනෙකු රටේ සිටිනවාට මා විරුද්ධ නැත. ඔවුන් කරන අති විශාල කාර්යභාරය සඳහා ඔවුන්ට දැවැන්ත වැටුපක් විදේශ ආයතනයකින් ගෙවනවාට ද මා විරුද්ධ නැත.
මට ප‍්‍රශ්නයක් වී ඇත්තේ ඒ සියල්ල රහසේ සිදුවීමය. ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව භාර වැටුප් ලබන නිලධාරීන් දෙදෙනෙකු සිටින බව රටේ ජනමාධ්‍යවේදීන්වත් නොදනී. ජනමාධ්‍ය සංවිධාන පවා නොදනී. එවැනි පුද්ගලයන් දෙදෙනෙකු රටේ සිටින බව දන්නේ නම් ආරක්ෂාව අවශ්‍ය ජනමාධ්‍යවේදීන්ට ඔවුන් සොයා ගොස් තමන්ට ආරක්ෂාව සලසන ලෙස ඉල්ලා සිටිය හැකිය.
දැන් රටේ ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා පඩි ලබන ආරක්ෂක නිලධාරීන් පිරිසක් පමණක් නොව, ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා වන ආරක්ෂක අරමුදලක් ද තිබෙන්නේය. එම අරමුදල තිබෙන්නේ ජනමාධ්‍ය ආයතනය භාරයේය.
අරමුදලේ ප‍්‍රමාණය පැහැදිලි නැත. ඒ අරමුදල තුළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට පරිහරණය කිරීමේ අයිතිය ලබා දුන් අතුරු අරමුදලක් ඇත්තේය. එම අතුරු අරමුදලේ ප‍්‍රමාණය (එක් වසරක් සඳහා පමණක්) රුපියල් මිලියන 8.2 කි. එවිට ප‍්‍රධාන අරමුදලේ ප‍්‍රමාණය ගැන දළ අදහසක් ඇතිකරගත හැකිය.
මේ අතුරු අරමුදලේ අරමුදල් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පරිහරණය කර තිබෙන ආකාරය ප‍්‍රශ්න ගත දෙයක් බවට පත්ව තිබෙන අතර, ඒ නිසා පුවත්පත් ආයතනය පරීක්ෂණයක් ආරම්භ කොට අතුරු අරමුදලේ මුදල් පරිහරණය තාවකාලික ලෙස අත්හිටුවා තිබේ.
දැන් වෙනදා මෙන් නොව, තර්ජන ගර්ජනවලට ලක්වන මාධ්‍යවේදීන්ට මේ අරමුදලෙන් වන්දි ලබාගත හැකිය. අරමුදල ඝාතනයට ලක් වූ ජනමාධ්‍යවේදීන් පස්දෙනෙකුගේ පවුල් පහක් සඳහා මසකට රුපියල් 5000 ක මුදලක් ලබාදෙන බව කියනු ලැබේ. එය යහපත් කි‍්‍රයාවකි. එහෙත් තර්ජනයන්ට ලක්වුවේයැ’යි කියන පුද්ගලයන්ට ගෙවන මිල ඝාතනයට ලක්වූවන්ට ගෙවන මිලට වඩා වැඩිය.
ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට ආරක්ෂාව සඳහා කුලියට නිවාස ලබාදී තිබෙන අතර,, එක් පුද්ගලයෙකු සඳහා රුපියල් 2,30,000 ක කුලියක්ද අනෙක් පුද්ගලයා සඳහා රු: 1,78,000 ක මුදලක් ද ලබාදී තිබේ. ඊට අතිරේකව තර්ජනයට ලක්වූවන්ට ආරක්ෂිතව ගමන් බිමන් යෑම සඳහා මසකට රුපියල් දස දහසක දීමනාවක් ගෙවනු ලැබේ. එවැනි දීමනා ලබන අයගේ ගණන 05 කි.
හැමදාමත් මට ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීම සඳහා කි‍්‍රයාත්මක වන වැඩපිළිවෙළ ගැන විවේචනයක් තිබුණි. ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීම සඳහා කි‍්‍රයාත්මක වැඩසටහන්වල ප‍්‍රමාණය අතිවිශාලය.
ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීම ඉතා වැදගත් වූවත්, ඒ සඳහා කි‍්‍රයාත්මක වන වැඩසටහන් වැඩි හරියක් ගුණාත්මක අගයෙන් තොර, කොත්තු රොටි හදන්නාක් වැනි හරයක් නැති වැඩසටහන් වේය යන්න මගේ විශ්වාසයයි. පුවත්පත් ආයතනය විද්‍යුත් මාධ්‍ය සඳහා පවත්වාගෙන යන පුහුණු කිරීමේ වැඩසටහන් හොඳ තත්ත්වයක පවතී.
එහෙත් මුද්‍රිත ජනමාධ්‍ය සඳහා පවත්වාගෙන යන වැඩසටහන් ගුණාත්මක වශයෙන් උසස් තත්ත්වයක නොපවතීය යන්න මගේ අදහසයි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා තවත් එවැනි ව්‍යාපාර පුහුණු කිරීම සඳහා පවත්වාගෙන යන දින දෙකේ වැඩමුළු ක‍්‍රමය ජනමාධ්‍යවේදීන් රැවටීමකට වැඩි දෙයක් නොවේයැ’යි මම විශ්වාස කරමි.
පුහුණු වැඩමුළු
කෙටිකාලීන පුහුණු කිරීම් වැඩසටහන් සඳහා වුවද විධිමත් විෂය නිර්දේශයක් තිබිය යුතුය. සුදුසු පුහුණුකරුවන් සිටිය යුතුය. කරනු ලබන පුහුණු කිරීම් පිළිබඳව පසු විපරමක් තිබිය යුතුය.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළුව සංවිධාන පහේ එකතුව මහජන සේවා ජනමාධ්‍ය, මානව හිමිකම්, වංචා හෝ දූෂණ, ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව යන තේමා යටතේ දැවැන්ත පුහුණු කිරීම් ව්‍යාපෘති හතරක් පවත්වාගෙන යයි. (ඒ සියලු ව්‍යාපෘති සඳහා වෙන්කර තිබෙන මුදල් ප‍්‍රමාණයන් කොතරම්ද යන්න මම නොදනිමි.
එහෙත් යුරෝපා සංගමය මානව හිමිකම් ව්‍යාපෘතිය සඳහා වසර දෙකක කාලයක් සඳහා යුරෝ 199,000 ක් වෙන්කර ඇති බව මම අසා ඇත්තෙමි. රුපියල් වටිනාකම රුපියල් මිලියන 15 කට වැඩිය.) පුදුමයකට මෙන් මේ විෂය හතරට අදාළ පුහුණුකිරීම් වැඩසටහන්වල පුහුණුකරුවන් ලෙස කි‍්‍රයාකරන්නේ එකම පිරිසකි. නැවත වැඩසටහන් පළාත් මට්ටමෙන් සම්බන්ධීකාරකයන් ලෙස කි‍්‍රයා කරන්නේ ද මේ පුහුණුකරුවන්ය.
ඊළඟට මේ විෂයන්ට අදාළ රචනා තරග සංවිධානය කරන්නේ ද නැවත එම රචනා හා තරගවල විනිශ්චයකරුවන් ලෙස කි‍්‍රයාකරන්නේ ද පුහුණුකරුවන් ලෙස කි‍්‍රයාකරන එකම පිරිසකි.
දින දෙකක පුහුණු කිරීම් වැඩමුළුවක් වෙනුවෙන් පුහුණුකරුවකුට ගෙවන ඳල රුපියල් 20,000 සිට රුපියල් 38,400 දක්වා වෙනස් වේ. පළාත් සම්බන්ධීකාරකයෙකුට රුපියල් 20,000 සිට 30,000 දක්වා මුදලක් ගෙවනු ලබයි. තරග විනිශ්චයක් සඳහා එක් පුද්ගලයෙකුට රුපියල් 15,000 ත් රුපියල් 35,000 ත් අතර මිලක් ගෙවනු ලබයි.
මෙහි සඳහන් පළමුවැන්නා වැටුප් ලබන ජනමාධ්‍යවේදියෙකි. ඔහුගේ මාසික වැටුප රුපියල් 60,000 ක් පමණ විය හැකිය. ඊට අතිරේකව ඔහු මෙම ව්‍යාපෘතිවල පළාත් සම්බන්ධීකාරකයෙකි. ඒ සඳහා ලැබෙන දීමනාව රුපියල් 25,000 කි. එවිට රැකියාව හා මෙම ව්‍යාපෘතිවලින් උපයන මාසික ආදායම රුපියල් 139,000 කි.
මෙහි සඳහන් දෙවැන්නා ද වැටුප් ලබන ජනමාධ්‍යවේදියෙකි. ඔහුගේ වැටුප රුපියල් 40,000 ත් 50,000 ත් අතර විය හැකිය. ව්‍යාපෘති පළාත් සම්බන්ධීකාරක වශයෙන් ලබන දීමනාව රුපියල් 20,000 කි.
ඔහුට ආරක්ෂක අරමුදලෙන් ගෙවල් කුලී ගෙවයි. ගෙවන ගෙවල් කුලිය මසකට රු. 17,500 කි. ඊට අතිරේකව ආරක්ෂාකාරීව ගමන් බිමන් සඳහා රුපියල් 10,000 ක් ගමන් වියදම් දීමනාවක් ද ගෙවයි. ආයතනයෙන් ලබන වැටුප රුපියල් 50,000 ක් සලකතොත් එය හා මේ ව්‍යාපෘතිවලින් උපයන මාසික ආදායම රුපියල් 200,500 කි.
මෙහි සඳහන් තුන්වැන්නා ද වැටුප් ලබන ජනමාධ්‍යවේදියෙකි. ඔහුගේ මාසික වැටුප රුපියල් 40,000 ත් 50,000 ත් අතර විය හැකිය. ආරක්ෂක අරමුදලෙන් ඔහුට නිවසක් ලැබී තිබෙන අතර, එහි මාසික කුලිය රුපියල් 19,000 කි. ඊට අතිරේකව ආරක්ෂක ගමන් වියදම් සඳහා ද රුපියල් 10,000 ක මාසික දීමනාවක් හිමිය. ලැබෙන වැටුප රුපියල් 50,000 ක් ලෙස සලකතොත් වැටුප හා ව්‍යාපෘතිවලින් උපයා තිබෙන මාසික ආදායම රුපියල් 204,400 කි.
මෙහි සඳහන් තුන්වැන්නා ද මසකට යුරෝ 750 ක වැටුපක් ලබා ගනී. යුරෝ එකක හුවමාරු අනුපාතිකය රු. 155 ක් ලෙස සලකතොත්, ලැබෙන වැටුපේ රුපියල් වටිනාකම රුපියල් 116,250 කි. ඊට අතිරේකව දේශීය වැටුප රුපියල් 70,000 කි. ඊට අතිරේකව ඉන්සි (INSI)අරමුදලෙන් එම මාසයේ ලබාගෙන ඇති දීමනා මෙසේය. පෙට‍්‍රල් සඳහා රුපියල් 6650 කි. ගමන් වියදම් සඳහා රුපියල් 10,900 කි. දුරකතන වියදම් සඳහා රුපියල් 12,930 කි. එවිට මාසයේ මුළු ලැබීම්වල මුළු වටිනාකම මසකට රුපියල් 326,530 කි.
ආපසු හැරී බලමු
පසුගිය සතියේ රාවයේ කර්තෘ මණ්ඩල සාමාජිකයෙක් වෙනත් පුවත්පතකට ගියේය. ඔහුට උපහාර දැක්වීම සඳහා පැවැති රැස්වීමකදී වැඩි වැටුපක් සඳහා රාවය අත්හැර යන කිසිවකු මා කවදාවත් අධෛර්යමත් කර නැති බවත්, ඒ ගැන සිරිතක් වශයෙන් ඔවුන්ට චෝදනා නොකරන බවත් මා කියා සිටි විට කර්තෘ මණ්ඩල සාමාජිකයකු කතා කරමින් කීවේ ආර්ථික දුෂ්කරතා නිසා රාවය අතහැර යන තත්ත්වයක් ඇති නොවීමට ආයතනය වගබලා ගන්නේ නම්, වඩා යහපත් බවය.
මා ඔහුට දුන් පිළිතුර වූයේ අප වැනි ජනමාධ්‍ය ආයතනයකට විශාල වැටුප් ගෙවිය නොහැකි බවත්, විශාල වැටුප් ගෙවන බොහෝ ජනමාධ්‍ය ආයතන වැටුප් ගෙවන්නේ තමන් උපයන ආදායම් මාර්ගවලින් නොව, එම ආයතනවල අයිතිකරුවන් වෙනත් ව්‍යාපාරවලින් උපයන ආදායම්වලින් බවත්ය. රාවයේ වැඩ කරනවාට වඩා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වැඩ කිරීමෙන් වඩා හොඳ වැටුප් ලබාගත හැකි බව ද මම කියා සිටියෙමි.
ඇත්ත වශයෙන්ම ශී‍්‍ර ලංකාවේ ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය සංවිධාන අද තිබෙන්නේ 1940 – 48 කාලවකවානුවේදී ඇමරිකාවේ හෝ යුරෝපයේ ජනමාධ්‍ය වැටී තිබුණු ශෝකජනක තත්ත්වයට සමාන තත්ත්වයකටය.
සමාජයේ ඉමහත් අගෞරවයට හා අවිශ්වාසයට හේතුවී තිබුණු ඇමරිකානු ජනමාධ්‍ය එම නින්දාසහගත තත්ත්වයෙන් ගොඩ ආවේ සිය කටයුතු ප‍්‍රසිද්ධියේ ආපසු විවේචනාත්මකව බලන තැනකට යෑමෙනි. එවැනි නිර්භීත තැනකට යන්නට අපේ රටේ ජනමාධ්‍ය හෝ ජනමාධ්‍යවේදීන්ට ධෛර්යයක් තිබේද?

No comments: