Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, January 2, 2009

ආසියානු කි‍්‍රකට් සූරයෝ

ජගත් කි‍්‍රකට් භූමි දර්ශන චිත‍්‍රය සිය මුදල් හයියත් තරග සාර්ථකත්වයත් මගින් වෙනස් කිරීමට ඉන්දියාව සමත් වුවද ගෙවී ගිය 2008 වසරේ ආසියාවේ ඉහළම කි‍්‍රකට් කණ්ඩායම වීමේ ගෞරවය හිමිකර ගත්තේ ශ‍්‍රී ලංකාව ය.
ආරක්‍ෂක අවදානම හේතුවෙන් සංචාරක කණ්ඩායම් නොපැමිණීම නිසා පාකිස්තානය 2008 වසර ගෙවා දැමුවේ එකම ටෙස්ට් තරගයක් හෝ කී‍්‍රඩා නොකරය.
ආසියාවේ අනෙක් කි‍්‍රකට් කණ්ඩායම වන බංග්ලාදේශය දිගටම මේ වසරේත් තරග බිමේ දඟලද්දී ජගත් කි‍්‍රකට් ජවනිකාවේ ඉහළම තලයට ආසියානු කොඩිය රැගෙන ගියේ ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව ය.
විනෝදයට සන්ධ්‍යාවේ සෙල්ලම් කරන කී‍්‍රඩාවක් බවට පත්ව තිබූ කි‍්‍රකට් කී‍්‍රඩාවේ ස්ථාවරය වෙනස් කරමින් ඉන්දියාව ඩොලර් මිලියන ගණනින් වටිනා ඉන්දියා ප‍්‍රිමියර් ලීගය කි‍්‍රයාත්මක කෙළේ ලොව කි‍්‍රකට් සුපිරි බලය බවට පත්වෙමිණි. ලොව පුරා හොඳම කී‍්‍රඩකයෝ මේ තරගාවලියට සහභාගි වූහ.
සම්ප‍්‍රදායික කි‍්‍රකට් ක‍්‍රීඩාවේදී ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව 2008 අවසන් කළේ ජයග‍්‍රාහී අයුරිනි. ඉන්දියාච විසින් එංගලන්තය පරාජය කරනු ලැබූ අතර ශ‍්‍රී ලංකාව බංග්ලාදේශය පැරැදවීය.
ගෙවුණු වසරේ කැපී පෙනෙන සිදුවීමක් වූයේ දීර්ඝ කාලයක් ජගත් ටෙස්ට් කි‍්‍රකට් පිටියේ ඒකාධිකාරය හිමිකර ගෙන සිටි දැවැන්ත කැන්ගරුවන්ගේ ඇද වැටීමය.
ලෝක සූරයන් වන රිකී පොන්ටිං ගේ පිල ප‍්‍රථමයෙන් ඔවුන්ගේ රටේ පර්ත් නුවර දී ඉන්දියාවට පරාජය වූ අතර පසුව ඉන්දියාවේදී තරග 2 - 0 කින් තරගමාලාව පරාජය විය.
ජගත් කි‍්‍රකට් බලයේ සමබරතාව අවසානයේ ඔස්ටේ‍්‍රලියානුවන් ගෙන් ඈත් වෙමින් තිබෙන බවට වූ ඒ පළමු ඉඟියෙන් පසුව දකුණු අප‍්‍රිකාව ඔස්ටේ‍්‍රලියානු පොළොවේදී ඔවුන් තරග 2 - 0 කින් පරාජය කෙළේ 1992 - 93 වකවානුවේ මුළු ලොවම ආක‍්‍රමණය කළ ක්ලයිව් ලොයිඩ්ගේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් පිල වෙතින් සිය රටේ දී අත්විඳී පරාජයෙන් පසුව ප‍්‍රථම ටෙස්ට් තරගමාලා පරාජය ඔස්ටේ‍්‍රලියානුවන්ට අත්කර දෙමිනි.
මහේල ජයවර්ධනගේ ශ‍්‍රී ලංකා කණ්ඩායම මව්බිමේදී ඉන්දියා පිල ටෙස්ට් තරග 2 - 1 කින් පරාජය කළ අතර පාකිස්තානයේදී මහේන්ද්‍ර සිං දෝනි ගේ කණ්ඩායම පරදවමින් ආසියානු එක්දින ක‍්‍රිකට් කුසලානය දිනා ගත්තේය.
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ක්ෂේත‍්‍රයට වඩාත්ම යහපත් දෙය වූයේ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ අජන්ත මෙන්ඩිස් ගේ මතුවීම ය. 23 හැවිරිදි මෙන්ඩිස් සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවිය ආරම්භ කෙළේ ලෝක වාර්තාවක් තබමිනි.
මේ අපූරු දඟ පන්දු යවන්නා ටෙස්ට් තරග තුනකදී කඩුලු 26ක් බිඳ හෙලූ අතර එය නවක කී‍්‍රඩකයෙක් සිය මංගල තරග තුනකින් යුත් තරගමාලාවකදී ලබා ගත් වැඩිම කඩුලු සංඛ්‍යාව විය.
අතුරු කමිටුව විසුරුවයි
කී‍්‍රඩා අමාත්‍යංශයත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අතුරු කමිටුවත් අතර වසරක පමණ කාලයක පැවැති කඹ ඇදිල්ල කෙළවර වූයේ ගාමිණී ලොකුගේ කී‍්‍රඩා ඇමැතිවරයා විසින් අර්ජුන රණතුංග ප‍්‍රධාන අතුරු කමිටුව විසුරුවා හරිමිනි.
ඉන්දියා ප‍්‍රිමියර් ලීගයේ කී‍්‍රඩක සහභාගිත්වය, සේවක ප‍්‍රශ්න, රූපවාහිනී තරග විකාශන අයිතීන්, අනුග‍්‍රාහකයන් ලබා ගැනීමේ නොහැකියාව හා කොන්ත‍්‍රාත් පදනමේ සිටි සේවකයන් 18 දෙනෙක් සේවයෙන් නෙරපීම යන කාරණා හේතුවෙන් නන්නත්තාරව දියත් වෙන කි‍්‍රකට් පරිපාලන නෞකාවේ මීළඟ කප්පිත්තා කව්රුන් වේදැයි තවමත් නිශ්චිත නැත.
රගර් අර්බුද
විසුරුවා නොහැරියත් ඒ අවදානම ළඟටම ආ තවත් කී‍්‍රඩා සංගමයකි ශ‍්‍රී ලංකා රගර් සංගමය. සංගමය බේරුණේ ඒ වෙනුවට එහි තේරීම් කමිටුව විසුරුවා හැරීමෙනි.
චීන තායිපේහි පැවැති ආසියානු රගර් තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා රගර් කණ්ඩායමේ නායකත්වයට දුෂාන්ත් ලෙව්කේ පත් කිරීමට විරෝධය පාමින් ජාතික සංචිතයෙන් හා පුහුණුවීම්වලින් ඉවත් වූ ප‍්‍රබල මහනුවර කී‍්‍රඩා සමාජ කී‍්‍රඩකයෝ ඊට මැදිහත් වන ලෙසට කී‍්‍රඩා ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
තේරීම් කමිටුව විසිරුවා හැර ගාමිණි ලොකුගේ ඇමැතිවරයා නව තේරීම් කමිටුවක් පත්කොට කණ්ඩායම හා නායකයා නැවත තෝරන ලෙසට ඔවුනට නියෝග කළේය.
නව තේරීම් කමිටුව කෙළේ චීන තායිපේ තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහභාගි වන තරග දෙකට නායකයන් දෙදෙනෙකු පත් කිරීමය.
ඉන් එක් නායකයකු දුෂාන්ත් ලෙව්කේ ම වීම හේතුවෙන් සිය වර්ජනය දිගටම ගෙන ගිය මහනුවර කී‍්‍රඩකයෝ එම තරගාවලියට පමණක් නොව ඊට පෙර හොංකොංහි පැවැති 2009 ලෝක කුසලාන සත් සාමාජික රගර් තරගාවලියට ආසියානු සුදුස්සන් තේරීමේ තරගාවලියටද සහභාගි වීමෙන් වැලැකී සිටියහ.
ශ‍්‍රී ලංකා සත් සාමාජික රගර් කණ්ඩායම ගෙවුණු වසරේදී විදෙස් තරගාවලි දෙකකට සහභාගි විය. මේ තරගාවලි ද්විත්වයම පැවැතියේ හොංකොං දේශයේය.
වාර්ෂිකව සහභාගි වන හොංකොං සෙවන්ස් තරගාවලියේදී අසාර්ථක වූ ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉන්පසු ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේදී ඊටත් වඩා අසාර්ථක විය.
කණ්ඩායමේ දුර්වලතාව මොනවට ප‍්‍රදර්ශනය කරමින් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේදී ශ‍්‍රීලංකාවට පරාජය කිරීමට හැකිවුයේ රගර් තරග බිමට ඉතාම ලාබාලයන් වන අසල්වැසි ඉන්දියාව පමණි. කෙටියෙන් කිවතොත් 2008 යනු ශ‍්‍රී ලාංකික රගර් ක්ෂේත‍්‍රයේ දැවැන්ත කඩාවැටීමක් දිස්වූ වසරකි.
ඔලිම්පික් පදක්කම් සිහිනය
බීජිං ඔලිම්පික් උළෙලේදී ශී‍්‍ර ලංකාවේ පදක්කම් සිහිනය බොඳවී ගියද මතු යම් දිනයෙක එවැනි බලාපොරොත්තුවක පහන් දල්වමින් ෂෙහාන් අඹේපිටිය යොවුන් මලල කී‍්‍රඩකයා ජගත් කරලියට පිවිසියේය.
ඉන්දියාවේ පූනෙ නුවර පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය කණිෂ්ඨ කී‍්‍රඩා උළෙලේදී ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සිසුවකු වන ෂෙහාන් පිරිමි මීටර් 100, මීටර් 200 හා මීටර් 100 ය 4 සහාය දිවීම ඉසව්වල රන් පදක්කම් ති‍්‍රත්වයක් දිනා ගැනීම සමත් විය.
බීජිං ඔලිම්පික් උළෙල දක්වා වූ කාලයේදී ඔලිම්පික් පදක්කමක් ගැන වැඩිම ප‍්‍රචාරයක් ඇති වූයේ බොක්සිං කී‍්‍රඩාවෙනි. එහෙත් ඒ පුරසාරම් අවසානයේ පුස්සක් ම විය.
තවත් ඔලිම්පික් පදක්කම් අපේක්‍ෂාවක් වූ සුසන්තිකා ජයසිංහ බීජිංහිදී අසාර්ථක වුවද ඇය ඉතා අගය කළ යුතු කී‍්‍රඩිකාවක් බවට පත්වූවාය.
ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 200 අවසාන තරගයට ඇගේ ප‍්‍රවිෂ්ටයම ඉතා ප‍්‍රශංසනීය වේ. ඔලිම්පික් පදක්කමක් දිනා ගෙන අට වසරකට පසුව යළි ඔලිම්පික් අවසාන තරගයකට පිවිසීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.
පිහිනුම් පරිපාලනයේ අර්බුද
ගෙවීගිය වසරේදී පිහිනුම් කී‍්‍රඩා පරිපාලනයේ අර්බුද රැසක් මතුවිය. පිහිනුම් අතුරු කමිටුවට චෝදනා ගණනාවක්ම එල්ලවීම හේතුවෙන් එය විසුරුවා වසර අවසානයේ නව පිහිනුම් අතුරු කමිටුවක් පත්කිරීමට සිදුවූයේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.
වසරේ දක්‍ෂතම පිහිනුම් කී‍්‍රඩකයා ලෙස කැපී පෙනුණු මහනුවර ති‍්‍රත්ව විද්‍යාලයේ හේෂාන් උනම්බුව ඔලිම්පික් උළෙලට ශී‍්‍ර ලංකාවෙන් යැවිය යුතු වඩාත්ම සුදුසු කී‍්‍රඩකයා ලෙස බොහෝ දෙනාගේ අදහසක් වුවද පිහිනුම් බලධාරීන්ගේ තීරණය වූයේ ඩැනියෙල් ලී යැවිය යුතු බවයි.
ඔලිම්පික් උළෙලට ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් යැවිය යුතු කී‍්‍රඩිකාවන් තෝරා ගැනීම හාස්‍යයෙන් පිරුණු එකක් විය. මයුමි රහීම් තෝරාගෙන තිබුණද පසුව ලැබුණු ඉල්ලීම් සලකා මිනිරුවණී සමරකෝන් සමඟ තේරීම් තරගයක් පැවැත්වීමට තීරණය විය.
තේරීම් තරගය දිනයේදී මිනිරුවණී තරග වැදීම ප‍්‍රතික්‍ෂේප කිරීමෙන් මයුමිට ඔලිම්පික් වරම් උදාවුණි. ඔලිම්පික් උළෙලේ දී මයුමිට හා ඩැනියෙල් ලීට පදක්කම් දිනාගත නොහැකි වුවද පෞද්ගලික දක්ෂතා වර්ධනය කරගැනීමට හැකිවිය.
වසරේ කැපී පෙනෙන පිහිනුම් කී‍්‍රඩිකාව ලෙස මිනේකා කරුණාරත්න සම්මානයට පාත‍්‍රවූවාය. නැඟී එන කී‍්‍රඩකයා හා කී‍්‍රඩිකාව ලෙස හේෂාන් – මිනිරුවණී සම්මාන දිනාගත්හ.
පිටපළාත්වලින් දක්‍ෂතා දැක්වූ පොළොන්නරුවේ සචින්ත වික‍්‍රමආරච්චි පිහිනුම් කී‍්‍රඩාවට අදාළ සම්පත් නොමැතිව දැක්වූ දක්‍ෂතාව ආදර්ශමත් විය. ඔහු වැවේ පිහිනා කොළඹ පිහිනුම් තටාකයේ ජයකෙහෙළි නැංවීම සිත්ගන්නා සුළුවිය.
සරේ පාසල් පිහිනුම් සූරතාවලිය, වයස් කාණ්ඩ පිහිනුම් සූරතාවලිය, ජාතික හා කණිෂ්ඨ පිහිනුම් සූරතාවලි උණුසුම් ස්වරූපයකින් නිමා නොවුණි.
ඔලිම්පික් කී‍්‍රඩිකා මයුමිගේ මීටර් 50 ළය ආර ඉසව්වේ ශී‍්‍ර ලංකා වාර්තාව බිඳහෙළීමට මිනේකා සමත්වීමත්, හෙෂාන් තමාගේම වාර්තා කිහිපයක් බිඳ හෙලීමත් කැපීපෙනුණි.
වත්මන් පිහිනුම් අතුරු කමිටුවේ සභාපති අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පිට පළාත් පිහිනුම් කී‍්‍රඩාව දියුණු කිරීමට අදහස් කර සිටීම ආරම්භ වූ වසරේ යහපත් බලාපොරොත්තුවකි.
ප‍්‍රගතියක් නුදුටු නෙට්බෝල්
ගෙවීගිය වසරේදී නෙට්බෝල් කී‍්‍රඩාවේ ප‍්‍රගතියක් දක්නට නොලැබුණි. ආසියානු නෙට්බෝල් සම්මේලනයේ සභාපති ධූරය ද ශී‍්‍ර ලංකාවට හිමිවූ වසරේ නෙට්බෝල් සංවර්ධනයට එමගින් හෝ සේවයක් සිදු නොවීම කනගාටුදායකය.
නෙට්බෝල් පරිපාලනය කොතරම් කඩාවැටී තිබුණද යන්න පැහැදිලි කරගැනීමට හොඳම උදාහරණයක් වූවේ නෙට්බෝල් සම්මේලනයේ නිලවරණය අත්හිටුවීමට කී‍්‍රඩා අමාත්‍යවරයා ගත් දැඩි තීන්දුවයි.
නෙට්බෝල් සම්මේලනයේ ගිණුම් වාර්තා විගණනයට ලක්කිරීමේදී හෙළිවූ බොහෝ වැරදි හා සාමාජික සංගම් වෙත වාර්තා නිසි පරිදි ලබා නොදීම හේතුවෙන් නිලවරණය අත්හිටුවීමට සිදුවිය.
මාස කිහිපයකින් පසුව අජන්තා විජේසේකර මහත්මියගේ සභාපතිත්වයෙන් නෙට්බෝල් අතුරු කමිටුවක් පත්විය. එම කමිටුව නෙට්බෝල් කී‍්‍රඩාවට අදාළ සංවර්ධන කටයුතු හා තේරීම් කටයුතු වඩාත් වේගවත් කරමින් සිටියදී වසර නිමාවිය.
මේ වසරේ පැවැත්වෙන ආසියානු නෙට්බෝල් සූරතාවලියට කී‍්‍රඩිකාවන් තෝරා ගැනීමේ තේරීම් තරගයේදී උසින් වැඩි කී‍්‍රඩිකාවන් සොයාගැනීමට හැකිවීම ගෙවීගිය වසරේ ලැබූ ඉහළ ප‍්‍රතිඵලයක් බව අතුරු කමිටු ලේකම් ටි‍්‍රක්සි නානායක්කාර පැවැසුවාය.
එහෙත් එම තේරීම් තරගයේදී දක්‍ෂ කී‍්‍රඩිකාවන්ට අවස්ථාව අහිමි කළ බවට චෝදනාවක්ද එල්ල විය. එම චෝදනා සැලකිල්ලට ගෙන නැවැත තේරීම් තරගයක් පැවැත්වීමට යෑම ගැන වසර අවසානයේදී අසන්නට ලැබුණි.
හිටපු ජාතික පුහුණුකාරිනි හයසින්ත් විජේසිංහ නෙට්බෝල් පරිපාලනයට දොස් නගා තනතුරෙන් ඉවත්වූවාය. පසුව එම තනතුරට තිලකා ජිනදාස මෙනෙවිය පත් කිරීමට කී‍්‍රඩා අමාත්‍යවරයා පියවර ගත්තේය.
ආසියාවේ යොවුන් නෙට්බෝල් අනුසූරතාව ශී‍්‍ර ලංකාවට හිමිවිය. එය දිනාගත්තේ තෙවැනි වරටය.එළැඹි වසරේදී නෙට්බෝල් කී‍්‍රඩාවේ අභියෝග ජයගන්නට කී‍්‍රඩිකාවන්ට සේම නිලධාරීන්ට ද විශාල ප‍්‍රයත්නයක් දැරිය යුතුව ඇත.
ගෙවීගිය වසරේදී මෙන් කුලල්කා ගැනීම්වලින් තොරව සියලු දෙනාට ඉදිරියට යා හැකිවුවහොත් ආසියානු සූරතාව දිනා ගැනීමට අපහසු නොවනු ඇත.
ජාතික කී‍්‍රඩාවෙන් ජාතික සමගිය
වොලිබෝල් සම්මේලනය වොලිබෝල් කී‍්‍රඩාව දියුණු කිරීමට අනුග‍්‍රාහකයන් සොයා දේශීය තරගාවලි සාර්ථකව පැවැත්වීම ගෙවීගිය වසරේදී දක්නට ලැබුණි. සම්මේලනයේ සභාපති ඩිලාන් පෙරේරා මහතා නැවැත වරක් එම ධූරයට පත්වුවේද සම්මේලනය පරිපාලනමය අතින් යහපත් එකක් බවට අමාත්‍යවරයාගේ ප‍්‍රසංශාවද හිමිවීමෙනි.
ජාතික කී‍්‍රඩාවෙන් ජාතික සමගිය ඇතිකරලීම වොලිබෝල් සම්මේලනයේ ප‍්‍රධාන තේමාව විය. පිට පළාත්වලින් කී‍්‍රඩා සමාජ අඩුවෙන් පිවිසෙද්දී වයඹ හා බස්නාහිර පළාත් කණ්ඩායම් තම ආධිපත්‍ය ගෙවීගිය වසරේදීත් පැතිරූහ.අන්තර් ජාතික තරගාවලි කිහිපයකට ශී‍්‍ර ලංකාව නියෝජනය කළ ගෙවීගිය වසරේදී යොවුන් කී‍්‍රඩකයෝ ඉදිරියට පැමිණියහ.
කොළඹදී නිමාවු ආසියානු යොවුන් වොලිබෝල් තරගාවලියේදී ශී‍්‍ර ලංකාව විශාල ප‍්‍රගතියක් පෙන්වමින් 7 වැනි ස්ථානය දිනා ගැනීම කැපී පෙනුණි. මුදල් නොමැති අවස්ථාවකදී වුවද මේ තරගාවලි ශී‍්‍ර ලංකාවේ පැවැත්වීම අභියෝගයක් වුවද කිසිදු චෝදනාවකින් තොරව තරගාවලිය සාර්ථක කර ගැනීමට හැකිවීම සම්මේලනය ලැබූ ජයග‍්‍රහණයකි.
පිලිපීනයේ මැනිලා නුවර පැවැති ආසියානු යොවුන් කාන්තා වොලිබෝල් තරගාවලියේදී ශී‍්‍ර ලංකාවට අන්ත පරාජයක් අත්වීම ප‍්‍රබල පසුබෑමක් විය එකම තරගයක් හෝ ජය නොගත් එම තරගාවලියේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවන් ආසියාවේ අන්තිමයා බවට පත්වීම කනගාටුවට කරුණකි.
කෙසේ වුවද එළැඹි වසරේදී වොලිබෝල් කී‍්‍රඩාවෙන් ආසියාවේ ඉදිරියට පැමිණීමේ අභියෝගය තවමත් ඉතිරිව ඇත.ඒ සඳහා පාසල් මට්ටමේ සිට සංවර්ධන කාර්යයන් දියත් කිරීමේ අවශ්‍යතාවට මුල්තැන දිය යුතු වසරක් ආරම්භ විය.
පාපන්දු කී‍්‍රඩකයන්ගේ දක්‍ෂතා ආපස්සට ගිය වසරක්
මවු බිම බේරාගැනීමේ මානුෂික මෙහෙයුමෙන් ඉදිරියට ඇදෙන යුද හමුදාව වසරේ පාපන්දු කිරුළ හිමිකර ගැනීම ගෙවී ගිය වසරේ කාගේත් අවධානයට ලක්විය.
පි‍්‍රමියර් ලීග් පාපන්දු සූරතාව යුද හමුදාව දිනාගත්තේ අපරාජිත කණ්ඩායමක් ලෙසිනි. ස්ථිර අධිෂ්ඨානය කැපවීම හා උනන්දුව නිසා ලැබූ ජයක් බව පුහුණුකරු මේජර් පත්මනාදන් පැවසුව ද ඔවුන් කෙරෙහි තිබූ විනය තවත් හේතුවක් බව බොහෝ දෙනාගේ මතය විය.
ගෙවී ගිය වසර මැද භාගයේ කොළඹ දී පැවැති ආසියානු පාපන්දු සංගම් කුසලාන තරගාවලියේ දී ශී‍්‍ර ලංකා පිලේ පසුබෑම හේතුවෙන් ජාතික පාපන්දු පුහුණුකරුට ප‍්‍රබල චෝදනා එල්ල විය. ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් බොහෝ දෙනෙකු දක්‍ෂතා නොදැක්වීම නිසා ශී‍්‍ර ලංකා පිලට වාසියක් අත් නොවුනි.
ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ විධායක කමිටුවේ දී ජාතික පාපන්දු පුහුණුකරු ජැං ජුන්ග් ගෙදර යැවිය යුතු යැයි මතයක් පළවීමෙන් පසුව පාපන්දු පුහුණුකරු පිළිබඳ නිර්දේශ ලබාගැනීමට කමිටුවක් ද පත් කෙරුණි.
ගෙවී ගිය වසරේ අවසන් සති දෙකේදී ශී‍්‍ර ලංකා පිලේ නව පාපන්දු පුහුණුකරු ලෙස හිටපු පුහුණුකරුවෙකු වූ සම්පත් පෙරේරා මහතා පත් විය.
ගෙවී ගිය වසරේ පාපන්දු කී‍්‍රඩකයන්ගේ දියුණුවක් නැති වුවද විනය පිරිහීමේ දියුණුවක් ඇතිවී තිබුණි. පාපන්දු කී‍්‍රඩකයන් හා පෙ‍්‍ර්ක්‍ෂකයන් අතර ගුටිබැට හුවමාරුවක් ඇති වූයේ ද ඒ නිසාය කී‍්‍රඩකයන්, පුහුණුකරුවන් හා විනිසුරුවන් අතර මතභේද හේතුවෙන් තරග අත්හිටුවීමට ද සිදුවිය.
එළැඹි නව වසරේ දී ශී‍්‍ර ලංකා පාපන්දු පිලට අලුත් මුහුණු එක් කළ යුතු යැයි අදහසක් මතුවීමද යහපත් එකකි. මේ වසරේ පැවැත්වෙන ආසියානු පාපන්දු සංගම් කුසලානය දිනාගැනීමේ සැලැස්ම නව පුහුණුකරුට මෙන්ම බලධාරීන්ට ඇති ප‍්‍රධානතම අභියෝගයකි.
කැරම් ලෝක සූරයෝ
2008 ජගත් කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ ජය කෙහෙලි නැංවීමට ශ‍්‍රී ලංකා කැරම් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ. ජගත් කැරම් සුරතාවලියේදී ශ‍්‍රී ලංකාව පිරිමි සූරතාවත් කාන්තා අනු සූරතාවත් දිනා ගත්හ. වූෂූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝද අන්තර්ජාතික රන් රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.
ගෙවී ගිය වසරේදී පාපැදි කී‍්‍රඩාවේ දක්නට ලැබුනේ ප‍්‍රබල පසුබෑමකි. එය තරග අඩුවෙන් ම පැවැති වසරක් විය.
එල්ලේ කී‍්‍රඩාව පසුගිය වසරේ සුරක්‍ෂිත වූයේ ගම්බද කී‍්‍රඩා සමාජ ඔවුනට හැකි පමණින් ඉරිදා දිනවල පැවැත්වූ කී‍්‍රඩා තරගාවලි නිසාවෙනි.
ශෝකාන්ත
2008 ජාතික කී‍්‍රඩා තරාදියේ බර ජය පරාජයන්ගෙන් මෙසේ දෙපැත්තට දෝලනය වෙද්දී ශෝකාන්ත සිදුවීම් දෙකකට මුහුණ දීමට තරම් ශ‍්‍රී ලාංකේය කී‍්‍රඩා ක්ෂේත‍්‍රය අවාසනාවන්ත විය.
කොටුව දුම්රිය ස්ථානයේ සිදු වූ කුරිරු ත‍්‍රස්ත බෝම්බ පිපිරීමෙන් කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ බේස්බෝල් කී‍්‍රඩකයන් හත් දෙනෙකු ම මිය ගියහ.2008 අප්‍රේල් 6 වැනි දින වැලිවේරියේ පැවැත්වීමට සංවිධානය කර තිබූ මැරතන් තරගයක් ආරම්භයේ මරාගෙන මැරෙන කොටි ත‍්‍රස්තවාදියෙක් විසින් සිදු කළ බෝම්බ පිපිරීමකින් තරග ආරම්භක සංඥාව නිකුත් කිරීමට පැමිණි ඇමැති ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ, ජාතික කී‍්‍රඩා පුහුණුකරු ලක්ෂ්මන් ද අල්විස්, ජාතික මැරතන් සුර කේ. ඒ. කරුණාරත්න (මැරතන් කරු), මලල ක‍්‍රීඩා තාක්‍ෂණ නිලධාරි ආර්. ඒ. සිරිපාල, තරග ආරම්භක නිලධාරි කර්නල් උදයදීර, කාලඝනක නිලධාරීන් වන සිසිර විජේසිංහ හා චමින්ද රත්නායක යන මහත්වරු සහ ක‍්‍රීඩකයන් තිදෙනෙක් ද එතැනදීම මිය ගියහ.
හොඳ හා නරක දෙකම අත්විඳීන්නට සලස්සමින් 2008 කී‍්‍රඩා වසර ගෙවී ගියේය. දැන් එළැඹ ඇත්තේ 2009 නව කී‍්‍රඩා වසරකි. උදා වූ අලුත් කී‍්‍රඩා අවුරුද්ද අයහපතට වඩා යහපත් එකක් ම වේවායි අපි ප‍්‍රාර්ථනය කරන්නෙමු.

No comments: