Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, December 22, 2008

ජනාධිපතිවරයා රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූ අයුරු.


දියතලාව යුද හමුදා විද්‍යා පීඨයෙන් අධිකාරි ලැබූ හමුදා නිලධාරීන් 151 දෙනකුගේ විසිර යාමේ උළෙල ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ ශිරන්ති රාජපක්‍ෂ මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පෙරේදා (20) දියතලාවේ දී පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයා රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූ අයුරු. යුද හමුදාපති සරත් පොන්සේකා සහ බි‍්‍රගේඩියර් කුමුදු පෙරේරා මහත්වරු ද මෙහි වෙති.

නැදුන්කර්නි නගරය හා අවට ගම් රැසක් යුද හමුදාව යටතට 4වැනි කාර්ය සාධක බළකායේ ප‍්‍රථම ජයග‍්‍රහණය

මහින්ද කුලතුංග සහ චන්ද්‍රිකා පෙරේරා
මුලතිව් දිස්ති‍්‍රක්කයේ නැදුන්කර්නි නගරය සහ අවට ගම්මාන සියල්ල ඊයේ (21) උදේ වන විට සම්පූර්ණයෙන්ම අත්පත්කර ගැනීමට යුද හමුදාව සමත් විය.
හමුදාවේ 4 වැනි කාර්ය සාධක බළකායේ රණවිරුවන් මේ ජයග‍්‍රහණය අත්පත්කරගත් බව යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා කීය.
අලුතින් පිහිටවූ 4 වැනි කාර්ය සාධක බළකායේ ප‍්‍රථම මෙහෙයුම සහ ප‍්‍රථම ජයග‍්‍රහණය මෙම නැදුන්කර්නි ප‍්‍රදේශය අත්පත්කරගැනීම බවත් ඒ මහතා පැවැසීය.
පෙරේදා සවස සිට පැවැති දරුණු සටන් වලින් අනතුරුව ත‍්‍රස්තවාදීන් පළවා හැර නැදුන්කර්නි නගරය හා අවට ප‍්‍රදේශ සම්පූර්ණයෙන්ම නිදහස්කර ගැනීමටයුද හමුදාව සමත් විය.
නැදුන්කර්නිවලට උතුරු දෙසින් ඔඩ්ඩුසුඩාන් කොටි පාලන ප‍්‍රදේශයත්, ඊසාන දිග ප‍්‍රදේශයෙන් මුලතිව් මාර්ගයත් පිහිටා ඇති අතර හමුදාව නැදුන්කර්නි සම්පූර්ණයෙන් අත්පත්කර ගැනීම යුදමය අතින් ඉතාමත් වැදගත් බව බි‍්‍රගේඩියර් නානායක්කාර සඳහන් කෙළේය.
නගරයේ ඇති රජයේ ගොඩනැඟිලි සහ නිවාස ත‍්‍රස්තවාදී ප‍්‍රහාරවලින් විනාශ වී ඇති අතර එම ගොඩනැගිලිවල ත‍්‍රස්තවාදීන් බංකර තනා තිබී ඇත.
මර උගුල් හමුදාවේ ඉදිරි ගමන වැළැක්වීමට බිම් බෝම්බ සහ විශාල පස්බැම්මක් නගරය වටා ඉදිකර තිබී ඇත.
මේ අතර කිලාලි, මුලතිව්, නැදුන්කර්නි, ඔටියමලේ, අම්පකාමම් උතුර, කිලිනොච්චි නිවිල්, මුලතිව් නැදුන්කර්නි, ඔටියමලේ අක්කරායන්කුලම් හා ඉරණමඩු බටහිර ප‍්‍රදේශවලදී කොටි ත‍්‍රස්තවාදීන් හා යුද හමුදා භට පිරිස් අතර දරුණු ගැටුම් පැවතිණි.
මේ ගැටුම්වලින් අනතුරුව සිදුකළ සෝදිසි මෙහෙයුම් වලදී ත‍්‍රස්තවාදී මළ සිරුරු තුනක් හා තවත් අවි ආයුධ තොගයක් සොයා ගත් බව යුද හමුදාව පවසයි.

පාවෙන අවි ගබඩාවක් නාවික හමුදාවෙන් ගිල්වයි කොටි 30ක් මරුට

චන්ද්‍රිකා පෙරේරා
ගුවන් යානා නාශක උණ්ඩ ඇතුළු නවීන අවි ආයුධ තොගයක් කොටි ත‍්‍රස්තවාදීන්ට ලබා දීම සඳහා ගෙන යමින් තිබූ විශාල ප‍්‍රමාණයේ යාත‍්‍රාවකට පෙරේදා (20) අලුයම 2.00 ට පමණ මුලතිව් ඊසාන දිග මුහුදු තීරයේදී නාවික හමුදාව විසින් ප‍්‍රහාර එල්ල කර විනාශ කැර තිබේ.
මෙහිදී ඇතිවූ ගැටුමේදී මුහුදු කොටි ත‍්‍රස්තවාදීන් තිස්දෙනකුට ආසන්න පිරිසක් මියගිය බව අනාවරණය වී තිබේ.
අවි ආයුධ ප‍්‍රවාහනය කෙරුණු මීටර් 40 ක් පමණ දිග විශාල යාත‍්‍රාව හා එයට ආරක්ෂාව සපයමින් යාත‍්‍රා කළ තවත් කොටි යාත‍්‍රා හතරක් නාවික හමුදා ප‍්‍රහාරවලින් විනාශ වී ඇත.
කොටි අවි යාත‍්‍රාව මුලතිව් සිට ඊසාන දෙසින් මුහුදු සැතපුම් 70 ක් (කිලෝ මීටර් 140 ක්) පමණ දුර මුහුදු සීමාවේ දි යාත‍්‍රා කරමින් තිබියදී නාවික හමුදාව නිරීක්ෂණය කැර තිබේ.
යාත‍්‍රාවේ කිසිදු නිල ලාංඡනයක්, නාමයක් හෝ ධජයක් දක්නට නොවීමත් ශ‍්‍රී ලංකා මුහුදු සීමාවේ යාත‍්‍රාවක් ගමන් ගන්නා බවට කිසිදු රටකින් දැනුම්දීමක් නොකර තිබීමත් හේතුවෙන් අභිරහස් යාත‍්‍රාව පිළිබඳ සැක ඇති වූ බව නාවික හමුදාව පවසයි.
ඒ අනුව චැනල් 16 හරහා (ජාත්‍යන්තර පණිවිඩ හුවමාරුව මගින්) අදාල යාත‍්‍රාව සමඟ සම්බන්ධ වී තොරතුරු විමසීමේදී පිළිතුරු ලබාදී නැත.
ආරක්ෂක යාත‍්‍රා සමඟ එම යාත‍්‍රාව වේගයෙන් ගමන් කරන විට නාවික හමුදාව අවවාදාත්මක වෙඩි ප‍්‍රහාර එල්ල කැර නවතින ලෙස සංඥා කිරීමේදී යාත‍්‍රාවේ සිට හමුදා යාත‍්‍රා වලට වෙඩි ප‍්‍රහාර එල්ලවී ඇත.
ගොඩබිම සිට මුහුදු සැතපුම් 30 ක (කි. මී. 60) පමණ දුර මුහුදේ දී අලුයම 2.00 සිට පැය හයකට ආසන්න කාලයක් දෙපිරිස අතර ගැටුම් ඇතිවූ බව නාවික හමුදාව පැවැසීය.
ගැටුමේදී නාවික හමුදාවට හානි සිදුවි නොමැති අතර ත‍්‍රස්තවාදීන්ගේ ආරක්ෂාවට තිබූ බෝට්ටුවක් ප‍්‍රහාර හමුවේ පළා ගිය බවට තොරතුරු ලැබී තිබේ. යාත‍්‍රාවේ තිබූ අවි ආයුධ මුලතිව් චලේ ප‍්‍රදේශයෙන් ;ගාඩබිමට රැගෙන යාම සඳහා කොටි උත්සාහ ගෙන ඇති බව නාවික හමුදාව පවසයි.

අපේ නැවියන්ගේ දස්කම් යළිත් වරක් ලෝකය හමුවේ

කොටි ත‍්‍රස්තවාදීන් තවමත් ඊළම අත්නොහැර ඇති බව පෙරේදා (20) අලුයම මුලතිව් මුහුදේදී ඇති වූ සිද්ධියත් සමඟ මනාවට පෙනීයයි.
කොටි සිය සංවිධානය ශක්තිමත් කිරීම සඳහා හැකි සෑම පියවරක් ගැනීමට උත්සාහ දරයි එහෙත් ති‍්‍රවිධ හමුදාවේ උකුසු ඇසට ඒ සියල්ල හොදින් පෙනෙන බව ඉකුත් දින කිහිපයේ සිදුවු සිදුවීම්වලින් පසක් වෙයි.
නාවික හමුදාව සිය නාවික ශක්තිය යොදමින් ශ‍්‍රී ලංකාව වටා වූ මහ සයුර ජයගෙන ඇති බව ලෝකයාට නැවත වතාවක් කීමට සමත්වූහ.
ඉකුත් සෙනසුරාදා (20) අලුයම කාලයේ නාවික හමුදාව සිය ආරක්ෂක මෙහෙයුම් කි‍්‍රයාත්මක කරමින් සිටියහ. ලංකාව වටා වූ මහසයුරේ කුමන ස්ථානයක කුමන වෙනසක් වේදෝ යන්න පිළිබඳව නාවික හමුදා යාත‍්‍රා සහ නාවික හමුදා මූලස්ථානය දැඩි අවධානයෙන් පසුවූහ.
රාතී‍්‍රය අවසන් වී කෙමෙන් කෙමෙන් අලුයම් කාලය ළගාවෙමින් පැවතුනි. අලුයම 1 පමණ වනවිට මුලතිව් මුහුදේ යමක් සංඥා වනු මුර යාත‍්‍රාවලට රේඩාර් පද්ධතිවලින් නාවික හමුදා නිලධාරිහු දැකගත්හ. කිසිදු ගැටලුවකින් තොරව නාවික හමුදා නිලධාරිහු රේඩාර් පද්ධතියේ සංඥා වන දේ හඳුනා ගත්හ. එය සැක කටයුතු යාත‍්‍රාවක් බව එයට ළඟා වූ මුර යාත‍්‍රාවලට තහවුරු විය.
මීට අමතරව නාවික හමුදාවේ බුද්ධි තොරතුරු රැස්කරන බුද්ධි අංශ සාමාජිකයෝ මේ පිළිබඳව අධ්‍යයනය කරමින් කරුණු රැස්කරමින් සිටියහ.
මුලතිව් මුහුදට ඊශාන දිගින් මුහුදු සැතපුම් 140 ක් පමණ දුරින් සැක කටයුතු යාත‍්‍රාව ගමන් කරමින් තිබුණි. නාවික හමුදා මුර යාත‍්‍රා මගින් සැක කටයුතු යාත‍්‍රාව පිළිබඳ වහාම සොයා බැලීය. එය කුමන රටක සිට කුමන ප‍්‍රදේශයකට ගමන් කරනවාද යන්න ප‍්‍රථමයෙන් සොයා බැලීය. අන්තර්ජාතික ක‍්‍රමයක් භාවිතා කරමින් නාවික හමුදාව සොයා බැලූ මේ නෞකාව සැකකටයුතු එකක් බවත් එහි අයිතිය කිසිවෙකුත් භාර නොගන්නා බව නාවික හමුදාව අනාවරණය කර ගත්තේය.
අනතුරුව නාවික හමුදාව විසින් දිගින් දිගටම මේ නෞකාවට පණිවුඩ නිකුත් කෙළේය. එහෙත් එම පණිවුඩවලට නෞකාවෙන් කිසිදු ප‍්‍රතිචාරයක් නොලැබුණි. නෞකාව කොටින්ට ආයුධ ප‍්‍රවාහනය කරන එකක් බවත් එහි පුපුරණ ද්‍රව්‍ය ඇතුලු අවි ආයුධ රැසක් තිබෙන බව නාවික හමුදාව විසින් තාක්ෂණික ක‍්‍රම භාවිතා කරමින් හඳුනා ගත්තේය. මුර යාත‍්‍රාවල සිටි නාවික නිලධාරිහු වහාම මේ පිළිබඳව උසස් නාවික නිලධාරින්ට දැනුම් දුන්නේය.
වාහම මේ නෞකාව නතර කරන ලෙස නාවික හමුදා යාත‍්‍රාවලින් නෞකාවට පණිවුඩ ලබා දුන්නේය. එහෙත් අවි ආයුධ සන්නද්ධව සිටි පුද්ගලයන් සහිත මේ නෞකාව නතර නොකළේය. වහාම කි‍්‍රයාත්මක වූ නාවික හමුදාව සිය ප‍්‍රහාරක ඩෝරා යාත‍්‍රා ඒ මොහොත වනවිට මුලතිව් මුහුදේ මේ ප‍්‍රදේශයට කැඳවා තිබුණි.
නාවික හමුදාව දිගින් දිගටම කොටි යාත‍්‍රාවට ප‍්‍රහාර එල්ල කළහ. නාවික හමුදා ප‍්‍රහාරවලින් විශාල පිපිරුමක් සහිතව නෞකාව දියබත් විය. ඒ මොහොත වනවිට මුහුදු කොටි බළකාය විසින් ඔවුන්ගේ ප‍්‍රහාරක යාත‍්‍රා හතරක් නාවික හමුදාවට ප‍්‍රහාර එල්ල කිරීමට කැඳවා තිබුණි. එහෙත් නාවික හමුදාවේ ප‍්‍රහාරවලින් කොටින්ගේ මේ යාත‍්‍රා හතරද සම්පූර්ණයෙන්ම විනාශයට පත්විය.
නාවික හමුදාවට ප‍්‍රහාර එල්ල කිරීමට මුලතිව්හි සිට පැමිණි තවත් යාත‍්‍රා කිහිපයක් වහාම පසු බැස්සේය.
නාවික හමුදා ප‍්‍රහාරවලින් විනාශයට පත් වූ නෞකාව දියබත්වන අවස්ථාවේ එයින් නැඟුණු පිපිරුම් හඬවල්වලින් අනාවරණය වන්නේ “මේ නෞකාවේ අවිආයුධ මෙන්ම පුපුරණ ද්‍රව්‍ය විශාල තොගයක් තිබූ බවයි” නාවික හමුදාව මේ සම්බන්ධයෙන් එසේ ප‍්‍රකාශ කරයි.
කොටි ත‍්‍රස්තයෝ මේ නෞකාවේ කාලතුවක්කු උණ්ඩ ඇතුළු පතොරම් වැඩි වශයෙන් ගෙන එන්නට ඇතැයි ආරක්ෂක අංශ සැක කරයි.
කොටි ත‍්‍රස්තයන් භූමියේ ලබා ඇති පරාජය මෙන් ම ඔවුන්ගේ මුහුදු කොටි බළකායට ද එල්ල වූ මේ ප‍්‍රහාරයෙන් තවත් ප‍්‍රබල පසුබෑමකට ලක් වෙයි. මේ වන විට කොටි සාමාජිකයින් ප‍්‍රබල ලෙස පහතට වැටී ඇත. කොටි සාමාජිකයින්ගේ චිත්ත ධෛර්ය ද ඉතා පහත් මට්ටමකට පත්ව තිබේ.
නාවික හමුදාව ඉකුත් වසර තුන මේ ආකාරයේ ප‍්‍රහාරයන් රැසක් කොටින්ට එල්ල කරන්නට සමත් වූහ. කොටි ත‍්‍රස්තයන්ගේ පාවෙන ආයුධ ගබඩා ලෙස සැලකෙන විශාල නෞකාවන් දහයකට වැඩි සංඛ්‍යාවක් මේ ආකාරයෙන් නාවික හමුදාව විසින් විනාශ කර දැම්මේය.
වෙනදා ආයුධ ප‍්‍රවාහනය කරන ක‍්‍රමවලට වඩා වෙනස් ක‍්‍රමයක් මෙවර කොටි භාවිතා කර ඇත. මීට පෙර නාවික හමුදා ප‍්‍රහාරවලින් විනාශයට පත් වූයේ මීටර් හැටක් අසූවක් හෝ ඊට වඩා දිගින් යුත් නෞකාවන් ය.
මෙවර නාවික හමුදා ප‍්‍රහාරවලින් විනාශයට පත් වූ නෞකාවේ දිගට මීටර් තිහක් හතලික් පමණ වන බව නාවික හමුදාව පවසයි. කොටි මෙවැනි නෞකාවක් මෙවර යොදා ගෙන ඇත්තේ නාවික හමුදාවේ සැකයෙන් මිදීමටය. එහෙත් නාවික හමුදාවේ තියුණු ඇස පරාජය කිරීමට කොටි ත‍්‍රස්තවාදීන්ට හැකියාවක් නොමැති බව නාවික හමුදාව මේ ප‍්‍රහාරයෙන් ද ඔප්පු කර හමාරය.
කොටින්ගේ අවි ආයුධ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය රැගෙන ආ නෞකාවක් මෙලෙස නාවික හමුදාව විසින් විනාශ කර දැමීමෙන් කොටින්ට සිදු වූ හානිය අති විශාලය. කොටි ත‍්‍රස්තයන් යුද හමුදා භට පිරිස් වෙත එල්ල කරන කාලතුවක්කු සහ මෝටාර් ප‍්‍රමාණය පහතවැටීමට ප‍්‍රධානතම හේතුවක් වූයේ කොටි අවි නැව් නාවික හමුදාව විසින් විනාශ කර දැමීමය. කොටි සංවිධානයේ යුද ශක්තිය බිද දැමීම සඳහා නාවික හමුදාව විසින් සිදු කරන මෙහෙය අති මහත්ය.
මේ අතර ඉකුත් සතිය පුරාවට යුද බිමේ වූ සුවිශේෂි සිද්ධියක් වන්නේ කොටි සාමාජිකයින් රැසක් යුද බිමෙන් පැනවිත් යුද හමුදාව වෙත භාර වීමයි. මෙලෙස භාර වන වැඩි පිරිසක් ප‍්‍රකාශ කර සිටින්නේ කොටි සංවිධානය මේ වන විට දේශපාලන, ආර්ථික, සමාජීය, යුදමය ඇතුළු සියලුම අංශයන්ගෙන් බිඳවැටී ඇති බවයි. තමන්ට කොටි සංවිධානය පිළිබඳව මේ වන විට ඇත්තේ ඉමහත් කලකිරීමක් බව ද ඔවුහු සඳහන් කරති.
මේ ආකාරයට ඉකුත් සිකුරාදා (19) පරන්තන් දෙසින් පැමිණ 58 වන සේනාංකයේ භට පිරිස් වෙත භාර වූ කොටි සාමාජිකයින් දෙදෙනා වැදගත් තොරතුරු හෙළි කළහ.
‘මගේ නම ශිවචන්ද්‍රනාත් මට අවුරුදු විසිඅටයි. 2002 දී තමයි කොටි සංවිධානයට මාව බඳවා ගත්තේ. මම හැටන්වල පිහිටි ගෞරව තොලුවන් කියන වත්තේ පදිංචිව සිටියේ. 2002 දී මම කිලිනොච්චියට ගිහිල්ලා පාවාහන් වෙළඳ්‍රම් කරා. එහෙම වෙළඳ්‍රමේ යන දවසක තමයි කොටි සාමාජිකයින් දෙදෙනෙක් ඇවිල්ලා මට මරණ තර්ජන එල්ල කරලා කොටි සංවිධානයට මාව බඳවා ගත්තේ.
කොටි සංවිධානයට තිබුණු බය නිසා මට දිගට ම කොටි සංවිධානයේ රැදී සිටින්නට සිදු වුණා. කොටි ත‍්‍රස්තයෝ මට යුද පුහුණුව ලබා දුන්නා. මාව යුද්ධයට යෙදෙව්වා. මට නොයෙක් වද හිංසා කලා. මාව මරන්නත් හැදුවා. සමහර වේලාවට දවස් තුනකට එක සැරයයි කන්න දුන්නේ. නොයෙක් තැන්වලට අපිව අරගෙන යනවා රාති‍්‍ර කාලයේ දී අපි ඉන්න තැනැක්වත් හරියට දන්නේ් නැහැ.
මම කසාද බැඳලා හිටියේ සිංහල කාන්තාවක් ඇය මාලිගාවත්ත ප‍්‍රදේශයේ පදිංචි. ඇගේ නම රේණුකා. මම රේණුකාට ගොඩක් ආදරෙයි. ඒත් මට අවුරුදු හයකින් රේණුකාව බලන්න බැරිවුණා. ඒත් මට හමුදාවේ උදව්වෙන් දැන් රේණුකා බලන්න පුළුවන්. මට ඒ ගැන ගොඩක් සතුටුයි.
මාව අන්තිමට පරන්තන් ඉදිරි ආරක්ෂක වළල්ලේ සේවයට යෙදෙව්වා. ඒ අවස්ථාවේ තමයි කොටින්ගෙන් මිදිලා කිලාලි කලපුව පැත්තෙන් ඇවිල්ලා හමුදාවට භාර වුණේ. හමුදාවේ අය වෙඩි තියලා මාව මරයි කියලා හිතුනා ඒත් එහෙම වුණේ නැහැ. හමුදාවේ අය මට කන්න බොන්න දීලා මාව හොඳින් පිළිගත්තා.’
ශිවචන්ද්‍රනාත් හමුදාව වෙත භාර වීමෙන් පසුව හමුදාව වෙත එසේ ප‍්‍රකාශ කර තිබේ.
පරන්තන් සිට පැමිණ හමුදාවට භාර වූ මරියකාර්, හමුදාව වෙත සිය අත්දැකීම් මෙසේ ප‍්‍රකාශ කළහ.
“මම පරන්තන්වල සිටියදී තමයි කොටි ග‍්‍රහණයෙන් පලා ආවේ. මට දැන් අවුරුදු තිස්තුනක්. පුදුකුඩුඉරිප්පු ඉරණපායි පස්වන පටුමගේ මම පදිංචි වෙලා සිටියේ. වසර දහයකට කලින් කොටි ත‍්‍රස්තයෝ මාව පැහැර ගත්තේ එදා ඉදලා මම අනන්ත දුක් වින්දා මගේ ජීවිතේ බේරා ගන්න.
කොටි ත‍්‍රස්තයෝ අහිංසක වැසියන් දහසකට වඩා හිර කරලා සිර ගෙවල්වල දාලා තියෙනවා. සමහර හිරගෙවල් කම්බිකූඩුවලින් හදලා තියෙන්නේ. පොඩි කූඩු වල දෙදෙනා බැගින් සිර කරලා ඒ කූඩු එලිමහනේ් තබලා තියනවා.
වල්ලිපුරම්, වානම්පාළු ඇතුළු ප‍්‍රදේශ කිහියක තමයි කොටි සංවිධානය මේ සිර කඳවුරු සකස් කරලා තිබෙන්නේ. මමත් ඒ සිරකදවුරක කාලයක් සිටියා. එහිදී සිදුවුනු දේවල් මතක් වන විට ඇස්වලට කඳුලු එනවා.
කොටින්ගේ නොයෙක් වද හිංසා විඳී කාලය දැන් අවසන් බව මට දැනෙනවා. මා දැන් ගොඩක් සතුටෙන් ඉන්නේ.
මේ ආකාරයට කොටි සාමාජිකයින් මෙන්ම සිවිල් වැසියන් හැත් තෑවකට වැඩි පිරිසක් ඉකුත් සතියේ හමුදා ප‍්‍රදේශවලට පැමිණ භාර වූහ.
මේ සියලුම දෙනා ප‍්‍රකාශ කර සිටින්නේ කොටි ත‍්‍රස්තයන් දස දහස් ගණනක් සිවිල් වැසියන් බලහත්කාරයෙන් රදවාගෙන සිටින බවයි.
මේ අතර උතුරේ මානුෂීය මෙහෙයුම් ඉතා උණුසුම් වෙමින් පවතියි. කොටින්ගේ ප‍්‍රබලම ප‍්‍රදේශයක් ලෙස සැලකෙන නැදුන්කර්නි ප‍්‍රදේශය ඊයේ (21) දහවල් වන විට සම්පූර්ණයෙන්ම අත්පත් කර ගැනීමට 4 වන කාර්යසාධක බළකායේ භට පිරිස් සමත් වූහ.
ඉතාම උපායශීලීව මේ ප‍්‍රදේශයට ඇතුළු වූ හමුදා භට පිරිස් නැදුන්කර්නි මුළුමනින්ම අත්පත් කරගනු ලැබුවේ කොටි ත‍්‍රස්තයෝ හතළිහකට වැඩි පිරිසක් ඝාතනය කරමිනි.
මේජර් ජනරාල් ජගත් ඩයස් යටතේ කි‍්‍රයාත්මක වන 57 වන සේනාංකයේ භට පිරිස් ඉරණමඩු වැවේ සිට අක්කරායන්කුලම් අඩම්පන් ප‍්‍රදේශය හරහා කිලිනොච්චි නගරය ආවරණය වන පරිදි කොටි පස් බැම්ම බිඳ දැමීමට කටයුතු කළහ.
මේ අතර බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා සේනාංකාධිපති වශයෙන් කටයුතු කරන 58 වන සේනාංකයේ භට පිරිස් අඩම්පන් සිට යාපනය කලපුව දක්වා පරන්තන් මාර්ගයෙන් දිවෙන කොටි පස් බැම්ම අත්පත් කර ගත්හ. මේ සඳහා සෙබළුන් පුරා දින දෙකක් කොටින් සමග මුහුණට මුහුණලා දරුණු සටනක නිරත වූහ.
58 වන සහ 57 වන සේනාංකයේ ප‍්‍රහාර කි‍්‍රයාත්මක වන මොහොතේම කොටින්ගේ මුලතිව් ප‍්‍රදේශයට දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කිරීමට 59 වන සේනාංකය ද කටයුතු කෙළේ ය.
මේ සේනාංක වලට කාර්ය සාධක බළකාය 2, 3, 4 යන බළකායන් ගෙන් ද විශාල සහයෝගයක් ලැබුණි. කොටි ත‍්‍රස්තයෝ නොසිතූ මොහොතක එල්ල කළ මේ ප‍්‍රහාරවලින් කොටින්ට ඔවුන්ගේ කිලිනොච්චි ප‍්‍රදේශයේ සහ මුලතිව් කුමදමුනේ ඉදිරියේ පිහිටා තිබූ ශක්තිමත් පස් බැම්ම අතහැර දමා පළායාමට සිදු විය. මේ ස්ථානවල දී කොටි මෙලෙස ආපස්සට හැර වීම හමුදාව ලද විශාල ජයග‍්‍රහණයක් මෙන්ම කොටින්ට තවත් ප‍්‍රදේශ රැසක් අහිමි කිරීමට බලයක් විය.
මේ මෙහෙයුම් වලට ගුවන් හමුදාව ද විශාල සහයක් ලබා දෙමින් ඉකුත් සතියේ කොටින්ගේ ප‍්‍රබල ඉලක්ක රැසක් විනාශ කර දැමීමට සමත් වූහ.
මේ අතර දියතලාවේ පිහිටි යුද හමුදාවේ පුහුණු කඳවුරේ නිලධාරීන් විසිර යාමේ උත්සවයට සහභාගි වූ සේනාධි නායකයා වන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේ ලෝකයේ ප‍්‍රබලතම හමුදාවක් වන අපේ හමුදාව තව නොබෝ දිනකින් ත‍්‍රස්තවාදයට විරුද්ධව ශී‍්‍ර ලංකා මාතෘ භූමිය ජයග‍්‍රහණය කරන බවයි.
සටහන භක්ති ධර්මපි‍්‍රය මෙන්ඩිස්

කොටි නායකයෙක් ගිය කැබ් රියකට දැඩි ප‍්‍රහාර

මහින්ද කුලතුංග
කිලිනොච්චියේ නිවිල් උතුරු ප‍්‍රදේශයේ ගමන්කරමින් තිබූ කොටි ත‍්‍රස්තවාදීන්ගේ කැබ් රථයකට යුදහමුදාව විසින් ඊයේ (21) සවස දැඩි ප‍්‍රහාරයක් එල්ලකර එය විනාශ කර තිබේ.
එම කැබ් රථයේ ගමන්කළ කොටි ප‍්‍රාදේශීය සන්නද්ධ නායකයකු මියයන්නට ඇතැයි ආරක්ෂක අංශ විශ්වාස කරයි.
මේ අතර කිලිනොච්චියේ පුදුමුරිප්පුකුලම් වැව ආශ‍්‍රිත ප‍්‍රදේශයේ කොටි ඉලක්ක කීපයකට ඊයේ (21) උදේ ගුවන් හමුදාවේ එම්.අයි. 24 හෙලිකොප්ටර් යානා මගින් ප‍්‍රහාරයක් එල්ලකර තිබේ.
එම ප‍්‍රහාරයෙන් ත‍්‍රස්තවාදීන් විශාල පිරිසක් මියයන්නට හෝ තුවාල ලබන්නට ඇතැයි විශ්වාස කරන බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වින්ග්කමාන්ඩර් ජනක නානායක්කාර මහතා පවසයි.
අලිමංකඩ ප‍්‍රදේශයේ සිට ඊයේ දහවල් සිවිල් සාමාන්‍ය වැසියන් 16 දෙනකු පුනරීන්හි නාගතෙවන්තුරෙයි ජැටියට පැමිණ යුද හමුදාවට බාරවී තිබේ. හමුදාව එම වැසියන්ට අවශ්‍ය මූලික පහසුකම් ලබාදී මන්නාරම ප‍්‍රදේශයේ සරණාගත කඳවුරකට යොමුකර තිබේ.

එල්ටීටීඊය තුවක්කු බලයෙන් සිවිල් ජනතාව රඳවන් ඉන්නවා

ජනපති මහින්ද රාජපක්‍ෂ
නිව් ඉන්ඩියන් එක්ස්ප‍්‍රස් පුවත්පත, ඉකුත් බ‍්‍රහස්පතින්දා කොළඹ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා දැක්වූ අදහස් මෙසේ පළකෙරේ.
වත්මන් සංවර්ධනයේ ඉතාම සිත්ගන්නා කරුණකින් මම මේ සම්මුඛ සාකච්ඡාව ආරම්භ කරනවා. ශී‍්‍ර ලංකාවේ ජනවාර්ගික ප‍්‍රශ්නයට යුදමය විසඳුමක් නැති බව ඔබතුමා සඳහන් කර තිබෙනවා. ඔබ මේ ප‍්‍රශ්නය විසඳීමට අදහස් කරන්නේ කෙසේ ද?
ඔබ කියන දේ නිවැරැදියි; ශී‍්‍ර ලංකාවේ වත්මන් ගැටලුවට යුදමය විසඳුමක් නැති බව මම තරයේ විශ්වාස කරනවා. මම දිගින් දිගටම කීවේ මෙයයි. ත‍්‍රස්තවාදීන්ට යුදමය පිළිතුරු දෙන අතර, ශී‍්‍ර ලංකා වාසීන් වෙනුවෙන් දේශපාලන විසඳුමක් ලබාදීමට අප උනන්දු වෙනවා.
නොබෙදු ශී‍්‍ර ලංකාවක සාකච්ඡාමය දේශපාලන විසඳුමකට එළඹීමට අප ඇප කැපවී සිටින බව මම යළිත් අවධාරණය කරන්නට කැමැතියි. දමිළ ජාතිකයන් ඇතුළු සියලුම ජන කොටස්වල අපේක්ෂාවන් පිළිබද මෙහිදී සැලකිල්ලට යොමු කරනවා.
මීට අදාළ දේශපාලනමය කි‍්‍රයාදාමය සර්ව පාක්ෂික කමිටුව විසින් දැනට සකසාගෙන යනවා. මෙය තවදුරටත් ව්‍යාප්ත කරන්න, දෙමළ ජාතික සන්ධානයටත් (ටී. එන්. ඒ) සහභාගි වන ලෙස අප ආරාධනා කළා.
නොබෙදුණු රටක සියල්ලන්ටම සාධාරණය ඉටුකිරීම සඳහා වන ඔවුන්ගේ යෝජනා සහ අදහස් සතුටින් පිළිගැනීමට අප කැමැත්තෙන් ඉන්නවා.
මා බලා ඉන්නේ සර්ව පාක්ෂික කමිටුවේ අවසන් යෝජනාව ලැබෙන තුරුයි. ඒ කමිටුව මා වෙත ඉදිරිපත් කළ අන්තර් යෝජනාව දැනටමත් කි‍්‍රයාත්මක කර අවසන් ත‍්‍රස්තවාදී ග‍්‍රහණයෙන් මුදාගත් නැඟෙනහිර පළාතේ ඡන්දය පැවැත්වූයේ එය පදනම් කරගෙනයි.
ඒ පළාතේ නායකත්වයට අප දමිළ ප‍්‍රධාන ඇමැතිවරයෙක් තෝරාගත්තා. අප දැන් නැඟෙනහිර පළාතට තවත් බලය බෙදාහැරීමට කටයුතු කරගෙන යනවා.
එහි කොටසක් වශයෙන් නැඟෙනහිර පළාතේ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් දමිළ ජාතිකයෙක් පත්කර තිබෙනවා. නැඟෙනහිර පළාතේ අප ලැබූ මේ සාර්ථකත්වය, උතුරු පළාතේත් ඇති කරන්නට අප බලාපොරොත්තු වෙනවා.
කරුණා සහ පිල්ලෙයාන් සමඟ කරන කටයුතු බලාපොරොත්තු වූ තරම් හොඳින් සිදුනොවන බව අපට වාර්තා වී තිබෙනවා.
ශී‍්‍ර ලංකාවේ කටයුතු සහ උතුරු - නැඟෙනහිර යුද්ධය පිළිබඳ උනන්දුවකින් කටයුතු කළ ඔබ, ප‍්‍රධාන අමාත්‍ය චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර මුරලිදරන් (කරුණා) එල්. ටී. ටී. ඊ යේ සාමාජිකයන්ව සිටියදී රජයට විරුද්ධව අවුරුදු ගණනාවක් යුද වැදී සිටි බව දන්නවා විය යුතුයි.
ඔවුන් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා අත්හැර, ඡන්ද කි‍්‍රයාපද්ධතියේ සහ ආණ්ඩුවේ කොටස්කරුවන් බවට පත්වන තරම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගමන් මඟට යොමුවීමම ජයග‍්‍රහණයක්.
එකම පක්ෂයේ නායකයන් දෙදෙනෙක් වෙනස් මත දැරීම, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දක්නට ලැබෙන ප‍්‍රකට දෙයක්. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂවල බොහෝවිට මෙය දක්නට ලැබෙනවා. ඒ නිසා, ඔවුන් නියෝජනය කරන ජනතාවගේ පොදු යහපත උදෙසා, ඔවුන් අතර ඇති මතභේද නිරාකරණය කර ගන්නවා ඇතැයි මම සිතනවා.
යුද කි‍්‍රයාපද්ධතියේ දී සිවිල් වැසියන් මරා දමන බවට තමිල්නාඩුවේ මත පළවී තිබෙනවා. ඔබතුමා මීට ප‍්‍රතිචාර දක්වන්නේ කොහොමද?
මෙය සම්පූර්ණයෙන්ම වැරැදි මතයක් බව මම පැහැදිලිව කියනවා. අපේ යුදමය කි‍්‍රයාපද්ධතිය හුදෙක්ම එල්. ටී. ටී. ඊයට විරුද්ධ එකක්, එය දමිළ ජාතිකයනට විරුද්ධව කෙරෙන්නක් නොවන බව, මම දිගටම කියා තිබෙනවා.
සිවිල් ජනයා අනතුරට පත් නොකරන ලෙසට මම හමුදාවට දැඩි නියෝග දී තිබෙනවා. මේ අතර, එසේ නොවන්නට වගබලා ගැනීමට හමුදාවද උපරිමයෙන් කැපවී කටයුතු කරනවා.
කෙසේ වෙතත්, මේ ගැටුමේ ස්වභාවය නිසා සිවිල් වැසියන්ගේ දේපළවලට හානි සිදුවී ඇති බව මමත් පිළිගන්නවා.
නැඟෙනහිර පළාතේ කළාක් මෙන් ත‍්‍රස්තවාදීන්ගේ ග‍්‍රහණයෙන් මුදාගත් වහාම රජය මේවා නැවත ගොඩනැගීමටත්, ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමටත් කටයුතු කරනවා. ඉදිරි වසර තුන ඇතුළත නැඟෙනහිර පළාත් සංවර්ධනයට රජය ඩොලර් බිලියන 1.8 ක් වැය කරනවා.
කෙසේවෙතත්, එල්. ටී. ටී. ඊ ය අහිංසක සිවිල් වැසියන් තම ආරක්ෂාවට පළිහක් ලෙස යොදා ගන්නවා.
යුද හමුදාව සහ ආණ්ඩුව සපයා ඇති දකුණට පැමිණිය හැකි ආරක්ෂිත ‘කොරිඩෝව’ හරහා වඩා සුරක්ෂිත ප‍්‍රදේශ කරා ඔවුනගේ පැමිණීම එල්. ටී. ටී. ඊ ය වළකා තිබෙනවා.
ගැටුම් පවතින ප‍්‍රදේශවල සිවිල් වැසියන්ගේ ආරක්ෂාව පිළිබඳ උනන්දුව දක්වන දේශපාලන නායකයන්, මෙම කොරිඩෝව හරහා ආරක්ෂිත ප‍්‍රදේශවලට සිවිල් වැසියන්ට පැමිණීමට අවසර දීමට එල්. ටී. ටී. ඊ ය නම්මාගැනීමට කටයුතු කරනවා නම් හොඳයි.
ගැටුම් පවතින ප‍්‍රදේශවලට ප‍්‍රමාණවත් තරම් සහන නොලැබෙන බව තමිල්නාඩුව මැසිවිලි නඟනවා. ඊට පිළියම් යෙදීමට ගෙන ඇති පියවර මොනවා ද?
කවරකුගේ වුවත් සත්‍ය මත පදනම් නොවූ මැසිවිලිවලට ප‍්‍රතිචාරය දැක්වීම අසීරුයි. අභ්‍යන්තරික වශයෙන් අවතැන්වී ඇතැයි මාධ්‍ය කියන සංඛ්‍යාව අතිශයෝක්තියෙන් දක්වා තිබෙනවා.
දැනට ඇති සංඛ්‍යා ලේඛන අනුව අවතැන්වූ සංඛ්‍යාව දළ වශයෙන් ලක්ෂයක් පමණ වනවා.
කිලිනොච්චි සහ මුලතිව් දිස්ති‍්‍රක්ක දෙකේ සහ වවුනියා දිස්ති‍්‍රක්කයේ කොටසක වාසය කරන අය විදින දුක් කම්කටොලු ගැන සලකා, මේ ප‍්‍රදේශවල සිටින සියලුම සිවිල් වැසියන්ට නොමිලේ සහනාධාර ලබාදීමට මම නියෝග කර තිබෙනවා. මේ ආහාර ද්‍රව්‍යවලින් කොටසක් නිසැකවම එල්. ටී. ටී. ඊ ය අතට පත්වන බව මම හොඳින්ම දන්නවා.
මේ වසරේ සැප්තැම්බර් සිට අද දක්වා, අප ආහාර ටොන් 11,058 ක්, ආහාර නොවන ද්‍රව්‍ය ටොන් 598 ක් කිලිනොච්චි සහ මුලතිව් දිස්ති‍්‍රක්කවලට යැව්වා. මේ අතර, මෙම කාලය ඇතුළත, ලෝක ආහාර වැඩසටහන යටතේ මෙම ප‍්‍රදේශවල ආහාර ටොන් 4,370 ක් බෙදා දී තිබෙනවා.
තමිල්නාඩුවේ ජනතාව විසින් එවන ලද ආහාර ද්‍රව්‍ය මෙහි එවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අප ඉන්දීය ආණ්ඩුවට කෘතඥ වෙනවා. මේ සියලුම ආහාර ද්‍රව්‍ය, ගැටුම් පවතින ප‍්‍රදේශවල සිවිල් වැසියන් අතර දැනටමත් බෙදා දී තිබෙනවා.
සරණාගතයන් විශාල වශයෙන් තමිල්නාඩුවට යාම නිසා ගැටලුවක් ඇතිවේදැයි ඔබතුමා සිතනවාද?
සරණාගතයන් විශාල වශයෙන් යන වගක් නම්, මා දන්නේ නැහැ. නිවැරැදි තත්ත්වය මම කියන්නම්. පසුගිය වසරේ නැඟෙනහිර පළාත මුදාගැනීමේ දී අභ්‍යන්තරික වශයෙන් අවතැන්වුවන් 1,70,000 ක් පමණ සිටියා.
දැනට උතුරේ අවතැන්වුවන් 1,00,000 පමණ සිටිනවා. තමිල්නාඩු ප‍්‍රාන්ත රජයේ සංඛ්‍යා ලේඛන අනුව, 2006 ජනවාරි සිට තමිල්නාඩුවට ගොස් සිටින සරණාගතයන් සංඛ්‍යාව 22,800 යි.
මොවුන් අතුරින් 5,429 ක් සිය කැමැත්තෙන්ම ශ‍්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. සරණාගතයින් විශාල වශයෙන් තමිල්නාඩුවට ඇදීනොයන බව මෙයින්ම පෙනී යනවා.
නැඟෙනහිර පළාත මුදාගැනීමෙන් පසුව, තමිල්නාඩුවේ සිටි නැගෙනහිර පළාතේ සරණාගතයන් සමහරෙක් නැවත ශ‍්‍රී ලංකාවට පැමිණීමට කැමැත්තෙන් සිටින බව මට දැනගන්නට ලැබී තිබෙනවා.
එසේ නැවත පැමිණෙන සියලුම සරණාගතයන්ට හැකි සෑම සහයක්ම ලබාදීමට මගේ රජය සූදානම්.
ඔබතුමා ධීවර ඇමැතිවරයා වශයෙන් කලක් කටයුතු කළා. දිනකට තමිල්නාඩු යාත‍්‍රා ඔබගේ මුහුදු සීමාව ඇතුළත ධීවර කටයුතුවල කොතරම් දුරට යෙදෙනවාද කියා ඔබතුමාට කියන්න පුළුවන්ද?
නාවුක හමුදාව සපයා ඇති තොරතුරු අනුව, සාමාන්‍යයෙන් තමිල්නාඩු ධීවර යාත‍්‍රා 500 ක් පමණ දිනකට ශ‍්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුල් වී ධීවර කටයුතුවල යෙදෙනවා.
මෙය කලක සිටම කෙරීගෙන යනවා. මා ධීවර ඇමැතිවරයාව සිටි කාලයෙත් මෙසේ සිදුවුණා. අසල්වාසි රටවල් දෙකක් වන අප දෙරට මෙය මිත‍්‍රශීලිව විසඳ්‍රගත යුතුයි.
එල්.ටී.ටී.ඊ.ය පැහැදිලිවම සටන් විරාමයකට සූදානම්. තමිල්නාඩු මහ ඇමැතිවරයා මෙයට සහාය පළ කරනවා. එහෙත් ඔබතුමා මෙම යෝජනාව ප‍්‍රතික්ෂේප කළා. ඒ ඇයි?
සටන් විරාමයක් ඇතිකරන ලෙස එල්.ටී.ටී.ඊ.ය ඉල්ලා සිටීමට හේතුවී ඇති පසුබිම ඔබ හඳුනාගත යුතුයි. තමන් යුදමය වශයෙන් දුබල වූ විට, සටන් විරාම ඉල්ලා සිටීම එල්.ටී.ටී.ඊ.ය දිගින් දිගටම කර ඇති දෙයක්.
ඔවුනට අලුතින් යුද හමුදාව ලබා ගැනීමට සහ සටන්කරුවන් බඳවා ගැනීමට කාලය අවශ්‍ය වූ විට මෙසේ කරනවා. 2005 නොවැම්බරයේ දී මා ජනාධිපති ධූරයට පත් වූ පසුව මහවිරු දින කථාවේදී එල්.ටී.ටී.ඊ. නායකයා මා “ප‍්‍රඥාගෝචර” නායකයෙක් ලෙස හඳුන්වා දුන්නා. ජනවාර්ගික ගැටලුව විසඳීමට මගේ රජයට එක් අවුරුදු කාලයක් ලබාදෙන බවත් කීවා.
කෙසේ වෙතත්, මා ප‍්‍රඥාගෝචර නායකයෙක්ද යන්න ඔප්පු කිරීමට ඔහු මට සුළු ඉඩ ප‍්‍රස්ථාවක් දුන්නේ නැහැ. එම කථාව පවත්වා සති දෙකක් ඇතුළත ඔහු අපේ හමුදාවට ප‍්‍රහාර එල්ල කළා. අහිංසක සිවිල් වැසියන්ටත් හානි කළා.
මේ අනුවත් අප අතීතයේ ලැබූ වෙනත් අත්දැකීම් පදනම් අනුවත් සටන් විරාමයක් සඳහා වූ එල්.ටී.ටී.ඊ.යේ ඉල්ලීම අවංක එකක් යැයි සිතන්නට බැහැ.
ඊට වඩාත් හේතුවන්නේ එල්.ටී.ටී.ඊ.ය මෙවර ඉල්ලීම කරන්නේත් අපගේ හමුදාව ඔවුන් දැඩිසේ දුර්වල කළ අවස්ථාවක වන නිසයි. එල්. ටී. ටී. ඊ ය වැනි ත‍්‍රස්තවාදී කණ්ඩායමක් සමඟ කටයුතු කළ යුත්තේ යථාර්වාදීවයි.
යුද්ධමය ජයග‍්‍රහණයක් ප‍්‍රකාශයට පත්කිරීමට අවශ්‍ය කොන්දේසි මොනවාද? එය කිලිනොච්චියෙන් අවසන් වනවාද?
මම දැනටමත් කියූ පරිදි, මම යුද්ධමය විසඳුමකට කැමැති නැහැ. කෙසේ වෙතත්, රජයට නීත්‍යානුකූල ලෙස පාවිච්චි කළ හැකි බලය යෙදවීම අනිවාර්ය වී තිබෙනවා.
ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලබාදීමට, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස තෝරාපත්වූ රජයකට එසේ කරන්නට පුළුවන්. ඒ නිසා, කිලිනොච්චිය වැටීම, එම ප‍්‍රදේශයේ ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය භුක්තිවිදීමට ඉඩ සලසන කි‍්‍රයාපද්ධතියේ එක් ඉදිරි පියවරක් පමණයි.
මේ ප‍්‍රදේශවල ජනයා එල්. ටී. ටී. ඊ යේ අමානුෂික කි‍්‍රයාවලින් දුක්ගැහැට විඳී අය. මෙය යුදමය ජයග‍්‍රහණයක් වනවාට වඩා, ප‍්‍රජාතන්ත‍්‍රික නිදහස යළි ලබා දීමක් වෙනවා ඇති. සැබෑ ජයග‍්‍රහණය මෙයයි.
කිලිනොච්චි සහ මුලතිව් ප‍්‍රදේශ වාසීන් සහ සරණාගතයන් ලක්ෂ හතරක් පමණ සිටිනවා යයි මම සිතනවා. මෙවැනි ජනාකීර්ණ ප‍්‍රදේශයක යුද්ධයක් තුළින් මෙම ගැටලුවට විසඳුම් සෙවිය හැකිද? සාමාන්‍ය ජනතාව එල්. ටී. ටී. ඊ යෙන් බැහැර කරවා ගැනීමට සිතන්නේ කවර ආකාරයෙන් ද?
ඔබ සඳහන් කළ සංඛ්‍යා ලේඛන ප‍්‍රශ්න සහගතයි. නමුත් මම ඒ ගැන කථා කරන්නේ නැහැ. සිවිල් වැසියන් එල්. ටී. ටී. ඊ යෙන් බැහැර කර ගත යුතු බව සිතීම වැරැදියි. ඔවුන් එල්. ටී. ටී. ඊ ය ට ඇපකැපවී ඇති බව පෙන්වීමට කිසිම සාක්ෂියක් නැහැ.
එමෙන්ම ඔවුන් එල්. ටී. ටී. ඊ පෝෂණය කළ අයත් නොවේ. වැරැදි සහගත බලාපෙරොත්තු ලබාදුන් නොමග ගිය සුළු පිරිසක් පමණක් තවමත් ඔවුන් සමග ඉන්නට පුළුවන්.
එල්. ටී. ටී. ඊ ය කිසිවිටකත් දමිළ ජනතාව ගේ සැබෑ නියෝජිතයා වුණේ නැහැ. කිලිනොච්චියේ සහ මුලතිව්හි සිටින සුළු පිරිස රඳවාගෙන සිටින්නේ එල්. ටී. ටී. ඊ යේ තුවක්කුවේ බලයෙන්.
එම බලය බිඳ දැමූ පසුව දෙමළ ජාතිකයන්ට නිදහසේ තම නායකයන් තෝරා ගෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාදාමයට එකතුවීමට පුළුවන්. උතුරේ සංවර්ධන වැඩසටහන් කි‍්‍රයාත්මක කිරීමෙන් අප බලාපොරොත්තු වන්නේ එයයි.

උදේ කාන්තා විමුක්තිකාමියා හවසට බීරියට තඩිබානවා

වෑගල ඥානවිමල හිමි - මල්වතු මහා විහාරවාසී නියංගොඩ කුඹුරේගම ශ‍්‍රී ධර්මාලෝක මහ පිරිවෙන්පති
මේ ගත වෙන උඳුවප් මාසය කාන්තාවන්ට සුවිශේෂී කාල පරිච්ඡේදයකි. මෙහෙණි සසුන පිහිටුවීම, ශ‍්‍රී සංඝමිත්තා මහ රහත් මෙහෙණිය සිරිලක වැඩම කිරීම සිදු වූයේද මේ උඳුවප් මාසයේදීයි. නුතන කාන්තාවට බුදු දහම, සමාජය දී ඇති ගරුත්වය වටිනාකම පිළිබඳ කතා කිරීමට අද ධර්ම සභාවට වැඩම කරන්නේ මල්වතු මහා විහාරවාසී නියංගොඩ කුඹුරේගම ශ‍්‍රී ධර්මාලෝක මහ පිරිවෙන්පති වෑගල ඥානවිමල හිමිපාණෝය.
වර්තමාන සමාජය කාන්තා හිංසනය, ගෘහ ප‍්‍රචණ්ඩත්වය, පිළිබඳ බොහෝ සේ කතා වෙනවා. එයින් අපට පෙනෙන්නේ කුමක්දෝ අසාධාරණයක් කාන්තාවට සිදු වී ඇති බවයි. එබැවින් මේ පිළිබඳ සාකච්ඡා කිරීමට පෙර බුදුන් දවස කාන්තාවට තිබූ තත්ත්වය කෙබඳුද යන්න ඔබ වහන්සේගෙන් දැන ගන්නට කැමැතියි.
ඔබගේ මේ ප‍්‍රශ්නයට පිළිතුරු දීමට මත්තෙන් බුදුන් වහන්සේ පහළ වීමට පෙර සමාජයේ කාන්තාවට තිබූ තත්ත්වය පිළිබඳ අපේ අවධානය යොමු කළ යුතු වෙනවා.
ඒ සමාජයේ බමුණන් විසින් සැලකුවේ කාන්තාවක වී ඉපදීම පවා ශාපයක්, පාපයක් නිවසට සමාජයට විනාශයක් හැටියටයි. එදවස කාන්තාවගේ තත්ත්වය ඉතාමත් ඛේදජනක වී තිබුණා.
මූලික මිනිස් අයිතිවාසිකම් කිසිවක් ඇයට හිමි වී තිබුණේ නැහැ. උපන්ගෙයි මරා දමන ලද බිළිඳියන් ගේ ප‍්‍රමාණය කෙතරම් වන්නට ඇද්ද ? තම ස්වාමියා අකලට මිය ගිය කල්හි ඔහු ගේ සෑයට පැන බිරිය ද සිය ජීවිතය අවසන් කරගත යුතු තත්ත්වයක් තිබුණේ.
බුදුන් වහන්සේටත් එක පාරටම මේ තත්ත්වය වෙනස් කිරීමට නොහැකි වුණා. මන්දයත් ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ස්තී‍්‍රය පිළිබඳ ඉහත සඳහන් කළ ආකාරයේ ඛේදජනක තත්ත්වය මිනිස් මනසේ තැන්පත් වී තිබුණු නිසයි.
ස්තී‍්‍රය පවා ඇතැම් විට මේ තත්ත්වය මෙලෙසම පැවැතීමට රුකුල් දී තිබෙනවා. බුදුන් වහන්සේ ක‍්‍රම ක‍්‍රමයෙන් එකී තත්ත්වය වෙනස් කිරීමට උත්සාහ දැරුවේ කාන්තා නිදහස වෙනුවෙන් කතා කරන ලද ලොව පළමු දාර්ශනිකයා බුදුන් වහන්සේයි.
මවක් ලෙස, සහෝදරියක් ලෙස, බිරියක් ලෙස කාන්තාවට කෙසේ ගරු කළ යුතුද කෙසේ සැලකිය යුතුද වශයෙන් සමාජයේ නෙත් පෑදු බුදුන් වහන්සේ කාන්තාව ඉතා ඉහළින් අගය කළා.
සිද්ධාර්ථ කුමාරයා ඉපදී දින හතෙන් මහාමායා දේවිය මිය පරලොව ගියා. මාතෘ දිව්‍ය රාජයා වී ඉපදෙන්නේ මහාමායා දේවියයි.
දෙව්ලොව වැඩි මාතෘ දිව්‍ය රාජයාට ‘විජම් පිටකයෙන්’ ධර්ම දේශනා කරන ලද්දේ සිය මවට කරන උපහාරයක් ලෙසයි.
තමන් වහන්සේගේ සුළු මව වන ප‍්‍රජාපතී ගෝතමිය ගේ ඉල්ලීම පරිදි භික්ෂූණී ශාසනය පිහිටුවීම, සමාජයෙන් ප‍්‍රතික්ෂේප වූ පටාචාරා, රජ්ජුමාලා, කිසාගෝතමී වැනි ස්තී‍්‍රන්ට පිහිටවීම මේ අතර ඉතා වැදගත් වෙනවා.
බුදුන් වහන්සේ කාන්තාව අගය කළ තැන් කිහිපයක් සුත‍්‍ර නිකායේ සඳහන් වෙනවා. ‘මළ මිනියක් – මළ මිනියක් හා විසීම, මළ මිනියක් දෙව් දුවක හා විසීම, දේව පුත‍්‍රයෙක් දෙව්දුවක හා විසීම, දේව පුත‍්‍රයෙක් මළ මිනියක හා විසීම ආදී වශයෙන් පැහැදිලිවම ස්ති‍්‍රය අගය කර තිබෙනවා.
‘නකුල මාතා’ සුත‍්‍රය ද මේ සඳහා දැක්විය හැකි කදිම උදාහරණයක් ‘පතිවත – පතිනි වත’ උදාර මිනිස් ගුණයක් ලෙස සලකමින් ස්තී‍්‍රන්ට සමාජයේ සම තැන දීමට කටයුතු කර තිබෙන්නේ බුදුන් වහන්සේයි.
‘බිරිය නිතරම ස්වාමියාට කීකරුව අවනතව කි‍්‍රයා කරන නමුදු ස්වාමියා නිවසේ ඓශ්චර්යය බාර දෙන්නේ බිරියට. ඔහු ඇයට ගරු සරුව කතා කරයි. අවමන් නොකරයි. විශ්වාසය කඩ නොකරයි.
අභරණ සැරහුම් ලබා දෙයි. අන්න එහෙමයි සිඟාලෝවාද සුත‍්‍රයේ සඳහන් වෙන්නේ. මේවා විප්ලවකාරී අදහස් ලෙස අපට සැලකිය හැකි වන්නේ බුදුන් පහළවන කාලය හා සැසඳීමෙන්.
ඔබ වහන්සේ හිතනවද කාන්තාවට අද ඒ තත්ත්වය තිබෙනවා කියලා ?
අද තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්. අද ස්තී‍්‍රන්ට ගරු කරන සමාජයක් අපට දැක ගැනීමට අපහසුයි. මවුවරුන්ගේ දින, කාන්තා දින, ආදි වශයෙන් දින වෙන්කළාට ඒවා නිකම්ම දින විතරයි.
උදේට කාන්තා අයිතිය රකින්න කියා බෝඩ් එල්ලන සමහර පිරිමි දවස ඉවර කරන්නේ තමන්ගේ බිරියට තඩිබාලා. තරගකාරී සමාජ ආර්ථික දේශපාලන රටාවක් තුළ අම්මා, සහෝදරිය, බිරිය, දියණිය හඳුනන්නේ නැති තත්ත්වයක් උදා වෙලා.
වැඩිහිටි නිවාස අම්මලාගෙන් පිරිලා. වාණිජකරණය වූ සමාජයක ස්තී‍්‍රය හුදු වෙළෙඳ භාණ්ඩයක් බවට පත් වෙලා. ටයර් විකුණන වෙළෙඳ දැන්වීමක පවා ස්තී‍්‍රය පහත් ලෙස යොදා ගෙන. බලන්න කෙතරම් නොගැලපීමක් ද කියලා.
ටයර් සහ ස්තී‍්‍රය අතර මොකක්ද තියෙන සම්බන්ධය. ටයර් එකට ටියුබ් එකක් පෙන්නුවා නම් ඒක තව ගැළපෙනවා. රාග ගින්න හැම තැනම බුර බුරා ඇවිලෙනවා. මව සහෝදරිය දියණිය යැයි නොසලකමින් ඇතැමුන් හැසිරෙන ආකාරය පිරිමි සංහතියටම නිගාවක්.
හැබැයි අධ්‍යාපනය, කී‍්‍රඩා වගේ පැති වලින් කාන්තාව ඉදිරියට ඇවිල්ලා තියෙනවා. එහෙත් ප‍්‍රමාණාත්මක නෑ. ගැඹුරක් නෑ. කාන්තාවට කාන්තාවම නිග‍්‍රහ කරන තත්ත්වයක් අද ඇති වෙලා.
ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල වැඩ කරන කාන්තාවන් මොකද කරන්නේ ? මෙහෙ කාන්තාව ගේ දුක, වේදනාව, පීඩනය ගැන ලියමින් ඡායාරූප ගත කරමින් පිටරට වලට පෙන්නා තමන්ගෙ මල්ල තර කර ගන්න එක විතරයි.
දුප්පත් පවුල්වල කාන්තාවන්ට දරුන්ට ටොෆි බෙදලා විතරක් දුප්පත්කම නැති කරන්න බැහැ. ගමට රටට විතරක් නෙමේ තුන් ලෝකෙටම ඇහෙන්න කෑ ගැහැව්වට දුප්පත් පවුල්වලට සත පහක උදවුවක් කරන්නේ නෑ.
සමහරු වහල් සේවයට කුඩා දරුවන් යොදාගන්නවට විරුද්ධව කතා කරනවා. ගෙදර ගිහින් බැලුවොත් ගෙදර වැඩට ඉන්නේ පොඩි ළමයි.
අපේ රටේ කාන්තාව වෙනුවෙන් පෙනී සිටින සංවිධාන හා ඒ සංවිධාන වල කි‍්‍රයාකාරිනියන් ගේ කතා බහ සහ යෝජනා දෙස බලන විට නම් අපේ රටේ කාන්තාව කෙතරම් ඉහළ තලයක ඉන්න ඕනද ?.
එහෙම නම් මේ තත්ත්වයෙන් මිදෙන්නට පුරුෂ පාර්ශවයට ගත හැකි කි‍්‍රයා මාර්ග මොනවාද ?
මේ තත්ත්වයෙන් ස්තී‍්‍රය මුදවා ගන්නට කි‍්‍රයා මාර්ග රාශියක් ගත යුතු වන්නේ පුරුෂ පාර්ශවයටයි. පිරිමි කල්පනා කරන්න ඕනෑ තම මව දෙස, සහෝදරිය දෙස, දියණිය දෙස බලනා ආකාරයට අවට සමාජයේ සෙසු කාන්තාවන් දෙසද බැලීමට, පිරිමින් තමන්ගේ නෙත, මනස සංවර කර ගත යුතුයි. කාන්තාව යනු දැහැටි කූරු නොවන බව පිරිමි මතක තබා ගත යුතුයි.
කුකරි ක්ලාස් ගිහින් සහතික, ඩිප්ලෝමා, උපාධි ගත්තට, පොල් බෑයක් ගාන්න දන්නේ නැතිව පවුල් ජීවිතේ උසාවියෙන් ඉවර කරගන්නා අයත් ඉන්නවා. ඒ වුණාට ගත්ත සම්මාන ඇවිදිනකොටත් ඇඟේ හැප්පෙනවා.
මෙතැනදී කාන්තාව දුර්වල චරිතයක් ලෙස දැක මේ අරමුණ කරා යා නොහැකියි. අපි සරල අත්දැකීමක් ගෙන බලමු. බස් රථයක ගමන් ගන්නා කාන්තාවන්ගෙන් හතර දෙනෙකුගෙන් එක් අයෙක් කිසියම් ආකාරයක ලිංගික අතවරයන්ට ලක්වෙන බව මේ මෑතක පළ වී තිබුණා.
විශේෂයෙන් පාසල් දැරියන් පවා ඉතා උග‍්‍ර ලෙස මේ අතවර වලට ලක් වෙනවා. හවස ගමන් ගන්නා බස් රථ වල වැඩි පිරිසක් බී ගත්ත පිරිමි. ඉතිං මේ අයත් එක්ක ද අපි ස්තී‍්‍රය ආරක්ෂා කරන්න කතා කරන්නේ. නිරෝගී පිරිමි අය ‘ගැබිනි මවුවරුන්ට වෙන් කළ ආසනයේ පවා අසුන් ගෙන යනවා. ගැබිනි අම්මලා හිටගෙන යනවා.
කාන්තාවගෙ පැත්තෙන් ඔවුන් ගේ කි‍්‍රයා මාර්ග කෙසේ විය යුතු දැයි සඳහන් කළොත් ?
කාන්තාවන් මේ සඳහා දැඩි කි‍්‍රයාමාර්ගයක් ගත යුතු වෙනවා. තමන් විසින්ම වළ කපාගෙන එයට බැස තමන්ම පස් දාගන්න තත්ත්වයකට කාන්තාව අද පත්වෙලා.
විශේෂයෙන් යෞවනියන් තමන්ගේ විලාසිතා පිළිබඳ මීට වඩා සැලකිලිමත් විය යුතුයි. නිතර මවුපිය, ගුරුවර සෙවණේ කල් ගත කිරීමට කටයුතු කළ යුතු වෙනවා.
සිය කැමැත්තෙන් විනාශයට පත් වෙන තත්ත්වයක් නේ අද තියෙන්නේ. දින දෙකේ තුනේ සම්බන්ධතා මත පදනම් වී විවාහ වී පසුව මුළු ජීවිතයම කාලකණ්ණි කර ගන්නවා. දූෂණය වීම එකක්. දූෂණය කර ගැනීම එකක්. මේ තත්ත්ව දෙකම අද දකින්නට ලැබෙනවා.
ඒ නිසා කාන්තාව මීට වඩා අවදියෙන් සිටිය යුතු වෙනවා. අද පන්සලකට විහාරයකට දේවාලයකට ගියත් ඇතැම් තරුණියන් හැසිරෙන ආකාරය හරිම අප‍්‍රසන්නයි.
සමහරු පන්සලට අඳීන ඇඳුම නැවිලා වඳීන්නවත් බැහැ. මොකද අඟලේ රෙදි කෑල්ලක්නේ. ඒකත් දෙකට පළලා. සමහරු නාන්න යන ඇඳුම වගේ ඒවත් ඇඳගෙන පන්සලට එනවා.
බුදුන් ඉදිරියෙත් පෙම් කෙළි. මල් පූජා කරන්නෙත් මේ ප‍්‍රාර්ථනා සඵල කර ගැනීමට මිසක වෙන අරමුණක පිහිටා නොවේ. පෙම්වතියගෙ නම් අකුරු ගණනට හරියන්න මල් තියා පූජා කරනවා.
වයසට හරියන්න මල් තියා පුජා කරනවා. හදවතේ හැඩයට මල් අසුරා පූජා කරනවා. උත්තරීතර පිරිත් නූල පවා අද පෙ‍්‍ර්ම සංකේතයක් ලෙස පාවිච්චි කරනවා.
ඇතැම් තරුණියන් මෙසේ නූල් ගැටගසාගෙන ඉන්නේ තමන්ට පෙම්වතෙක් ඉන්නවාය කියා සංකේතාත්මකව පෙන්නුම් කිරීමට බව සමාජය දෙස විමසුම් ඇසින් බලන කළ පෙනෙනවා.
අද බොහෝ කාන්තාවන් සංස්කෘතිය දන්නේ නැහැ. ඉස්සර කාන්තාවන් දිහා බැලුවම සංස්කෘතිය කියාපානවා. ඒත් අද කාන්තාවන් බුදුන් වඳීන්නෙත් සන්ග්ලාස් දාගෙන. මේව සුපිරි පන්තියේ ඩල්සිලාට, රෝසිලාට. පිංකිලාට විතරයි අවසර තියෙන්නේ. ගමේ මැගිලින් ගේ රොසලින් ගේ දුවලට මේවා ඔට්ටු නෑ.
අපේ සංස්කෘතිය රැකගන්න කාන්තාවන්ගෙන් විශේෂ කැපවීමක් අවශ්‍යයි. විලාසිතා කිරීම අවශ්‍යයි. ඒත් අපේ සංස්කෘතියට ගැළපීම ඉතා අවශ්‍යයි.
කාන්තාවගෙන් මේ සමාජයට වැඩක් වේවිද ?
අද පන්සල් වල පවා පෝය දිනයට වැඩිපුරම දකින්න ලැබෙන්නේ සැදැහැවතියන්. පිරිමි පාර්ශවයට පෝය දිනටත් බැරෑරුම් රාජකාරි. ගමේ මරණාධාර සමිතියේත් බහුතරය කාන්තාවො.
සමෘද්ධි සමිතියේත් කාන්තාවො. මේ තත්ත්වය යටතේ නුතන කාන්තාව සමාජයෙන් පිටමං කළ නොහැකියි. පඩි නොලබා, නිවාඩු නොලබා, ගෙදර දොරේ දරුවන් ගේ ස්වාමියාගේ ඇය කරන වැඩ රාජකාරි ටිකම ගෙන බැලුවත් ඇය මේ සමාජයට කෙතරම් අත්‍යාවශ්‍යදැයි අපට පෙනෙනවා නේද ?.
සංවාද සටහන අයන්ති විතාන