Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Wednesday, December 3, 2008

යෞවන කී‍්‍රඩා තරග ප‍්‍රතිඵල

මීටර් 100 (බාලක – 20න් පහළ) - 01. ආර්. සී. පීරිස් (තත්. 11.3 – කළුතර), 02. සමන් කුමාර (තත් 11.6 - පොලොන්නරුව), 03. ජී. එම්. බී. එස්. පත්මවීර (තත්. 11.7 – ගාල්ල)
මීටර් 100 (බාලිකා - 20න් පහළ) - 01. ජී. ඒ. අයි. එස්. දයානන්ද (තත්. 13.0 – රත්නපුරය), 02. ශලිනි පි‍්‍රයංගිකා (තත්. 13.2 - මොනරාගල), 03. ඊ. ඒ. අයි. ශ්‍යාමලී (තත්. 13.5 – හම්බන්තොට)
හෙල්ල විසිකිරීම (පිරිමි) - 01. ඩී. ජී. එස්. රූපසිංහ (මී. 64.01 – ගාල්ල), 02. කේ. පී. එන්. සිල්වා (මී. 55.04 – කළුතර), 03. ආර්. ජී. ඩබ්. ලක්ෂාන් (මී. 54.50 – පුත්තලම)
මීටර් 10,000 (පිරිමි) - 01. එල්. එල්. ඒ. පී. කුමාර (වි. 35.49.3 – කුරුණෑගල), 02. ඩබ්ලිව්. ඒ. කේ. වීරසිංහ (වි. 36.00.5 – රත්නපුරය), 03. එස්. ඩබ්ලිව්. එස්. ගුණසිරි (වි. 36.05.9 – අනුරාධපුරය)
මීටර් 400 (කාන්තා) - 01. එම්. ජී. ඩී. ඩී. සිල්වා (තත්. 52.1 – නුවර), 02. පුබුදු සම්පත් සිල්වා (තත්. 52.2 – කළුතර), 03. එම්. එම්. අස්මින් (තත්. 54.0 – අම්පාර)
මීටර් 400 (පිරිමි) - 01. ජී. ඒ. එස්. ලක්මිණි (තත්. 63.3 – හම්බන්තොට), 02. කේ. එම්. ඒ. ඩී. කේ. එන්. කුලරත්න (තත්. 63.3 – රත්නපුරය), 03. නිලූකා දුෂාන්ති (තත්. 65.1 – කුරුණෑගල)
යගුලිය දැමීම (කාන්තා) - 01. සොනාලි කුමාරි වීරසේකර (මී. 11.21 - පොළොන්නරුව), 02. ඇන්ජලා අප්පුහාමි (මී. 9.72 – පුත්තලම), 03. කේ. ඒ. නිලන්ති (මී. 8.32 – හම්බන්තොට)
මීටර් 100 (කාන්තා) - 01. කේ. බී. සී. පි‍්‍රයදර්ශනි (තත්. 13.3 – කළුතර), 02. ජේ. එම්. ටී. ආර්. ජයසුන්දර (තත්. 13.9 – කුරුණෑගල), 03. ආර්. නිසංසලා (තත්. 14.0 – වවුනියාව)
මීටර් 5000 (කාන්තා) - 01. ආර්. විග්නේශ්වරි (වි. 21.24.9 – නාගරික තරුණයා), 02. ආර්. කේ. ඒ. එස්. සඳමාලි (වි. 22.13.9 – කුරුණෑගල), 03. එම්. පී. අයි. දිල්රුක්ෂි (වි. 22.26.8 – පුත්තලම)
මීටර් 100 ය 4 (බාලිකා - 20න් පහළ) 01. කුරුණෑගල (තත්. 53.4), 02. නාගරික තරුණයා (තත්. 55.7), 03. ගාල්ල (තත්. 56.3)
මීටර් 100 ය 4 (බාලක – 20න් පහළ) 01. රත්නපුරය (තත්. 45.2), 02. ගාල්ල (තත්. 45.4), 03. කුරුණෑගල (තත්. 45.7)
මීටර් 400 ය 4 (බාලිකා - 20න් පහළ) 01. නුවරඑළිය (වි. 4.32.8), 02. කුරුණෑගල (වි. 4.42.5), 03. නාගරික තරුණයා (වි. 4.53.5)
මීටර් 400 ය 4 (කාන්තා) 01. හම්බන්තොට (වි. 4.24.3), 02. කුරුණෑගල (වි. 4.32.5), 03. බදුල්ල (වි. 5.02.5)

ශ‍්‍රී ලංකා ජයග‍්‍රහණය නියම ජයක්ද?සිම්බාබ්වේ පිල පරාද කළත් අපේ පිතිකරුවන් ආපස්සට ගිහින්

දුර්වල ප‍්‍රතිවාදීන් ඉදිරියේ අත්දැකීම් වැඩි දක්ෂතම පිතිකරුවන් අසරණ වන අයුරු පෙන්වා දුන් ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිල අද පස්වරු 4.15 පෙරලා මවුබිමට එයි.
සංචාරක ශ‍්‍රී ලංකා පිල සිම්බාබ්වේ පිලට එරෙහිව තරග 5කින් සමන්විත වූ එක්දින තරගාවලිය සම්පූර්ණයෙන් ජයගත්තද ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආපස්සට ගමන් කරමින් ඇති බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුයි.
පිතිකරණයේදී ශ‍්‍රී ලංකා පිලේ නායකයා ඇතුළු ඉදිරිපෙළ මුළුමනින්ම අසාර්ථක වෙද්දී සිම්බාබ්වේ ජයග‍්‍රහණ ශ‍්‍රී ලංකා පෙරැළිකාර පන්දු යවන්නන්ගේ ප‍්‍රහාරවලින් උදුරාගත් බව නොරහසකි.
එසේ නොවන්නට එක්දින කි‍්‍රකට් වර්ගීකරණයේ එකොළොස් වැනි ස්ථානයේ සිටින සිම්බාබ්වේ පිල හමුවේ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිල විශාල අසීරුතාවකට ලක්වනු ඇත.
එහෙයින් සිම්බාබ්වේ සමඟ පැවැති කි‍්‍රකට් තරගාවලියේ සියලු ජයග‍්‍රහණවල සම්පූර්ණ ගෞරවය ශ‍්‍රී ලංකා පන්දු යවන්නන්ට පමණක් හිමිවිය යුතුව ඇත.
එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් තරග 288කට සහභාගිවී විශාල අත්දැකීම් ලබා ඇති ශ‍්‍රී ලංකා කි‍්‍රකට් නායක මහේල ජයවර්ධන නිමා වූ සිම්බාබ්වේ තරග සංචාරයේදී තරග දෙකකදී බිංදුවට දැවී ඉනිම 4කදී ලබාගත්තේ ලකුණු 19 ක් පමණි.
කි‍්‍රකට් ලොව අත්දැකීම් වලින් හා පිළිගැනීම් අතින් පහළින්ම සිටින සිම්බාබ්වේ පිලේ සුපිරි වේගපන්දු යවන්නන්, සුපිරි දඟ පන්දු යවන්නන් නොමැතිව සිටියදී ශ‍්‍රී ලංකා නායකයා හා ඉදිරිපෙළ පිතිකරුවන්ගේ ප‍්‍රබල පසුබෑමට හේතු වශයෙන් දක්වන නිදහසට කරුණු කිසිවක් පිළිගැනීමට අවශ්‍ය නැත.
සිම්බාබ්වේ පන්දු යවන්නන් හමුවේ ශ‍්‍රී ලංකා පිතිකරුවන් අධිතක්සේරුවෙන් පිටියට පිවිසීමේ ප‍්‍රතිවිපාක සුළුකොට තැකිය නොහැකිය. සිම්බාබ්වේ පිලට අත්දැකීම් අවම නිසා තරග ජයග‍්‍රහණය කිරීමට අවශ්‍ය උපක‍්‍රම නොතිබීමේ අවාසිය ශී‍්‍ර ලංකා පිලට ලැබුණු හොඳම වාසිය බව අවබෝධ කරගත යුතුය.
සිම්බාබ්වේ පිල අවසන් තරග තුනේදීම ශ‍්‍රී ලංකා පිලට තියුණු තරගයක් ලබාදීමෙන් ශ‍්‍රී ලංකා පිතිකරුවන්ගේ දුර්වලතා ඉස්මතු විය.
තෙවැනි තරගයේදී ශී‍්‍ර ලංකා පිල ලබාගත් ලකුණු 171 ට පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ සිම්බාබ්වේ කී‍්‍රඩකයෝ ලකුණු 166ක් ලබා ජයග‍්‍රහණයේ ආසන්නයට පැමිණියහ.
සිවුවැනි තරගයේදී සිම්බාබ්වේ පිල ලකුණු 146කට මෙන්ඩිස්, තුෂාර හා මුබරක්ගේ පන්දු යැවීමේ දක්ෂතා මත සීමා වුවද ජයග‍්‍රහණයට අවශ්‍ය ලකුණු ප‍්‍රමාණය ඉක්මවීමට ශී‍්‍ර ලංකා කඩුලු 8ක් පූජා කිරීමට සිදුවිය.
මුල් කඩුලු 4ක්ම ලකුණු 55කට බිඳ වැටුණි. ඉදිරිපෙළ කී‍්‍රඩා කළ තරංග උඩවත්ත, සංගක්කාර, කපුගෙදර අඩු ලකුණු වලටද මහේල බිංදුවට කඩා වැටෙද්දී මුබරක් නොදැවී ලකුණු 57ක් ලබා ශී‍්‍ර ලංකා පිලේ ගැලවුම්කරුවා විය.
පස්වැනි තරගයේදී මහේල ආරම්භක පිතිකරුවා ලෙස පිටියට පැමිණ අලුත් අත්හදා බැලීමක් සිදු කළද ප‍්‍රතිඵලය බිංදුවකි. එවිට ද ප‍්‍රථම කඩුලු 4ක් ලකුණු 62කට කඩා වැටුණි.
මෙන්ඩිස්ට කඩුලු නොලැබුණත් සිම්බාබ්වේ පිලට ප‍්‍රබල පීඩනයක් ගෙනදීමද මුරලි හා කුලසේකර සිම්බාබ්වේ පිතිකරුවන් අසරණ කිරීමද ජයග‍්‍රහණයට හේතු විය.
ඒ අනුව ප‍්‍රථම එක්දින තරග දෙක හැරෙන්නට අනෙක් තරග තුනම සිම්බාබ්වේ පිලට ජයගැනීමට වැඩි ඉඩකඩක් තිබූ තරග බව කාගේත් විශ්වාසය විය.
ජයග‍්‍රහණයේ මාවත තවමත් විවර නොවූ සිම්බාබ්වේ කි‍්‍රකට්පිල දක්ෂතා අතින් ඉදිරියෙන් සිටියේය. සිම්බාබ්වේ කී‍්‍රඩකයන්ගේ දක්ෂතා ඔප මට්ටමවී ජයග‍්‍රහණයේ මාවතට ඉතාම මෑතකදී පැමිණෙන බව ශී‍්‍ර ලංකාව සමග තරගවාරයේදී ප‍්‍රබල ඉඟියක් සැපයුවේ ය.
එය මහේල ජයවර්ධන ඊයේ දිනයේ විදෙස් මාධ්‍යවේදීන්ට ද පවසා තිබුණි. එහෙත් වුවමනාවටත් වඩා වැඩි විශ්වාසයක් සිම්බාබ්වේ පිල හමුවේ තබා ගැනීම තමාගේ අසාර්ථකත්වයට හේතුව බවට ඇති මතය මහේල ප‍්‍රතික්ෂේප කෙළේ ය.
“වසර එකොළහකදීම තරගයකට ඕනෑවට වඩා විශ්වාසයකින් මා ගිහින් නෑ.
ලකුණු ලබාගත යුතු බව මා දන්නවා වරද කොතැනද කියා ඉක්මනින් සොයා ගැනීම මට අසීරු නෑ” යනුවෙන් පිතිකරණයේදී අසාර්ථකවූ නායක මහේල පැවැසීය.
මේ මස අගදී ශී‍්‍ර ලංකා පිල බංග්ලාදේශයේදී ටෙස්ට් තරග දෙකකට හා තුන්කොන් එක්දින තරගාවලියකට එක්වීමට නියමිතය.
එහිදී නැවැත සිම්බාබ්වේ පිල ශී‍්‍ර ලංකාවට මුණ ගැසේ. මහේලගේ ප‍්‍රකාශයේ ඇත්ත නැත්ත එදිනට බලාගැනීමට හැකියාව අපට ලැබෙනු ඇත.
සටහන පි‍්‍රන්ස් ගුණසේකර

Tuesday, December 2, 2008

ජනාධිපති පාප්වහන්සේ හමු වී


ඉතාලියේ නිල සංචාරයක නිරත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වතිකානුවේ, දේවධර්මාචාරීන්ගේ පුස්තකාලයේදී පාප් වහන්සේ මුණගැසුණු අවස්ථාව.
ඡායාරූපය - සුදත් සිල්වා

හමුදාවෝ මහ වැසි මැද කොකාවිල් නගරය අල්ලති

චන්ද්‍රිකා පෙරේරා සහ භක්ති ධර්මප‍්‍රිය මෙන්ඩිස්
මහවැසි මැද සටන් වැද සිටින රණවිරුවෝ කොකාවිල් නගරය ඇතුළු ප‍්‍රදේශයේ බලය ඊයේ (1) උදෑසන වන විට සම්පූර්ණයෙන්ම තහවුරු කර ගත්හ. 57 වැනි සේනාංකයේ වැඩබලන සේනාංකාධිපති බි‍්‍රගේඩියර් චාගී ගාල්ලගේ ගේ නායකත්වයෙන් මේ මෙහෙයුම සිදුකෙරිණි.
කොකාවිල් ප‍්‍රදේශය හමුදා අතට පත් වූයේ වසර දහ අටකට පසුව බව හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර පැවැසීය.
57 වැනි සේනාංකයේ සෙබළුන් මෙම ප‍්‍රදේශය අත්පත් කර ගන්නා අවස්ථාව වන විටත් කොකාවිල් ඇතුළු ප‍්‍රදේශයට ධාරානිපාත වර්ෂාව පතිත වෙමින් තිබී ඇත.
කොකාවිල් ප‍්‍රදේශය මෙසේ කොටි ග‍්‍රහණයෙන් මුදාගැනීමෙන් පසු ඒ නවය සැපැයුම් මාර්ගයේද වැඩි ප‍්‍රමාණයක ආරක්ෂාව තහවුරු කිරීමට හමුදා භට පිරිස්වලට හැකිව තිබේ.
ත‍්‍රස්තවාදීන් සිය අවශ්‍යතා ලොව පුරා ප‍්‍රචාරය කළ ‘කොටි හඬ’ ගුවන් විදුලිය පැවැති මේ ප‍්‍රදේශය සම්පූර්ණයෙන්ම මුදාගැනීමෙන් පසු ඔවුන්ට සිය ප‍්‍රචාරක කටයුතු පවත්වාගෙන යාමට නොහැකි වී ඇති අතර තමන්ට අහිමිවන සම්පේ‍්‍රෂණ කුලුන ඉකුත් සතියේදී මරාගෙන මැරෙන කොටි ත‍්‍රස්තවාදීන් විසින් පුපුරුවා හරින ලදී. ඉතිරිවී සිටි ත‍්‍රස්තවාදීන්ට පහර දෙමින් යුද හමුදා භට පිරිස් එම ප‍්‍රදේශය නතු කරගෙන ඇත.
වන්නි ප‍්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමේ යෙදී සිටින පාබල හමුදා මේ වනවිට කිළිනොච්චි නගරය ආසන්නය දක්වා අත්පත් කරගනිමින් ඉදිරියට ගමන් කරමින් සිටින බව යුද හමුදාව පැවැසීය.
කිලිනොච්චි අත්පත් කර ගනිමින් සිටින භට පිරිස්වලට තවදුරටත් බලය තහවුරු කර ගැනීමට ඉතිරිව ඇත්තේ ප‍්‍රධාන වශයෙන් පරන්තන් හා මුලතිව් ප‍්‍රදේශ පමණක් බවද කීය. මේ වනවිට ත‍්‍රස්තවාදීන්ට සිය අවශ්‍යතා සපුරා ගැනීමට තිබූ ගොඩබිම් මාර්ග සියල්ලම පාහේ යුද හමුදාව අත්පත් කරගෙන අවසානය. 57, 58 හා 59 සේනාංක සමඟ 1, 2, 3 කාර්ය සාධක බළකා තවදුරටත් මෙම ප‍්‍රදේශවල බලය තහවුරු කර ගනිමින් ඉදිරියට ගමන් කරති. මේ අතර අක්කරායන්කුලම් සිට කිලෝමීටර් හතහමාරක් පමණ ඊසාන දෙසින් පිහිටි ප‍්‍රදේශයේ ත‍්‍රස්තවාදීන් සැඟවී සිටි ප‍්‍රබල ස්ථාන තුනකට ගුවන් හමුදාව ඊයේ (01) දහවල් පහර දී තිබේ.
මෙම ප‍්‍රදේශයේ ස්ථානගතව සිටි ත‍්‍රස්තවාදීන් ප‍්‍රදේශයේ ආරක්‍ෂාව තහවුරු කිරීමේ යෙදී සිටි 57 වැනි සේනාංක භටපිරිස්වලට ප‍්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ගුවන් හමුදාව මෙසේ පහර දී ඇති බව ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවැසීය.
ජෙට් වර්ගයේ ප‍්‍රහාරක යානා මගින් එදින දහවල් 12.30 ට පමණ එල්ල කළ ප‍්‍රහාරවලින් ත‍්‍රස්තවාදීන්ට බරපතල ලෙස හානි සිදුව ඇති බවට හෙළිව තිබේ.

ප‍්‍රභාට වැලේ වැල් නැතිවූ මෙදා මහවිරු සතිය

මීට වසර කිහිපයකට පෙර නොවැම්බර් 27 දිනය උදා වන තුරු බොහෝ දෙනෙක් බලා සිටියේ මහත් උනන්දුවකිනි. රටට වැදගත්ම දිනය නොවැම්බර් 27 වෙනිදා යැයි සිතූ ඇතමෙක් එය සමාන කෙළේ පාර්ලිමේන්තුවට නව අයවැයක් ඉදිරිපත් කරන දිනයක් ලෙසයි. නොවැම්බර් 27 මෙතරම් වැදගත් යයි බොහෝ දෙනෙකු කල්පනා කරන්නට වූයේ ඇයි ? ඒකට හේතු 3 ක් තිබිණි.
කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන් ගේ උපන් දිනය නොවැම්බර් 26 වෙනිදාට යෙදී තිබීම, කොටි මහවිරු සතියේ ආරම්භක දිනය නොවැම්බර් 27 වෙනිදාට යෙදී තිබීම හා කොටි ත‍්‍රස්තකි‍්‍රයා වලට බියේ එකට සිටි රාජ්‍ය නායකයන් කොන්ද කෙළින්තබාගෙන කි‍්‍රයා නොකිරීම යන කරුණු 3 හේතුවෙන් නොවැම්බර් 27 වෙනි දින ඉතා වැදගත් කොට සැළකේ.
මළවුන්ගේ මාසය
නොවැම්බර් මාසය හැඳින්වෙන්නේ මළවුන්ගේ මාසය ලෙසය. නොවැම්බර් 27 ‘මහාවීර සතිය’ කොටි සංවිධානය විසින් ඒකාලයේ ප‍්‍රකාශයට පත්කරන විට අපේ පාලකයන්ගේ කකුල් ගැහෙන්නට වුහ. කෙතරම් කාලයක් කකුල් ගැහුනද කීවොත් 2005 ජනාධිපතිවරණය දක්වාම කකුල් ගැහෙන්නට වූයේ යූ. ඇන්. පී, ශ‍්‍රී ලංකා බේදයකින් තොරවය.
නොවැම්බර් 27 වෙනි දින මහාවීර සතිය ආරම්භ කරමින් ප‍්‍රභාකරන් කරන කතාව රාජසන කතාවට අපගේ ඇතැම් රාජ්‍ය නායකයන් සමාන කෙළේ කිසිදු හිරිකිතයකින් තොරවයි. ඒ තරමටම ඔවුහු ප‍්‍රභාකරන්ට බිය වී දීන වී සිටියහ. රටේ සියලු කරුණු කාරණා සිද්ධ විය යුත්තේ මේ විරු දින කතාවට අනුව බව සමහරෙක් කල්පනා කරන්නට වූහ. ‘ප‍්‍රභාකරන් මේ පාර කතාවට මොනව කියයිද ? දන්නේ නැහැ. ඒ කතාව අහල තමයි සේරම කරන්න වෙන්නේ’ යනුවෙන් ඇතැම් රාජ්‍ය නායක නායිකාවන් කියා සිටියේ මේ රටේ ඒකීයභාවය තුට්ටුවකට මායිම් නොකරමිණි.
ඉදිරි වර්ෂයේ රජයේ සැලසුම්, සංවර්ධන කි‍්‍රයා, ආරක්ෂක කටයුතු , අන්තර්ජාතික ගිවිසුම් ඇතුළු මේ එකී නොකී සෑම කටයුත්තක්ම සංවිධාන කෙළේ ප‍්‍රභාකරන්ගේ මේ විරුදින කතාවට අනුවය. ඒ තරමටම එදා ප‍්‍රභාකරන්ගේ ගෙරවිල්ලට මේ පිරිස භය බිරාන්ත වූහ.
මහාවීර සතිය
සමහරුන් නොවැම්බර් අවසන් සතියේදී කොළඹ නගරයට පැමිණීමට එතරම් කැමැත්තක් නොදැක්වූයේද මේ විරු සතිය හේතුවෙනි. ප‍්‍රභාකරන්ට මේ සතියේදී හොඳටම කේන්ති යන නිසා පරිස්සමෙන් සිටින ලෙස උපදෙස් ලබාදීමට ද ඇතැම් නක්ෂත‍්‍රකරුවෝ අමතක නොකළහ. මහාවීර සතියේදී ප‍්‍රභාකරන් විශාල වශයෙන් ප‍්‍රහාර එල්ල කර සිංහල ජනතාව මරා දමනවා යන්න බොහෝ දෙනෙක් එල්බ ගෙන තිබූ මතයකි.
ඊට එරෙහිව අපේ රටේ ආරක්ෂක අංශ මෙහෙයවීමට මීට පෙර සිටි එකදු පාලකයෙකුවත් නිවැරැදි ආකාරයෙන් කි‍්‍රයා නොකළ නිසා ‘මහවිරු සතිය’ මහ ඉහළින් සැමරීමට ප‍්‍රභාකරන් හැම අවස්ථාවකදීම කි‍්‍රයා කෙළේය. මේ සතියේදී කොටි සංවිධානයේ චිත්ත ධෙර්ය ඉහළ නැංවීම ප‍්‍රභාකරන්ගේ ප‍්‍රධාන අරමුණ විය. කොටි සංවිධානයට ආධාර ලබා දෙන ලෝකයේ විවිද රටවල සිටින පිරිස් වෙත ඉතා ආකර්ෂණීය පණිවිඩයක් ලබාදීමද මහා විරු දින කතාවේ එක් අරමුණකි.
එසේම කොටි සංවිධානය විසින් බලහත්කාරයෙන් කප්පම් හා මුදල් එකතු කර ගැනීමේ කි‍්‍රයාව වඩාත් සාධාරණීකරණයකට ලක් කිරීමද මහවිරු සතියේ තවත් අරමුණකි. තමන්ගේ වාසියට ගත හැකි උපරිම වාසි ලබාගැනීම සඳහා ප‍්‍රභාකරන් විසින් මහවිරු සතිය සැලසුම් කළ අතර ඊට කොටි හඬ ගුවන් විදුලිය හා කොටි හිතවාදී මාධ්‍ය මගින් විශාල ප‍්‍රචාරයක් ලබා ගැනීමටද කොටි සංවිධානය කි‍්‍රයා කෙළේය.
එහෙත් මෙවර මහා විරු දින කතාව හා මහා විරු දින සතිය පුස්සක් බවට පත් කරමින් ප‍්‍රභාකරන්ට වැලේ වැල් නැති තත්ත්වයක් ඇති කෙළේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව අපේ ආරක්ෂක අංශ විසින් බව කවුරුත් දන්නා කරුණකි. මහවිරු දිනය මහා පුස්සක් බවට පත් කළ කතාව ඓතිහාසිකය. ඒ වගේම රටට ආදරය කරන සියලු දෙනාම දැනගත යුතුයි. ඊට පෙර මහවිරු දින සතියේ ඉතිහාස කතාවට මදක් අවධානය යොමු කිරීම වැදගත් වනු ඇත.
ඉතිහාසය
ප‍්‍රභාකරන් මහාවීර සතිය පවත්වන්න ආරම්භ කෙළේ මීට දහනව වසරකට පෙරය. එනම් 1989 නොවැම්බර් 27 වෙනි දින සිටය. 1982 වසරේදී මිය ගිය ප‍්‍රථම ගරිල්ලා සාමාජිකයාගේ මරණය සිහිපත් කිරීම මුල් කොට ගෙන ඇරඹුණු ‘මහාවීර සතිය’ හරහා ප‍්‍රභාකරන්ට අවශ්‍ය වනුයේ කොටි ගරිල්ලන්ගේ මානසිකත්වය වර්ධනය කිරීමට හා කොටි සංවිධානයට හැකි තරම් ආධාර උපකාර ලබා ගැනීමත්ය.
ඊළාම් අභිප‍්‍රාය වෙනුවෙන් සටන් කොට මිය ගිය සියලු දෙනා සිහිපත් කිරීම සඳහා එක්වන ලෙස ලොව පුරා සිටින දෙමළ ජාතිකයන් ගෙන්ද ප‍්‍රභාකරන් විවෘත ඉල්ලීමක් කෙළේය. ශංකර් මිය ගියේ 1982 නොවැම්බර් 27 වෙනිදාය. එම දිනය සමරමින් 1989 සිට මහාවිරු දින කතාව ප‍්‍රභාකරන් පවත්වනු ලබන්නේ තම සටන්කරුවන් හා ආධාරකරුවන් ඇමතීමටය.
1990 වේදී ප‍්‍රභාකරන් කළ මහා විරු දින කතාවට කොටි හඬ ගුවන් විදුලියෙන් හා ඇතැම් මාධ්‍ය මගින් විශාල ප‍්‍රචාරයක් ලබාදී තිබුණි. මෙහිදී ඔහු ප‍්‍රතිඥා දුන්නේ අරගල කිසිදාක අත්නොහරින බවටය. සෑම එල්. ටී. ටී. ඊ. සාමාජිකයෙකුම ප‍්‍රභාකරන්ගේ කතාවට සවන් දීගෙන සිටියේ මහත් ඕනෑකමකිනි. ප‍්‍රභාකරන් දිගින් දිගටම කියා සිටියේ තම මිය ගිය සගයන්ට කළ හැකි ඉහළම හා එකම උපහාරය වන්නේ ඊළාම් රාජ්‍යය බිහි කිරීම දක්වා සටන් කිරීම යන්නයි.
අනතුරු ඇඟවීම
ප‍්‍රභාකරන්ගේ සෑම විරු දින කතාවකින්ම ප‍්‍රකාශ කර ඇත්තේ කෙසේ හෝ ඊළාම් රාජ්‍යය බිහි කරන බවකි. ඉදිරි වර්ෂයේදී තම සංවිධානයේ කි‍්‍රයාකාරකම් හේතුවෙන් දකුණේ ජනතාවට සිදු විය හැකි හිරිහැර ගැන යම් අනතුරු ඇඟවීමක් කිරීමටද ප‍්‍රභාකරන් අමතක නොකරන්නේ ය. එසේ කියන ලද සමහර කරුණු ප‍්‍රායෝගිකව සිදු කළ අවස්ථාද තිබුණි.
සමහර අවස්ථාවලදී පැවැති රජයන් සමග සිදු කෙරුණු සාම සාකච්ඡා වලින් ඉවත් වීමට යන බවද ප‍්‍රභාකරන් දැනුම් දුන්නේ මහාවීර දින කතාවෙනි. ඔහුගේ වාසියට හැම දෙයක්ම සිදු වෙන විට ප‍්‍රභාකරන් සටන් විරාම, සාම සාකච්ඡා, ගැන වචනයක්වත් කතා නොකරන පුද්ගලයෙකු බව මහා විරු දින කතාවල ඉතිහාසය දෙස බලන විට පෙනී යයි.
එවැනි අවස්ථාවලදී ඔහු කතා කරනුයේ කොටි සංවිධානයේ පුරාජේරුව ගැන පමණකි. අපේ රටේ දුර්වල රාජ්‍ය නායකයන් සිටි කාලවලදී ප‍්‍රභාකරන් විරුදින කතාවෙන් උපරිම ප‍්‍රයෝජන ලබා ගත්තේය. කෙතරම් ප‍්‍රයෝජන ලබා ගත්තේද කියනවා නම් සමහර කතා අසා එවකට සිටි රාජ්‍ය නායකයන් වෙවුලනට විය. මේ අවස්ථාවේදී ප‍්‍රභාකරන් කියා සිටියේ තම ඉල්ලීම් වලට නිසි ප‍්‍රතිචාර නොලැබෙනවා නම් දකුණට අත් විඳීමට සිදු වන ප‍්‍රතිවිපාක වඩාත් බරපතල විය හැකි බවයි.
සමහර අවස්ථාවලදී පවතින ආණ්ඩුවලට විවිධ කොන්දේසි ප‍්‍රභාකරන් ඉදිරිපත් කෙළේද මේ විරුදින කතා හරහාය. ඇතැම් රාජ්‍ය නායකයන්ගෙන් යම් යම් වරදාන, වරප‍්‍රසාද ලබා ගැනීමට ප‍්‍රභාකරන් කි‍්‍රයා කෙළේද මේ විරුදින කතා ඔස්සේය. විරුදින කතා වලින් අන්තර්ජාතික වශයෙන් උපරිම අවධානයක් දිනා ගැනීමටද ප‍්‍රභාකරන් කි‍්‍රයා කෙළේය. ඒ සඳහා වෙනම සංවිධානාත්මක ජාලයක් පිහිටුවීමටද ප‍්‍රභාකරන් කි‍්‍රයා කෙළේ ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල උපකාරයෙනි.
ප‍්‍රභාකරන්ගේ විරුදින කතා සියල්ල හොඳින් අධීක්ෂණයකට ලක් කෙළේ නම් ඇතැම් රාජ්‍ය නායකයන්ට ප‍්‍රභාකරන්ට රැවටෙන්නේ නැතිව මීට වඩා උපායශීලීව කටයුතු කිරීමට ඉඩ තිබුණි. විශේෂයෙන්ම හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහට සටන් විරාමයකට ගොස් ප‍්‍රභාකරන්ගේ අල්ලේ නැටවීමට පෙර ප‍්‍රභාකරන්ගේ විරුදින කතා ගැන අවධානය යොමු කිරීමට ඉඩ තිබුණි.
මං ඊළාම් රාජ්‍ය අත්හැරීමට කි‍්‍රයා කළොත් අපේ සංවිධානයේ ඕනෑම සාමාජිකයෙකුට පුළුවන් වෙඩි තියලා මාව ඝාතනය කරන්න. මං කවදාවත් අපේ සටන පාවලා දෙන්නේ නැහැ. ඒ ගැන සැකයක් ඇති කරගන්න ඉඩ දෙන්න එපා. අපේ ඉලක්කයට යන්න නම් උපාය උපක‍්‍රම අවශ්‍ය වෙනවා. ඒ උපාය උපක‍්‍රම කි‍්‍රයාත්මක කරන විට යම් නම්‍යශීලීභාවයක් දක්වන්න සිදු වුනොත් ඒ සියල්ල කරනුයේ අපගේ යහපත වෙනුවෙන්.
අපගේ ඉලක්ක සපුරා ගැනීමට කරන්න හැකි හැම දෙයක්ම කරනවා. ඒ නිසා මං කියන්නේ ඊළාම් රාජ්‍ය බිහිවෙන දිනය වැඩි ඈතක නොවෙයි. හැමදාම සිංහල නායකයන් කෙළේ අපිව රැවැට්ටීම. මින් පසුව අපි රැවටෙන්නේ නැහැ. අපි කරන්නේ ඔවුන් රැවටීමයි යනුවෙන් ප‍්‍රභාකරන් විරුදින කතා කිහිපයකම කතා කොට තිබුණි.
මේ කතා ගැන හොඳින් අවධානය යොමු කරන ඕනෑම ඔලමොට්ටලයෙකුට වුවත් තේරෙන එක් කාරණයක් ඇත. එනම් ප‍්‍රභාකරන්ගේ අරමුණ කුමක්දැයි යන්නයි. ඔහුට අවශ්‍ය වූයේ කෙසේ හෝ ඊළාම් රාජ්‍යයකට යෑමටය. එම නිසා ප‍්‍රභාකරන් සමඟ කුමන වර්ගයේ සාකච්ඡාවක් පැවැත්වුවාට වැඩක් නැත.
රාජ්‍ය නායක උපාය
සියලු සටන් විරාම, සියලු සාකච්ඡා ප‍්‍රභාකරන් සිදු කරනු ලබන්නේ වෙනම රාජ්‍යයක් දක්වා ගමන් කිරීමටය. තම ඊළාම් රාජ්‍ය අත්හැරියොත් ඕනෑම කෙනෙකුට වෙඩි තබා තමා ඝාතනය කළ හැකි බව ප‍්‍රභාකරන් ප‍්‍රකාශ කරනුයේ ආවාට ගියාට නොවේ. මේ දක්වා ප‍්‍රභාකරන්ගේ උපදෙස් අනුව සටන් කර මිය ගිය කොටි සාමාජිකයන්ගේ සංඛ්‍යාව අති විශාලය.
කළු කොටි කණ්ඩායම්, මරාගෙන මැරෙන කණ්ඩායම්, මුහුදු කොටි කණ්ඩායම් ප‍්‍රභාකරන් ඇති කරන්නේ ඊළාම් රාජ්‍ය දක්වා ගමන් කිරීම කෙටි මාර්ග ඔස්සේ වඩාත් පහසු කර ගැනීමටය. ප‍්‍රභාකරන් දිගින් දිගටම තම ඉලක්ක සපුරා ගැනීම සඳහා මරාගෙන මැරෙන කොටි සාමාජිකයින් එවනු ලබන්නේ
ඔවුන් හොඳටම මුරුංගා අත්තේ තබාගෙන. මෙම කරුණු වලින් ගම්‍ය වන්නේ කොටි සාමාජිකයන් රැවටීමට ප‍්‍රභාකරන් යෙදු උපාය උපක‍්‍රමය. මරාගෙන මැරෙන කොටි සාමාජිකයන් සමග රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයකට සහභාගි වෙන ප‍්‍රභාකරන් ඔවුන් සමඟ සමූහ ඡායාරූපයකටද පෙනී සිටී. මෙසේ හැසිරෙන ප‍්‍රභාකරන්ගෙන් ඊළාම් රාජ්‍යයකට මෙපිට විසඳුමක් බලාපොරොත්තු විය හැකිද ? නොහැක.
මේ යථාර්ථය තේරුම් ගැනීමට වඩාත්ම නොහැකි වූ නායකයා වන්නේ රනිල් වික‍්‍රමසිංහය. ඔහුට පාඩම් ඉගෙන ගැනීමට ඕනෑ තරම් හේතු සාධක තිබුණද රනිල් වික‍්‍රමසිංහ ඒවා කිසිම ගණනකට නොගෙන තම හිතුමනාපයට සටන් විරාම ගිවිසුමක් ඇතිකර ගත්තේය.
සටන් විරාමය
ප‍්‍රභාකරන් අනිවාර්යෙන්ම ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් කි‍්‍රයා කරනවා නම් ඔහු සමඟ අතරමැද ගිවිසුම් වලට යාමෙන් ඵලක් නැත. ඔහු සමග සටන් විරාම ඇති කර ගැනීමෙන්ද ඵලක් නැත. ඔහු සමඟ සාම සාකච්ඡා පවත්වා ද ඵලක් නැත. මේ තත්ත්වයන් නොදැන 2002 පෙබරවාරි 22 වෙනි දින අස්සන් තැබුණු සටන් විරාම ගිවිසුමෙන් මේ රටට සිදු වූ පාඩුව අති මහත්ය.
සටන් විරාමය ඇති කර ගැනීමෙන් පසුව 2002 හා 2003 වසරවලදී ප‍්‍රභාකරන් විරුදින කතාව කෙළේ ඔදතෙද වඩවාගෙනය. විරුදින කතාව හා සැමරුම මහත් උත්කර්ෂවත් අයුරින් පැවැත්වූයේ 2002, 2003 යන වසරවලදීය. කිලිනොච්චිය පුරා සැණකෙළි සිරියක් ගත් අතර විශාල පිරිසක් ඒ සඳහා එක්කර ගැනීමටද කොටි සංවිධානය උපක‍්‍රමශීලීව කි‍්‍රයා කර කෙළේය. කිලිනොච්චිය අවට ප‍්‍රදේශවල පාසල් ළමයින් විශාල වශයෙන් මේ සඳහා සහභාගිකරගෙන තිබුණේ ද බලහත්කාරයෙනි.
පෙළපාළියෙන් පැමිණි පාසල් ළමයින්ට යුද මානසිකත්වයක් ඇති කිරීමට කොටි සංවිධානය කි‍්‍රයා කර තිබූ අතර පාසල් ළළමයින්ට ප‍්‍රභාකරන්ගේ විශාල ප‍්‍රමාණයේ ඡායාරූපද බෙදා දී තිබුණි. යුද මානසිකත්වය ඉහළ නැංවීම සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධී ආකාරයෙන් පැවැත්වෙන මෙවැනි සැමරුම් උත්සව වලට පාසල් ළමුන් සහභාගි කර ගැනීම යුක්ති සහගත නොවේ. ඊට අමතරව මුදා නොගත් ප‍්‍රදේශවල රජයේ හා පෞද්ගලික ආයතන වල කාර්යය මණ්ඩලවලටද මහවිරු දින සැමරුමට සහභාගි වන ලෙස නියෝග කොට තිබුණි.
ඔවුන් මහවිරු දින සැමරුමට සහභාගි වූයේ මරණයට ඇති බිය නිසා මිසක කිසිදු කැමැත්තකින් නොවේ. මීට පෙර පැවති මහවිරු දින සැමරුම් විවේචනය කළ පිරිස් හා ඊට සහභාගි නොවූ පිරිස් වලට කොටි සංවිධානය ප‍්‍රතිචාර දැක්වූයේ තුවක්කු බටයෙනි.
මාධ්‍ය ප‍්‍රචාර
2002, 2003 වසරවලදී මහවිරුදින සැමරුම් උත්සවය සඳහා විශාල ප‍්‍රසිද්ධියක් ලබාදීමටද එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කි‍්‍රයා කෙළේ කැමැත්තෙන්ද නැත්නම් නොකර බැරි නිසාද කියා දන්නේ ඔවුන්ම පමණි. රාජ්‍ය මාධ්‍ය ඇතුළු පෞද්ගලික විද්්‍යුත් මාධ්‍ය රැසකින්ද ඒ වගේම පුවත්පත් රැසකින්ද මහා විරු දින කතාවට ඉතා ඉහළ ප‍්‍රසිද්ධියක් ලබා දී තිබුණි. ප‍්‍රභාකරන් දෙමළ ජනතාවගේ නියම වීරයෙකු කිරීමට මෙම මාධ්‍ය වාර්තා සකස් වී තිබුණි.
හැකිනම් ඇතැම් මාධ්‍ය මහාවිරුදින කතාව සජීවී ලෙස වාර්තා කිරීමටද සූදානම් වී සිටි බව රහසක් නොවේ. ඒ වගේම ප‍්‍රභාකරන්ගේ විරුදින කතාවට අන්තර්ජාතික ඉහළ ප‍්‍රසිද්ධියක් ලැබුණේද මේ වසර දෙක තුනේදීය. වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටන් වදින ප‍්‍රභාකරන්ගේ මේ කතා වලට මේ තරම් ප‍්‍රසිද්ධියක් ලබා දුන්නේ කාගේ වුවමනාවකටද යන්න අදටත් ගැටලුවකි.
සටන් විරාම ගිවිසුමක් ඇති කරගෙන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමඟ කොටි සංවිධානය සාකච්ඡා කෙළේ එක්සත් ශ‍්‍රී ලංකාවක් ෆෙඩරල් විසඳුමක් යටතේ මේ ගැටලුව විසඳ්‍ර ගැනීමටය. එවැනි අරමුණක් සඳහා සාම සාකච්ඡා එක් පැත්තකින් පැවැත්වෙන අතරතුර තවත් පැත්තකින් මහවිරු සැමරුම් පැවැත්විණි.
එහෙත් මේ සිද්ධිවලදී කොටි සංවිධානයේ දෙබිඩි පිළිවෙත ගැන ඕනෑ තරම් ප‍්‍රශ්න වූවද එවකට පැවති ආණ්ඩුවේ නායකයන් සිටියේ ඇස් කන් පියාගෙනය. කොටි සංවිධානයේ දෙබිඩි පිළිවෙත ගැන ප‍්‍රශ්න කළ යුතු ප‍්‍රධානතම සිදුවීම් 2 ක් මහවිරු දින
සීමා සිතියම්
සැමරුම් උත්සවලදී සිදු විය. ඊළාම් රාජ්‍යයේ සීමාවන් දැක්වෙන විශාල ප‍්‍රමාණයේ සිතියම් ගණනාවක්ම මෙහිදී ප‍්‍රදර්ශනය කෙරිණි. පෙළපාළි එන අතරතුරේදී පාසල් ළමුන් කෑ ගසමින් කියා සිටියේ ඊළාම් රාජ්‍යයේ නායකයාට ජය වේවා යි යනුවෙනි. එක්සත් ශ‍්‍රී ලංකාවක කි‍්‍රයාකරනවා නම් මෙසේ වෙනම රාජ්‍යයක් ගැන විරුදින සැමරුම් උත්සවයේදී ප‍්‍රභාකරන් කතා කෙළේ ඇයිද ? කියා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ කිසිවෙකුත් ප‍්‍රභාකරන්ගෙන් හෝ කොටි සංවිධානයෙන් ඇසුවේ නැත.
මෙමගින් ප‍්‍රභාකරන්ගේ දෙබිඩි පිළිවෙත තේරුම් ගැනීමට හැකි වූයේ නම් කෙතරම් වටින්නේද ? සාම මන්තරය කෙතරම් ජප කළත් ප‍්‍රභාකරන්ගේ අරමුණු වෙනස් වී නොමැති බව තේරුම් ගැනීමට නොහැකි වීම නිසා කොටි සංවිධානය ශක්තිමත් වූවා වාගේම එක්සත් ජාතික පක්ෂයද දේශපාලන වශයෙන් අන්ත පරාජයට පත් විය.
ඊළාම් රාජ්‍යයක් වෙනුවෙන් සියලු ත‍්‍රස්ත කි‍්‍රයා සිදුකැරමින් වසර ගණනාවක් අපේ ඇතැම් රාජ්‍ය නායකයන් අල්ලේ නටවමින් ගෙරෙව්ව ප‍්‍රභාකරන් කෙඳිරි ගෑමට පටන් ගත්තේ 2005 වසරේ සිටය. එම කෙඳිරිගෑම ප‍්‍රභාකරන් පටන් ගන්නේ ඔහුගේ දෙබිඩි පිළිවෙත මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වඩා හොඳින් තේරුම් ගෙන තිබූ නිසාය.
ප‍්‍රභාකරන් විරුදින සැමරුම් වලදී කෙතරම් ගෙරෙව්වද ඉන් එකකටවත් ජනාධිපතිතුමා බිය වූයේ නැත. 2005 ජනාධිපතිවරණයෙන් පසුව සාම සාකච්ඡාවලට පිවිසෙන ලෙසට ජනාධිපතිතුමා ආරාධනා කරද්දී ප‍්‍රභාකරන් පිළිතුරු ලබා දුන්නේ කැබිතිගොල්ලෑව, දිගම්පතන ප‍්‍රදේශවල බෝම්බ පුපුරුවා ජනතාව ඝාතනය කරමිනි.
ක‍්‍රීඩාංගණය
කොටි සංවිධානය මේ වන විට අන්ත පරාජයක් අත් කර ගනිමින් සිටී. මෙවර විරුදින සැමරුමද පුස්සක් වූ අතර පසුගිය වසරවල විරුදින සැමරුම් උත්සව පැවැත්වූ කී‍්‍රඩාංගණයද මේ වන විට ආරක්ෂක අංශ යටතේය. එම නිසා ප‍්‍රභාකරන්ට විරුදින කතාව පැවැත්වීමට වෙනත් තැනක් සොයා ගන්නට සිදුවූ අතර විරුදින කතාවක් පැවැත්වූවද නැත්නම් පරණ කතාවක් සකස් කොට ප‍්‍රචාරය කළාද කියාත් සැකයක් පවතී.
එළිමහනට වී කොටි ගෙරවිලි කරමින් විරුදින කතා කළ ප‍්‍රභාකරන් මෙවර විරුදින කතාව පැවැත්වූයේ බිං ගෙයක සැඟවී කෙඳිරිගාමින්ය. ප‍්‍රභාකරන් දැන් කෙඳිරිගාමින් ඉන්නේ ඔහුට ගොක් කොළ පෙනෙන නිසාය. විදෙස් රටවල සිටින දෙමළ ජනතාවට ප‍්‍රභාකරන් අඬ අඬා ප‍්‍රකාශ කියන්නේ යහමින් මුදල් හදල් එවන ලෙසටය.
අරන්තලාවේදී මහා සංඝරත්නය එක පෙළට තියා ඝාතනය කළ ප‍්‍රභාකරන්ට බුද්ධාගම ප‍්‍රථම වරට මතක් වී තිබෙන්නේ මෙවර විරුදින කතාවේදීය. ප‍්‍රභාකරන් මෙතරම් වැටුණු විරුදින සැමරුමක් ඉතිහාසයේ තිබීනැත. ඔහු වඩාත් බලු වූයේ වන්නියේ දෙමළ ජනතාව ද කිසිම සැමරුම් උත්සවයක් සඳහා සහභාගි නොවීමෙන්ය. අඩුම ගණනේ කඩ සාප්පු වසා දමා කළු කොඩි එසවීමට ද ඔවුහු කි‍්‍රයා නොකළහ.
මෙවර රාජ්‍ය මාධ්‍ය ඇතුළු මාධ්‍ය මගින්ද කොටි නායකයාගේ ප‍්‍රකාශයට ප‍්‍රසිද්ධියක් ලබා නොදුන්නේය. කොහේවත් යන ත‍්‍රස්තවාදී නායකයෙකුගේ කතාවලට ප‍්‍රසිද්ධියක් ලබාදීමට කිසිදු වුවමනාවක් නැත. මේ කරුණු හේතුවෙන් ප‍්‍රභාකරන් ලෝකයෙන් ඈත් වී දෙමළ ජනතාවගෙන් ඈත් වී බිං ගෙයක කොටු වී සිටී. සමහර විට ප‍්‍රභාකරන් ගේ අවසන් විරු දින කතාව පසුගිය 27 වෙනිදා සැඟවී සිට කළ කතාව වීමට බොහෝ දුරකට ඉඩ ඇත.
- ජනතා මිත‍්‍ර

අන්තර්ජාතික මානව හිමිකම් කොමිසමේ ශාඛාවක් මෙහි පිහිටුවීමට අවශ්‍යතාවක් නෑ- ඇමැති මහින්ද සමරසිංහ

දයා පෙරේරා, දුමින්ද ගුරුගේ, සහ ස්වර්ණා විජේකෝන්
අන්තර්ජාතික මානව හිමිකම් කොමිසමේ ශාඛාවක් ශ‍්‍රී ලංකාවේ විවෘත කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ආපදා කළමනාකරණ හා මානව හිමිකම් ඇමැති මහින්ද සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (01) ප‍්‍රකාශ කෙළේ ය.
ඇමැතිවරයා එසේ ප‍්‍රකාශ කෙළේ එම අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳව අයවැය කාරක සභා අවස්ථාවේ සාකච්ඡාවට එක් වෙමිනි.
වේත‍්‍රධාරි අනිල් පරාක‍්‍රම සමරසේකර මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසු කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඊයේ (01) පෙරවරු 9.30 ට රැස්විය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්තී‍්‍රවරුන් අසල ලද ප‍්‍රශ්න සඳහා ඇමැතිවරුන් පිළිතුරු ලබාදුන්හ.
විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) කාරක සභා අවස්ථාවේ සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තුව කාරක සභාව වශයෙන් රැස්විය.
නැවත පදිංචි කිරීම් ආපදා සහන සේවා සහ ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍යාංශවල වැය ශීර්ෂ ඊයේ (01) සාකච්ඡාවට ගැනුණි.
ගම්පහ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර දොස්තර ජයලත් ජයවර්ධන මහතා (එජාප) - මේ අමාත්‍යංශවල වැය ශීර්ෂයන්ගෙන් රුපියල් දහය බැගින් කපා හැරීමට යෝජනා කරනවා.
එදා අප මේ ඇමැති ධූරයේ කටයුතු කරද්දී අවතැන් වූවන් පිළිබඳ නිරත්තර අවධානයෙන් සිටියා. විදේශයන්හි අවතැන් වන පුද්ගලයන් සම්බන්ධයෙන් ගතයුතු පියවර ගැනීමට තානාපති කාර්යාල දැනුවත් කර තිබුණා.
උතුරු-නැගෙනහිර ප‍්‍රදේශවල අවතැන් වූ පුද්ගලයන්ට සහන සැලසීමට එම ප‍්‍රදේශවල ආයතන පිහිටුවා තිබුණා. අන්තර්ජාතික සහාය ලබාගෙන මේ කටයුතු සිදුකළා. නැවත පදිංචි කිරීමේ කටයුතු ද විධිමත් අයුරින් සිදු කළා. ජනතාව නැවත පදිංචි කිරීම සඳහා එම ප‍්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීම ඇරැඹුවේ අපියි.
දේශපාලන සරණාගතයන් වශයෙන් මිලියනයක පමණ ජනතාවක් ලොවපුරා විවිධ රටවල සිටිනවා. මෙයින් ලක්ෂ දෙකක් පමණ සිටින්නේ දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ තමිල්නාඩුවේ සිටින මේ ද්‍රවිඩ සරණාගතයන්ට සහන සැලසීමට අපටත් හැකි වුණා.
මුලතිව්, වවුනියා ප‍්‍රදේශවල අද විශාල පිරිසක් අවතැන්ව සිටිනවා. මේ දිනවල ඒ ප‍්‍රදේශයේ කාලගුණ තත්ත්වය නිසා ඔවුන් තවත් අසරණ වෙලා. ඔවුන්ට සහන සැලසීම රජයේ වගකීමක්. රටේ මානව හිමිකම් ආරක්ෂා විය යුතුයි. ජනතාවගේ මානව හිමිකම් වෙනුවෙන් විපක්ෂයේ සිටියදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් කතා කළා. අද මමත් කතා කරන්නේ ජනතාවගේ මානව හිමිකම් වෙනුවෙන්.
නැවත පදිංචි කිරීමේ හා ආපදා සහන සේවා ඇමැති රිෂාඩ් බද්යුද්දීන් මහතා - අපගේ අමාත්‍යංශය, අවතැන් වූවන් වෙනුවෙන් කටයුතු කරනවා. එමෙන්ම අමීර් අලි ඇමැතිවරයා යටතේ ආපදා සහන සේවාවන් ඉටු කෙරෙනවා.
මේ කි‍්‍රයාවලිය පැය 24 පුරාම සිදුකෙරෙනවා. ඒ වගේම මඩකළපුවේ පවුල් 35510 කට අයත් එක්ලක්ෂ විසිපන්දහසක් නැවත පදිංචි කළා. ති‍්‍රකුණාමලයේ පවුල් 25000 කට අයත් හැත්තෑපන්දහසකට අධික පිරිසක් පදිංචි කළා.
මන්නාරම ප‍්‍රදේශයේ අවතැන් වූ ජනතාවත් නැවත පදිංචි කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. ඒ වගේම අවතැන් වූවන් සිටින කඳවුරුවලට අවශ්‍ය මූලික පහසුකම් මෙන්ම ඒ ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් සෞඛ්‍ය , අධ්‍යාපනය ආදිය කෙරෙහිත් වැඩි අවධානයක් අපි යොමු කර තිබෙනවා.
විශේෂයෙන් ම උතුරෙන් පළවා හැරි මුස්ලිම් පවුල් 20000 ක් වෙනුවෙන් පුත්තලමේ වෙන ම ලේකම් කාර්යාලයක් ස්ථාපිත කර තිබෙනවා.
(රේණුකා හේරත් මහත්මිය මූලාසනයට පැමිණියාය.)
ත‍්‍රස්තවාදී කි‍්‍රයා හේතුවෙන් මරණයට පත්වූවන් හා තුවාල ලැබූවන් වෙනුවෙන් වන්දි හා ණය ලබාදීමත් නැවත පදිංචි ලේකම් කාර්යාලය හරහා සිදුවෙනවා. මෙම ලේකම් කාර්යාලය 2002 දී ආරම්භ වුණා. අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේදී ඔවුන්ගේ මූලික පහසුකම් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. ඒ වගේම මේ ප‍්‍රජාව සංවර්ධනය සඳහාත් දායක කර ගන්නවා.
එමෙන්ම අවතැන් වූවන් වෙනුවෙන් පුත්තලමේ නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට යෝජිතයි. ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 34 ක ණය මුදල් ලැබී තිබෙනවා.
අවතැන් වූ හාරලක්ෂ පහළොස් දහසකට අධික ජනතාවකට වියළි ආහාර පසුගිය දිනවල ලබාදුන්නා ඒ වෙනුවෙන් මිලියන 1300 ක් වෙන්කර තිබෙනවා.
මම සුළු නියෝජිතයෙක්. අපගේ මුස්ලිම් ජනතාව ලක්ෂයකට අධික පිරිසක් අවතැන් වී සිටිනවා. යුද්ධයකින් අවසානයේදී ඉතිරිවන දෙයක් නෑ. නමුත් පවතින තත්ත්වය නිසා අකමැත්තෙන් වුවත් රජය යුද්ධයකට අවතීරණය වී සිටිනවා.
යුද්ධයෙන් අවතැන් වන හෝ මියයන අත්පා අහිමි වන සියලු දෙනා අපගේ රටවැසියන්. ඒ නිසා මේ කුරිරු යුද්ධයකට විරාමයක් තැබිය යුතුයි. ඒ නිසා මේ ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් කරා අප සැවොම එක්විය යුතුයි. ඒ වෙනුවෙන් සුළු ජාතිකයෙක් ලෙස සියලු දෙනාගෙන් සහාය දෙන ලෙස මම ඉල්ලා සිටිනවා.
මේ ජනවාර්ගික ගැටලුව විසැඳීමට අප සැවොම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය විය යුතුයි. සියලු දෙනා බෙදී වෙන් වී නොසිට එක්විය යුතුයි. ඇතැම් අය විසින් සිංහල හා දෙමළ ජනතාව අතර සදාකාලික වෙරයක් ඇති කිරීමට උත්සාහ දරනවා. සමහරු මේවායින් වාසි ගන්නට උත්සාහ කරනවා.
ඉස්ලාමිය ජනතාව සෑම මොහොතක ම සාමය අපේක්ෂා කළ යුතුයි. ඉතිහාසයේ සිට ඒ බව දක්නට ලැබෙනවා. අපේ මුස්ලිම් මුතුන් මිත්තන් දෙමළ සිංහල කාන්තාවන් සමඟ පවා විවාහ වී සිටිනවා. නමුත් මෙවැනි ඉතිහාසයක් ගැන නොදන්නා ඇතැම් අය වෙනත් මත ප‍්‍රචලිත කිරීමට දරන උත්සාහයන් හෙළා දැකිය යුතුයි.
මේ රටේ ඉතිහාසය ගැන හරියාකාරවම කතා කරනවා නම් මේ රටේ අයිතිය හිමිවන්නේ මහියංගනයේ ආදිවාසීන්ට. එහෙම නැතිව මේ රටේ අයිතිය ඔබටවත් මටවත් නෙවෙයි හිමිවන්නේ. උතුරේ ජීවත් වූ මුස්ලිම් ප‍්‍රජාව පළවා හැරී වෙලාවේ ඔවුන්ට අත දුන්නේ මේ රටේ දකුණේ සිංහල ජනතාවයි. පුත්තලම හා කුරුණෑගල ප‍්‍රදේශවල මේ ජනකොටස් පදිංචි කරවීමට හැකිවුණා. විශේෂයෙන් ම එහෙම උදවු කළ සිංහල ප‍්‍රජාවට අපගේ ප‍්‍රණාමය හිමිවිය යුතුයි.
ඒ වගේම මේ රටේ ජාතික ගැටලුවට නිශ්චිත විසඳුමක් ලැබුණ වහාම ඔවුන්ගේ සියලු අයිතිවාසිකම් සමඟම ඔවුන් ජීවත් වූ බිම්වලම පදිංචි කරවීම අපගේ අරමුණයි.
මුස්ලිම් ජන සමාජය, මුස්ලිම් ප‍්‍රජාව ගැන වැරැදි මත ඇති කරන්නට හදන දේශපාලකයන් දෙස අපගේ ජනතාව බලන්නේ දැඩි පිළිකුලෙන්. අන්තර්ජාතිකව කි‍්‍රයාත්මක වන ත‍්‍රස්තවාදය අද ලෝකයටම ප‍්‍රශ්නයක් බවට පත්වෙලා. ඒ නිසා මේ ත‍්‍රස්තවාදය අවසන් කළයුතුයි. ඒ වෙනුවෙන් අප සියලු දෙනාම එක්ව කටයුතු කළ යුතුයි.
ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ආර්. සම්බන්ධන් මහතා (දෙජාසං) - මෙරට නිදහස් අරගලයේදී දෙමළ, මුස්ලිම් ජනකොටස් එක්ව කටයුතු කළා. අතීතයේ සිට දෙමළ ජනතාව සතු ස්වයං තීරණ අයිතිය අහිමිකර තිබෙනවා. ඒ නිසයි මේ අර්බුදය මෙතෙක් දුර පැමිණියේ.
ආපදා සහන සේවා ඇමැති අමීර් අලි මහතා - සම්බන්දන් මහතාගේ සමහර කරුණු ගැන මා එකඟ නැහැ. මෙය මානව දයාවෙන් කටයුතු කරන අමාත්‍යංශයක්. ජනවාර්ගික තත්ත්වයෙන් ඔබ්බට ගොස් මානව දයාවෙන් අමාත්‍යාංශය ප‍්‍රශස්ත සේවයක් ඉටුකළා.
විශේෂයෙන් නැඟෙනහිර මුදාගත් අවස්ථාවේ ඒ මිනිසුන් මුහුණ දී සිටි තත්ත්වය දැකගත්තා. අමාත්‍යංශය ඉතා සුහදශීලීව කටයුතු කරනවා. මානව හිතවාදීව උනන්දුවෙන් කි‍්‍රයා කරනවා. උතුරේ ගංවතුරෙන් පීඩා වූ ජනතාවට උපරිම සේවය කරනවා. යාපනය කලාපයේ පිරිසක් පීඩාවට පත්වූ අතර නවයක් මියගියා.
(එස්. කනකසබේ මහතා මුලසුනට පැමිණියේය.)
අමීර් අලි මහතා - ප‍්‍රථම අදියර වශයෙන් සහන සඳහා රුපියල් කෝටියක මුදලක් දිසාපතිට යැව්වා. නොවැම්බර් හා දෙසැම්බර් රටපුරා ආපදා සිදුවන මාස ලෙස සළකා මුදල් වෙන්කර තබනවා.
මුතුර්හි මුස්ලිම්වරුන්ගේ ඝාතන ගැන කවුරුත් හඬ නැගුවේ නැහැ. උතුරේ මුස්ලිම්වරුන් ලක්ෂයක් එක් රැයකදී පළවා හැරියා. නැඟෙනහිර මායිම් ගැන ගැටලුවේ දී දෙමළ හා මුස්ලිම් ජනතාව ගැන ප‍්‍රශ්න පිළිබඳ ව අවධානය යොමුවිය යුතුයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කතා කරන ටී. එන්. ඒ. මන්තී‍්‍රවරු මේ ගැන අවධානය යොමු කළ යුතුයි.
නැඟෙනහිර නායකයන් දෙදෙනෙකු ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිගෙන තිබෙනවා. සම්බන්ධන් මහතා කිව්වා ආපදාවන්ට ලක්වූවන්ට අප වන්දි දෙන්නේ නෑ කියලා. ඒක බොරුවක්. ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයේ 146 දෙනෙකුට අප වන්දි ලබාදී තිබෙනවා.
අනෙකුත් දිස්ති‍්‍රක්කවලත් අප වන්දි දීලා තිබෙනවා. යාපනය නගරය අල්ලන්නටත් කලින් අපේ අමාත්‍යංශය අවශ්‍ය පහසුකම් සැලසුවා. අනෙකුත් දිස්ති‍්‍රක්කවලත් ආපදා සහන සේවා කටයුතු ක‍්‍රමවත් ව සිදුවෙනවා.
යුද්ධයකට වඩා සාමය දැකීම අසීරුයි. අද සන්නද්ධ නායකයන් රැසක් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පිවිසී තිබෙනවා. අනෙකුත් සන්නද්ධ පිරිස්වලටද අප කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිගන්නා ලෙසයි. සර්ව පාක්ෂික සමුළුවට පැමිණි ප‍්‍රශ්න පිළිබඳ සාකච්ඡා කරමු. ආයුධ යොදවා ලබාගත හැකි දෙයක් නෑ.
උතුරෙන් පලවා හරින ලද පුද්ගලයන් ලබන වසර ඇතුළත එම දිස්ති‍්‍රක්කයේ පදිංචි කරනවා. අප සියලුදෙනා එක් ව මේ කටයුතු සිදුකරමු. ජනාධිපතිවරයා අපට විශාල ශක්තියක් ලබා දෙනවා.
ගාල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර අජිත් කුමාර මහතා (ජ.වි.පෙ.) - මිනිසා ගේ ජීවත්වීමේ අයිතියේ සිට ආහාර, නිවාස, අධ්‍යාපනය ඇතුළු අනෙකුත් සියලු අවශ්‍යතා මානව හිමිකම් වෙනවා. මේ මානව හිමිකම් සුරැකීම රජයේ වගකීමයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් ව ඇති මානව හිමිකම් සම්බන්ධ කරුණු පවා අද ආරක්ෂා වෙනවද?
ග‍්‍රාමීය කර්මාන්ත නියෝජ්‍ය ඇමැති පේ‍්‍රමලාල් ජයසේකර මහතා - ස්වභාවික ව සිදුවන ආපදා වැළැක්වීමට මොනව රජයකටවත් හැකියාවක් නැහැ. සුනාමියත් ඒ වගේමයි.
එවැනි ආපදා ඇති වූ හැම අවස්ථාවක දී ම රජයක් වශයෙන් මැදිහත් වෙනවා. සුනාමියෙන් ආපදාවට ලක් වූවන්ට තවම සහන සලසා නැතැයි අජිත් කුමාර මන්තී‍්‍රවරයා කිව්වා. එහෙත් එය අසත්‍යයක්. සුනාමියෙන් ආපදාවන්ට ලක්වූවන්ට රජය උපරිම වශයෙන් සහන සැලසුවා. විදේශ ආධාර ඇති ව මේ කටයුතු සිදුකළා.
මා නියෝජනය කරන රත්නපුර දිස්ති‍්‍රක්කයත් නිතර ආපදාවන්ට ලක්වන ප‍්‍රදේශයක්. නිතර නිතර ගංවතුර ගලා ජනතාව පීඩාවට ලක් වෙනවා. මේ සෑම අවස්ථාවකදී ම රජය වශයෙන් මැදිහත්ව ජනතාවට සහන සලසනවා. ගංවතුර නිසා කැඩී බිඳී ගිය පාලම් බෝක්කු පිළිසකර කිරීමටත් කි‍්‍රයා කරනවා.
එදා ජනතාව ගේ හැඳුනුම්පත් එකතු කළ, තරුණයන් ගේ බෙල්ල කපා කඳ සහ බෙල්ල තැන තැන එල්ලූ අයයි අද මානව හිමිකම් ගැන කතා කරන්නේ. මේ අය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට පිවිසීම ගැන අප සතුටු වෙනවා.
නුවරඑළිය දිස්ති‍්‍රක් මන්තී‍්‍ර රේණුකා හේරත් මහත්මිය (එ.ජා.ප.) - ස්වභාවික විපත්වලින් අවතැන් වූවන් දෙවැනි වන්නේ යුද්ධයෙන් අවතැන් වූවන්ට පමණයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මද්දුමබණ්ඩාර මහතා සිදුකළ පර්යේෂණයකින් මේ බව අනාවරණය වී තිබෙනවා.
අවිධිමත් ලෙස ගොඩනැගිලි ඉඳිකිරීම වැනි සංවර්ධන කටයුතු පවා ස්වභාවික විපත්වලට හේතු වෙනවා.
සමූපකාර සංවර්ධන ඇමැති අබ්දුල් මජීඩ් මහතා - 2006 වසරේ දී මුතුර් හි ජනතාව අවතැන් වූ වෙලාවේදී කෙටි කාලයක් තුළ නැවත පදිංචි කිරීමට නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය පියවර ගත්තා. අමීර් අලි සහ රිෂාඩ් බද්දියුදින් යන ඇමැතිවරුන් ගේ සේවාව විධිමත් ලෙස සිදුකරනවා.
යුද්ධය හේතුවෙන් අවතැන් වන ජනතාවට අවශ්‍ය සහන ලබාදී නැවත පදිංචි කිරීම වෙනුවෙන් අදාළ අමාත්‍යංශය පියවර ගන්නවා. ඒ වගේම අවතැන්වන ජනතාවට අවශ්‍ය සහනාධාර ලබාදීමත් විධිමත් ව සිදුකරනවා.
1990 දී පමණ අවතැන්වූ කින්නියා ආශ‍්‍රිත ප‍්‍රදේශවල පවුල් දහසකට අධික ප‍්‍රමාණයක් ඉන්නවා. මේ ජනතාවත් ඉක්මනින් පදිංචි කරවීමට පියවර ගත්තා. මේ අයට කඩිනමින් ස්ථිර නිවාස ලබාදීමට පියවර ගන්න.
රජයේ සේවකයින් සඳහා වූ වන්දි ලබාදීමත් කි‍්‍රයාත්මක වූයේ මෙම අමාත්‍යාංශය යටතේ. එහෙත් තවමත් වන්දි ලබානොගත් අය ඉන්නවා.
ඒ අයට වන්දි ලබාදීමටත් පියවර ගන්න. ත‍්‍රිකුණාමලය දිස්ති‍්‍රක්කයේ බොහෝ පාරවල්, පාලම් පසුගිය කාලයේ දී වසා තිබුණා. එහෙත් අද වෙනකොට වසා දමා තිබූ මාර්ග සහ පාලම් විවෘත කර තිබෙනවා. සමහර මාර්ග කාපට් කරලා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වුණාට පසුව නැඟෙනහිර ආශ‍්‍රිත ව විශාල සංවර්ධනයක් සිදුව තිබෙනවා.
පත්කළ මන්තී‍්‍ර රවුෆ් හකීම් මහතා (මු.කො.) - ආපදා කළමනාකරණ හා නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය අතිශය වැදගත්. එහෙත් මේ අමාත්‍යාංශ දෙක සම්බන්ධයෙන් ගැටලු ගණනාවක් තිබෙනවා. නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශයට සේවාවක් ලබා ගැනීමට යන සාමාන්‍ය ජනතාවට යම් යම් හිරිහැර සිදුවෙන බව වාර්තා වෙනවා.
රිෂාඩ් බදියුදීන් මහතා - එය අමුලීක බොරුවක්. මේ සභාව තුළ අසත්‍ය ප‍්‍රකාශ කරනවා.
හකීම් මහතා - මේ ඇමැතිවරයා තමන් ගේ හිතවතුන්ට වැඩි සැලකීමක් දක්වනවා. මගේ විවේචනවලට පසු ව උත්තර දෙන්න. නැවත පදිංචි කිරීම්වල විධිමත් බවක් තිබිය යුතුයි. මේ ඇමැතිවරුන් දෙදෙනා කඳවුරු ගානේ ඇවිදිනවා. ඇවිදින්නේ සරණාගතයෝ ගැන බලන්න නෙවෙයි.
කෑගල්ල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ලලිත් දිසානායක මහතා (එ.ජ.නි.ස.) - කොටි සංවිධානය තම ගැලවුම්කරුවා බවට පත්කර ගෙන ඉන්නේ උතුරේ අහිංසක ජනතාවයි. ඒ ජනතාවට සාමය උදාකරලීම සඳහායි අප ගේ හමුදාවන් මෙහෙයුම් කරන්නේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටට සාමය උදාකරලීම වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක් ඉටුකරනවා.
අද වෙනකොට කරුණා අම්මාන් වැනි අය පවා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. විශේෂයෙන් ම අප කොටි සංවිධානයට කියනවා තමන් ගේ ගැලවීම වෙනුවෙන් සිවිල් ජනතාව පවුරක් කරගන්න එපා.
කළුතර දිස්ති‍්‍රක් මන්තී‍්‍ර නන්දන ගුණතිලක මහතා (ජා.නි.පෙ.) - රත්නපුර, කළුතර, කොළඹ, ගම්පහ දිසාවන්ට ගංවතුර එකවගේ බලපෑවා. ඊට හේතු ගැන මා වැඩිදුර කතා කරන්නේ නැහැ. සමහර හේතු ස්වභාවිකයි. සමහර ඒවා මිනිසුන් ඇති කළ දේ නිසා සිදුවෙනවා.
පහත් බිම් ගොඩකිරීම හා පරණ ඇළවේලී ශුද්ධ නොකිරීමෙන් ජලය බැසයාමට යොදා ගන්න බැහැ. අද පෙරට වඩා ප‍්‍රබල පිළියමක් මේ සඳහා කළ යුතුයි. අප පාසල් යන කාලේ මේ අයුරින් පහත් බිම් ගොඩ කළේ නැහැ.
දිගුකාලීන සංවර්ධන යෝජනා ක‍්‍රම නිසා මිනිසුන්ට යම් ප‍්‍රතිලාභ ලැබී ඇති බව ඇත්ත. එහෙත් එයින් ලැබෙන සමස්ත හානිය සංවර්ධනයෙන් ලැබූ ලාභයට වඩා වැඩිවිය හැකියි.
වැඩකට නැති ගුවන් සමාගම් හදන්න කෝටි හය දහස් ගණනක් වැය කරනවාට වඩා වැසි වතුරින් සිදුවන හානිය වළක්වන්න මේ අමාත්‍යාංශයට මුදල් දුන්නානම් ප‍්‍රයෝජනයි. පානදුර මෝදරවිල ගොඩ කිරීමෙන් සිදුවන හානිය පවතින අතර ඒ අවට තවත් පහත් බිම් ගොඩ කැරෙනවා.
අතපසු කිරීම්, උවමනාවෙන් මැදිහත් නොවීම හා හිතවත්කම් නිසා ඕනෑ දෙයකට ඉඩඇරීමෙන් මේ තත්ත්වය ඇති වෙනවා. මානව හිමිකම් කියන්නේ ඉතා පුළුල් වූ විෂයයක්.
මේ රටේ පාලකයන් විටින් විට අඩු වැඩි වශයෙන් මානව හිමිකම් උල්ලංඝනය කර තිබෙනවා. 1977 එජාප ආණ්ඩුව ඇරඹු මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ වැඩපිළිවෙළේ උච්චතම අවස්ථාව උදා වූයේ 1988 – 89 කාලයේදී බව අපට මතකයි.
නැවත පදිංචි කරවීමේ ඇමැති රිෂාඩ් බද්යුදීන් මහතා - පුත්තලම දිස්ති‍්‍රක්කයේ අවතැන් වූවන් සඳහා නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියේ කිසිදු අක‍්‍රමිකතාවක් සිදුවී නැහැ. රාවුෆ් හකීම් මහතා සභාව නොමග යැවීම සඳහා වැරැදි කරුණු මේ සභාවට ඉදිරිපත් කළා.
බලපත‍්‍ර නැති අයට නිවාස ලබාදෙන්න බෑ. විධිමත් ආකාරයට මේ කටයුතු සිදුකරන්න බෑ. අපේ පක්ෂයේ අයට විතරක් නිවාස ලබාදෙන බවට බොරු මතයක් ගොඩ නැඟීමට උත්සාහ කරනවා. රාවුෆ් හකීම් මහතා ඇමැති තනතුරේ සිටියදී එක නිවාසයක්වත් ඉදි කෙළේ නෑ. අප ගෙන යන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමට ඔහු දැරූ උත්සාහය මම දැඩි සේ හෙළා දකිනවා.
පත්කළ මන්ති‍්‍රනී අංජාන් උම්මා මහත්මිය (ජා.නි.පෙ.) - අපේ රටේ වසර ගණනාවක් තිස්සේ පවතින යුද්ධයෙන් අවතැන් වූවන් විවිධ ප‍්‍රදේශවල ජීවත් වෙනවා. මේ අවතැන් වූ ජනතාවට සහන සැලසීමට රජය කටයුතු කිරීම ගැන අප සතුටු වෙනවා.
කුරුණෑගල දිස්ති‍්‍රක් මන්තී‍්‍ර ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා (එ.ජා.ප.) - මහින්ද සමරසිංහ මහතා අපේ පක්ෂයේ සිටියදී ආපදා කළමනාකරණය සහ මානව හිමිකම් පිළිබඳ කමිටුවක් සකස් කර කටයුතු කළා. එහෙත් පසුව අපේ පක්ෂය ආපදාවට ලක් කරමින් ඔහු ආණ්ඩුවට ගියා.
(නියෝජ්‍ය කතානායක පියංකර ජයරත්න මහතා මූලාසනයට පැමිණියේය.)
ජයවික‍්‍රම පෙරේරා මහතා - ආපදාවන්ට ලක්වන අයට වන්දි ගෙවමින් සිටියාට වැඩක් නෑ. අනාගතයේදී මුහුණපෑමට සිදුවන ආපදා වැළැක්වීමට පියවර ගත යුතුයි.
කාරක සභා නියෝජ්‍ය සභාපති රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා - පසුගිය හැට වසරක කාලය තුළ දෙමළ ජනතාව මත විවිධ ප‍්‍රශ්න පටවා තිබුණා. ඒවායින් නිදහස ලබා ගැනීමට ඔවුන් තුළ කැමැත්තක් තිබුණා. ප‍්‍රශ්නයේ ඉතිහාසයට වඩා අද තත්ත්වය බැලිය යුතුයි.
ඉන්දීය සම්භවයක් ඇති 28000 ක් පමණ සිටිනවා. ඔවුන්ට මෙරට හෝ ඉන්දියාවේ පුරවැසිකම නැහැ. එදා ලංකාවට පැමිණි ඉන්දීය හමුදාව මෙරට දෙමළ ජාතික කාන්තාවන්ට පවා අතවර කළා.
දෙමළ ජනයා ඝාතනය කළා. අද උද්ඝෝෂණ කරන තමිල්නාඩුවේ නායකයන් එදා ඒවා ගැන කතා කළේ නැහැ. නැඟෙනහිර මුදාගෙන අවතැන් වූවන් නැවත පදිංචි කරවීම අගය කළ යුතුයි.
ආපදා කළමනාකරණ හා මානව හිමිකම් ඇමැති මහින්ද සමරසිංහ මහතා - පරිසර කොමිෂන් සභා ගැන ආර්. සම්බන්ධන් මහතා කීවා. භගවතී මහතාගේ ප‍්‍රධානත්වයෙන් ස්වාධීන විද්වත් කණ්ඩායමක් පැමිණියා. යුරෝපා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක්ද අගෝස්තු 25 වැනිදා පැමිණියා.
එල්.ටී.ටී.ඊ.යට හිස නමන විදේශ නියෝජිතයන්ට හිස නමන්න අප සූදානම් නැහැ. යුරෝපා සංගමයේ වාර්තාව ගැන අපේ මහ කොමසාරිස් එවන ලද වාර්තාව අප සභාගත කරනවා.
අන්තර්ජාතික ක්ෂමා සංවිධානයේ වාර්තාව, ඉතා ඒක පාර්ශවිය ලෙස එක් පාර්ශ්වයකට බැඳුණු වාර්තාවක්.
එම වාර්තාව ප‍්‍රකාශයට පත්වූ පසු අපේ අමාත්‍යංශය ප‍්‍රතිචාර දැක්වුවා. වන්නි ප‍්‍රදේශයේ ලක්ෂ තුනක් ඇති බව ඔවුන් කීවත් එම ප‍්‍රදේශයේම එතරම් පිරිසක් නැහැ.
ඔක්තෝබරයේ දී වන්නි ප‍්‍රදේශයට ආහාර තොග හයක් යවා තිබෙනවා. ට‍්‍රක් රථ 214 කින් ආහාර තොග යවා තිබෙනවා. රජය දිස්ති‍්‍රක් ලේකම්වරුන් මගින් යවන ලද ආහාර ගැන ඔවුන්ගේ වාර්තාවේ කිසිවක් සඳහන් කර නැහැ.
වන්නි ප‍්‍රදේශයට වෙද්‍ය හා අධ්‍යාපන පහසුකම් රජය සපයන බව එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් දැක වාර්තාකර තිබෙනවා. සර්ප විෂ සඳහා අවශ්‍ය බෙහෙත් යවා තිබෙනවා. ගස් යට මිනිසුන් ජීවත් නොවන බව මන්නාරම දිසාපති පැහැදිලිව කීවා.
සත්‍යය විකෘති කර තමන්ට අවශ්‍ය පරිදි පින්තූර හදාගන්න එල්.ටී.ටී.ඊ.යට පුළුවන්. ජාත්‍යනතර මානව හිමිකම් කොමිෂමේ ශාඛාවක් ශ‍්‍රී ලංකාවේ විවෘත කළ යුතු බව අප හිතන්නේ නැහැ.
සාක්කිකරුවන් ආරක්ෂා කර ගැනීම පනත මගේ පනතක් නොවේ. එය අධිකරණ අමාත්‍යාංශයට අයිතියි. ඒ පනත ඉදිරිපත් කළේ විපක්ෂයේ අවශ්‍යතාවටයි. ඒ ගැන පක්ෂ නායක හමුවේදී සාකච්ඡා කරන්න පුළුවන්.
වැය ශීර්ෂ සංශෝධන සහිතව සම්මත විය.
පාර්ලිමේන්තුව අද (2) පෙරවරු 9.30 ට යළි රැස් වේ.
හෙජින් ලිපි ලේඛන ආරක්ෂා කරනවා
කතානායක කියයි
ඛනිජ තෙල් සංස්ථාවේ හෙජින් ගිවිසුමට අදාළව පොදු ව්‍යාපාර කාරක සභාවට සාක්කි වශයෙන් ඉදිරිපත් කරන ලද ලිපි ලේඛන ආරක්ෂා කිරීමට පියවර ගන්නා බව කථානායක වි.ජ.මු.ලොකු බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (01) ප‍්‍රකාශ කෙළේ ය.
කථානායකවරයා එසේ ප‍්‍රකාශ කෙළේ හෙජින් ගිවිසුමට අදාළ එම ලිපි ලේඛන විනාශ කිරීමේ තැතක් පවතින හෙයින් ඒවා ආරක්ෂා කරන ලෙස වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් මතු කරමින් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කරන ලද ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමිනි.
විපක්ෂ නායකවරයාගේ ප‍්‍රකාශය ගැන අදහස් දැක්වූ සභානායක සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් නම් ඉදිරිපත් කරන ක‍්‍රමයක් ඇති බවත් හෙජින් ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු දෙකක් ගොනුකර ඇති බවත් වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් යැයි කියමින් විපක්ෂනායකවරයා කරන ප‍්‍රකාශයට විරෝධය දක්වන බවත් පැවැසීය.
මූල්‍ය පාලනය පිළිබඳව කටයුතු කිරීමට පාර්ලිමේන්තුවට බලයක් ඇති බව ඇත්තක් බවත් ලිපි ලේඛන විනාශ කිරීමේ ප‍්‍රයත්නයක් ඇත්නම් ඒවා ආරක්ෂා කරන බවත් කථානායකවරයා ප‍්‍රකාශ කෙළේ ය.
දෙමළ ජනතාව ගේ එකම නියෝජිතයා ලෙස එල්.ටී.ටී.ඊ.යට පැවැතිය නොහැකියි
- විනයාගමූර්ති මුරලිදරන්
දෙමළ ජනතාව ගේ එක ම නියෝජිතයා වශයෙන් එල්. ටී. ටී. ඊයට පැවතිය නොහැකි බව ටී. එම්. වී. පී. පක්‍ෂයේ මන්තී‍්‍ර විනයාගමූර්ති මුරලිදරන් මහතා (කරුනා අම්මාන්) පාර්ලිමේන්තුවේ දී ඊයේ (01) ප‍්‍රකාශ කෙළේ ය.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එල්. ටී. ටී. ඊයට යුද්ධය වෙනුවට විකල්පයක් පෙන්වාදී ඇතැයි ද ආයුධ බිම තබා ආවොත් සාකච්ඡාවට සූදානම් බවට ජනාධිපතිවරයා පැහැදිලි ව ප‍්‍රකාශ කොට ඇති බව ද පැවසූ ඒ මහතා එල්. ටී. ටී. ඊය මෙයින් ප‍්‍රයෝජන ගත යුතු බව ද කීවේ ය.
ආපදා කළමනාකරණ, මානව හිමිකම්, නැවත පදිංචිකිරීමේ සහ ආපදා සහනසේවා අමාත්‍යංශවල වැය ශීර්ෂ පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසුවේ ය.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර විනයාගමූර්ති මුරලිදරන් මහතා මෙසේද කීවේ ය.
වසර ගණනාවක් තිස්සේ අපේ ගම් ප‍්‍රදේශවල අප සතුටින් ජීවත් වුණා. ඉන්පසු උතුරු පළාතෙන් ආරම්භ වූ ආරවුල නැඟෙනහිර පළාතටත් ව්‍යාප්ත වුණා.
ඉන්දීය අගමැති රජිව් ගාන්ධි පවා එල්. ටී. ටී. ඊය ඝාතනය කළා. ඉන් පසු ව තමයි මුළු ලොව ම එල්. ටී. ටී. ඊය ත‍්‍රස්තවාදී සංවිධායක් ලෙස ප‍්‍රකාශ කෙළේ.
දළදා මාලිගාවට පහරදීම වැනි දේවල් නිසා එල්. ටී. ටී. ඊය ලෝකයේ තව තවත් පිරිහීමට ලක්වුණා.
සාම සාකච්ඡා වසර 5ක් තිස්සේ පවත්වාගෙන යමින් ඒ කාලය තුළ ආයුධ රැස් කළ යුතු බවයි ප‍්‍රභාකරන් ගේ අදහස වුණේ. එහෙත් මේ සන්ධීය ආණ්ඩු යෝජනාවට එකඟ වන ලෙස අප ඔහුට කිව්වා. ඔහු ඊට එකඟ වුණේ නෑ.
මේ නිසා තමයි අප එල්. ටී. ටී. ඊ. සංවිධානය අතහැර යෑමට තීරණය කෙළේ. මේ වන විට සංවිධානයේ 16,000ක් පමණ යුද්ධයෙන් මිය ගොස් තිබුණා.
එදා ඉන්දීය අගමැති රාජීව් ගාන්ධි ඝාතනය කළ ප‍්‍රභාකරන් බේරා ගැනීමට තමිල්නාඩුව අද වෙහෙසෙනවා. ඔවුන් මෙය කවදා හරි තේරුම් ගනීවි.
මහින්ද රාජපක්‍ෂ රජය දෙමළ ජනතාව ගෙ ප‍්‍රශ්න තේරුම් ගෙන විසැඳීමට උත්සාහ කරනවා.
අද නැඟෙනහිර පළාත මුදවාගෙන එම පළාත සංවර්ධනය කෙරී තිබෙනවා. වසර 25ක් තිස්සේ යුද්ධයෙන් විනාශ වූ ප‍්‍රදේශයක් එකවර සංවර්ධනය කෙරීම ඉතා අසීරුයි. මෙය වසරක් හෝ දෙකක් තුළ සම්පූර්ණ කිරීමට බැහැ. මේ ප‍්‍රදේශයේ අවතැන් වූ පවුල් 41,000ක් පමණ නැවත පදිංචි කර තිබෙනවා.
සාමාන්‍ය ජනතාව පලිහක් කරගෙන තමයි එල්. ටී. ටී. ඊය සටන් කරන්නේ. මේ ප‍්‍රදේශ සංවර්ධනය කළ යුත්තේ එම ජනතාව මුදා ගැනීමෙන් පසුවයි.
නැඟෙනහිර ප‍්‍රදේශය මුදා ගැනීමේ මෙහෙයුම මාවිල්ආරු සොරොව්ව බේරා ගැනීමේ මෙහෙයුමෙන් ඇරැඹුවා. එහි දී එල්. ටී. ටී. ඊ. ය පරාජිත ව පසුබැස්සා.
අද එල්. ටී. ටී. ඊය යුද්ධයෙන් පරාජය වෙමින් සිටිනවා. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එල්. ටී. ටී. ඊයට යුද්ධය වෙනුවට විකල්පයක් පෙන්වා දී තිබෙනවා.
දෙමළ ජනතාව ගේ එක ම නියෝජිතයා ලෙස එල්. ටී. ටී. ඊයට පැවැතිය නොහැකියි. එල්. ටී. ටී. ඊය මේ බව තේරුම් ගත යුතුයි.
කොටි නායකයා ගේ දරුවන් මේ යුද්ධයේ නෑ. ඔවුන් විදේශ රටවලට යවා දුප්පත් පවුල්වල දරුවන් තමයි යුද්ධයට යොදවා තිබෙන්නේ.
අපේ ප‍්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා මේ ආණ්ඩුවේ සියලු ඇමැතිවරුන් මැදිහත් වී සිටිනවා. අධ්‍යාපන, සෞඛ්‍ය, වාරිමාර්ග, ධීවර ආදී සියලු අංශ දියුණු කිරීමට අදාළ ඇමැතිවරුන් වැඩ කටයුතු අරඹා තිබෙනවා.

කළුතර - කොළඹ පාපන්දු ලෝලීන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ප‍්‍රබල බ්ලුස්ටාර් සෝන්ඩර්ස් පසුබසී

ප‍්‍රින්ස් ගුණසේකර
කළුතර හා කොළඹ දහස් සංඛ්‍යාත පාපන්දු ලෝලීන්ගේ බලාපොරොත්තු සුන් කරමින් කළුතර බ්ලුස්ටාර් හා කොළඹ සෝන්ඩර්ස් කී‍්‍රඩා සමාජ ඩයලොග් ප‍්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් නොලැබූහ.
සෝන්ඩර්ස් - ගුවන් හමුදාව අතර පැවැති තරගයෙන් සෝන්ඩර්ස් පිල ගෝල් 1 – 0 කින් පරාජයෙන් තොරවීමත්, බ්ලුස්ටාර් – නිව්යංග්ස් අතර තරගය ජය පරාජය වීමත් හේතුවෙන් ප‍්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට ඒමට සෝන්ඩර්ස් හා බ්ලුස්ටාර් යන කණ්ඩායම් දෙකටම නොහැකි විය.
ප‍්‍රිමියර් ලීග් පාපන්දු සූරතා 2 ක් දිනා සිටි සෝන්ඩර්ස් කී‍්‍රඩා සමාජය හා එක් වසරකදී සූරතාව දිනාගත් බ්ලුස්ටාර් කී‍්‍රඩා සමාජයේ තරග නැරැඹීමට වැඩිම පේ‍්‍රක්ෂක පිරිසක් එක්වෙති.
කොළඹ සී. ආර්. පිටියේදී පෙරේදා පැවැති තරගය නැරැඹීමටද දහස් ගණනින් පේ‍්‍රක්ෂකයන් එක්ව සිටියහ.

සෝන්ඩර්ස් ගුවන් හමුදාව අතර තරගයේ අවස්ථාවක්
ඡායාරූපය රංජිත් ජයවීර
මේ අතර ඒ – 1 කාණ්ඩයේ ඉදිරියට පැමිණීමට නිගම්බු යූත් හා රිනවුන් අතර සටනක් නිර්මාණය වෙමින් පවතී. එම කාණ්ඩයේ යුද හමුදාව ඉදිරියෙන්ම සිටින බැවින් අවසන් පූර්ව වටයට පැමිණීමට නිගම්බු යූත් හා රිනවුන් යන කණ්ඩායම් දෙකට ඉදිරි තරග ජය ගැනීම බෙහෙවින් වැදගත්ය. තරග දෙකම ජයගන්නා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පැමිණීම පහසුවනු ඇත.
කැලණිය පාපන්දු සංකීර්ණ කී‍්‍රඩාපිටියේ පැවැති නිගම්බු යූත් යුද හමුදාව අතර තරගය ජය පරාජයෙන් තොරවීම හේතුවෙන් නිගම්බු යූත් පිලට ඉදිරියට ඒමේ අසීරුතාවක් නිර්මාණය වූවේය. තරගයේ ප‍්‍රථම භාගය ගෝල් 1 – 1 ක් ලෙස සම මට්ටමක පැවැතුණි.
නිගම්බුයූත් පිලේ ධම්මික රත්නායක 16 වැනි හා 84 වැනි මිනිත්තුවලදීද, යුද හමුදා පිලේ මොහොමඩ් ඉසෙදීන් 6 වැනි හා 89 වැනි මිනිත්තුවලදී ගෝල් වාර්තා කළහ.
බම්බලපිටිය පොලිස් කී‍්‍රඩාපිටියේ පැවැති සොලිස් ජුපිටර්ස් අතර තරගය ප‍්‍රබල සටනකින් නිමාවූයේ දෙපිලම ගෝල් 3 බැගින් රැස් කිරීමෙනී. ප‍්‍රථම භාගයේ දී ගෝල් 2 – 2 ලෙස සම මට්ටමක දක්ෂතාවක් දැක්විය.
මේ තරගයේදී පොලිස් කී‍්‍රඩා සමාජයේ මුදියන්සේලාගේ සුගත් 3 වැනි හා 31 වැනි මිනිත්තුවේදී මොහොමඩ් නවුෂාඩ් 66 වැනි මිනිත්තුවේදී ;ග¤ල් වාර්තා කළහ.
ජුපිටර්ස් පිල වෙනුවෙන් මොහොමඩ් නවුෆර් 15 වැනි මිනිත්තුවේදී රංග ප‍්‍රනාන්දු 42 වැනි මිනිත්තුවේදී හා දුලාජ් ප‍්‍රසන්න 51 වැනි මිනිත්තුවේදී ගෝල් වාර්තා කළහ. කැලණියේදී පැවැත්වීමට නියමිතව තිබූ පෙලිකන්ස් හා රිනවුන් අතර තරගය වර්ෂාව හේතුවෙන් කල්දැමිණි.