Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Monday, January 26, 2009

යුද හමුදාව මුලතිව් අල්ලයි


යුද හමුදාව මුලතිව් අල්ලයි



චන්ද්‍රිකා පෙරේරා හා මහින්ද කුලතුංග
කොටි ත‍්‍රස්තවාදීන්ගේ අවසන් බළකොටුව වන මුලතිව් නගරයේ බලය යුද හමුදාවේ 59 වැනි සේනාංකයේ භට පිරිස් විසින් ඊයේ (25) දහවල් තහවුරු කරගන්නා ලදි.
ඊයේ උදෑසන සිටම මුලතිව් නගරය වෙත ගමන් කරමින් සිටි හමුදා භට පිරිස් හා කොටි ත‍්‍රස්තවාදීන් අතර දරුණු ගැටුම් හටගත් අතර පැය තුනකට අධික කාලයක් පැවැති සටන්වලින් අනතුරුව කොටි ත‍්‍රස්තවාදීන් පලාගොස් තිබේ.
මුල්ලියාවේලි හා තන්නිඋක්කු කොටි බළකොටු බිඳිමින් ඉදිරියට ඇදුණු පාබල හමුදා සති අටකට වැඩි කාලයක් කොටි ත‍්‍රස්තවාදීන්ට දරුණු ප‍්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව මුලතිව් නගරයට ඇතුළු වී තිබේ.
වසර 13 ක කාලයක් කොටි ග‍්‍රහණයේ තිබූ මුලතිව් නගරයට වැලිඔය දෙසින් (මුලතිව් වලට දකුණෙන්) ඇතුළු වූ බි‍්‍රගේඩියර් නන්දන උඩවත්ත යටතේ වූ 59 වැනි සේනාංකය මුලතිව් නගරයේ හා ඒ අවට බලය තහවුරු කරගෙන ඇත.
වසර 1996 දී මුලතිව් නගරයේ පැවැති යුද හමුදා කඳවුර කොටි ප‍්‍රහාරයකින් බිඳ වැටීමෙන් අනතුරුව මුලතිව් නගරය කොටින්ගේ ප‍්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස පැවතිණි.
මේ ප‍්‍රදේශයේ සාමාන්‍ය වැසියන් ලක්ෂ 2 ක් පමණ රැඳී සිටින බවට අන්තර්ජාතික ප‍්‍රජාවට ත‍්‍රස්තවාදීන් සඳහන් කැර තිබුණත් එවැනි පිරිසක් එහි සිටි බවට සලකුණු නැතැයි යුද හමුදාව කියයි.

කොටින්ගේ රසායනාගාරය අත් පත් කර ගනී

චන්ද්‍රිකා පෙරේරා
මුලතිව් – පුදුකුඩුඉරුප්පු හා උදයාර්කට්ටුකුලම් නැඟෙනහිර ප‍්‍රදේශයේ තිබූ කොටින්ගේ රසායනාගාරයක්, විශාල ප‍්‍රමාණයේ පුහුණු කඳවුරු සංකීර්ණයක් හා භූගත ඉන්ධන ටැංකියක් යුද හමුදා භට පිරිස් විසින් අල්ලා ගෙන තිබේ.
කොටින්ගේ රසායනාගාරයේ ඇසිඩ් බැරල් තොගයක්, කිලෝ 50 බැගින් බෑග් 75ක ඇසුරූ සෝඩියම් බයිකාබනේට් කිලෝ 375ක්, ග‍්‍රෑම් 500 බැගින් බෑග් 300ක දැමූ අධිබල පුපුරණ ද්‍රව්‍ය කිලෝ 150ක්, කෑන් 20ක පිරවූ ටී. එන්. ටී. ලීටර් 500ක් සමඟ විද්‍යුත් ඩෙටනේටර් 400ක් ඇතුළු තවත් යුද උපකරණ හා වයර් තිබූ බව යුද හමුදාව කියයි.
කොටි පුහුණු කඳවුරු සංකීර්ණයේ විශාල ප‍්‍රමාණයේ ගොඩනැඟිලි 12ක් සිහිවටන ඵළකයක්, මුළුතැන් ගෙයක්, ජල පොම්පාගාරයක් හා ජල ටැංකි තිබී ඇත.
එහි තිබුණ බැරල් දෙකක තිබී ඩීසල් ලීටර් 420ක හා පෙට‍්‍රල් ලීටර් 240ක බැරලයක්ද සොයාගෙන ඇතැ’යි ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවැසීය.

මුලතිව් ජයග‍්‍රහණය අබියස

මුලතිව් කොටි බළකොටුව අත්පත් කර ගැනීම සඳහා යුද හමුදාව මේ මොහොත වනවිට සියලුම ක‍්‍රමෝපාය කි‍්‍රයාත්මක කර අවසන්ය.
කොටි ත‍්‍රස්තවාදීන්ගේ සියලුම සැපයුම් ද නැවතී තිබේ. කොටින්ගේ අවිආයුධ කම්හල් රැසක් හමුදාවෝ අත්පත් කර ගත්හ. ආහාර තෙල් ඇතුළු තවත් ගබඩා රාශියක් ඉකුත් සතියේදී හමුදාව විසින් අත්පත් කර ගන්නා ලදී.
නොනවතින ගමන
කොටි ත‍්‍රස්තවාදීන්ගේ බලය වර්ග කිලෝමීටර් තුන්සිය දහයක් වැනි කුඩා ප‍්‍රදේශයකට සීමා වී තිබේ. හමුදා සේනාංක අටක් කොටින්ට දිනපතා ප‍්‍රබල ප‍්‍රහාර එල්ල කරති. අහිංසක සිවිල් වැසියන් යුද පලිහක් ලෙස යොදා ගනිමින් කොටි ත‍්‍රස්තවාදීහූ හමුදාවට ප‍්‍රහාර එල්ල කරති.
හමුදාවෝ සිවිල් වැසියන්ට කිසිදු හානියක් සිදුනොවීමට වගබලා ගනිමින් කොටින්ට දැඩිලෙස ප‍්‍රහාර එල්ල කරති.
හමුදාවේ ප‍්‍රධානතම ඉලක්කය වී ඇත්තේ කොටි ග‍්‍රහණයේ සිටින අහිංසක සිවිල් වැසියන් ඉන් මුදා ගැනීමයි. ඒ සඳහා වූ විශාලතම මෙහෙයුම මේ මොහොතේ කි‍්‍රයාත්මක වෙයි.
දිනකට සිවිල් වැසියන් සිය ගණනක් කොටි ග‍්‍රහණයෙන් මුදාගැනීමට හමුදාව කටයුතු කරයි. කෲර වධ හිංසාවලින් මිදී රජයේ පාලන ප‍්‍රදේශවලට පැමිණීම වෙනත් ලෝකයකට පැමිණියා සේ සලකන බවත් මෙහි ඇති නිදහස තමන් කිසිදු දිනක බලාපොරොත්තු නොවූ බවත් ඔවුහු ප‍්‍රකාශ කරති.
කොටි ත‍්‍රස්තවාදීන් වසර ගණනක් තිස්සේ තමන්ගේ දේපළ කොල්ලකන බවත් කොටි නායකයන් සුරසැප විඳි බවත් ඔවුහු ප‍්‍රකාශ කරති.
කුඩා ළමයින් පැහැරගෙන වධහිංසා කරමින් කොටි සංවිධානය ලෝකයා හමුවේ බේගල් ඇද දැමූ බවත් ඔවුහු පවසති.
කොටි ගොඩනැඟිල්ලක්
බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා යටතේ වන 58 වැනි සේනාංකයේ භට පිරිස් ඊළාම් යුද ඉතිහාසයේ ජයග‍්‍රහණ රැසක් ලබාගත්හ. කොටි සතුව තිබූ ප‍්‍රධානම ආහාර ගබඩාව, ඉන්දන ගබඩාව, මෙහෙයුම් මධ්‍යස්ථානය සහ ප‍්‍රභාකරන් සිටි බව කියන භූගත නිවස්නය අත්කර ගැනීම ඉන් කිහිපයකි.
ධර්මපුරම් ප‍්‍රදේශයේ අක්කර 6 ක පමණ භූමි භාගයක කොටි ඉන්දන ගබඩාව පිිහිටා තිබුණා. ඉන්දන ලීටර් ලක්ෂයකට ආසන්න ප‍්‍රමාණයක් හමුදාවෝ මෙහිදී සොයා ගත්හ. බැරල්වලට පිරවූ ඉන්දන ඉතා සූක්ෂම අයුරින් පොළොව යට වළලා දැමීමට කොටි මෙහිදී කටයුතු කර තිබුණි. පොල්වත්තක මෙම ඉන්දන ගබඩාව සොයා ගැනීම පහසු කරුණක් නොවීය.
ඉන්දන වළ දමා තිබූ භූමිය සාමාන්‍ය භූමියක් ලෙස පෙන්වීමට කොටි ත‍්‍රස්තවාදීහූ උපක‍්‍රම රැසක් භාවිත කළහ. එහෙත් කොටින්ගේ මෙම උපක‍්‍රම සියල්ල බිඳ දමමින් කොටි ඉන්දන ගබඩාව සොයා ගැනීමට හමුදාව සමත්විය.
මෙතරම් ඉන්ධන ප‍්‍රමාණයක් කොටි ත‍්‍රස්තයන්ට ලැබුණේ කෙසේද යන්න ගැටලුවක් වී තිබේ. රාජ්‍යය නොවන සංවිධාන ඉන්දන ලබා දෙන්නට ඇතැයි කියන පැහැදිලි සැකය මෙහිදී ඉස්මතු වේ.
රාජ්‍ය නොවන සංවිධාන කොටි සමඟ දිගින්, දිගටම මිත‍්‍රශීලීව කටයුතු කළ බව ත‍්‍රස්ත විරෝධී මාධ්‍යයන් වසර ගණනක සිට හෙළි කිරීමට සමත්විය.
අවාසනාවකට මෙන් මෙම රාජ්‍ය නොවන සංවිධාන කොටි අඩවියේ කි‍්‍රයාකිරීම නතර කර ගැනීමට කිසිවෙකුට නොහැකි විය. එහෙත් මේ මොහොත වනවිට හමුදා ජයග‍්‍රහණ හමුවේ රාජ්‍ය නොවන සංවිධානවල නිරුවත ලොවට දිස්වෙයි.
කොටි අවි කම්හලෙන්...
වර්ග කිලෝමීටර් 5 ක තරම් භූමියක ධර්මපුරම් කොටි කඳවුර පිහිටා තිබේ. මෙය අත්පත් කර ගත් හමුදාවන්ට විශ්වමඩු ප‍්‍රදේශයට ගමන් කිරීමට කොටි සමඟ දැඩි සටනක නිරතවීමට සිදුවී ඇත.
ධර්මපුරම් සහ විශ්වමඩු වෙන්කෙරෙන ඇළ මාර්ගය පසුකර 58 වැනි සේනාංකයේ රණවිරුවෝ විශ්වමඩු ප‍්‍රදේශයට ඇතුළුවූහ. මේ ප‍්‍රදේශයේ ඇතිවූ ගැටුම්වලින් කොටි ත‍්‍රස්තවාදීන් සියයකට ආසන්න පිරිසක් මිය ගිය බව ආරක්ෂක අංශ තහවුරු කර හමාරයි. මෙහිදී කොටින්ගේ මළසිරුරු 32 ක් හමුදා භට පිරිස් විසින් සොයා ගන්නා ලදී.
විශ්වමඩු ප‍්‍රදේශයේ කොටස් හමුදාව අත්පත් කර ගැනීම ආරම්භ වූ විගසම කොටි ත‍්‍රස්තයන්ගෙන් මිදී සිවිල් ජනතාව රජයේ ප‍්‍රදේශයට පැමිණෙනු ඇතැයි භූමියේ සිටින උසස් නිලධාරියෙක් පැවැසීය.
විශ්වමඩු දෙසට 58 වැනි සේනාංකය ගමන් කරද්දී තවත් බළඇණි කිහිපයක් කොටින්ට ප‍්‍රහාර එල්ල කරමින් මුලතිව් දෙසට ගමන් කරති. මෙහිදී කොටින්ගේ බැකෝ යන්ත‍්‍ර, ඩෝසර් යන්ත‍්‍ර, ටිපර් යන්ත‍්‍ර, ට‍්‍රැක්ටර්, යතුරුපැදි ඇතුළු රථ වාහන රැසක් හමුදා භට පිරිස් විසින් සොයා ගන්නා ලදී.
පුලියම්පොක්කනයි නැමැති ගම්මානය 58 වැනි සේනාංකයේ රණවිරුවෝ සියතට ගත්හ. ඉකුත් 23 වැනිදා දහවල් වනවිට දරුණු සටනකින් අනතුරුව ඔවුහු මේ ජයග‍්‍රහණය අත්කර ගත්හ.
17 වැනි ගැමුණු, 9 වැනි ගැමුණු, 10 වැනි විජයබා, 6 වැනි ගැමුණු, 11 වැනි පාබල, 12 වැනි ගජබා, 7 වැනි සිංහ, 2 වැනි කොමාන්ඩෝ බළඇණි මේ සඳහා සිය උපරිම දායකත්වය ලබාදීමට කටයුතු කළහ.
58 වැනි සේනාංකය මෙලෙස ජයග‍්‍රහණ ලබද්දී 57 වැනි සේනාංකයද කොටින්ට දැඩි ප‍්‍රහාර එල්ල කරමින් දිනෙන් දින මුලතිව් කරා ඇදෙති.
මේජර් ජනරාල් ජගත් ඩයස් යටතේ 57 වැනි සේනාංකයට අයත් 572,574, 571 යන බළ සේනාවෝ රාමනාදන්පුරම් දෙසින් මුලතිව් දෙසට සිය මෙහෙයුම් කි‍්‍රයාත්මක කෙරිණි.
කොටින්ට වෙඩි වරුසා
571 වැනි බල සේනාවට අයත් 9 වැනි ගජබා, 4 වැනි සිංහ, 9 වැනි විජයබා යන රෙජිමේන්තුවල රණවිරුවෝ කල්මඩුකුලම් අත්පත් කර ගැනීමේ මෙහෙයුම් ආරම්භ කළ හ. රාමනාදන්පුරම් සිට කල්මඩුකුලම් දෙසට සටන් ආරම්භ කළ මේ රණවිරුවෝ කොටින්ට වෙඩි වරුසා එල්ල කළහ. එහිදී හමුදාවෝ කොටින් සමඟ මුහුණට මුහුණලා සටන් කළහ.
මෙහි පැවැති ඇතැම් ගැටුම් පැය හතර පහ පැවතිණි. හමුදා භට පිරිස්වලට කොටින්ගේ ප‍්‍රබල මෝටාර් සහ කාලතුවක්කු ප‍්‍රහාරවලට මුහුණදීමට සිදුවිය. එහෙත් හමුදා ඉදිරි ගමනට කොටින්ගේ මෙම ප‍්‍රහාර බාධාවක් නොවිණි.
සටන අතරතුර ‘රාගු’ නැමැති කොටි නායකයා ඇතුළු කණ්ඩායමක් හමුදා ප‍්‍රහාරවලට මැදිවිය. මේ පිරිස හමුදා ග‍්‍රහණයෙන් මුදා ගැනීමට කොටි ප‍්‍රබල උත්සාහයක් දැරූහ. එහෙත් ‘රාගු’ සහ සගයන් කොටුකර පහරදෙන ලෙස මේජර් ජෙනරාල් ජගත් ඩයස් ප‍්‍රබල බළඇණි වෙත උපදෙස් ලබා දුන්නේය.
ගැටුම තියුණු විණි. කොටින්ගෙන් එල්ල වන ප‍්‍රහාරවලට හමුදාවෝ ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළහ.
මේ සටන අතරතුර ‘රාගු’ ඇතුළු කණ්ඩායම පලා යාමට උත්සාහ ගන්නා බව සන්නිවේදනය විණි. ඒ සමඟම කි‍්‍රයාත්මක වූ යුද හමුදා බර අවි බළඇණියේ මල්ටි බැරල් ප‍්‍රහාර එම ප‍්‍රදේශයට එල්ල කිරීමට 58 වැනි සේනාංකය කටයුතු කෙරිණි.
මෙම ප‍්‍රහාර එල්ල වීමත් සමඟම කොටි එම ප‍්‍රදේශයෙන් පලා ගියහ. පසුදින සිදුකළ සෝදිසි මෙහෙයුමේ දී ටී 81 අවියක්, ටී 56 අවි 8ක්, මැෂින් තුවක්කු 3ක්, පණිවිඩ හුවමාරු යන්ත‍්‍රයක් භට පිරිස් විසින් සොයා ගන්නා ලදී. මෙම සටනේ දී කොටි ත‍්‍රස්තයෝ 15 දෙනෙකු මිය ගිය බව පසුව අනාවරණය විය.
කොටින්ට ප‍්‍රබල තර්ජන
574 වැනි බළ සේනාව සහ 572 වැනි බළසේනාව කෙලමඩුකුලම් සිට ඒ 35 ප‍්‍රධාන මාර්ගය හරහා විශ්වමඩු දෙසට ගමන් ආරම්භ කළහ. ඔවුහු කොටින්ට ප‍්‍රබල තර්ජන එල්ල කරමින් මේ ප‍්‍රදේශය හරහා විශ්වමඩු ප‍්‍රදේශයට ඇතුළු වීමට කටයුතු කළහ.
බි‍්‍රගේඩියර් රෝහණ බණ්ඩාර අණදෙන 2 වැනි කාර්ය සාධක බළකායට අයත් 622, 621 බළසේනා මඟින් පුදුකුඩිඉරිප්පු බටහිර ප‍්‍රදේශයේ පිහිටි කොටි කඳවුරු සංකීර්ණයක් සහ රෝහලක් අත්පත් කර ගැනිණි.
සුඛෝපභෝගි ගොඩනැගිල්ලක් මෙහි තිබූ අතර කොටි නායකයකු එහි රැඳී සිටි බවට ප‍්‍රබල සාක්කියක් විය.
ධර්මපුරම් කොටි තිප්පොළ
මෙම බළ සේනාවෝ කැබ් රථයක්, කොටි මළ සිරුරු 7 ක් මේ ප‍්‍රදේශයෙන් සොයා ගත්හ. 7 වැනි සංඥා, 6 වැනි විජයබා, 8 වැනි සිංහ, 8 වැනි ගජබා යන රෙජිමේන්තුවල භට පිරිස් මෙම ජයග‍්‍රහණයට දායක වූහ.
මේ අතර මුත්තියන්කට්ටුකුලම් දෙසින් ඉහළට නැඟ ගත් පාබල භටයෝ පිරිස් උඩයාර්කට්ටුකුලම් ප‍්‍රදේශය දක්වා මෙහෙයුම් කි‍්‍රයාත්මක කරමින් කොටින්ට ප‍්‍රබල තර්ජනයක් එල්ල කළහ.
55 වැනි සේනාංකය ද බි‍්‍රගේඩියර් ප‍්‍රසන්න ද සිල්වා යටතේ කි‍්‍රයාත්මක වෙමින් කොටි බළ මුළු රැසක් ඉකුත් සතියේ මුදා ගැනීමට සමත් විය.
චුණ්ඩිකුලම් කළපුවේ සිට මුලතිව් දක්වා වූ මුහුදු තීරය ජය ගැනීම මෙම සේනාංකයේ භට පිරිස්වලට එල්ලවූ අභියෝගයයි.
චණ්ඩිකුලම් කලපුවේ පිහිටි අඩි 23ක් ගැඹුරු ජල කඳක් තරණය කර මුලතිව් දෙසට ගමන් කිරීමට 55 සේනාංකයේ සෙබළුන්ට ප‍්‍රබල අභියෝගයක් විය.
අඩි 100 කට ආසන්න පළලකින් යුත් මෙම මෝය තරණය කිරීම පහසු කටයුත්තක් නොවීය. එහෙත් හමුදා භට පිරිස් කෙසේ හෝ මේ ජලකඳ තරණය කළ යුතු විය.
හමුදාව සිටි ස්ථානයේ සිට මෝයට එහායින් පිහිටි ඉවුර දක්වා වූ දුර ප‍්‍රමාණය මීටර 400 කි. කොටි ත‍්‍රස්තයෝ ස්ථානගත වී සිටියේ ද එම ප‍්‍රදේශයේ ය.
ඉවුරට මෙහායින් බංකර් 04 ක් ඉදිකිරීමට හමුදා සෙබළුන් කි‍්‍රයා කළ අතර මේ සඳහා උපයෝගී කර ගත්තේ රාති‍්‍ර කාලයයි.
මෝය තරණය කරන අවස්ථාවේ කොටි එල්ල කරන බර අවි ප‍්‍රහාරවලින් වැළකීම සඳහා මෙම බංකර් රහසිගත ව ඉදිකිරීමට හමුදාවෝ පියවර ගත් හ.
ප‍්‍රබල අභියෝගයක්
ඉංජිනේරු බළකාය මෙහිදී ප‍්‍රබල අභියෝගයක් එල්ල කර ගනිමින් තෙප්පම් විශාල සංඛ්‍යාවක් එකිනෙකට සම්බන්ධ කරමින් තාවකාලික පාලමක් ඉදිකිරීමට සමත් වූයේ යුද හමුදා සෙබළුන්ට ඕනෑම අභියෝගයක් ජයගත හැකි බව ලොවටම පෙන්වමිනි.
තාවකාලික පාලම එසේ සකස් කෙරුණු අවස්ථාවේ රහසිගතව කි‍්‍රයාත්මක වූ 1 වන විශේෂ බළකායේ කිමිදුම්කරුවෝ කොටි සිටි ඉවුරට කිට්ටු වී කොටින්ගේ බංකර්වලට පහරදීම සැලැසුම් කළහ.
පාබල හමුදාවට බර අවිවල සහයෝගය රැගෙන එක්වර කි‍්‍රයාත්මක වූ හමුදා බළඇණි කිහිපයක් කොටින්ට ප‍්‍රබල ප‍්‍රහාර රැසක් එල්ල කළහ. මුලතිව් දෙසට වූ කොටින්ගේ ප‍්‍රබලම ආරක්‍ෂක වළල්ල අත්පත් කර ගැනීමට මෙහිදී 55 වැනි සේනාංකයේ භටයෝ සමත් වූහ.
බි‍්‍රගේඩියර් නන්දන උඩවත්ත අණ දෙන 59 වැනි සේනාංකය මේ මොහොත වන විට මුලතිව් ආසන්නයට ම ගොස් සිටින සේනාංකයයි. කොටින්ගේ මුලතිව් ආරක්‍ෂක බැමි දෙකක් මේ වන විට බිඳ දැමීමට සමත් විය.
උස අඩි 15 ක් තරම් වූ මෙම බැම්ම වටේට භූගත බංකර් රාශියක් ද ඉතා උපක‍්‍රමශීලීව සකස් කිරීමට කොටි පියවර ගෙන තිබුණි. කොටි ත‍්‍රස්තයන්ගේ මුලතිව් බලකොටුව වටකර ඇති මෙම ආරක්‍ෂක බැම්ම අත්පත් කර ගැනීම කොටින්ට එල්ල වූ ප‍්‍රබල තර්ජනයකි.
මුහුණට මුහුණලා දරුණු සටන් වලින් පසු මෙය අත්පත් කර ගැනීම විශේෂ සිද්ධියකි. 59 වැනි සේනාංකය මෙහිදී කොටි ත‍්‍රස්තයන් 50 දෙනකු පමණ ඝාතනය කළහ. ටී 56 ගිනි අවි, ආර්. පී. ජී. අවි, අත්බෝම්බ, ජීව උණ්ඩ ඇතුළු අවි ආයුධ රැසක් ද 59 වැනි සේනාංකයේ භටයෝ විසින් මෙහිදී සොයා ගත්හ.
මේ අතර සටන්වල නිරතව සිටින සේනාංක සියල්ලට ම පාහේ ඉදිරි ගමන පහසුකරලීම සඳහා ගුවන් හමුදාව කෆීර්, මිග් 7, මිග් 27 සහ එම්. අයි. 24 යන ප‍්‍රහාරක යානා යොදා ගනිමින් කොටි ඉලක්ක වෙත දිගින් දිගට ම පහර දෙයි.
භක්ති ධර්මපි‍්‍රය මෙන්ඩිස්

කල්මඩුකුලම් වැව් බැම්ම කොටි පුපුරවා හරිති

චන්ද්‍රිකා පෙරේරා
සිවිල් ජනතාව අනාරක්ෂිත ප‍්‍රදේශයේ සිට මුදා ගත් ප‍්‍රදේශවලට පැමිණීම වැළැක්වීමට එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් මුලතිව් කල්මඩුකුලම් වැව් බැම්ම පුපුරුවා හැර මාර්ගවල බිම් බෝම්බ වල දමා ඇතැයි යුද හමුදාව කියයි. වැව් බැම්ම පුපුරුවා හැරීමෙන් ඒ - 35 මාර්ගයේ ධර්මපුරම් හා විශ්වමඩු ප‍්‍රදේශ ජලයෙන් යටවී ඇතැයි යුද හමුදාව කියයි.
මුලතිව් කොටි බළකොටුව රැක ගැනීමට එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් සිවිල් වැසියන් මිනිස් පලිහක් ලෙස යොදාගෙන සිටින අතර ඔවුන්ගේ අණ නොතකා පැමිණෙන ජනතාවට වෙඩි තැබීමටද පියවර ගෙන තිබිණි.

ඩිල්ෂාන්ගේ සුපිරි පිතිහරඹයෙන් ශ‍්‍රී ලංකාවට දැවැන්ත ජයක් මුරලි එක්දින කඩුලු 500යි







තිලකරත්න ඩිල්ෂාන්ගේ විශිෂ්ට පිති හරඹයත් පාකිස්තාන පිතිකරුවන් සහමුලින්ම වනසා දැමීමට සමත් වූ පන්දු බල ඇණියත් හේතුවෙන් පාකිස්තානය පරදා ලකුණු 234 ක දැවැන්ත ජයක් ලබාගැනීමට ශ‍්‍රී ලංකාවට හැකිවිය.
ලාහෝර්හී ගඩාෆි කී‍්‍රඩාංගණයේ පැවැති මේ තුන් වැනි අන්තර්ජාතික එක්දින තරගයේ ජයත් සමඟ ශ‍්‍රී ලංකාව තරගාවලිය 2 – 1 කින් ජය ලැබීය.
තිලකරත්න ඩිල්ෂාන් තම එක් දින තරග දිවියෙහි හොඳම දක්ෂතාව සටහන් කරමින් නොදැවී ලකුණු 137 ක් වාර්තා කෙළේය. පන්දු 139 කදී හතරේ පහර 10 ක් එල්ල කිරීමට හෙතෙම සමත්විය. ශ‍්‍රීී ලංකා පිල ඕවර් 50 දී ලකුණු 309 ක් ලබාගත් අතර පාකිස්තානය ලකුණු 75 කට දැවී ගියේය.
පාකිස්තාන කි‍්‍රකට් පිල එරටදී ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව මෙය වූ අතර දරුණුතම පරාජය ලෙසද වාර්තාවිය. ශ‍්‍රී ලංකා පිලේ ආරම්භක පන්දු යවන්නන් දෙදෙනා වූ නුවන් කුලසේකර ලකුණු 17 කට කඩුලු 3 ක්ද තිලාන් තුෂාර ලකුණු 33 කට කඩුලු 3 ක්ද බිඳහලා මුල් පෙළේ පිතිකරුවන්ට තර්ජන එල්ල කළහ.
මුත්තයියා මුරලිදරන් ලකුණු 2 කට කඩුලු 2 ක් බිඳහෙළා එක්දින අන්තර්ජාතික තරගබිමේ කඩුලු 500 ක් වාර්තා කළ දෙවැනි කී‍්‍රඩකයා බවට පත්වීමද විශේෂත්වයකි. පාකිස්තානයේ වසීම් අක‍්‍රම්ගේ ලෝක වාර්තාව සම කිරීමට මුරලිදරන්ට තවත් අවශ්‍යව ඇත්තේ කඩුලු 2 ක් පමණි.
ශ‍්‍රී ලංකා ඉනිම සනත් හා ඩිල්ෂාන් ආරම්භ කළ අතර ප‍්‍රථම කඩුල්ලට ලකුණු 76 ක සම්බන්ධතාවක් ඇතිවිය. සනත් ලකුණු 45 කට දැවී ගියේය. කුමාර් සංගක්කාර එක්වී ශ‍්‍රී ලංකා ඉනිම තවත් ශක්තිමත් කෙළේය. සංගක්කාර ලකුණු 50 ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේය.
ඩිල්ෂාන් ට එක්වූ කණ්ඩම්බි පන්දු 34 කදී ලකුණු 32 ක් ලබාගත් අතර නායක ජයවර්ධන ලකුණු 18 ක් ලබා සිිටියදී උමාර් ගුල්ගේ පන්දුවකට කම්රන් අක්මාල් අතට උඩ පන්දුවක් ලබාදී දැවී ගියේය.
නිමා වූ තරග තුනේදීම මහේල ජයවර්ධන දැවී ගියේ විකට් රකින කී‍්‍රඩකයාට උඩපන්දු ලබාදෙමින් එකම ආකාරයකටය. පාකිස්තාන පිතිකරුවන් අතරින් ලකුණු 10 ට වඩා රැස් කෙළේ දෙදෙනෙකු පමණි. නායක මලික් ලකුණු 19 ක්ද උමාර්ගුල් ලකුණු 27 ක්ද ලබා ගත්තේය.
පාකිස්තාන ඉනිමේ මුල්පිතිකරුවන් හයදෙනෙකු ලකුණු 22 කට දවා ගැනීමට කුලසේකර හා තුෂාර සමත්වූහ.
ප‍්‍රවේගකාරී පිතිකරුවෙකු වූ සහිඩ් අෆ්රිඩිට කුලසේකර එවු පන්දුවක් නිදැල්ලේ යෑමට ඉඩ හරිද්දී පන්දුව විකට්ටුවට දෝලනය වී ආ අයුරු පිතිකරුට අදහාගත නොහැකි විය.
තරගයෙන් අනතුරුව අදහස් දැක් වූ සනත් ජයසූරිය ප‍්‍රකාශ කෙළේ කලකට පසුව හොඳ ආරම්භක පිතිකරුවෙකු හමුවූ බවයි. මීළඟ ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමා කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමුගැනීමට තීරණය කර ඇතැයි මුරලිදරන් පැවැසීය.
ශ‍්‍රී ලංකා පාකිස්තාන එක් දින තරගාවලියේ මෙන්ම අවසන් තරගයේ වීරයා සම්මානය ඩිල්ෂාන්ට හිමිවිය. ජයග‍්‍රාහී පිල ඊයේ පෙරවරුවේ ශ‍්‍රී ලංකාවට පැමිණියේය.



කුලසේකර දෙවැනි තැනට

එක්දින අන්තර්ජාතික පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ නවතම ලැයිස්තුව අනුව වේගපන්දු යවන කී‍්‍රඩක නුවන් කුලසේකර දෙවැනි ස්ථානයට පත්විය.
ශ්‍රේණිගත කිරීම අනුව තවදුරටත් පෙරමුණ ගැනීමට නවසීලන්තයේ ඩැනියෙල් විටෝරි සමත්ව ඇති අතර තක්සේරු ලකුණු ප‍්‍රමාණය 754කි. නුවන් කුලසේකර ලකුණු 749ක් ලබා ඇත.
මේ ශ්‍රේණිගත කිරීම අනුව මුත්තයියා මුරලිදරන් සිවුවැනි ස්ථානයට පත්ව තිබේ. ඔහු ලබා ඇති ලකුණු ප‍්‍රමාණය 714කි. ඔස්ටේ‍්‍රලියාවේ නෙදන් බ්‍රේකන් ලකුණු 745ක් ලබා තෙවැනි ස්ථානයේ සිටී.
නුවන් කුලසේකර සහභාගීවූ අවසන් එක්දින තරග 10යේ දී කඩුලු 18ක් බිඳහෙලා ගැනීමට සමත්ව ඇත. පාකිස්තානය සමඟ නිමාවූ තරග තුනේදී කඩුලු පහක් බිඳහෙළා ගැනීමට සමත්විය

Wednesday, January 21, 2009

මුලතිව් දරුණු සටනකින් මුහුදු කොටි 15ක් මරුට

චන්ද්‍රිකා පෙරේරා සහ භක්ති ධර්මපි‍්‍රය මෙන්ඩිස්
මුලතිව් ඊසාන දිග මුහුදේ දී පෙරේදා (19) රාතී‍්‍ර මුහුදු කොටි හා නාවික හමුදාව අතර ඇතිවූ ගැටුමකදී කොටි බෝට්ටු හතරක් සම්පූර්ණයෙන්ම මුහුදු බත් වී තිබේ.
එහිදී මුහුදු කොටි පහළොවකට වැඩි පිරිසක් මියගොස් ඇති බවට හෙළිවී ඇතැ’යි නාවික හමුදාව පවසයි.
ත‍්‍රස්තවාදීන් හා නාවික හමුදාව අතර එදින රාතී‍්‍ර 11.30 ට පමණ ගැටුම හටගෙන තිබෙන අතර පැය භාගයක් පමණ එය පැවැති බවත් එම අවස්ථාවේ දී මරාගෙන මැරෙන කොටි බෝට්ටුවක් පුපුරවා ගැනීමෙන් ප‍්‍රහාරක ඩෝරා යාත‍්‍රාවකට ද හානි සිදුව තිබෙන බවත් නාවික හමුදාව කීය.
අලම්පිල් සිට කන්කසන්තුරේ දක්වා යොදවා ඇති නාවික මුර වළලුවලට පහරදීම සඳහා එදින මරාගෙන මැරෙන කළු කොටි සහිත බෝට්ටු 15 ක් පමණ මුලතිව් දෙසින් පැමිණ ඇති අතර ඒ පිළිබඳ නිරීක්ෂණය කළ ඩෝරා යාත‍්‍රා මෙසේ කොටි යාත‍්‍රා සමඟ ගැටී තිබේ.
නාවික ප‍්‍රහාර හමුවේ ත‍්‍රස්තවාදීන් හානියට පත් යාත‍්‍රා ද රැගෙන පලාගොස් ඇත. ප‍්‍රහාරයෙන් පසුව එම මුහුදු ප‍්‍රදේශය පුරා සෝදිසි මෙහෙයුමක් දියත් කැර තිබුණු අතර ඊයේ (20) උදෑසන වනවිට කොටි මල සිරුරු දෙකක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබිණි.
මේ ප‍්‍රදේශයේ ආරක්ෂාව සඳහා ඩෝරා යාත‍්‍රා, ගැඹුරු මුහුදේ මුර සංචාරක යාත‍්‍රා, අවි සවිකළ කුඩා යාත‍්‍රා (මෙරට නිෂ්පාදිත යාත‍්‍රා) සහිත ක්ෂණික විහිදුම් යාත‍්‍රා බලගණය හා විශේෂ යාත‍්‍රා බලගණය සහිත මුර වළලු හතරක් යොදවා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කපිතාන් ඩී. කේ. පී. දසනායක මහතා සඳහන් කෙළේ ය.
මේ වළලු සහිත නාවික මුර සංචාරක හේතුවෙන් මුහුදු කොටින්ගේ සැපයුම් හා ප‍්‍රවාහන කටයුතුවලට බාධා ඇතිවී තිබෙන බැවින් නාවික මුර වළලු බිඳ දැමීමට මුහුදු කොටි මෙසේ ප‍්‍රහාර එල්ලකිරීමට උත්සාහ කර ඇතැ’යි ආරක්ෂක අංශ පවසයි.

කළු කොටි ප‍්‍රහාරක යාත‍්‍රාවක් සොයා ගැනේ

චන්ද්‍රිකා පෙරේරා
යාපනය වෙත්තලයිකර්නි ප‍්‍රදේශයේ සඟවා තිබුණු අධිබල පුපුරණ ද්‍රව්‍ය සවිකළ කොටි බෝට්ටුවක් හා තවත් මුහුදු කොටි බෝට්ටුවක් පෙරේදා (19) යුද හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මරාගෙන මැරෙන කළුකොටි ප‍්‍රහාරයකට සකස්කළ මේ යාත‍්‍රාව නාවික හමුදාවට පහරදීම සඳහා සූදානම් කැර සඟවා තැබූ එකක් බවට විශ්වාස කරයි.
මේ බෝට්ටු දෙක සොයාගැනීමෙන් පසු තවදුරටත් වෙත්තලයිකර්නි ප‍්‍රදේශයේ ආරක්‍ෂාව තහවුරු කිරීමේ සෝදිසි මෙහෙයුම් කි‍්‍රයාත්මක කර ඇත.

පාණදුරේ මී උණ, ඩෙංගු වැළදීමේ අවදානමක්

වාද්දුව සමූහ
පසුගිය 2008 වසරේ පාණදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප‍්‍රදේශයේ මී උණ රෝගයෙන් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇතැයි රෝග පිළිබඳ දත්ත සටහනක පෙන්වා දී ඇත.
ගිය වසරේ වෛද්‍ය නිලධාරී බල ප‍්‍රදේශයෙන් මී උණ රෝගීන් අසූ දෙකක් හමුවී ඇත.
පාණදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප‍්‍රදේශයෙන් චිනක් ගුන්යා උණ වැළදුන රෝගීන් කිසිවෙක් හමුවී නැති අතර ඩෙංගු උණ වැලදුන රෝගීන් 135 දෙනෙක් හමුවී ඇතත් ඩෙංගු මරණ කිසිවක් වාර්තා වී නැත.
බල ප‍්‍රදේශයේ මී උණ පැතිර යතැයි සැක කෙරෙන ප‍්‍රදේශවල ජනතාවට අවශ්‍ය උපදෙස් සහ කුඹුරු වැඩ කරන අයට අවශ්‍ය බෙහෙත් නිකුත් කරන බවත්, ඩෙංගු පැතිරෙන ප‍්‍රදේශවල ගෙන් ගෙට ගොස් මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීමේ වැඩ සටහනක් පාණදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එන්.සිවකුමාර් මහතාගේ උපදෙස් පරිදි කි‍්‍රයාත්මක කර ඇත.

ලාබත් නැති බාලත් නැති සිල්ලර පේ‍්‍රමය

සිනාවය කියන්නේ මල්ලියෙ කුමටපොටෝ එකක තියෙනා සුදු ඉරිවලට.
ඒ රත්න ශී‍්‍ර ගේ කවියකින් පද දෙකකි. කවියේ ඉතිරිය මතකයේ නැතත්, එකී කවි දෙපද හදිසියේ සිහිපත් වූයේ ළඟදී කියැවූ කෙටිකතා පොතක් නිසාවෙනි. කෘතියේ නම “සිල්ලර පෙ‍්‍ර්මය” කර්තෘ සමන් වික‍්‍රමාරච්චි .
මේ වනාහී සිල්ලර පේ‍්‍රමය විසින් ඉහත කී කවි දෙපද සිහියට නගන්නට හේතු සෙවීමේ වෑයමකි. රත්න ශී‍්‍ර කියන ආකාරයට සිනාව යනු හිනාවය කියා අප හිතා ඉන්නා දෙයම නොවේ, එය නොවන්නේත් නොවේ. හිනාව නැතිනම් පොටෝ එකට සුදු ඉරි කොයින්ද?
කතා නවයකින් සමන්විත සිල්ලර පේ‍්‍රමය කෘතිය පුරාම මිථ්‍යාව සහ යථාව, පෙනුම සහ හරය අතර පවතින ගැටුම පාඨකයා හමුවේ තබන්නට දැරූ වෙහෙස අපට හමුවෙතත්, එකී තැත වඩාත් ඉස්මතුව නැඟෙන්නේ ‘අඟලෙ මහත්තයා’, ‘සිල්ලර පේ‍්‍රමය’ යන කතා දෙකෙහිදී ය කියා හැඟේ.
අඟලෙ මහත්තයා කානිවල් එකකදී තරුණියකට හමුවන අයෙකි. තරුණිය කියන විස්තර අනුව අඟලේ මහත්තයා ගේ හැටි සුබා මෙසේය.
“හරිම කඩවසම් මුහුණක් ඔහුට තිබුණෙ මුහුණ පුරා වැටී තිබුණ රැවුල කම්මුලට වෙන්න හීනිවට කපල. අකීකරු කෙස් රැලි මැදින් බෙදල තියෙන විදිය මට සිහිපත් කළේ කවුදෝ හින්දි නළුවෙක්, හුරුබුහුටි පුංචි දිග කලිසමක් (දිග අඟල් අටක් ඇති) අත්දිග කමිසයකුයි, ටයි පටියකිනුයි ජේත්තුවෙලා, දෙපයට ඔප දැමූ සපත්තු එහෙම පැළදගෙන සිට ඔහු (නිවේදකයා කියූ පරිදිම), අඟලෙ මහත්තයෙක්ම තමයි.”
තරම (පෙනුම) අඟලක් වුව අඟලේ මහත්තයාගේ කියුම් කෙරුම් ඉතා උස මහතය. ඔහු කියන්නේ දර්ශනික කතාය.
“නෝනාවරුනි, මහත්වරුනි, මං එක දෙයක් විශ්වාස කරනවා. මේ ලෝකය කවුරු හෝ බලසම්පන්න උත්තමයකු ගේ නිර්මාණයක්. ඒ උත්තමයා මාව අඟල් 22 ප‍්‍රමාණයෙන් නිර්මාණය කළ නිසා ඔබ උසවෙලා. මට පෙනෙනවා අර කෙලවරේ ඉන්න නංගී. ඇය උසයි තමයි.
ඒත් ඊට එහා පැත්තෙන් ඉන්න සහෝදරිය එයාට වඩා උසයි නේද? එතකොට නංගී ඔයාට උසයි කියලා ආඩරම්බර වෙන්න දෙයක් නැතුව යනව. මොකද ඔබගේ සහෝදරියට සාපේක්‍ෂව ඔයා මිටියි. “මම මේ විදිහට මිටි විරූප රූපයක් නොවුණනම් ඔබ උස ලස්සන ස්තී‍්‍ර ශරීරයක් වෙන්නේ නැහැ.”
තරුණිය අඟලේ මහත්තයාට ආකර්ශනය වන හේතුව ඔහුගේ දාර්ශනික (දාර්ශනික සේ පෙනෙන) කතා බහ බව පෙනේ. බුදුගුණ අලංකාරයෙන් පවා කරුණු ගෙනෙමින් කෙරෙන අඟලේ මහත්තයා ගේ කතා නිසාවෙන් තරුණිය අභියස ඔහු දැවැන්ත රූපකායක් පරිද්දෙන් නැගී සිටින්නට පටන්ගනී. තරුණිය දිනපතා සැණකෙළියට ගොඩවදින්නේ අඟලේ මහත්තයා ගේ කතා අසන්නටයි. ඔහුගේ රූපකාය නරඹන්නටයි.
“පින්වතුනි, පාපි අපට උන්වහන්සේගේ ධර්මය හැර අන් සරණක් නැහැ. මම ඔබෙන් ඉතසිතින් ඉල්ලා සිටින්නේ පවු කිරීමෙන් වලකින ලෙස. අනේ දෙවියනේ පවු කරල මං වගේ නරුම කාලකණ්ණියෙක් වෙන්න නම් එපා...”
ඒ කතා අසා තරුණියගේ ඇස කඳුළින් පිරේ. ඇය ඔහුට පෙම් බඳින්නට පටන්ගනී. ඇය පමණක් නොව, කානිවල් බිමේ සිටි සියල්ලන්ම ඔහුට වශීවේ. කානිවල් බිමේ ජනපි‍්‍රය ම චරිතය අඟලේ මහත්තයායි. එහෙත් අවසාන දිනයේ අඟලේ මහත්තයා හමුවන්නට තරුණියන් පිරිස යනවිට ඔහු එතැන නැත. ඔවුනට ආසන්නට ලැබෙන්නේ මෙවැනි ආරංචියකි.
“උන් අලි හොරුනෙ. එතන කොටෙක් නැහැ. කොටාව හැදුණෙ තුන්දෙනෙකුගෙන්. ඔළුව කෙනකුගෙ, අත් තව එකෙකුගෙ. වෙන එකෙකුගෙ අත් දෙකෙන් තමයි කකුල් හැදුණෙ. ඔළුව අයිති එකා වරෙන්තු පිට වරෙන්තු තිබිච්ච මිනීහිට මරපු අලි හොරෙක්. හැබැයි ඌ මොළකාරයලු. උදේ පොලීසිය පැනල උන්ටික ඔක්කොම අරං ගියා. නංගිල නොදන්නවට අපිනං ඕක දැනං හිටියා.”
රචකයා කියන මේ සැණකෙළිය කුමක්ද? පාරතොටෙහි යන විටත්, දේශපාලන පිටියේත්, පමණක් නොව, කලා ලොවේ, කාර්යාලවල, පාසලේ, කඩ පොළේ, උසාවියේ, බස්රියේ, දුම්රියේ මෙකී නොකී සියලු තැන්හිදී අපට මේ ආකාරයේ අඟලේ මහත්වරුන්, දැවැන්ත මහත්වරු ආදී නොයෙක් ඇස්බැන්දුම්කාරයන් හමුවේ.
එහෙත් ඔවුන්ගේ පෙනුමෙන් වැසුණු හරය විනිවිද දකින්නට තරමට අපේ ඇස් ශක්ති සම්පන්න නැත. මෙකී මිනිසුන්ගේ යථාවත් පෙනුමත් අතර වෙනස දකින්නට යමක් යම් අයෙක් වෙත්ද, ඔවුන්ද ඒ ගැන ප‍්‍රසිද්ධියේ කියන්නට ඉදිරිපත් නොවෙති. හරියටම ඉහත කතාවේ එන කඩල වෙළෙන්දා මෙනි.
හේතුව යථාව හෙළිදරව් වීමෙන් තමන්ට අවාසියක් වෙතැයි බියකින් මේ දැනුවත් සමාජය පෙළෙන බැවිනි. අඟලේ මහත්තයා පමණක් නොවෙ, සමස්ත සැණකෙළියම ඇස්බැන්දුම් ජාලයකි. කඩල වෙළෙන්දා යනු එකී ඇස්බැන්දුම විකුණා ජීවත්වන අය අතුරින් එකෙකි. ඇස්බැන්දුමක් බව දැන දැනත් එහිම හිරවීම හැර අන් විකල්පයක් ඔහු නොදකී.
තවත් අතකින් ගත්කළ මිනිසාට හෙළිදරව් වුවද රැවටිල්ල කෙළවර වන්නේද නැත. “නිලූ අපි යං අතෙන්ට. එතන තමයි කුරුමිට්ටන්ගේ ලෝකය” අපි කෙල්ලො ටික අත්වැල් බැඳගෙන මෙරිගෝ රවුම දිහාවට පිම්මේ යන්න පටන් ගත්තා.” අඟලේ මහත්වරු දැවැන්ත වූ සමාජයක අන් සියල්ලන් ස්වේච්ඡාවෙන් කුරුමිට්ටන් මීට සාධාරණද? නැද්ද? යන ගැටලුව අප හමුවේ තිබේ.
සිල්ලර පේ‍්‍රමය ද මේ ආකාරයෙන්ම පියවි ස්වරූපය හා පෙනුම අතර දෙබිඩි වත ගැන කතා කරන කතාවකි. බස්රියේ දී හමුවන කාමාශක්ත පේ‍්‍රමවන්තයා තරුණයෙකුත් නොවන, මැදිවයසේත් නොවන, මහතත් නැති, කෙට්ටුත් නැති, රැවුලත් නැති, ඇත්තෙත් නැති, කොණ්ඩයත් නැති, නැත්තෙත් නැති අයෙක් බව මුලින් පෙණුනද, රැයක් එළිවන පමණින් ඔහු බොරු කොණ්ඩයක් ලාගත් මදාවියකු බවට පත්වේ. ඔහුගේ බොරු කොණ්ඩය යට අඟල් අටක් පමණ දිග පිහියකි. රාතී‍්‍ර අන්ධකාරයේ පෙම්බස් දෙඩූ, විවිධ පොරොන්දු පිරිනැමූ පෙම්වතා, උදේ අවදිවන්නේ.
“මේ අඟල් අටම බස්සනවා උඹේ පපු කැනැත්ත ඇතුළට ම,” කියමිනි.
ජීවිතයේත්, සමාජයේත් සියල්ලේත් පවතින දෙබිඩි වත විදාරණය කරන්නට මෙතරම් සමත් කතා ගොන්නක් මෑතකදී පළවූ බවක් අප මතකයේ නැත. යථාර්ථවාදී කතා අගයන්නකුට යම් ආගන්තුක බවක් දැනෙන්නට පුළුවන්කමක් ඇතිද සමන් වික‍්‍රමාරච්චි තම කතා ගොන්න පුරාම කතා කීමේ කලාවේත්, කතා ගෙතීමේ කලාවේත් අලුත් ඉසව්වක් ස්පර්ශ කරන්නට දැරූ වෙහෙස කැපී පෙනේ.
කෙසේ වෙතත් කෙටි කතා බොහොමයකදී රැක ගැනෙන විශ්වාසනීයත්වය නිරුත්සාහී ගුණය ආදී ලක්‍ෂණ, ‘පතිවත’, ‘මං’ වැනි කතාවන්හිදී බිඳ වැටෙන්නට සලස්වා ඇති බව පෙනේ.
බිරියගේ පතිවත පිරික්සන්නට කාර්යාලයෙන් එළිබසින සැමියා, වෙනත් ගැහැනියකගේ පහස සොයා යාම, ඇය එහිදී ඔහුට සලකන ආකාරය (ඒ කෙසේද යන්න මෙහිලා සඳහන් කළ නොහැක.) එකී ලිය තම සැමියා උදෙසා පතිවත සුරකින විකාර රූපී ස්වභාව ආදිය කෙටි කතා කරණයේ තාක්‍ෂණික සාර බවට මෙන්ම විවාහය පතිවත බඹසර රැකීම ආදී සමාජ ගත සංකල්පයන්ගේ විහිළුව හෙළිදරව් කරන්නට රචකයා දක්වන සූර බවට සාක්‍ෂ්‍ය වුව, ඊට වඩා තර්කානුකූල රටාවකින් ඒ කතාව ගොඩනඟන්නට ඉඩ නොතිබුණේ මන්දයි සැකයකි.
අනුර කේ. එදිරිසූරිය

විශ්වාස භංගය එනවාද නැද්ද? තීරණය අද

දයා පෙරේරා, ස්වර්ණා විජේකෝන්
ආණ්ඩුවට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව අහෝසි වී ද නැද්ද යන්න පිළිබඳ තීරණය සභාවට අද (21 දා) දැනුම් දෙන බව කථානායක වි.ජ.මු. ලොකු බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවට ඊයේ (20) දැනුම් දුන්නේ ය.
කථානායකවරයා සභාවට එසේ දැනුම් දුන්නේ එ.ජා.ප. ය ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයේ සඳහන් නොවීම සම්බන්ධයෙන් එම මන්තී‍්‍රවරුන් ඊයේ පෙරවරුවේ විමසූ අවස්ථාවේදී ය.

සල්මාන් බට් ගේ ශතකයෙන් පාකිස්තානයට ජය

කරච්චි (ඒ.එෆ්.පී)
ආරම්භක පිතිකරු සල්මාන් බට් අගනා ශතකයක්ද වේග පන්දු යවන රාඕ ඉෆ්ටිකාර් සිය කී‍්‍රඩා දිවියේ හොඳම පන්දු යැවීමද වාර්තා කරමින් පාකිස්තානය ඊයේ ශී‍්‍ර ලංකාවට එරෙහිව පළමු එක්දින තරගයේ කඩුලු 8 ක ජයග‍්‍රහණයක් කරා මෙහෙයවූහ.
වමතින් පිත්ත හසුරුවා බට් පන්දු 117 කදී හතරේ පහර 13 ක් සමග නොදැවී ලකුණු 100 ක් රැස් කළ අතර එය ඔහුගේ 8 වැනි අන්තර්ජාතික එක්දින ශතකය විය.
ඔහු කුරාම් මන්සූර් (83) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 168 ක ශක්තිමත් සබඳතාවක් ගොඩනැගු අතර පාකිස්තානය තරගයේ තවත් ඕවර 4.0 ක් ඉතිරිව තිබියදි ලකුණු 220 ක ජයග‍්‍රාහී ඉලක්කය සම්පූර්ණ කෙළේය.
ඕවර 45.2 කදි ලකුණු 219 කට දැවී ගිය ශී‍්‍ර ලංකා පිල ප‍්‍රතිවාදීන්ට අභියෝගයක් එල්ල කිරීමට අසමත් වූ අතර ඔවුන්ගේ කීර්තිමත් පන්දු යවන්නන් යුගලය වන මුත්තයියා මුරලිදරන් හා අජන්ත මෙන්ඩිස් පාකිස්තාන ආක‍්‍රමණශීලී පිතිහරඹය හමුවේ නිරර්ථක තත්ත්වයකට පත්වූහ.

තරගයේ වීරයාසල්මාන් බට්
මන්සූර්, මුරලිදරන්ගේ පන්දුවකට ඔහු අතටම උඩ පන්දුවක් දෙමින් දැවී යාමට පෙර හතරේ පහර 9 ක් එල්ල කළ අතර ඔහු පන්දු 128 කට මුහුණ දුන්නේය.
යූනුස් ඛාන් ලකුණු 20 කට දැවී ගියද ෂොයිබ් මලික් (11) ජයග‍්‍රාහී ඉලක්කය පසු කිරිමට බට් හට සහාය විය.
ඉෆ්තිකාර් ලකුණු 42 කට කඩුලු 4 ක්ද උමාර් ගුල් ලකුණු 30 කට කඩුලු 3 ක්ද බිඳ හෙලූහ.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සංචාරක ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 219ක් පමණි.
ලකුණු හඹා යෑමේ දී අනවශ්‍ය පීඩනයක පැටලුණ ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට තම ඉනිම නිමා කර ගැනීමට සිදු වූයේ තවත් පන්දු 28ක් ඉතිරිව තිබිය දී ය.
කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කෙළේ ය.
ඒ අනුව පිටියට පිවිසි සනත් ජයසූරිය සහ තිලකරත්න ඩිල්ෂාන් පාකිස්තාන පන්දු යවන්නන්ට රිසි සේ බැට දෙමින් ඉනිමේ පළමු ලකුණු 50 පන්දු 40ක දී රැස් කිරීමට සමත් වූහ.
ඩිල්ෂාන් ඉනිම ආරම්භ කිරීමට තරමක කෝඩුකාරයෙක් වුව ද ජයසූරියට වඩා වැඩි අවස්ථාවක් ලබා ගනිමින් අලංකාර ඉනිමක නිරත වූවේ ය.
පළමු කඩුල්ල ලෙස ඩිල්ෂාන් ලකුණු 42ක් ලබා තිබිය දී දැවී ගියේ ශී‍්‍ර ලංකා ලකුණු පුවරුව 71 නතර ව තිබිය දී ය. ඩිල්ෂාන්ගේ ඉනිම පන්දු 33කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 7ක් එල්ල කිරීමට ද ඔහු සමත් විය.
ශී‍්‍ර ලංකා ඉනිමේ පළමු කඩුල්ලේ සබඳතාව බිඳ දැමූ උමාර් ගුල් දෙවැනි කඩුල්ලේ සබඳතාව තැබීමට හිස ඔසවමින් සිටිය දී ජයසූරිය ද දවාලූවේ ය. ඒ ඔහු පන්දු 35ක දී හතරේ පහර 6ක් සමඟ ලකුණු 38ක් ලබා තිබිය දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමෙනි.
ශී‍්‍ර ලංකා ඉනිමේ කඩුලු 2ක් ලකුණු 86කට දැවී තිබිය දී උප නායක කුමාර් සංගක්කාර හා නායක මහේල ජයවර්ධන එක් වූහ. එහෙත් ලකුණු පුවරුවට තවත් ලකුණු 3ක් පමණක් එකතු වෙද්දී මහේලගේ ඉනිම නිමා කිරීමට ඉෆ්ටිකාර් අන්ජුම් සමත් විය.
බංග්ලාදේශ සංචාරයේ දීද පිතිකරුවෙකු ලෙස අසාර්ථක වූ මහේල ඊයේ තරගයේ දී ද ලබා ගත්තේ එක් ලකුණක් පමණි. පිතිකරු ඉදිරි පෙළ කඩා වැටීමෙන් වළකාගත් කුමාර් සංගක්කාර චාමර කපුගෙදර සමඟ එක්වෙමින් ශී‍්‍ර ලංකා ලකුණු පුවරුව ගෞරවනීය තත්ත්වයකට රැගෙන ආවේ ය.
ඔවුන් දෙදෙනා එක්ව 4 වැනි කඩුල්ලට ලකුණු 54ක් එක්කර තිබිය දී කපුගෙදර ලකුණු 27කට දැවී ගියේ ය.දක්ෂ ලෙස පන්දුවට පහර දුන් කුමාර් සංගක්කාර ඊයේ දැවී යන විට අහිමිකර ගත්තේ තමාගේ 45 වැනි එක්දින අන්තර්ජාතික අර්ධ ශතකයයි.
ඔහු පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟ ලකුණු 49ක් රැස් කෙළේ ය. සංගක්කාරගෙන් අනතුරුව අංක 9 පිතිකරු ලෙස පිටියට පිවිසි නුවන් කුලසේකර පන්දු 33ක දී ලකුණු 24ක් ලබා ගත්තේ ය.
පාකිස්තානය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඉෆ්ටිකාර් අන්ජුම් ලකුණු 42ට කඩුලු 4ක් ද උමාර් ගුල් ලකුණු 30ට කඩුලු 3ක් ද දවාලූහ.
දෙපිල අතර දෙවැනි තරගය අද පැවැත්වේ.ශ‍්‍රී ලංකාවටී. එම්. ඩිල්ෂාන් ඇ. බට් ප. ගුල් 42
එස්. ටී. ජයසූරිය ක.මු.කළා ප. ගුල් 38
කේ. සී. සංගක්කාර ඇ. බට් ප. අන්ජුම් 49
ඩී. පී. එම්. ඩී. ජයවර්ධන ඇ. අක්මාල් ප. අන්ජුම් 01
සී. කේ. කපුගෙදර ප. අෆ්රිඩි 27
ජේ. මුබාරක් දුවද්දී දැවී ගියා (අක්මාල්) 08
එම්. එෆ්. මහරූෆ් ඇ. මිෂ්බා අල්හක් ප. මලික් 11
ටී. තුෂාර ඇ. අක්මාල් ප. අන්ජුම් 00
කේ. එම්. ඩී. එන්. කුලසේකර ඇ. අක්මාල් ප. ගුල් 24
එම්. මුරලිදරන් නොදැවී 07
බී. ඒ. ඩබ්ලිව්. මෙන්ඩිස් ප. මලික් 01
අතිරේක 11
එකතුව (ඕවර් 45.2 කදී) 219
කඩුලු බිඳ වැටීම - 1 – 71, 2 – 86, 3 – 89, 4 –
143, 5 – 170, 6 – 176, 7 – 176,8 – 209, 9 – 211,
10 - 219
පන්දු යැවීම - ෂොහිබ් අක්තාර් 7 – 0 – 43 – 0, ෂොහෙල් ටන්වීර් 5 – 0 – 35 – 0,
ඉෆ්තිකා අන්ජුම් 8 – 1 - 36 – 3, උමාර් ගුල් 9 – 0 – 30 – 3, ෂහිඩ් අෆ්රිඩි 10 – 1 – 47 – 1,
ෂොහිබ් මලික් 6.2 – 0 – 25 - 2
පාකිස්තානයකුරාම් මන්සූර් ඇ.හා බෝ.මුරලිදරන් 83
සල්මන් බට් නොදැවී 100
යූනුස් ඛාන් ඇ.මෙන්ඩිස් බෝ.මහරූෆ් 20
සොයිබ් මලික් නොදැවී 11
අතිරේක 6
එකතුව (කඩුලු 2 ට, ඕවර 45.5) 220
කඩුලු බිඳ වැටීම 1 – 168, 2 - 205
පන්දු යැවීම – කුලසේකර 8 – 1 – 35 – 0 තුෂාර 8 – 0 – 31 – 0
මහරූෆ් 7.5 - 0 – 44 – 1, මුරලිදරන් 10 – 1 – 42 – 1,
මෙන්ඩිස් 7 – 0 – 41 – 0, ජයසූරිය 3 – 0 – 16 – 0, ඩිල්ෂාන් 2 – 0 – 7 - 0

Monday, January 19, 2009

පුදුකුඩුඉරුප්පු කොටි බෝට්ටු කම්හල යුද හමුදාව යටතට

චන්ද්‍රිකා පෙරේරා, මහින්ද කුලතුංග සහ භක්ති මෙන්ඩිස්
මුලතිව් පුදුකුඩුඉරුප්පු නැඟෙනහිර තිබූ කොටි කඳවුරු පරිශ‍්‍රයක් සහ බෝට්ටු නිෂ්පාදනාගාරයක් යුද හමුදා භට පිරිස් විසින් පෙරේදා (17) උදෑසන වනවිට අත්පත් කර ගනු ලැබූහ.
කඳවුරු පරිශ‍්‍රයේ අඩි 40ය20 ප‍්‍රමාණයේ ගොඩනැගිලි දෙකක්, අඩි 20ය30 ප‍්‍රමාණයේ ගොඩනැගිලි හයක් හා ඉහළ ආවරණ සහිත බංකර් හයක් ඇතැයි යුද හමුදාව පවසයි.
බෝට්ටු නිෂ්පාදනාගාරයේ විශාල හා කුඩා ප‍්‍රමාණවල බෝට්ටු නවයක් හා වෝටර් ජෙට් දෙකක් තිබී ඇත.
මේ අතර දෙපිරිස අතර එදින ඇතිවූ ගැටුම්වලින් පසු යුද හමුදාව කළ සෝදිසියේදී පුද්ගලනාශක බෝම්බ 208 ක්, ටී 56 ගිනි අවි අටක් සමඟ ජීව උණ්ඩ 1000 ක්, ආර්.පී.ජී. අවියක් සමඟ එම බෝම්බ උණ්ඩ 19 ක්, මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් බෝම්බ 5 ක් ක්ලේමෝ බෝම්බයක්, බෝම්බ පිපිරවීමට ගන්නා වයර් ඇතුළු යුද උපකරණ තොගයක් හා කොටි මළසිරුරු 11 ක් සොයාගෙන ඇති බව යුද හමුදාව පැවැසීය.
මුලතිව් උදයාර්කට්ටුකුලම්, චුණ්ඩිකුලම් දකුණේ, පුලියන්පොක්කරායි හා පුදුකුඩුඉරුප්පු නැගෙනහිර ප‍්‍රදේශවල ත‍්‍රස්තවාදීන් හා යුද හමුදා භට පිරිස් අතර ගැටුම් හට ගැනිණි.
මේ අතර පුදුකුඩුඉරුප්පු හා මඩු ප‍්‍රදේශවල ත‍්‍රස්තවාදීන් අටවා තිබූ බෝම්බ උගුල්වලට හසුවීමෙන් යුද හමුදාවට සුළු හානි සිදුව ඇත.

ඉරණමඩු ප‍්‍රදේශයෙන් ගුවන් යානයක් සොයා ගනී

මහින්ද කුලතුංග
කොටි ත‍්‍රස්තවාදීන් සතු කැඩී බිඳීගිය කුඩා ගුවන්යානයක් ඊයේ (18) ඉරණමඩු උතුරු ප‍්‍රදේශයේදී යුදහමුදාවේ 59 වැනි සේනාංකයේ රණවිරුවන් සොයාගෙන තිබේ.
ඉකුත් 15 වැනිදා හමුදාවට හමුවූ කොටින්ගේ හයවැනි ගුවන්පථයට නුදුරු කැළෑබද ප‍්‍රදේශයක තිබී මේ කැඩී බිඳීගිය ගුවන් යානය හමුවී තිබේ. ත‍්‍රස්තවාදීන් මෙම යානය සිය පුහුණුවීම් කටයුතු සඳහා හෝ ප‍්‍රදර්ශනය සඳහා පාවිච්චි කළ එකක් බවට විශ්වාස කරයි.
මෙය කිලිනොච්චියේ මෙහෙයුමේ නිරත ආරක්ෂක හමුදාවට කොටි ගුවන් යානයක් හමුවූ ප‍්‍රථම අවස්ථාවයි.

ප‍්‍රභාකරන් බියගුලු නායකයෙක් පැන ආ කොටි සාමාජිකයෝ කියති

මුලතිව් වට කර ඇති හමුදා සේනාංක අට වේගයෙන් එම ඉලක්කය වෙත ළඟා වෙමින් සිටිති. මුලතිව්, පුදුකුඩිඉරිප්පු ඇතුළු වර්ග කිලෝමීටර් හාරසිය පනහක භූමියකට කොටි ත‍්‍රස්තවාදීහු කොටු වී සිටිති.
ලෝකයේ සිටින ප‍්‍රබලම හමුදාවක් ලෙස ශ‍්‍රී ලංකා හමුදාව නම් කළ හැකිය. කොටි ත‍්‍රස්තවාදීන් යුද පලිහක් ලෙස යොදා ගන්නා අහිංසක සිවිල් වැසියන් කිසිවෙකුටත් හානියක් නොකර ඔවුන් කොටි ග‍්‍රහණයෙන් මුදා ගැනීමට ද හමුදාව සමත් වී තිබේ.
ශ‍්‍රී ලංකා යුද ඉතිහාසයේ වැදගත් ම සහ ජයග‍්‍රාහිම වසර 2009 වශයෙන් හැඳින්විය හැකිය. ජනවාරි පළමුවැනිදා වන විට කොටි ත‍්‍රස්තවාදීන් කිලිනොච්චිය පරන්තන් වැනි ප‍්‍රධානතම කොටි බළකොටු අත්පත් කර ගත් යුද හමුදාව ගත වූ සති දෙකේ දී තවත් ජයග‍්‍රහණ රැසක් ලබා ගත්තේය.
දෙමළ ජනතාවගේ හිමිකම් වෙනුවෙන් පෙනී සිටින දෙමළ විමුක්තිය උදාකරන එකම සංවිධානය කොටි සංවිධානය යැයි පැවැසූ ප‍්‍රභාකරන් දෙමළ ජනතාව වෙනුවෙන් කිසිදු වැඩක් නොකළ බව මේ වන විට ඔප්පු වී හමාරය.
අහිංසක දෙමළ වැසියා පොල් අතු පැලක රඳවා ඔහුගෙන් ලේ උරා බොමින් තලා පෙළා දැමූ කොටි නායක ප‍්‍රභාකරන් සුර සැප විදි බව අද ලෝකයාම දැන ගෙන හමාරය.
ධර්මපුරම් ප‍්‍රදේශයෙන් ප‍්‍රභාකරන්ගේ භූගත මාලිගාවෙන් හමුවීමෙන් පෙනී යන්නේ ඔහු බියගුළු නායකයෙකු බවයි. මෙවැනි මාලිගා කිහිපයක් ඉදිරි මෙයෙයුම්වල දී යුද හමුදාව සොයා ගනු ඇතැයි අනුමාන කළ හැකිය.
ප‍්‍රභාකරන්ගේ කොටි සංවිධානයට කප්පම් මුදල් ගෙවමින්, කොටින්ගේ නොයෙක් වධහිංසාවලට ලක්වෙමින් සිටි උතුරේ ජනතාවට තමන්ගේ පාඩුවේ, නිදහසේ සිටිය හැකි කාලය උදාවෙමින් තිබේ.
මවුබිම බේරාගැනීම වෙනුවෙන් තම ජීවිතය කැප කර සටන්වල නිරතව සිටින වීර හමුදා සෙබලුන් ඒ අවස්ථාව තව නොබෝ දිනකින් උදා කරනු ඇත.
ජයග‍්‍රාහී ලෙස ඉදිරියට ඇදෙන හමුදාවෝ ඉකුත් සතියේ ද කොටි බළකණු රැසක් සියතට ගත්හ. දශක තුනකට දිවෙන කොටි ඊළාම් යුද්ධයේ මෙතෙක් ළඟා වීමට නොහැකි වූ ප‍්‍රදේශ රැසක් අත්පත් කර ගැනීම හමුදාව ලැබූ විජයග‍්‍රහණයක් ලෙස ද හැඳින්විය හැකිය.
මේජර් ජෙනරාල් ජගත් ඩයස් මෙහෙයවන 57 වැනි සේනාංකය කිලිනොච්චිය අත්පත් කර ගැනීමෙන් පසු රාමනාදන්පුරම් බලය ඉකුත් සිකුරාදා (18) තහවුරු කර ගත්තේය.
දරුණු සටන් මැද පැති කිහිපයකින් ඇතුළු වූ 3 වැනි ගජබා, 9 වැනි ගජබා කොටින්ට පන්න, පන්නා පහර දුන් හ. කිලිනොච්චියට නැඟෙනහිරින් වූ රාමනාදන්පුරම් කිලෝමීටර් 08ක් විහිදුණු ප‍්‍රදේශයකි.
3 වැනි ගජබා රෙජිමේන්තුව මේ ප‍්‍රදේශයට උතුරෙන් ද, 9 වැනි ගජබා රෙජිමේන්තුව දකුණු ප‍්‍රදේශයෙන් ද මෙයට ඇතුළු විණි. නගරය අත්පත් කර ගන්නා මොහොත වන විටත් එහි රැඳී සිටි කොටි ත‍්‍රස්තවාදීහු හමුදා ප‍්‍රහාරවලින් දැඩි ලෙස බැට කෑහ. කොටින් ට සිදු වූයේ බංකර් අත හැර දමා තුවාලකරුවන් සහ මියගිය කොටින්ගේ මළ සිරුරු රැගෙන පලා යාමට ය.
‘ඉලක්ෂියා’
රාමනාදන්පුරම්හි පිහිටි බංකරයක සැඟව සිටි කොටි නායිකාවක් අත්අඩංගුවට ගැනීමට හමුදාවෝ සමත් වූහ. ‘ඉලක්ෂියා’ නමැති කොටි නායිකාවක් වන මැයට කොටි සංවිධානය ලුතිනන් කර්නල් තනතුරක් ද ලබා දී තිබුණි. ඕනෑම මොහොතක බෝම්බයක් සෑදීමට, බෝම්බයක් නිෂ්කී‍්‍රය කිරීමට හැකි ඉලක්ෂියා කොටින්ගේ බෝම්බ අංශයේ ප‍්‍රධානියෙකු බව අනාවරණය වේ.
හමුදාවේ ගමන අඩපණ කිරීම සඳහා බෝම්බ වැළලීම තම කාර්යභාරය වූ බව ඇය අවධාරණය කළා ය. මේ ප‍්‍රදේශවල ඇති වූ ගැටුම්වල දී කොටි ත‍්‍රස්තවාදීන් 30 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව භූමියේ භටයෝ තහවුරු කළ හ.
මියගිය කොටි ත‍්‍රස්තවාදීන් 5දෙනකුගේ සිරුරු ටී 56 තුවක්කු, බිම්බෝම්බ, අත්බෝම්බ, ජීව පතරොම් ඇතුළු අවි ආයුධ රැසක් හමුදා සෙබලුන් සෝදිසි මෙහෙයුම්වල දී සොයා ගැනිණි.
මුර අඩවිය සටහන් තබන මොහොත වන විට 57 වන සේනාංකයේ රණවිරුවෝ කිලිනොච්චියට නැගෙනහිරින් වන්නට මෙහෙයුම් දියත් කරමින් මුලතිව් දෙසට ඇදෙමින් සිටිති.
බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා යටතේ ඉදිරියට ගමන් කරන 58 වැනි සේනාංකය පරන්තන් සිට මුලතිව් දෙසට මෙහෙයුම් කි‍්‍රයාත්මක කරයි. මේ වන විට එම සේනාංකය මුරුසමුඩෙයි අත්පත් කර ගැනීමෙන් පසු විශ්වමඩු දෙසට සිය මෙහෙයුම් කි‍්‍රයාත්මක කරයි.
ඉකුත් 15 දා පෙරවරු වන විට මේ සේනාංකයේ රණවිරුවෝ ධර්මපුරම් ගම්මානය කොටි ග‍්‍රහණයෙන් මුදාගත් හ. මුලතිව් සීමාවේ නිජබිමක් ලෙස සැලකෙන ධර්මපුරම් කොටින්ගේ පරිපාලන කටයුතු සඳහා යොදා ගෙන තිබිණි.
මේ වන විට පරන්තන් සිට නැඟෙනහිර දිශාවට කිලෝමීටර් 15ක දුරක් ගමන් කර ඇති 58 වැනි සේනාංකයේ සෙබලුන් වර්ග කිලෝමීටර් 180ක් කොටි ග‍්‍රහණයෙන් මුදාගෙන ඇත.
කිලිනොච්චි සිට මුලතිව් දෙසට 57 වැනි සේනාංකයෙන් එල්ල වන ප‍්‍රහාර ද පරන්තන් සිට මුලතිව් දක්වා ගමන් කරන 58 වැනි සේනාංකයෙන් ද එල්ලවන ප‍්‍රහාර හමුවේ කොටි ත‍්‍රස්තවාදීන් දැඩි අර්බුදයකට පත් වී තිබේ.
වඩිඩකච්චි ප‍්‍රදේශය සිය ග‍්‍රහණයට ගත් 583 වැනි බළ සේනාව 7 වැනි සිංහ, 11 වැනි පාබල, 10 වැනි ගජබා සිය ජයග‍්‍රහණයට දායක කර ගැනිණි. මෙහි දී 5 වැනි සන්නාහ සන්නද්ධ බළකායේ යුද ටැංකි මඟින් 583 වැනි බළසේනාවට සිය උපරිම දායකත්වය ලබාදීමට කටයුතු කෙරිණි.
11 වැනි පාබල රෙජිමේන්තුව ඒ 35 මාර්ගයේ දකුණින් ධර්මපුරම් වෙත ගමන් කළ අතර 7 වැනි සිංහ රෙජිමේන්තුව ධර්මපුරම්වලට උතුරින් ඉදිරියට ඇදුනෝය.
උපායශීලිව ධර්මපුරම් ගම වටකර ගත් බළඇණි කොටි නොසිතූ මොහොතක දිගට හරහට කොටින්ට ප‍්‍රහාර එල්ල කළහ. ගම්මානයේ සිටි සිවිල් ජනතාව මුලතිව් දෙසට පලවා හරිමින් කොටි ත‍්‍රස්තවාදීහු ධර්මපුරම් ප‍්‍රදේශය අතහැර පසුබැස ගියහ.
මේ සටන අතරතුර හමුදාවෝ සිය මානුෂිකත්වය ලොවට පෙන්වීමට සමත් වූහ. කිසිදු ගැටලුවකින් තොරව යුද පිටියේ දී ඝාතනය කිරීමට හැකියාව තිබූ කොටි ත‍්‍රස්තවාදීන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
11 වැනි පාබල රෙජිමේන්තුවේ භට පිරිස් කොටි තිදෙනා මෙලෙස අත්අඩංගුවට ගත් බව සටනේ නිරත උසස් හමුදා නිලධාරියෙක් මුර අඩවියට පැවසීය.
‘මම ප‍්‍රභාකරන්ගේ ළඟින් ම සිටිමින් ඔහුට ආරක්ෂාව ලබාදුන් කෙනෙක්. කොටි සංවිධානය මට කපිතාන් නිලයක් ලබා දී තිබුණා. මේ මොහොත වන විට ප‍්‍රභාකරන් සිවිල් වැසියන් දස, දහස් ගණනක් ඔහුගේ ග‍්‍රහණයේ තියාගෙන සිටිනවා.
ප‍්‍රභාකරන් ඉන්න තැන වටකරලා මේ සිවිල් වැසියන් ප‍්‍රභාකරන්ගේ ආරක්ෂාවට යොදවලයි තිබෙන්නේ. හමුදා ප‍්‍රහාරවලින් අපේ සාමාජිකයන් ගොඩාක් මැරුණා. තව ගොඩාක් තුවාල වුණා. මේ මොහොත වන විට කොටි සාමාජිකයන්ට කෑමවත් නැහැ.
ඒත් සංවිධානයේ අය වෙඩි තියයි කියන බය නිසා කොටි සෙබලුන් සටන් කරනවා. මම වසර 10කට වැඩි කාලයක් කොටි සාමාජිකයෙක් වෙලා හිටියා. මට ලැබුණු දෙයක් නැහැ. දුක, වේදනාව ඕන තරම් අත්වින්දා’ යැයි අත්අඩංගුවට පත් කොටි සාමාජිකයන් තිදෙනාගෙන් එක් අයෙක් හමුදා නිලධාරීන් හමුවේ පැවැසීය.
මෙලෙස අත්අඩංගුවට පත් වූ කොටි තිදෙනා කොටි සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් බව අනාවරණය විය. හැම විට ම මිනිස්කම අගයන, මිනිස්කම වෙනුවෙන් කැපවෙන අප වීරෝදාර සෙබලුන් මෙම කොටි සාමාජිකයන් තිදෙනාට ආහාරපාන, වෛද්‍ය පහසුකම් වහා ලබාදීමට පියවර ගැනිණි.
ධර්මපුරම් ගමේ නැෙඟනහිර කොටසේ තිබී කොටි පුහුණු කඳවුරක් 58වැනි සේනාංකයේ භට පිරිස් විසින් සොයා ගන්නා ලදී. භූමියේ දක්නට ලැබුණු බොහෝ දේවල්වලින් පෙනී යන්නේ කොටි ත‍්‍රස්තවාදීන් තම සාමාජිකයන්ට නොයෙක් වදහිංසා පමුණුවමින් යුද පුහුණුව ලබාදුන් බව යැයි භූමියේ සිටින උසස් හමුදා නිලධාරියෙක් මේ තීරයට පැවැසීය.
ධර්මපුරම් ගමේ තිබුණු භූගත බංකරයක් ද භටපිරිස් විසින් සොයා ගන්නා ලදී. මෙම බංකරයට පිවිසීම සඳහා අඩි 40ක පමණ උසකින් යුක්ත වූ පඩිපෙළක් තනා තිබිණි. බංකරයේ 75 දෙනෙකුට පමණ සිටිය හැකි අතර කොටි නායකයකු මෙහි රැඳී සිටින්නට ඇතැයි හමුදාව සැක කරයි.
ඉහළින් බැලූවිට පොල් අතු මඩුවක් සේ පෙනෙන මෙය වටා සිවිල් වැසියන් පදිංචිකරවූ පැල්පත් රාශියක් ද දැක ගත හැකිය.
ධර්මපුරම් ගම්මානයේ බලය සම්පූර්ණයෙන් තහවුරු කළ 58 වැනි සේනාංකයේ සෙබලු 17 දා වන විට විශ්වමඩු දෙසට ගමන් කළහ. ඊයේ වන විට 58 වැනි සේනාංකය විශ්වමඩු දෙසට ළගාවෙමින් කොටින්ට ප‍්‍රබල ප‍්‍රහාර රැසක් එල්ල කිරීමට සමත්විය.
බි‍්‍රගේඩියර් නන්දන උඩවත්ත යටතේ 59 වන සේනාංකය ඉකුත් 10දා කොටින්ගේ තවත් ගුවන් පථයක් අත්පත් කර ගත්තේය. මුලතිව් පුදිකුඩිඉරිප්පු කේපාපිලව් ප‍්‍රදේශයේ තිබූ මෙම ගුවන් පථය ඉතා රහසිගත ලෙස සකස් කර තිබුණි. ගුවනට පවා නොපෙනෙන අයුරින් ඉදිකළ ගුවන්යානා අංගන දෙකක් මෙහි තිබී සොයාගැනිණි.
592 වැනි බළසේනාවත්, 593 වන බළසේනාවත් ගුවන් අංගනයට දෙපැත්තෙන් වට කරමින් කොටින්ට පහරදුන් අතර 9 වැනි සිංහ රෙජිමේන්තුවේ රණවිරුවෝ ගුවන් පථය අල්ලා ගත්හ.
මේ අතර ඉරණමඩු වැවට නැඟෙනහිරින් වූ කොටින්ගේ ප‍්‍රධාන ගුවන් පථය ලෙසින් සැලකෙන ඉරණමඩු කොටි ගුවන් පථය කාර්යසාධක බළකාය – 3 විසින් අත්පත් කර ගන්නා ලදී. බි‍්‍රගේඩියර් සත්‍යපි‍්‍රය ලියනගේ අණදෙන කාර්යසාධක බළකාය – 3 යටතේ වූ 632 වැනි බලසේනාව මේ ප‍්‍රදේශයේ කොටි බලය සුණු විසුණු කෙළේය.
කොටි ගුවන් පථ
කොටින්ගේ ඊළාම් රාජ්‍යයේ කිලිනොච්චි අගනගරයේ ප‍්‍රධාන ගුවන් තොටුපොළ ලෙස කොටි ත‍්‍රස්තවාදීන් මෙය නම් කර තිබූ අතර දිගින් කිලෝමීටර් 02 කට වැඩි මෙම ගුªවන් පථය පළලින් මීටර් 200 කි.
632 බළසේනාව මඟින් මීට ඉහතදී අම්පකාමම් ප‍්‍රදේශයේ තිබී තවත් කොටි ගුවන් පථයක් මුදා ගත්හ. ඉරණමඩු ගුවන් පථය කරා ළංවන අවස්ථාවේ කොටි අතිරේක කණ්ඩායම් කැඳවා හමුදා ගමන වැළැක්වීමට කිහිප විටකදී උත්සාහ දැරුවද එය අසාර්ථක විය.
මේ අතර මේ ප‍්‍රදේශයේ හාරසියයකට ආසන්න කොටි සාමාජිකයන් පිරිසක් සිටින බව ඉදිරි මෙහෙයුම්වල නිරතව සිටින කුඩා කණ්ඩායම් දන්වා තිබුණි. එම තොරතුරු ඔස්සේ කාර්ය සාධක – 3 සේනාංකය සිය මෙහෙයුම් උපක‍්‍රමශීලීව ආරම්භ කෙළෙය.
එහිදී කොටි ත‍්‍රස්තවාදීහු 35 දෙනෙක් මරුමුවට පත්වූහ. කොටින්ගේ මෘතදේහ 64ක් ද සොයා ගත්හ.කොටින්ගේ 5 වැනි ගුවන් පථය කාර්යසාධක සේනාංක – 3 මගින් අත්පත් කරගෙන පැය 24ක් යෑමට පෙර 57 වැනි සේනාකයේ භට පිරිස් විසින් කොටින්ගේ තවත් ගුවන් පථයක් සොයාගන්නා ලදී.
ඉරණමඩු වැවට නැඟෙනහිරට වන්නට මෙය සකස් කර තිබූ අතර කිලෝමීටරයක් පමණ දිගින් යුත් මෙම ගුවන් පථය මීටර් 50ක පළලකින් සමන්විත වෙයි.
මීට පෙර පරන්තන් සහ කොකාවිල් ප‍්‍රදේශවලදීද කොටින්ගේ ගුවන් පථ දෙකක් අල්ලාගැනීමට යුද හමුදාවෝ සමත්විය.
කොටි ත‍්‍රස්තවාදීහු මේ ආකාරයට ගුවන් පථ කිහිපයක් සකස් කර ඇත්තේද හමුදාව නොමඟ යැවීම සඳහා විය හැකි බව ආරක්‍ෂක අංශ ප‍්‍රධානියෙක් අවධාරණය කෙළේය.
කොළඹ, වව්නියාව, අනුරාධපුරට කොටි ගුවන් ප‍්‍රහාර එල්ල කළ අවස්ථාවල කොටි ගුවන් යානා එක් ගුවන් පථයකින් ඉහළට ඔසවා තවත් ගුවන් පථයකින් ගොඩබස්සවන්නට ඇතැයි සැක කළ හැකිය.
කොටි සතු ගුවන්යානා මේ මොහොත වන විට මුලතිව්වලට ගෙනගොස් ඇති අතර කොටි මේවා යොදාගෙන ඉදිරියට එන හමුදාවන්ට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කිරීමේද ඉඩකඩක් තිබෙන බවත් ඒ සඳහා ආරක්‍ෂක අංශ සීරුවෙන් තබා ඇති බවත් උසස් හමුදා නිලධාරියෙක් මුරඅඩවියට පැවැසීය.
කර්නල් නිශාන්ත වන්නිආරච්චි අණදෙන කාර්ය සාධක බළකාය – 4 යටතේ වූ 641 වැනි බළසේනාව මුත්තියන්කඩ්ඩිකුලම් වැවට නැඟෙනහිරින් වූ කොටින්ගේ පුහුණු කඳවුරක් ඇතුළු කඳවුරු සංකීර්ණයක් අත්පත් කර ගත්හ.
14 වැනි සිංහ, 20 වන පාබල, 21 වන සිංහ යන රෙජිමේන්තු මේ සඳහා දායක වූහ. කඳවුරු සංකීර්ණයේ භූගත බංකරයක ඉතා සුව පහසු ආකාරයට සකස් කළ කාමර දෙකක් විය.
මින් එක් කාමරයක් සම්පූර්ණයෙන් පිඟන් ගඩොල් අල්ලා තිබූ අතර එහි වූ නවීන නාන කාමරයක්ද තිබිණි. ප‍්‍රභාකරන් හෝ වෙනත් ප‍්‍රබල කොටි නායකයකු මෙහි රැඳී සිටින්නට ඇතැයි රණවිරුවෝ සැක පහළ කරති.
මෙම කඳවුරු සංකීර්ණය අත්පත් කර ගැනීමේදී කොටි සාමාජිකයන් සහ හමුදාව අතර මුහුණට මුහුණලා දරුණු සටන් පැවති අතර එහිදී කොටින්ට බරපතළ හානි සිදු විය.
කොටි ග‍්‍රහණයෙන් පලා එන සිවිල් වැසියන් ආරක්‍ෂා කිරීමට යුධ හමුදාව පියවර රැසක් කි‍්‍රයාත්මක කර ඇත. ඉකුත් සති දෙකේ තුන් දහසකට ආසන්න සිවිල් වැසියන් ප‍්‍රමාණයක් කොටි ග‍්‍රහණයේ සිට හමුදාව වෙත පැමිණ තිබේ.
කොටි ත‍්‍රස්තයන් අනාරක්ෂිත ප‍්‍රදේශවල සිටින සිවිල් වැසියන් ප‍්‍රමාණය විශාල කරමින් ලෝකයාට පෙන්වා තිබේ. අනාරක්‍ෂිත ප‍්‍රදේශවල ලක්‍ෂ දෙකහමාරකට ආසන්න පිරිසක් සිිටින බව කොටි ප‍්‍රකාශ කර ඇතත්, ඊට බෙහෙවින් අඩු ප‍්‍රමාණයක් එහි සිටි.
භක්ති ධර්මපි‍්‍රය මෙන්ඩිස්

කොටින්ගෙන් මිදී 181ක් පැමිණෙති

මහින්ද කුලතුංග
මුලතිව් මුදා නොගත් ප‍්‍රදේශවල සිට කිලිනොච්චියේ මුදාගත් ප‍්‍රදේශයට ගත වූ දින දෙකේදී සාමාන්‍ය වැසියන් 181 දෙනකු පැමිණි බව යුද හමුදාව කියයි.
මේ අනුව පුලියන්පොක්කාරේ ප‍්‍රදේශයට සාමාන්‍ය වැසියන් 164, ධර්මපුරම් ප‍්‍රදේශයට 7 සහ වවුනියාව ඕමන්තේ ප‍්‍රදේශයට 10 ක් පැමිණ තිබෙන බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවැසීය.

මෝටාර් අංගනයකට ප‍්‍රබල ගුවන් ප‍්‍රහාරයක්

මහින්ද කුලතුංග
කොටි ත‍්‍රස්තවාදීන්ගේ මුලතිව් ඉදිරි ආරක්ෂක වළල්ලට සහ ඉරණමඩු වැවට කිලෝ මීටර් 8 ක් නැගෙනහිරින් පිහිටි කොටි මෝටාර් මධ්‍යස්ථානයකට ඊයේ (18) උදේ ගුවන් හමුදාව ගුවන් ප‍්‍රහාර එල්ල කර තිබේ.
එම්.අයි.24 හෙළිකොප්ටර් මගින් මෙම ප‍්‍රහාර එල්ල කර තිබේ.
මුලතිව් නගරයට කිලෝ මීටර් 4ක් නුදුරින් පිහිටි කොටි ඉදිරි ආරක්ෂක වළල්ලට ගුවන් හමුදාව ප‍්‍රහාර එල්ල කර ඇත්තේ යුද හමුදාවේ 59 වැනි සේනාංකයට සහාය සඳහා බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය.

‘රාමනාථපුරම්’ හි බලය හමුදාව අතට

මහින්ද කුලතුංග, චන්ද්‍රිකා පෙරේරා
යුදහමුදාවෙන් කිලිනොච්චිය දිස්ති‍්‍රක්කයේ රාමනාථපුරම්, ප‍්‍රදේශය පෙරේදා (17) සම්පූර්ණයෙන්ම අත්පත් කරගෙන තිබේ.
රාමනාථපුරම් නගරය ඇතුළු ප‍්‍රදේශය ඒ - 9 මාර්ගයට නැගෙනහිරින් පිහිටා ඇති අතර දින කීපයක් තිස්සේ පැවති දැඩිසටහනකින් පසු පෙරේදා එම ප‍්‍රදේශය අත්පත් කරගත් බවත් ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
යුදහමුදාවේ 57 වන සේනාංකයේ රණවිරුවන් විසින් මෙම ප‍්‍රදේශය ත‍්‍රස්තවාදීන්ගෙන් මුදාගෙන ඇත.

කොටි ඉලක්ක දෙකකට දැඩි ගුවන් ප‍්‍රහාර

මහින්ද කුලතුංග, චන්ද්‍රිකා පෙරේරා
ගුවන් හමුදාවේ ප‍්‍රහාරක ජෙට්යානා මගින් මුලතිව් දකුණේ කොටි ඉදිරි ආරක්ෂක වළල්ලට සහ චුණ්ඩිකුලම් දකුණේ කොටි තිප්පොලකට පෙරේදා (17) දැඩි ගුවන් ප‍්‍රහාර එල්ලකර තිබේ.
උදේ 11.00 ට පමණ දකුණු මුලතිව් කොටි ඉදිරි ආරක්ෂක වළල්ලට ප‍්‍රහාර එල්ල කැර තිබේ. චුන්ඩිකුලම් දකුණේ කොටි ඉලක්කයට එදින දවල් 12.00 ට ප‍්‍රහාරය එල්ලකර තිබෙන අතර මේ ප‍්‍රහාර නිවැරදි ඉලක්කයට සාර්ථකව එල්ලකළ බවත් ප‍්‍රහාරවලින් ත‍්‍රස්තවාදීන්ට බරපතල හානි සිදුවූ බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය.

අපේ ආර්ථිකයේ කඩාවැටීමක් කොහෙත්ම සිද්ධ වෙන්නේ නෑ මෛතී‍්‍රපාල සිරිසේන - කෘෂිකර්ම සංවර්ධන සහ ගොවිජන සේවා අමාත්‍ය

ඉදිරියේදී කි‍්‍රයාත්මක විමට නියමිත “උතුරේ වසන්තය” සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳත්, සර්වපාර්ෂික කමිටුවේ යෝජනාවලිය පිළිබඳත් ඉන්දීය ලේකම් ශිව සංකර් මෙනන් මහතාගේ ශී‍්‍ර ලංකා ගමන පිළිබඳත් කෘෂිකර්ම සංවර්ධන සහ ගොවිජන සේවා අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතා මෙසේ අදහස් දක්වයි.
මේ වසරේදී ත‍්‍රස්තවාදය අවසන් කරන බවට රජය ප‍්‍රකාශ කරලා තියෙනවා. එහෙත් ත‍්‍රස්තවාදය අවසන් කළ පමණින් උතුරු - නැඟෙනහිර අර්බුදය අවසන් කළ නොහැකි බවට විද්වතුන් මත පළ කරනවා. මෙහෙයුම් වල ජයග‍්‍රහණයෙන් දශක ගණනාවක් පීඩාවට පත්වු ඒ ප‍්‍රදේශවල ජනතාවට මොනවගේ වැඩපිළිවෙළක්ද කි‍්‍රයාත්මක කරන්නේ?
නැඟෙනහිර ප‍්‍රදේශ මුදාගන්න යන ගමනේදීත් ඒ ප‍්‍රදේශවල සංවර්ධනය සඳහා රජය විශාල වැඩ කොටසක් කරගෙන ගියා. නැඟෙනහිර නිදහස් කරගත්තට පස්සේ ඒ ප‍්‍රදේශවල ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කළා.
පළාත් පාලන ආයතන පිහිටුවලා පළාත් සභා පිහිටවලා ඒ ප‍්‍රදේශවල සංවර්ධන කාර්යන් කඩිනම් කළා. අද වෙන විට නැඟෙනහිර නවෝදයක් ඇතිවෙලා තියෙනවා.
ඒක කවුරුත් පිළිගන්නවා. ඒවගේම තමයි උතුරු නිදහස් කරගැනීමෙන් පසුවත් අපට මුලින්ම තියෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක් ස්ථාපනය කිරීමයි. එය අපේ රජයේ මූලික වගකීමක් සහ යුතුකමක්.
ඊළඟට අපි විශ්වාස කරනවා විදේශීය වශයෙන් අපිට විශාල ලෙස මුදල් ලැබෙයි කියලා. උදාහරණයක් වශයෙන් ගත්තාම නැඟෙනහිරට රජය වියදම් කරනවාට වඩා විශාල වශයෙන් ජාත්‍යන්තර සංවිධානවලින් ආධාර ලැබිලා තියෙනවා.
ඒ වාගේම උතුරේ සංවර්ධනයටත් දේශීය වශයෙන් කරන ආයෝජන මෙන්ම විදේශීය ආධාර විශාල ප‍්‍රමාණයක් ලැබේ. ඒවායින් සම්පූර්ණයෙන්ම ජනතාවගේ ජන ජීවිතයේ ආර්ථිකයේ විශාල පරිවර්තනයක් කරන්න පුළුවන් වේවි.
උතුරු නැඟෙනහිර සම්පූර්ණයෙන්ම වගේ කෘෂි කාර්මික ප‍්‍රදේශ තිබෙන්නේ. ඒ ප‍්‍රදේශවල ජීවත්වන ජනයාට අවශ්‍ය කෘෂි කාර්මික පහසුකම් ලබාදීලා සංවර්ධනය පිළිබඳ යන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක කරන්න ඕනේ.
උදාහරණ වශයෙන් කෘෂි කර්මය සම්බන්ධ මධ්‍යස්ථාන ගත්තම පසුගිය කාලයේ සිද්ධවුණ ත‍්‍රස්තවාදී කි‍්‍රයා නිසා නිලධාරීන් නැහැ සේවකයෝ නැහැ සම්පත් නැහැ.
ත‍්‍රස්තවාදී පාලන කාලයේදීත් අපි ඒ ස්ථාන වලට අවශ්‍ය ආධාර දුන්නා. ඒත් ඒ ආධාර එල්. ටී. ටී. ඊ. ත‍්‍රස්තවාදීන් අතට ගියා මිසක් ජනතාවට ලැබුණේ නැහැ.ඒත් ඒ ප‍්‍රදේශ මුදාගත්තට පස්සේ අපිට අපේ වගකීම හරියට ඉෂ්ට කරන්න පුළුවන්.
එතෙන්දී අපි නැඟෙනහිර නවෝදය කි‍්‍රයාත්මක කළා වගේ උතුරට “උතුරේ වසන්තය” කියන වැඩසටහන කි‍්‍රයාත්මක කරනවා. මම මුලදී කිව්ව විදිහට නැගෙනහිර ජනතාවගේ ජන ජීවිතය නංවන්න යටිතල පහසුකම් නංවන්න ආර්ථිකය නංවන්න රජය කටයුතු කළා වගේම උතුරේත් ඒ කි‍්‍රයාවලිය වඩාත් ශක්තිමත් ව සිදු කරන්න අවශ්‍ය සැලසුම් අපට තියෙනවා.
අමාත්‍ය තිස්ස විතාරණ මහතා ප‍්‍රකාශ කර තිබෙන පරිදි සර්ව පාර්ශික කමිටුවේ යෝජනාවලියට තවමත් එකඟවෙලා තියෙන්නේ 90%ක් පමණයි. ඒ අනුව දේශපාලන විසඳුම ගැන සැකයක් මතුවෙනවා නේද?
සියයට සියයක එකඟතාවකට එන්න කිසිම දෙයකදී බැහැනේ. 10% අයින් කරලා එකඟවුණු 90 පිළිබඳවයි අවසානයේ කටයුතු කරන්න වෙන්නේ. විශේෂයෙන්ම ඔය වගේ කාරණයකදී සියලු දෙනාගේම සිත්දිනාගෙන කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ.
වඩා හොඳ ගැළපෙන බහුතර පිරිසක් පිළිගන්නා දේ ඉටු කිරීම තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ක‍්‍රමයකදී සිද්ධ වෙන්න ඕනේ. ඒනිසා සර්ව පාර්ශික කමිටුවට එන සියලු දේශපාලන පක්ෂවල එකඟතාව ගන්න අසීරුවෙයි.
ඒක ශී‍්‍ර ලංකාවේ විතරක් නොවේ ලෝකයේම තියෙන පොදු තත්ත්වයක් එහෙත් අපි එතෙන්දි බහුතරයක් පිළිගන්න තීරණය තමයි කි‍්‍රයාත්මක කළ යුත්තේ
අනික උතුරුටත්, නැඟෙනහිරට වගේම පළමුවෙන්ම 13 වෙනි සංශෝධනය කි‍්‍රයාත්මක කරන්න ඕනේ. ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වෙනි සංශෝධනය කවදාවත් උතුරේ කි‍්‍රයාත්මක වෙලා නැහැ.
ඒක හදුන්වා දුන් පිරිසටත් කි‍්‍රයාත්මක කරගන්න බැරිව ගියා. ඒ නිසා 13 වෙනි සංශෝධනය පළමුවෙන්ම කි‍්‍රයාත්මක කරලයි . අනික් ඒවාට යොමු වෙන්න සිදුවෙන්නේ.
සර්වපාර්ශික කමිටුවට විපක්ෂයේ ප‍්‍රධාන පක්ෂ දෙක නැහැ. එවැනි තත්ත්වයක රටටම වැදගත් තීරණයක් ගන්නේ ප‍්‍රධාන විපක්‍ෂය නොසලකා හැරලද?
සර්ව පාර්ශික කමිටුවට මුලදී එජාපයයි ජවිපෙයි සහභාගිවුණා. ඒ අය ඔවුන්ගේ අදහස් දීලා ගියා. එක්සත් ජාතික පක්ෂයේ අද ඉන්න නායකයාගේ හැටියට ඔහු මේ රටේ පොදු යහපතට තීරණ ගන්න කෙනෙක් කියලා හිතන්න බැහැ.
එජාපයේ නායකයා හැම වෙලාවේම ප‍්‍රකාශ කරන්නේ ඔලුවෙන් හිටගෙන වගෙයි. ඇත්තෙන්ම අද එක්සත් ජාතික පක්ෂයට අකුණු ගහලා තියෙන්නෙත් ඒනිසයි.
එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන නායකත්වය මේ රටේ දේශපාලනයේ ප‍්‍රධාන සාධකයක් හැටියට ගන්න බැහැ. එජාපයේ රට ගැන ආදරයක් තියෙන නායකත්වයක් තිබුණු කාලවල ඔවුන්ගේ මතය ඉතා වැදගත් ලෙස ප‍්‍රබල වුණා.
ඒත් අද එහෙම තත්ත්වයක් ඔවුන් පෙන්නුම් කරලා නැහැ. අද එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ ඔලුවේ වැඩකරන්නේ වෙනත් දේවල් දැන් බලන්න කිලිනොච්චිය ජයග‍්‍රහණය කරපුවාම රනිල් වික‍්‍රමසිංහ මහත්තයා කියනවා දැන් කිලිනොච්චිය අල්ලා ගත්තා ඒ නිසා යුද්ධයට යන වියදම නැහැ, තෙල් මිල අඩ කළහැකියි කියලා.
ඒ වගේම හරිම බොළඳ පටු අදහස් තියෙන නායකයෙක් මෙතෙන්දී සහය දෙයිද කියන ගැටලුවක් තියෙනවා.
එහෙත් එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ සිටින පක්ෂ අතරත් සර්ව පාර්ශික කමිටුවේ යෝජනා සම්බන්ධයෙන් එකඟත්වයක් නැහැ නේද?
ආණ්ඩුව ඇතුළේ ඉන්න හැම කෙනෙක්ම එක්සත් ජනතා නිදහස් සන්ධානය වශයෙන් සහ මහින්ද චින්තන මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයට අනුවයි එකතුවෙලා ඉන්නේ. ඒවාගේම ජනාධිපතිතුමාත් රජයත් අපි කවුරුත් පැහැදිලිව මහින්ද චින්තන මැතිවරණ ප‍්‍රකාශනයේ තිබෙන වැඩපිළිවෙළ අනුව තමයි කටයුතු කරන්නේ. රටේ ජනතාව අපිට බලය දීලා තියන්නේ ඒ මැතිවරණ ප‍්‍රකාශනයටයි. ඒ නිසා මැතිවරණ ප‍්‍රකාශනයට අනුවයි අපි කටයුතු කරන්නේ.
ත ඉන්දියාව මෙහෙයුම්වල අවසාන බාගයේ ශ‍්‍රී ලංකාවට බලපෑම් කරයිද කියන මතය නිතරම දේශපාලන වේදිකාවල ඇසුණා. ඒ අනුව ඉන්දීය විදේශ කටයුතු ලේකම් වරයාගේ ශ‍්‍රී ලංකා ගමන පිළිබඳව යම් සැකයක් මතු වෙනවා නේද ?
නැහැ. එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉන්දියාව මේ අවස්ථාවේ අපේ මෙහෙයුම් ගැන කතා කරන්නේ නැහැ. ඔවුන්ට ඔවුන්ගේ රටේ තිබෙන අභ්‍යන්තර ප‍්‍රශ්න බලාගන්න වෙලා තියෙන්නේ ඒවා සැඳ්‍රගන්න කටයුතු කරනවා හැරෙන්න අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට ඉන්දියාව ඇගිලි ගහන්නේ නැහැ.
ඉදිරියේදී ආර්ථික අර්බුදයක් ඇතිවෙන ලකුණු පහළවෙලා තිබෙන බවට මතයක් තියෙනවා. මේ සම්බන්ධයෙන් රජය කටයුතු කරන්නේ කොහොමද ?
ඉදිරියේදී කිසිදු ආර්ථික ප‍්‍රශ්නයක් අපිට ඇතිවෙන්නේ නැහැ. මේවා එක එක අය පේන බලලා කියන කතායි. අමෙරිකාවේ ආර්ථිකය කඩා වැටුණට අපි කලබල වෙන්න ඕනේ නැහැ.
අපි අපේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරන්න අවශ්‍ය දේ කරලා තියෙනවා. ඔය ප‍්‍රකාශ සියල්ලම අසුබවාදී ලෙස දකින හිතන අයගේ ප‍්‍රකාශයි. ඒ නිසා ඉදිරිය සුබවාදී මිසක් අසුබවාදී නැහැ. අපේ ආර්ථිකයේ කඩාවැටීමක් නොහෙත්ම සිද්ධවෙන්නේ නැහැ.
එස්.බී.දිසානායක මහතා මෑතකාලීනව ප‍්‍රකාශ කර තිබුණු ආණ්ඩුව ගමන් කරමින් ඉරන්නේ 1970 සමගි පෙරමුණු සිදුකළ වැනි හාල් පොසු යුගයකට බව ?
එයාගේ මොළය හොඳ නැහැ. එයා කියන දේවල්වලට අපි උත්තර දෙන්නේ නැහැ. ආඥාදායක නායකත්වයක් රටට අවශ්‍යයි කියන එස්.බී.දිසානායක මහත්තයා තමන් ඉන්නේ කොහෙද කියලවත් දන්නේ නැතිවයි ඔයවගේ ප‍්‍රකාශ කරන්නේ.
සිරස මාධ්‍ය ආයතනයට ගිනි තැබීම සහ ලසන්ත වික‍්‍රමතුංග මහතා ඝාතනය සම්බන්ධයෙන් ආණ්ඩුව වගකියන්න ඕනේ කියලා විපක්ෂය ප‍්‍රකාශ කරනවා ?
ආණ්ඩුවට චෝදනාකිරීම විපක්ෂයේ ප‍්‍රතිපත්තිය සහ සම්ප‍්‍රදාය බවට පත්වෙලා තියෙනවා. මේ රටේ ප‍්‍රධාන පක්ෂය කියන්නේ අද බරපතළ ලෙස දේශපාලන වශයෙන් බංකොලොත් වෙච්ච නැගිටින්න බැරි තරමට කඩා වැටුණු පක්ෂයක්.
තමන්ගේ පක්ෂය යම් පොදු එකගතාවට තමන්ගේම මතයකට ගේන්න බැරි විපක්ෂයෙක් අද තියෙන්නේ. ඉතින් මොකක් හරි සිදුවීමක් වෙද්දී ඒක ආණ්ඩුව පැත්තට දානවා.
දැන්ඔය කියන සිද්ධි ආණ්ඩුව අතින් සිද්ධවුණා කියලා අපි පිළළිගන්නේ නැහැ. මොකද අපට කිසිම අවශ්‍යතාවක් නැහැ. මේවගේ සිදුවීම් ඇතිකරන්න. අද අපේ රජය ත‍්‍රස්තවාදයට එරෙහිව කරගෙන යන මෙහෙයුම් නිසා ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතිකවත් විශාල කීර්තියකට පත්වෙලා ඉන්නේ.
ඉන්දීය හමුදාවට වත් කරන්න බැරිවුණු දේ අපේ ආරක්ෂක හමුදා කරලා තියෙනවා. එහෙම රජය ජනප‍්‍රියත්වයේ ඉහළම මට්ටමකට පත්වෙලා තියෙන අවස්ථාවක මාධ්‍ය මර්දනයක් කරන්න අපිට වුවමනාවක් නැහැ.
මේ සියල්ල රජයේ ජනප‍්‍රියත්වය විනාශ කිරීම සඳහා කරන දේශපාලන කුමන්ත‍්‍රණයි. ඒ නිසා සිද්ධියක් සිදුවුණු ගමන් බොහොම පහසුවෙන් එක්පැත්තකට අත දික් කරලා ආණ්ඩුව තමයි කළේ කියන එක වැරැදියි.
අපි හොයලා බලන්න ඕනේ කොහෙන්ද මේවා සිද්ධවුණේ කියලා. දැන් මේ සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වනවා.
ජනාධිපති තුමා පොලිස්පතිතුමාට උපදෙස් දීලා තියෙනවා. පරීක්ෂණණ විධිමත් කරන්න කියලා.ඒ පරීක්ෂණ වල ප‍්‍රතිඵළ ආවම කවුද මේ සිද්ධිය පිටුපස්සේ ඉන්නේ කියලා සොයාගන්න පුළුවන් වේවි. එහෙම නැතුව ළඟබලලා චෝදනා එල්ල කරන එක ඉතාමත් අසාධාරණයි.
ශ‍්‍රී ලංකාවේ අභ්‍යන්තර ප‍්‍රශ්න පිළිබඳ ප‍්‍රකාශ නිකුත් කරන අමෙරිකානු තානාපතිවරයා පිළිබඳ රාජ්‍යතාන්ති‍්‍රක කි‍්‍රයාමාර්ගයක් ගන්නා ලෙස විමල් වීරවංශ මහතා ප‍්‍රකාශ කරනවා. මේ සම්බන්ධයෙන් ඔබගේ ස්ථාවරය කුමක්ද ?
රජයේ ඇමැතිවරයෙක් වශයෙන් මම ඔයවගේ ප‍්‍රකාශ ගැන කතාකරන්න යන්නේ නැහැ. මම වැඩ කරන්න ඕනේ රාජ්‍ය ප‍්‍රතිපත්තිත් සමඟයි. එතෙන්දි රාජ්‍ය තාන්ති‍්‍රක නියෝජිතයෙක් සම්බන්ධයෙන් අපි වගකීමෙන් කටයුතු කරන්න ඕනේ.
තානාපතිවරු සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට තිබෙන බලතල සහ වගකීම අනුව තීන්දු ගනීවි. එහිදී ජනාධිපතිතුමාගේ තීරණවලට අපේ එකඟතාව තියෙනවා.
සාකච්ඡා කෙළේ මලික් චමින්ද ධර්මවර්ධන

ජවිපෙ නායකත්වය ගැන කළකිරී මන්තී‍්‍ර සරත් විජේසිංහ ආණ්ඩුවට එක්වෙයි

ජයසිරි මුණසිංහ
ජනතා විමුක්ති පෙරමුණේ මාතලේ දිස්ති‍්‍රක් කණ්ඩායම් උප නායක හිටපු පළාත් සභා මන්තී‍්‍ර සරත් විජේසිංහ මහතා මාතලේ නාවුල මහජන කී‍්‍රඩාංගණයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (18) පැවැති මහජන රැලියේ දී රජය සමඟ එක්විය.
ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරමින් එළඹෙන මධ්‍යම පළාත් සභා මැතිවරණයේදී රජයට සහයෝගය දීම සඳහා විජේසිංහ මහතා තීරණය කොට ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායකත්වය පිළිබඳ කළකිරීමෙනි.
විජේසිංහ මහතා පසුගිය කාලය තුළ ජනතා විමුක්ති පෙරමුණේ ජයග‍්‍රහණ වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදු කළ ප‍්‍රාදේශීය නායකයෙකි. ඒ මහතා මධ්‍යම පළාත් සභාව සඳහා මෙවර ද තරග කරයි.

අජන්තට-මුරලිට මුහුණදීමට සූදානම් ෂොහිබ් මලික් ශ‍්‍රී ලංකා-පාකිස්තාන ප‍්‍රථම තරගය හෙට

ශ‍්‍රී ලංකා පිලේ පාකිස්තාන සංචාරයේදී සාර්ථකව මුහුණදීමට තම කණ්ඩායම සූදානම් බව පාකිස්තාන කි‍්‍රකට් නායක ෂොහිබ් මලික් පැවැසීය.
හෙට කරච්චිහිදී ආරම්භ වන ප‍්‍රථම එක් දින අන්තර්ජාතික තරගය ජය ගැනීම තම අපේක්ෂාව බව මලික් මාධ්‍යවේදීන්ට පැවැසීය.
ශ‍්‍රී ලංකා පිලේ ප‍්‍රධාන තුරුම්පු දෙක වන අජන්ත මෙන්ඩිස්ට හා මුත්තයියා මුරලිදරන්ට සාර්ථකව මුහුණදීම සඳහා පාකිස්තාන පිතිකරුවන් හොදින් පුහුණු වී ඇතැයිද මලික් පැවැසීය.
මුරලිට හා අජන්තට මුහුණ දෙන්න හොඳ ක‍්‍රමෝපායක් සකස්කර තිබෙනවා. කෙටි තරගාවලියක් නිසා පළමු තරගය ජයගැනීම වැදගත්. මලික්ගේ මේ අදහසට අමතරව ශ‍්‍රී ලංකා පිලට විශේෂ ස්තුතියක්ද කර ඇත.
ඉන්දියාව සමඟ තරගාවලිය නොපැවැත්වීම නිසා රටවල් කිහිපයකටම ආරාධනා කළද ශ‍්‍රී ලංකාව පමණක් ආරාධනාව පිළිගැනීම ගැන සතුටට පත්වන බවද ඔහු පවසා ඇත. “හැමෝම බෑ කීවාම ශ‍්‍රී ලංකාව පමණක් ආවා.
එයට ප‍්‍රශංසා කරනවා. ඒ උපකාරයට ශ‍්‍රී ලංකා පිලට ස්තුතිය හිමිවෙනවා. මේ තරග තුනම උණුසුම් වේවි. ශ‍්‍රී ලංකා පිල ලෝකයේ හොඳම කණ්ඩායමක්. ෂොහිබ් අක්තාර නැවත එක්වීමත් අපට ශක්තියක්” යනුවෙන් මලික් පැවැසීය.
ෂොහිබ් අක්තාර් අබුඩාබිහිදී නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ තරගාවලියට එක්නොවූහ. පාකිස්තාන පිලට වේග පන්දු යවන්නන් හයදෙනෙකු ඇතුළත් කර තිබීමද විශේෂත්වයකි.
ශ‍්‍රී ලංකා සුපිරි දගපන්දු යවන කී‍්‍රඩක මුත්තයියා මුරලිදරන් එක් දින කි‍්‍රකට් ලොවේ වැඩිම කඩුලු ලාභියාගේ වාර්තාව පිහිටුවීමට තවත් කඩුලු 9 ක් පසුපසින් සිටී. වසීම් අක‍්‍රම් එක්දින කඩුලු 502 ක් ලබා එම වාර්තාව පිහිටුවා ඇත. මුරලි ටෙස්ට් කඩුලු 769 ක් ලබා වැඩිම ටෙස්ට් කඩුලු ලාභියාගේ වාර්තාවටද හිමිකම් කියයි.
ශ‍්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවැනි තරගය බදාදා හා තෙවැනි තරගය සෙනසුරාදා පැවැත්වීමට නියමිතය. සියලු තරග දිවා රාතී‍්‍ර තරග වේ.
පාකිස්තාන පිල මෙසේය - ෂොහිබ් මලික් (නායක), මිෂිබා උල්හක්, සල්මන් බට්, යුනුස් ඛාන්, සහිඩ් අෆ්රිඩි, කම්රන් අක්මාල්, ෂොහෙල් ටන්වීර්, ෂොහිබ් අක්තාර්, උමාර් ගුල්, රාඕ ඉෆ්තිකාර්, ෂහිඩ් අජ්මාල්, කුරාම් මන්සූර්, ෂොහෙල් ඛාන්, යසීර් අර්ෆත්, උමාර් අමීන්

ශී‍්‍ර ලංකාවට එන ඉන්දීය පිල නම් කරයි රංජි කුසලානයෙන් මතු වූ අලුත් තරුවක් එක්වෙයි

ශී‍්‍ර ලංකාව සමග පැවැත්වෙන එක්දින අන්තර්ජාතික කි‍්‍රකට් තරගාවලිය සඳහා රංජි කුසලාන කි‍්‍රකට් තරගවලදී දස්කම් දැක් වූ රවීන්ද්‍ර ජඩේජා හා එංගලන්ත තරගාවලියට එක් නොකළ ප‍්‍රවීන් කුමාර් ඉන්දීය පිලට කැඳවා ඇත.
ඉන්දීය කි‍්‍රකට් කණ්ඩායමට මුල්වරට කැඳ වූ රවීන්ද්‍ර ජඩේජා තුන් ඉරියව් කී‍්‍රඩකයෙකි.
ඉන්දියාව අවසන් වරට පැවැත් වූ එංගලන්තය සමඟ එක්දින තරගාවලියට කී‍්‍රඩා කළ හර්බජං සිං හා විරාට් කොහොලි කණ්ඩායමෙන් ඉවත් කර ඇත.
කණ්ඩායමට අලුතින් එක් වූ රවීන්ද්‍ර ජඩේජා 19 න් පහළ ලෝක කුසලාස දිනූ ඉන්දීය පිලේ ද ඉන්දීය පි‍්‍රමියර් ලීග් සූරතාව දිනාගත් රාජස්තාන් රෝයල් පිලේද සාමාජිකයෙකි.
20 හැවිරිදි ජඩේජා නිමා වූ ඉන්දීය ප‍්‍රධාන අන්තර් සමාජ කි‍්‍රකට් තරගාවලිය වූ රංජි කුසලාන තරග 9 කදී ලකුණු 739 ක් ලබා ගත්තේය.
රවීන්ද්‍ර ජඩේජා
ශතක 2 ක් හා අර්ධ ශතක 2 ක්ද සමග සාමාන්‍ය 67.18 ක් විය.
වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 323 කි. සවුරාෂ්ට‍්‍ර පිලට කී‍්‍රඩා කළ ඔහු එම තරගාවලියේදී පන්දු යැවීමෙන් තරග 9 කදී ලකුණු 837 කට කඩුලු 42 ක් ලබා ගත්තේය. එක් තරගයකදී ලකුණු 88 කට කඩුලු 10 ක් වාර්තා කිරීම කැපී පෙනුණි.
ශී‍්‍ර ලංකාවට පැමිණෙන ඉන්දීය කි‍්‍රකට් පිලට සහීර් ඛාන්, ඉෂාන්ට් ෂර්මා, මුනාෆ් පටෙල් වැනි වේගපන්දු යවන්නන් අතරට ප‍්‍රවීන් කුමාර් ද එක්කොට ඇත.
රංජි කුසලාන තරගාවලියේදී ප‍්‍රවීන් කුමාර් පන්දු යැවීමෙන් දස්කම් නොදැක් වුවද ඔහුගේ උත්තර ප‍්‍රදේශ කණ්ඩායම එම තරගාවලියේ අවසන් මහා තරගය දක්වා පැමිණියේය.
හර්බජන් සිං ආබාධායකට ලක්ව සිටීම හේතුවෙන් සංචාරයට එක් නොවේ.
වමතින් පන්දු යවන පෙ‍්‍රග්සන් ඕජා සමග යුසුප් පතාන්, රවීන්ද්‍ර ජඩේජා, විරේන්ද්‍ර ෂෙවාග් හා යුවරාජ් සිං දගපන්දු බලඇනිය ශක්තිමති කරති.
ඉන්දීය පිතිකරු ලැයිස්තුවේ සිටින රෝහිත් ෂර්මා අන්තර්ජාතික තරගවලදී වැඩි දස්කමක් නොදැක්වුවද නිමා වූ ඔස්ටේ‍්‍රලියාව සමග තරගාවලියේදී හොඳින් කී‍්‍රඩා කිරීමට සමත් විය.
ඔහු නිමා වූ රංජි කුසලාන තරගාවලියේ අවසන් තරගයේදී ශතකයක්ද සමග ශතක 3 ක් ලබා ගැනීමට සමත් විය.
ඉන්දීය කි‍්‍රකට් පිල මේ මස 23 වැනිදා ශී‍්‍ර ලංකාවට පැමිණෙන අතර 28 දා දඹුල්ලේදී ප‍්‍රථම දිවා රාතී‍්‍ර එක්දින තරගයට එක්වේ.
30 දා දෙවැනි දිවා රාතී‍්‍ර තරගය දඹුල්ලේදී පෙබරවාරි 2 දා හා 5 දා තෙවැනි හා සිවුවැනි දිවා රාතී‍්‍ර එක්දින තරග ආර්. පෙ‍්‍ර්මදාස කී‍්‍රඩාංගණයේදී පස්වැනි තරගය පෙබරවාරි 8 දා කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
පෙබරවාරි 10 වැනිදා ඉන්දියාව හා ශී‍්‍ර ලංකාව අතර ප‍්‍රථම ඕවර් 20 යි විස්ස අන්තර් ජාතික තරගය කොළඹ ආර්. පෙ‍්‍ර්මදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
ශී‍්‍ර ලංකාවට පැමිණෙන ඉන්දීය පිල මෙසේය.
මහේන්ද්‍ර සිං දෝනි (නායක), සචිත් තෙන්ඩුල්කාර්, විරේන්ද්‍ර ෂෙවාන්, ගෞතමි ගාම්බීර්, යුවරාජ් සිං, සුරේෂ් රයිනා, රෝහිත් ෂර්මා, යුසුප් පතාන්, ෂහීර් ඛාන්, ඉෂාන්ට් ෂර්මා, මුතාප් පටෙල්, රවීන්ද්‍ර ජඩේජා, ප‍්‍රවීන් කුමාර්, ඉර්ෂාන් පතාන්, පෙ‍්‍රග්සන් ඕජා.

Thursday, January 15, 2009

රණවිරුවන් තෛපොංගල් සමරුවට එක්වෙමින්


තෛපොංගල් උත්සවය ඊයේට (14) යෙදී තිබිණි. ශ‍්‍රී ලංකා යුද හමුදාවේ රණවිරුවන් පිරිසක් මඩකළපුවේදී තෛපොංගල් සමරුවට එක්වෙමින් කුඩා දරුවකුට තෑගි පාර්සලයක් පිරිනැමූ අයුරු.
ඡායාරූපය - කාත්තන්කුඩි තිනකරන්

යාපනය අර්ධද්වීපය මුළුමනින්ම යුද හමුදාව අත්පත් කර ගනී චුන්ඩිකුලම් මුහුදු කොටි සංකීර්ණයත් හමුදාව අතේ

මහින්ද කුලතුංග, භක්ති මෙන්ඩිස් සහ චන්ද්‍රිකා පෙරේරා
කොටි ත‍්‍රස්තවාදීන් සතුව තිබූ යාපනය අර්ධද්වීපයේ අවසන්ම බිම් ප‍්‍රදේශය වූ චුන්ඩිකුලම් මුහුදු කොටි සංකීර්ණය ඇතුළු මුළු ප‍්‍රදේශයම යුද හමුදාව විසින් ඊයේ (14) අත්පත් කර ගන්නා ලදී.
මේ සමඟම යාපනය අර්ධද්වීපයේ හා සමඟ කොටි සංවිධානයේ සම්බන්ධය සම්පූර්ණයෙන්ම ගිලිහී ගිය බවත් යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර මහතා “දිනමිණ” ට කීය.
චුන්ඩිකුලම් මුහුදු කොටි සංකීර්ණයේ තිබූ බෝට්ටු 100 ක්, ලොරි 2 ක්, ට‍්‍රැක්ටර් 5 ක්, බැකෝ යන්ත‍්‍රයක් සහ විශාල ජෙනරේටරයක්ද හමුදාව සතු වූ බවත් බි‍්‍රගේඩියර් නානායක්කාර කීය. ත‍්‍රස්තවාදීන් සමග පැවති දැඩි සටනකින් පසු ත‍්‍රස්තවාදීන් ප‍්‍රදේශයෙන් පළවා හැර හමුදාව චුන්ඩිකුලම් ප‍්‍රදේශය අත්පත් කරගෙන තිබේ.
මෙම සටනේදී ත‍්‍රස්තවාදීන්ට බරපතල හානි සිදු වී තිබේ. අලිමංකඩට නැගෙනහිරින් කළපුවෙන් එහා මුහුදු තීරය චුන්ඩිකුලම් ප‍්‍රදේශය වන අතර ත‍්‍රස්තවාදීන් මුලතිව් සිට නාගර්කෝවිල් දක්වා ගොඩබිම සැපයුම් මාර්ගයක් ලෙසද මෙම චුන්ඩිකුලම් හරහා මුහුදු තීරය සිය මුහුදු සැපයුම් මාර්ගයක් ලෙසද භාවිත කෙරිණි.
යුද හමුදාවේ 55 වැනි සේනාංකය ඉකුත් 6 වැනිදා නාගර්කෝවිල් සිට ත‍්‍රස්තවාදීන්ට ප‍්‍රහාර එල්ල කරමින් නැගෙනහිර මුහුදු තීරය දිගේ චුන්ඩිකුලම් දක්වා කිලෝමීටර් 35 ක් පමණ ගමන් කර පැමිණි අතර එම ගමනේදී හමුදාව කුඩරිප්පු, චැම්පියන්පත්තු, මුල්ලියාන් සහ කෙවිල් යන ප‍්‍රදේශ අත්පත් කරගෙනන පැමිණියේය.
ඊයේ කෙවිල් ගම්මානයේ සිට දකුණු දිශාවට ගමන් කරමින් චුන්ඩිකුලම් අල්ලා ගැනීම සිදුවිය.
චුන්ඩිකුලම් යුද හමුදාව අල්ලා ගැනීම සංග‍්‍රාමික වශයෙන් ඉතා වැදගත් වන අතර ඒ සමඟම කොටි ත‍්‍රස්තවාදීන්ගේ නැගෙනහිර මුහුදු තීරයේ බලය කිලෝ මීටර් 23 කට පමණ සීමාවේ.

පුදුකුඩුඉරුප්පු කොටි පුහුණු සංකීර්ණය හමුදා අතේ

මහින්ද කුලංතුග හා චන්ද්‍රිකා පෙරේරා
මුලතිව් පුදුකුඩුඉරුප්පු ප‍්‍රදේශයේ පිහිටුවා තිබූ කොටින්ගේ විශාල පුහුණු කඳවුරු සංකීර්ණයක් පෙරේදා (13) සවස යුද හමුදාව විසින් අත්පත් කර ගනු ලැබීය.
එහි ෆයිබර් ග්ලාස් බෝට්ටු 10 ක්, පුහුණු අවි 10ක්, යකඩ ඇඳන් පහක්, පැදුරු 200ක්, කොට්ට 200ක්, කෑම බඳුන් 200 ක් හා ජල ටැංකි තොගයක් ද තිබුණු බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි. එම කඳවුර වටා ආරක්ෂිත බංකර් ඉදිකර තිබූ අතර කඳවුරු පරිශ‍්‍රයේ පොල් අතු වලින් තැනූ කූඩාරම් වැනි මඩු විශාල ප‍්‍රමාණයක් තිබුණු බවද යුද හමුදාව කීය.
එදින මෙම ප‍්‍රදේශවල ඇතිවූ ගැටුම්වලින් පසු කළ සෝදිසියේදී ත‍්‍රස්ත මළ සිරුරු තුනක් ටී 56 ගිනි අවි හයක් හා පණිවිඩ හුවමාරු යන්ත‍්‍රයක් සොයාගෙන ඇත. පුදුකුඩුඉරුප්පු බටහිර, නැගෙනහිර, අම්පකාමම් උතුර ඇතුළු ප‍්‍රදේශ ගණනාවක එදින ගැටුම් හටගෙන තිබිණි.

පලාගිය කොටින්ට වෙඩි තබනු: ප‍්‍රභාකරන් නියෝග කරයි

කිලිනොච්චිය අත හැර අනාරක්‍ෂිත ප‍්‍රදේශ කරා පලාගිය ත‍්‍රස්තවාදීන් වෙඩි තබා ඝාතනය කරන්නැයි ප‍්‍රභාකරන් නියෝග කොට තිබේ.මුරුසුමුඩෙයි නැඟෙනහිර රාමනාදන්පුරම් ප‍්‍රදේශයේදී පෙරේදා (13) යුද හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබූ කොටි සාමාජිකයන් මේ තොරතුරු හෙළි කළ බව ආරක්‍ෂක අංශ පවසයි.
කොටි නායකයාගේ ආරක්‍ෂකයකු ලෙස කටයුතු කළ යශෝධරන් හා පොට්ටුඅම්මාන් සමඟ කොටි බුද්ධි අංශයේ කටයුතු කළ ඇලෙක්ස් නැමැත්තන් මෙසේ අත්අඩංගුවට ගත් අය අතර සිටින බවත් මොවුන් සමඟ යතුරු පැදියක් කැන්ටර් රථයක් හා සන්නිවේදන උපකරණ කට්ටලයක් ද අත්අඩංගුවට ගත් බවත් යුද හමුදාව කීය.
58 වැනි සේනාංක භට පිරිස් හා ත‍්‍රස්තවාදීන් අතර එදින ඇතිවූ ගැටුම්වලින් පසු මේ අත්අඩංගුවට ගැනීම් සිදු කැර තිබේ. මේ සමඟ කොටි මළ සිරුරු හතරක් ද සොයාගෙන ඇති බව ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවැසීය. ප‍්‍රභාකරන් සාමාන්‍ය වැසියන් ලක්‍ෂයක් පමණ බලහත්කාරයෙන් මිනිස් පලිහක් ලෙස යොදා ගනිමින් මුලතිව් විශ්වමඩු ප‍්‍රදේශයේ සැඟව සිටින බව ඇලෙක්ස් නැමති කොටි සාමාජිකයා පවසා තිබේ.
කොටි සංවිධානය ලබන පරාජයන් හේතුවෙන් තම සංවිධානයේ ඉහළ පෙළේ නායකයින් අතර මත ගැටුම් හටගෙන ඇති බවද දේශපාලන අංශ නායක නඩේෂන් හා කොටි නායක “භානු” අතර කලක් තිස්සේ පැවැති අර්බුදකාරී තත්ත්වය මේ වන විට උත්සන්න වී ඇති බවද ඔහු හෙළිකර ඇත.

කිලෝ 150ක පුපුරන ද්‍රව්‍ය ඇටැවූ මරාගෙන මැරෙන කොටි බෝට්ටු 2ක් මුලතිව් තන්නිඋත්තුවෙන් සොයා ගනී

මහින්ද කුලතුංග, චන්ද්‍රිකා පෙරේරා
මුලතිව් තන්නිඋත්තු ප‍්‍රදේශයේ තිබී කිලෝ 150ක් බර පුපුරන ද්‍රව්‍ය අඩංගු මරාගෙන මැරෙන කොටි බෝට්ටු 2ක් යුද හමුදාව පෙරේදා (13) සොයා ගත්තේය.
මේ බෝම්බ ක්ලේමෝ බෝම්බ ලෙස සකස් කර බෝට්ටුවට සවිකර තිබී ඇත. මුලතිව් කළපුවට නුදුරු ස්ථානයක මේ බෝම්බ ඇටැවූ කොටි බෝට්ටු දෙක හමුවී තිබේ. මුලතිව්, මුල්ලියාවෙලි හා තන්නිඋත්තු ප‍්‍රදේශයේ යුද හමුදාවේ 59 වැනි සේනාංකය මෙහෙයුම් සිදු කරයි.

පාණදුරේ ඇතැම් ඇඟලුම් කම්හල් අර්ථ සාධක නොගෙවන බවට පැමිණිලි

පානදුරේ සමූහ කපිල සෝමරත්න
පානදුර මෝදරවිල කර්මාන්ත පුරයේ සමහර ඇඟලුම් කර්මාන්ත ශාලාවල හාම්පුතුන් එම කර්මාන්ත ශාලා වල සේවක සේවිකාවන්ට පොදු පහසුකම් සැපයීම අඩපණ කර ඇත.
ඔවුනට හිමි විය යුතු සේවක අර්ථ සාධක අරමුදල් හා සේවක භාරකාර අරමුදල් ද හරියාකාරව නොගෙවන බව පානදුර සහකාර කම්කරු කොමසාරිස් කාර්යාලයට පැමිණිලි කර ඇත.
දැනටමත් පානදුර හිරණ පාණදුර පින්වත්ත සහ මෝදරවිල කර්මාන්ත පුරයේ ඇඟලුම් කම්හල් තුනක් වසා දමා ඒවායේ අයිතිකරුවන් පලා ගොස් ඇත. එම කර්මාන්ත ශාලා හිමියන්ගෙන් සේවක සේවිකාවන් 1500 කට පමණ රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණ අර්ථ සාධක අරමුදල් සහ සේවක අර්ථ සාධක අරමුදල් ද ගෙවා නැත.
මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ පාණදුර සහකාර කම්කරු කොමසාරිස්වරයා විසින් එම කර්මාන්ත ශාලා වල අයිතිකරුවන්ට විරුද්ධව පාණදුර මහේස්ත‍්‍රාත් අධිකරණය සහ පාණදුර කම්කරු විනිශ්චය සභාවේ නඩු පවරා ඇත.
මහේස්ත‍්‍රාත් තුෂාර රාජසිංහ මහතා විසින් එම කර්මාන්ත ශාලා වල අයිතිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කර ඇත.
මේ සිතාසි බාරදීමට එම කර්මාන්ත ශාලා හිමියන් පදිංචි දෙහිවල ප‍්‍රදේශයේ නිවෙස් වල නැතැයි ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මහේස්ත‍්‍රාත් අධිකරණයට දන්වා ඇත. ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට මහේස්ත‍්‍රාත්වරයා වරෙන්තු නිකුත් කර ඇත.

නිවාඩුවට ගෙදර ආ සෙබළාට පස් දෙනකු පොලුවලින් පහරදීලා

අත්තනගල්ල විශේෂ
නිවාඩුවට සිය නිවසට පැමිණ සිටි හමුදා සෙබළෙකුට පහරදී තුවාල සිදු කළැයි කියන සිද්ධියක සැකකරුවකු මේ මස 20 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට අත්තනගල්ල මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු අයි. පී. ඩී. ලියනගේ මහතා නියෝග කළේය.
නිට්ටඹුව පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදුව මෙසේ රිමාන්ඩ් භාරයට පත්වූයේ අත්තනගල්ල වල්පොළ ලක්ෂ්මන් ජයතිලක නමැත්තෙකි.
කි‍්‍රයාන්විතයේ සේවයේ යෙදී සිට නිවාඩුවට වල්පොළ සිය නිවසට පැමිණි හමුදා සෙබළ තිලක් සිරිකුමාර යන අයට පස් දෙනෙකුගෙන් යුත් කල්ලියක් විසින් පොලු වලින් පහරදී තුවාල සිදු කර ඇතැයිද තුවාලකරු දැනට රෝහල් ගත කර ඇතැයිද සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වාගෙන යන බවද පැමිණිල්ල ගොනු කළ නිට්ටඹුව පොලිසියේ අපරාධ අංශයේ පොලිස් පරීක්ෂක සී. එම්. චන්ද්‍රපාල මහතා අධිකරණයට දන්වා සිටියේය.
අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ලලිත් ලියනගේ, නිට්ටඹුව මුලස්ථාන පොලිස් පරීක්ෂක විලට් බණ්ඩාර මහත්වරුන්ගේ උපදෙස් මත සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ සිදු කෙරේ.

යූරෝවලට අලෙවි කළ මාධ්‍ය නිදහස සහ මාධ්‍යවේදී ආරක්ෂාව

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයකු ලෙස කටයුතු කරන රාවය පුවත් පතේ වික්ටර් අයිවන් නිදහස් මාධ්‍ය වෙනුවෙන් කැපවී සිටින බව ප‍්‍රදර්ශනය කරන මාධ්‍යවේදීන් දෙතුන් දෙනකු ගැන අපූරු අනාවරණයක් කරයි. සංඛ්‍යා ලේඛන සහ කරුණු සහිතව ඔහු කරන මේ හෙළිදරව්ව කොටුව දුම්රිය පොළේ නිතර මොර දෙන මේ මාධ්‍යවේදීන් ගැන අවබෝධයක් ලබාගත යුතුය. මොවුන්ට ඇත්තේ මාධ්‍ය නිදහස හෝ මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම නොව බඩගෝස්තරවාදය වෙනුවෙන් බොරු සටන් කිරීම පමණක් බව වික්ටර් අයිවන් නොකියා කියයි. මේ දෙතුන් දෙනා පසුපස යන මාධ්‍යවේදීන් මේ ලිපිය කියවිය යුතුය.
මම ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ආරම්භක සාමාජිකයෙක් වෙමි. එහෙත් එම ආයතනය ගොඩනගන මුල් දිනවලම මට මතභේද තිබුණි. මතභේද ඇතිවුණේ ව්‍යවස්ථාව ගැනය. ව්‍යවස්ථාව සකස් කර තිබුණේ ඕනෑම වෘත්තීය ජනමාධ්‍යවේදියෙකුට එම සංවිධානයට ඇතුළුවීමට ඉඩ ලැබෙන ආකාරයට නොවේ.
එහෙත් තෝරාගත් සුළු පිරිසකට පමණක් ඊට එකතු විය හැකි ආකාරයකටය. ඒ නිසා ඇතිවනු ඇත්තේ පොදුවේ ජනමාධ්‍යවේදීන්ගේ ව්‍යාපාරයක් නොව, එක්තරා කල්ලියකගේ ව්‍යාපාරයක් බවට මම අනතුරු ඇඟවූවෙමි.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
සියලු දෙනාට දොරටු විවෘත කරන ප‍්‍රතිපත්තියක් සංවිධානාත්මක පිරිසකට සංවිධානය අල්ලා ගැනීමට අවස්ථාව ලබාදෙනු ඇති බවට ඔවුහු තර්ක කළෝය. ඒ ගැන නගන තර්ක මගේ පිළිගැනීමට හේතු නොවූ නිසා කිසියම් දීර්ග කාලයක් මම එම ව්‍යාපාරයෙන් ඉවත්ව සිටියෙමි.
චන්ද්‍රිකා ආණ්ඩුවෙන් ජනමාධ්‍යවලට අතිවිශාල මර්දනයක් එල්ල වන්නට වූ විට මතභේද අමතක කොට මර්දනයට මුහුණදීම සඳහා එකතුවන ලෙස සුනන්ද හා වරුණ මට ආරාධනා කළහ. ඒ අනුව මම නැවත ඊට එකතු වූයෙමි.
එකල එයට තමන්ගේම න්‍යාය පත‍්‍රයක් තිබුණි. අප වැඩ කෙළේ අපේ සාක්කුවල සල්ලිවලිනි. වාර්ෂිකව සංවිධානයට ලැබුණු ආදායම රුපියල් දස දහසක් වත් නොවීය. වැටුපට වැඩකරන පිරිසක් ද එම සංවිධානයේ නොසිටියෝය.
එකල අපට ද මරණ තර්ජන එල්ල වුණ අවස්ථා තිබුණි. බෝම්බ ප‍්‍රහාර එල්ල වූ, ඇසිඩ් ප‍්‍රහාර එල්ල වූ අවස්ථා ද තිබුණි. ඒ සියලු දේට අප මුහුණ දුන්නේ අපේම ශක්තියෙනි. අපට සැඟවෙන්නට සුඛෝපභෝගී ආරක්ෂක නිවාස නොතිබුණි.
තර්ජනයට ලක්වූවන්ට විශේෂ ගෙවීම් කරන ක‍්‍රමයක් ද නොතිබුණි. අපට තිබුණේ එක ව්‍යාපෘතියක් පමණය. එය ජනමාධ්‍ය නිදහසට අදාළ ව්‍යාපෘතිය පමණය. එය අපේම ශක්තියෙන් හා දාඩිය මහන්සියෙන් දුවන ව්‍යාපාරයක් විය.
කාලයාගේ ඇවෑමෙන්, සංවිධානයේ ස්වරූපය ද ක‍්‍රමයෙන් වෙනස් විය. තමන්ගේ ශක්තියෙන් දුවන ව්‍යාපාරයක් වෙනුවට එය විදේශ ආධාරවල ශක්තියෙන් දුවන ව්‍යාපාරයක් බවට පත්විය.
විදේශ ආධාර ලබාගන්නවාට මා විරුද්ධ නැත. එහෙත් ඒවා අපේ ඇත්ත අවශ්‍යතාවන්ට ගැළපෙන ප‍්‍රමාණයකට විය යුතුය. ඒ නිසා අපේ න්‍යාය පත‍්‍රය හැසිරවීමේ අයිතිය ආධාර දෙන සංවිධානවල අයිතියක් බවට පත් නොකළ යුතුය.
එහෙත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය කෙළවරක් නැති තරමට විදේශ ව්‍යාපෘතිවල හිර වූ සංවිධානයක් බවට පත්විය. සල්ලි අවශ්‍යම නම් තමන්ට ගැළපෙන, තම සංවිධානයේ ආත්ම ගෞරවයට හානියක් ඇති නොකරන එක ව්‍යාපෘතියක් හෝ දෙකක් කළාට වරදක් නැත.
ඒ වෙනුවට සිදුවූයේ කෙළවරක් නැති තරමට ව්‍යාපෘති බදාගත්, එක ව්‍යාපෘතියක්වත් හරියට නොකරන තමන්ගේ ව්‍යාපෘතිය අමතක කළ ව්‍යාපාරයක් බවට පත්වීමය.
මම මාගේ අතෘප්තිය ප‍්‍රකාශ කොට නැවතත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට ආයුබෝවන් කීවෙමි. මගේ විවේචනය වූයේ අපට තිබෙන ඇත්ත ප‍්‍රශ්න කතා කරනවා හා කි‍්‍රයා කරනවා වෙනුවට තමන්ට ලැබෙන විදේශ ආධාර මත විදේශ න්‍යාය පත‍්‍රයකට අනුව කටයුතු කරන සංවිධානයක් බවට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පත්ව තිබෙන බවය.
සංවිධානයෙන් ඉවත්වීමෙන් කලකට පසුව උවිඳු කුරුකුලසූරිය සමග කරන ලද ලිඛිත විවාදයකදී මට ඒ වන විට පෙනෙන්නට තිබුණ එක් වැදගත් ප‍්‍රවණතාවක් හඳුන්වාදීමට මම උත්සාහ කෙළෙමි.
ජනමාධ්‍යවේදීන් අතර ජනමාධ්‍ය අද්වකාත්ලා පිරිසක් බිහිවී ඇති බවත්, මේ ජනමාධ්‍ය අද්වකාත්වරුන් ජනමාධ්‍යවේදීන්ගේ න්‍යාය පත‍්‍රය තීරණය කරන්නන් බවට පත්ව ඇති බවත්, මම එදා කීවෙමි. මේ ආරාවුල යට ඇති තවමත් සඟවාගෙන ඇති තොරතුරුවලින් මා එදා කියන ලද අනාවැකිය හොඳින් සනාථ වී තිබෙන බව පෙනේ.
ජනමාධ්‍ය ආරක්ෂක අරමුදල
කෙනත් නොයාර් පැහැරගෙන ගොස් ඔහුට අමානුෂිකව පහරදීමේ සිද්ධියේදී ඊට විරෝධය පළ කරන විරෝධතා ව්‍යාපාරයකට සහභාගි වන ලෙස ජනමාධ්‍යවේදියෙක් මට දුරකතනයෙන් ආරාධනා කෙළේය. එවැනි පහරදීම්වලදී ඔවුන් වෙනුවෙන් කි‍්‍රයාකිරීමට නිල ආයතනයක් හා ගෙවීම් ලබන විශේෂ නිලධාරීන් පිරිසක් ඇති බැවින් දැන් වෙනදා මෙන් එවැනි සිද්ධීන්ට අප වැනි ස්වෙච්ඡා සේවකයන් අවශ්‍ය නොවන බව මම කියා සිටියෙමි.
එහිදී ඔහු විසින් කරන ලද වැඩිදුර ප‍්‍රශ්න කිරීම්වලදී මා කියා සිටියේ නීතිය කි‍්‍රයාත්මක කිරීමට පොලිසියක් නොතිබුණු යුගයකදී සිදුවන අපරාධවලදී අපරාධකරුවන් මැඬලන්නට ස්වේච්ඡාවෙන් පුරවැසියන් කි‍්‍රයාකළ නමුත් නිල පොලිසියක් ඇති වූ පසු එම වගකීම පොලිසිය විසින් මිස පුරවැසියන් විසින් ඉටු නොකළ යුතු බවය.
මට එහෙන් මෙහෙන් ලැබී තිබෙන තොරතුරු අනුව ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා දැන් වසර හතකර කාලයක් තිස්සේ මාසිකව වැටුප් ලබන නිලධාරීහු දෙදෙනෙක් සිටිති. ඔවුන්ට වැටුප් දෙන්නේ ඉන්සි (INSI) නමැති ජාත්‍යන්තර ආයතනයයි. එක් පුද්ගලයෙකුට ගෙවන මාසික වැටුප යුරෝ 750 කි. 2007 යුරෝ එකක රුපියල් හුවමාරු අනුපාතිකය රුපියල් 160 කි. එවිට එක් පුද්ගලයෙකුගේ වැටුපේ රුපියල් වටිනාකම රුපියල් 1,20,000 කි.
මීට අතිරේකව ඒ දෙදෙනාගේ ගමන් වියදම්, ඉන්ධන බිල, ජංගම දුරකතනයක් මිලදී ගැනීම සඳහා යන වියදම, එම දුරකතන බිල, ලැප්ටොප් පරිගණකයක් මිලදී ගැනීම සඳහා යන වියදම, විද්‍යුත් තැපෑල සඳහා යන වියදම් ද දරනු ලැබේ. එවිට සමස්ත වැටුප් බිල රුපියල් ලක්ෂ 02 ක් පමණ විය හැකිය.
එහෙත් මේ ආදායම මේ වැටුප් ලබන්නන් දෙදෙනාට තිබෙන එකම ආදායම නොවේ. තිබෙන ආදායම් මාර්ගවලින් එකක් පමණය.
ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කි‍්‍රයා කරන වැටුප් ලබන ස්ථිර නිලධාරීන් දෙදෙනෙකු රටේ සිටිනවාට මා විරුද්ධ නැත. ඔවුන් කරන අති විශාල කාර්යභාරය සඳහා ඔවුන්ට දැවැන්ත වැටුපක් විදේශ ආයතනයකින් ගෙවනවාට ද මා විරුද්ධ නැත.
මට ප‍්‍රශ්නයක් වී ඇත්තේ ඒ සියල්ල රහසේ සිදුවීමය. ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව භාර වැටුප් ලබන නිලධාරීන් දෙදෙනෙකු සිටින බව රටේ ජනමාධ්‍යවේදීන්වත් නොදනී. ජනමාධ්‍ය සංවිධාන පවා නොදනී. එවැනි පුද්ගලයන් දෙදෙනෙකු රටේ සිටින බව දන්නේ නම් ආරක්ෂාව අවශ්‍ය ජනමාධ්‍යවේදීන්ට ඔවුන් සොයා ගොස් තමන්ට ආරක්ෂාව සලසන ලෙස ඉල්ලා සිටිය හැකිය.
දැන් රටේ ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා පඩි ලබන ආරක්ෂක නිලධාරීන් පිරිසක් පමණක් නොව, ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සඳහා වන ආරක්ෂක අරමුදලක් ද තිබෙන්නේය. එම අරමුදල තිබෙන්නේ ජනමාධ්‍ය ආයතනය භාරයේය.
අරමුදලේ ප‍්‍රමාණය පැහැදිලි නැත. ඒ අරමුදල තුළ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට පරිහරණය කිරීමේ අයිතිය ලබා දුන් අතුරු අරමුදලක් ඇත්තේය. එම අතුරු අරමුදලේ ප‍්‍රමාණය (එක් වසරක් සඳහා පමණක්) රුපියල් මිලියන 8.2 කි. එවිට ප‍්‍රධාන අරමුදලේ ප‍්‍රමාණය ගැන දළ අදහසක් ඇතිකරගත හැකිය.
මේ අතුරු අරමුදලේ අරමුදල් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පරිහරණය කර තිබෙන ආකාරය ප‍්‍රශ්න ගත දෙයක් බවට පත්ව තිබෙන අතර, ඒ නිසා පුවත්පත් ආයතනය පරීක්ෂණයක් ආරම්භ කොට අතුරු අරමුදලේ මුදල් පරිහරණය තාවකාලික ලෙස අත්හිටුවා තිබේ.
දැන් වෙනදා මෙන් නොව, තර්ජන ගර්ජනවලට ලක්වන මාධ්‍යවේදීන්ට මේ අරමුදලෙන් වන්දි ලබාගත හැකිය. අරමුදල ඝාතනයට ලක් වූ ජනමාධ්‍යවේදීන් පස්දෙනෙකුගේ පවුල් පහක් සඳහා මසකට රුපියල් 5000 ක මුදලක් ලබාදෙන බව කියනු ලැබේ. එය යහපත් කි‍්‍රයාවකි. එහෙත් තර්ජනයන්ට ලක්වුවේයැ’යි කියන පුද්ගලයන්ට ගෙවන මිල ඝාතනයට ලක්වූවන්ට ගෙවන මිලට වඩා වැඩිය.
ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට ආරක්ෂාව සඳහා කුලියට නිවාස ලබාදී තිබෙන අතර,, එක් පුද්ගලයෙකු සඳහා රුපියල් 2,30,000 ක කුලියක්ද අනෙක් පුද්ගලයා සඳහා රු: 1,78,000 ක මුදලක් ද ලබාදී තිබේ. ඊට අතිරේකව තර්ජනයට ලක්වූවන්ට ආරක්ෂිතව ගමන් බිමන් යෑම සඳහා මසකට රුපියල් දස දහසක දීමනාවක් ගෙවනු ලැබේ. එවැනි දීමනා ලබන අයගේ ගණන 05 කි.
හැමදාමත් මට ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීම සඳහා කි‍්‍රයාත්මක වන වැඩපිළිවෙළ ගැන විවේචනයක් තිබුණි. ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීම සඳහා කි‍්‍රයාත්මක වැඩසටහන්වල ප‍්‍රමාණය අතිවිශාලය.
ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීම ඉතා වැදගත් වූවත්, ඒ සඳහා කි‍්‍රයාත්මක වන වැඩසටහන් වැඩි හරියක් ගුණාත්මක අගයෙන් තොර, කොත්තු රොටි හදන්නාක් වැනි හරයක් නැති වැඩසටහන් වේය යන්න මගේ විශ්වාසයයි. පුවත්පත් ආයතනය විද්‍යුත් මාධ්‍ය සඳහා පවත්වාගෙන යන පුහුණු කිරීමේ වැඩසටහන් හොඳ තත්ත්වයක පවතී.
එහෙත් මුද්‍රිත ජනමාධ්‍ය සඳහා පවත්වාගෙන යන වැඩසටහන් ගුණාත්මක වශයෙන් උසස් තත්ත්වයක නොපවතීය යන්න මගේ අදහසයි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා තවත් එවැනි ව්‍යාපාර පුහුණු කිරීම සඳහා පවත්වාගෙන යන දින දෙකේ වැඩමුළු ක‍්‍රමය ජනමාධ්‍යවේදීන් රැවටීමකට වැඩි දෙයක් නොවේයැ’යි මම විශ්වාස කරමි.
පුහුණු වැඩමුළු
කෙටිකාලීන පුහුණු කිරීම් වැඩසටහන් සඳහා වුවද විධිමත් විෂය නිර්දේශයක් තිබිය යුතුය. සුදුසු පුහුණුකරුවන් සිටිය යුතුය. කරනු ලබන පුහුණු කිරීම් පිළිබඳව පසු විපරමක් තිබිය යුතුය.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඇතුළුව සංවිධාන පහේ එකතුව මහජන සේවා ජනමාධ්‍ය, මානව හිමිකම්, වංචා හෝ දූෂණ, ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව යන තේමා යටතේ දැවැන්ත පුහුණු කිරීම් ව්‍යාපෘති හතරක් පවත්වාගෙන යයි. (ඒ සියලු ව්‍යාපෘති සඳහා වෙන්කර තිබෙන මුදල් ප‍්‍රමාණයන් කොතරම්ද යන්න මම නොදනිමි.
එහෙත් යුරෝපා සංගමය මානව හිමිකම් ව්‍යාපෘතිය සඳහා වසර දෙකක කාලයක් සඳහා යුරෝ 199,000 ක් වෙන්කර ඇති බව මම අසා ඇත්තෙමි. රුපියල් වටිනාකම රුපියල් මිලියන 15 කට වැඩිය.) පුදුමයකට මෙන් මේ විෂය හතරට අදාළ පුහුණුකිරීම් වැඩසටහන්වල පුහුණුකරුවන් ලෙස කි‍්‍රයාකරන්නේ එකම පිරිසකි. නැවත වැඩසටහන් පළාත් මට්ටමෙන් සම්බන්ධීකාරකයන් ලෙස කි‍්‍රයා කරන්නේ ද මේ පුහුණුකරුවන්ය.
ඊළඟට මේ විෂයන්ට අදාළ රචනා තරග සංවිධානය කරන්නේ ද නැවත එම රචනා හා තරගවල විනිශ්චයකරුවන් ලෙස කි‍්‍රයාකරන්නේ ද පුහුණුකරුවන් ලෙස කි‍්‍රයාකරන එකම පිරිසකි.
දින දෙකක පුහුණු කිරීම් වැඩමුළුවක් වෙනුවෙන් පුහුණුකරුවකුට ගෙවන ඳල රුපියල් 20,000 සිට රුපියල් 38,400 දක්වා වෙනස් වේ. පළාත් සම්බන්ධීකාරකයෙකුට රුපියල් 20,000 සිට 30,000 දක්වා මුදලක් ගෙවනු ලබයි. තරග විනිශ්චයක් සඳහා එක් පුද්ගලයෙකුට රුපියල් 15,000 ත් රුපියල් 35,000 ත් අතර මිලක් ගෙවනු ලබයි.
මෙහි සඳහන් පළමුවැන්නා වැටුප් ලබන ජනමාධ්‍යවේදියෙකි. ඔහුගේ මාසික වැටුප රුපියල් 60,000 ක් පමණ විය හැකිය. ඊට අතිරේකව ඔහු මෙම ව්‍යාපෘතිවල පළාත් සම්බන්ධීකාරකයෙකි. ඒ සඳහා ලැබෙන දීමනාව රුපියල් 25,000 කි. එවිට රැකියාව හා මෙම ව්‍යාපෘතිවලින් උපයන මාසික ආදායම රුපියල් 139,000 කි.
මෙහි සඳහන් දෙවැන්නා ද වැටුප් ලබන ජනමාධ්‍යවේදියෙකි. ඔහුගේ වැටුප රුපියල් 40,000 ත් 50,000 ත් අතර විය හැකිය. ව්‍යාපෘති පළාත් සම්බන්ධීකාරක වශයෙන් ලබන දීමනාව රුපියල් 20,000 කි.
ඔහුට ආරක්ෂක අරමුදලෙන් ගෙවල් කුලී ගෙවයි. ගෙවන ගෙවල් කුලිය මසකට රු. 17,500 කි. ඊට අතිරේකව ආරක්ෂාකාරීව ගමන් බිමන් සඳහා රුපියල් 10,000 ක් ගමන් වියදම් දීමනාවක් ද ගෙවයි. ආයතනයෙන් ලබන වැටුප රුපියල් 50,000 ක් සලකතොත් එය හා මේ ව්‍යාපෘතිවලින් උපයන මාසික ආදායම රුපියල් 200,500 කි.
මෙහි සඳහන් තුන්වැන්නා ද වැටුප් ලබන ජනමාධ්‍යවේදියෙකි. ඔහුගේ මාසික වැටුප රුපියල් 40,000 ත් 50,000 ත් අතර විය හැකිය. ආරක්ෂක අරමුදලෙන් ඔහුට නිවසක් ලැබී තිබෙන අතර, එහි මාසික කුලිය රුපියල් 19,000 කි. ඊට අතිරේකව ආරක්ෂක ගමන් වියදම් සඳහා ද රුපියල් 10,000 ක මාසික දීමනාවක් හිමිය. ලැබෙන වැටුප රුපියල් 50,000 ක් ලෙස සලකතොත් වැටුප හා ව්‍යාපෘතිවලින් උපයා තිබෙන මාසික ආදායම රුපියල් 204,400 කි.
මෙහි සඳහන් තුන්වැන්නා ද මසකට යුරෝ 750 ක වැටුපක් ලබා ගනී. යුරෝ එකක හුවමාරු අනුපාතිකය රු. 155 ක් ලෙස සලකතොත්, ලැබෙන වැටුපේ රුපියල් වටිනාකම රුපියල් 116,250 කි. ඊට අතිරේකව දේශීය වැටුප රුපියල් 70,000 කි. ඊට අතිරේකව ඉන්සි (INSI)අරමුදලෙන් එම මාසයේ ලබාගෙන ඇති දීමනා මෙසේය. පෙට‍්‍රල් සඳහා රුපියල් 6650 කි. ගමන් වියදම් සඳහා රුපියල් 10,900 කි. දුරකතන වියදම් සඳහා රුපියල් 12,930 කි. එවිට මාසයේ මුළු ලැබීම්වල මුළු වටිනාකම මසකට රුපියල් 326,530 කි.
ආපසු හැරී බලමු
පසුගිය සතියේ රාවයේ කර්තෘ මණ්ඩල සාමාජිකයෙක් වෙනත් පුවත්පතකට ගියේය. ඔහුට උපහාර දැක්වීම සඳහා පැවැති රැස්වීමකදී වැඩි වැටුපක් සඳහා රාවය අත්හැර යන කිසිවකු මා කවදාවත් අධෛර්යමත් කර නැති බවත්, ඒ ගැන සිරිතක් වශයෙන් ඔවුන්ට චෝදනා නොකරන බවත් මා කියා සිටි විට කර්තෘ මණ්ඩල සාමාජිකයකු කතා කරමින් කීවේ ආර්ථික දුෂ්කරතා නිසා රාවය අතහැර යන තත්ත්වයක් ඇති නොවීමට ආයතනය වගබලා ගන්නේ නම්, වඩා යහපත් බවය.
මා ඔහුට දුන් පිළිතුර වූයේ අප වැනි ජනමාධ්‍ය ආයතනයකට විශාල වැටුප් ගෙවිය නොහැකි බවත්, විශාල වැටුප් ගෙවන බොහෝ ජනමාධ්‍ය ආයතන වැටුප් ගෙවන්නේ තමන් උපයන ආදායම් මාර්ගවලින් නොව, එම ආයතනවල අයිතිකරුවන් වෙනත් ව්‍යාපාරවලින් උපයන ආදායම්වලින් බවත්ය. රාවයේ වැඩ කරනවාට වඩා නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වැඩ කිරීමෙන් වඩා හොඳ වැටුප් ලබාගත හැකි බව ද මම කියා සිටියෙමි.
ඇත්ත වශයෙන්ම ශී‍්‍ර ලංකාවේ ජනමාධ්‍යවේදීන් හා ජනමාධ්‍ය සංවිධාන අද තිබෙන්නේ 1940 – 48 කාලවකවානුවේදී ඇමරිකාවේ හෝ යුරෝපයේ ජනමාධ්‍ය වැටී තිබුණු ශෝකජනක තත්ත්වයට සමාන තත්ත්වයකටය.
සමාජයේ ඉමහත් අගෞරවයට හා අවිශ්වාසයට හේතුවී තිබුණු ඇමරිකානු ජනමාධ්‍ය එම නින්දාසහගත තත්ත්වයෙන් ගොඩ ආවේ සිය කටයුතු ප‍්‍රසිද්ධියේ ආපසු විවේචනාත්මකව බලන තැනකට යෑමෙනි. එවැනි නිර්භීත තැනකට යන්නට අපේ රටේ ජනමාධ්‍ය හෝ ජනමාධ්‍යවේදීන්ට ධෛර්යයක් තිබේද?

ශී‍්‍ර ලංකා පාකිස්තාන තරග ස්ථානවල වෙනසක්

කරච්චි (ඒ. එෆ්. පී.)
පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත අන්තර්ජාතික එක්දින කි‍්‍රකට් තරගමාලාවේ තරග පැවැත්වෙන ස්ථාන ශී‍්‍ර ලංකාවේ ඉල්ලීම පරිදි වෙනස්කොට ඇතැයි පාකිස්තාන කි‍්‍රකට් මණ්ඩලය ඊයේ ප‍්‍රකාශ කෙළේය. මේ අනුව තරග ති‍්‍රත්වය කරච්චි හා ලාහෝර් හි පැවැත්වෙනු ඇත.
“පළමු තරග දෙක ජනවාරි 20 හා 21 කරච්චියේදීත්, අවසාන තරගය ජනවාරි 24 ලාහෝරයේත් පැවැත්වීමට දැන් තීරණය කොට තිබෙනවා” පාකිස්තාන කි‍්‍රකට් මණ්ඩලයේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරි සලිම් අල්ටාෆ් පැවැසීය.
ශී‍්‍ර ලංකා කණ්ඩායම ටෙස්ට් තරග දෙකකට සහභාගි වීම සඳහා පෙබරවාරි 14 වැනිදා යළි පාකිස්තානයට එන බවද අල්ටාෆ් ප‍්‍රකාශ කෙළේය

බංග්ලාදේශයට පෙරැළිකාර ජයක් ෂකිබ් අල් හසන් පන්දු 69කදී නොදැවී ලකුණු 92යි

ධකා (ඒ. එෆ්. පී.)
ආක‍්‍රමණශීලී පිතිහරඹයක නිරත වූ ෂකිබ් අල් හසන් නොදැවී ලකුණු 92ක් ලබා ගනිමින් බංග්ලාදේශය තුන්කොන් කි‍්‍රකට් තරගාවලියේ අවසාන තරගයට ඊයේ රැගෙන ගියේ ශී‍්‍ර ලංකාවට එරෙහිව කඩුලු පහක පෙරැළිකාර ජයග‍්‍රහණයක් වාර්තා කරමිණි.
වමතින් පිත්ත හැසිරවූ අල් හසන් ඔහුගේ පන්දු 69ක ඉනිම ඇතුළත හයේ පහර 2ක් හා හතරේ පහර 10 ක් එල්ලකළ අතර බංග්ලාදේශය තරගයේ තවත් ඕවර 7.1 ක් ඉතිරිව තිබියදී ශී‍්‍ර ලංකා මුළු ලකුණු 147 අභිබවා ගියේය. උදය කාලයේ පැවැති මීදුම හේතුවෙන් තරගය දෙපිලට ඕවර 31 බැගින් සීමාවී තිබිණි.
තරග 1 බැගින් ජය ගෙන බෝනස් ලකුණ බැගින් ලබාගෙන දෙපිලම ලකුණු 5 බැගින් ලීග් අදියර අවසන් කළ බැවින් ශී‍්‍ර ලංකාව හා බංග්ලාදේශය යළිත් හෙට අවසන් තරගයේදී මුණගැසෙනු ඇත.
එක් තරගයක් ජයගත් සිම්බාබ්වේ පිලද ලීග් අදියර අවසන් කෙළේ ලකුණු 4 ක් ලබා ගෙනය.
අන්තර් ජාතික එක්දින කි‍්‍රකට් තරග 25 කදී බංග්ලාදේශය ඊයේ ශී‍්‍ර ලංකාව පැරද වූයේ දෙවැනි වතාවට පමණි.
සත්කාරක බංග්ලාදේශ පිල දුවද්දී දැවී යාම් දෙකකට ලක්ව ලකුණු 11 කට කඩුලු 3 ක් දැවී අසරණ තත්ත්වයකට පත්ව සිටියද හසන් ශී‍්‍ර ලංකා පන්දු ප‍්‍රහාරයට තියුණු අභියෝගයක් එල්ල කරමින් නායක මොහොමඩ් අෂ්රෆුල් (26) සමග සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 91 ක් එක් කිරීමට සමත් විය.
නයීම් ඉස්ලාම් (නොදැවී 12) 24 වැනි ඕවරයේදී අජන්ත මෙන්ඩිස්ගේ පන්දුවකට “ලෝන්ග් ඕන්” හරහා හයේ පහරක් එල්ල කරමින් තරගය අවසන් කෙළේය. ඒ වන විට හසන් සිටියේ ඔහුගේ තෙවැනි එක්දින ශතකයට තවත් ලකුණු අටක් පමණක් අඩුවෙනි.
බංග්ලාදේශ ජයග‍්‍රහණයේ එකම තරුව වූයේ 21 හැවිරිදි හසන් පමණක් නෙවේ.
සිය මංගල එක්දින තරගයට සහභාගි වූ වේගපන්දු යවන රුබෙල් හොසේන් (ලකුණ් 33 ට කඩුලු 4) සහ වේගපන්දු යවන මෂ්රෆි මොටාසා (ලකුණු 25 ට කඩුලු 3) කඩුලු 7 ක් බෙදා ගනිමින් ශී‍්‍ර ලංකා ඉනිම ලකුණු 147 කට සීමා කළහ.
සනත් ජයසූරියගේ ලකුණු 54 න් පසුව ශ‍්‍රී ලංකාව ලකුණු 95 කට කඩුලු 3 ක් අහිමි කරගෙන සිටි අතර ඔවුන්ගේ අවසන් කඩුලු 7 ලකුණු 52 කට බිඳ වැටිණි.
ප‍්‍රථමයෙන් ලකුණු රැස් කිරීමට කැඳවීමෙන් පසුව ශ‍්‍රී ලංකාව කඩුලු 2 ක් ලකුණු 4 කට බිඳ වැටී අසීරු තත්ත්වයකට පත්ව සිටියද ජයසූරිය තෙවැනි කඩුල්ල වෙනුවෙන් නායක මහේල ජයවර්ධන (20) සමග ලකුණු 71ක සබඳතාවක් ගොඩ නගමින් ඉනිම ස්ථාවර කෙළේය.
මොටාසා ශ‍්‍රී ලංකා පිලට මුල්ම හානිය සිදු කරමින් ඔහුගේ තෙවැනි පන්දුවේදී උපුල් තරංගත් ඊළඟ ඕවරයේ කුමාර් සංගක්කාරත් දවාලීය. මේ පිතිකරුවන් දෙදෙනාටම ලකුණු ලබා ගැනීමට නොහැකි වූහ.
ජයසූරිය ඊයේ ලබා ගත් ඔහුගේ 67 වැනි එක් දින අර්ධ ශතකයට හතරේ පහර 7 ක් ඇතුළත් විය. ඔහු මේ සඳහා පන්දු 64 කට මුහුණ දුන්නේය.
චාමර කපුගෙදර පන්දු 30 කදී ලකුණු 20ක් රැස් කෙළේය.

ශී‍්‍ර ලංකාව
යූ. තරංග ක. මු. කළා ප. මෝර්ටසා 00
එස්. ජයසූරිය ඇ. සහ ප. මෝර්ටසා 54
කේ. සංගක්කාර ප. මෝර්ටසා 00
එම්. ජයවර්ධන ඇ. හොසේන් ප. ඉස්ලාම් 28
සී. කපුගෙදර ප. අලාම් 28
ජේ. මුබරක් දුවද්දී දැවීගියා 10
ඒ. මැතිව්ස් ඇ. මෝර්ටාසා ප. හොසේන් 02
ටී. තුෂාර ඇ. මුෂ්නිකර් ප. හොසේන් 00
එන්. කුලසේකර ඇ. ඉස්ලාම් ප. හොසේන් 05
එම්. මුරලිදරන් නොදැවී 06
ඒ. මෙන්ඩිස් ඇ. අෂ්රෆුල් ප. හොසේන් 00
අතිරේක 14
එකතුව (ඕවර් 30.3 කදී) 147
කඩුලු බිදවැටීම - 1 – 0, 2 – 4, 3 – 75, 4 – 95, 5 – 124, 6 – 128,
7 – 130, 8 – 135, 9 – 141, 10 - 147
පන්දු යැවීම - මොර්ටසා 7 – 1 – 25 – 3, අලාම් 4 – 0 – 25 – 1,
හොසේන් 5.3 – 0 – 33 – 4, අල්හසන් 6 – 0 – 24 – 0,
නයීම් ඉස්ලාම් 6 – 0 – 24 – 1, මහමුදුල්ලා 2 – 0 – 13 - 0
බංග්ලාදේශය
තමීම් ඉක්බාල් දුවද්දී දැවීගියා (කපුගෙදර) 09
ජුනයිඩ් සිද්ධික් දුවද්දී දැවීගියා (මුබරක්) 00
මුෂ්ෆිකර් රහීම් ඇ. සංගක්කාර ප. තුෂාර 01
මොහොමඩ් අෂ්රාෆුල් ඇ. ජයසූරිය ප. කුලසේකර 26
ෂකීබ් අල් හසන් නොදැවී 92
රකිබුල් හසන් ඇ. මුරලිදරන් ප. මෙන්ඩිස් 03
නයීම් ඉස්ලාම් නොදැවී 12
අතිරේක 08
එකතුව (කඩුලු 5 කට ඕවර් 23.5 කදී ) 151
කඩුලු බිදවැටීම – 1 – 0, 2 – 10, 3 – 11, 4 – 102, 5 - 126
පන්දු යැවීම – කුලසේකර 6 – 1 – 45 – 1, තුෂාර 4 – 1 – 12 – 1,
මෙන්ඩිස් 6.5 – 0 – 37 – 1, මැතිව්ස් 1 – 0 – 12 – 0,
මුරලිදරන් 6 – 0 – 40 - 0

Friday, January 2, 2009

දෙහිවල සතුන් වත්තේ ඇතුළුවීමේ ගාස්තු ඉහළට


සුරන්ජිත් පෙරේරා - දෙහිවල ගල්කිස්ස සමූහ
දෙහිවල සත්ව උද්‍යානයේ ඇතුළුවීමේ ගාස්තු ඊයේ ජනවාරි පළමුවැනිදා සිට දෙගුණයකින් ඉහළ දමා ඇත.
විනෝදාත්මක කටයුතු අමාත්‍යංශ ලේකම් හරහා මහා භාණ්ඩාගාරයේ රාජ්‍ය මුදල් අධ්‍යක්‍ෂ ජනරාල්ගේ අනුමැතිය ඇතිව ඉහළ දැමීමම සිදුකළ බව සත්ව උද්‍යානයේ අධ්‍යක්‍ෂ දුමින්ද ජයරත්න මහතා පැවැසීය.
ඒ අනුව පෙර තිබූ ඇතුළුවීමේ ගාස්තුවලට සමානව පහත සඳහන් පරිදි වැඩිකිරීමට පියවර ගත් බවද ඒ මහතා කීය.
නව මිල සංශෝධන සම්බන්ධයෙන් අදහස් දැක්වූ දෙහිවල සත්ව උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂක (මුදල්) බී. එස්. එම්. අබේසේකර මහතා කියා සිටියේ, පින්නවල හා දෙහිවල සත්ව උද්‍යානයන්හි සතුන්ගේ ආහාර සඳහා පමණක් රුපියල් මිලියන 9ක් පමණ වාර්ෂිකව වැය වන අතර නව ආර්ථික තත්ත්වය යටතේ සතුන්ගේ ආහාර සඳහා දෙන තණකොළ මිටියක් සඳහා රුපියල් 20ක්, පොල් අත්තක් සඳහා රුපියල් 11ක්, කිතුල් කොට කිලෝග‍්‍රෑම් 1ක් සඳහා රුපියල් 20ක් වැනි මිල ගනන් හා සේවක නඩත්තු හා ප‍්‍රාග්ධන වියදම් සඳහා තවත් විශාල මුදලක් යෙදවීමට සිදුවන බවය.
මේ වන විට හම්බන්තොට, රිදීගම හා වාගොල්ල ප‍්‍රදේශයේ අලුතින් ඉදිකරන සත්ව සෆාරි උද්‍යාන සඳහා අවශ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන ලබා ගැනීම වැනි කරුණුද මෙම ඇතුළුවීමේ ගාස්තු ඉහළ දැමීමට හේතුවූ බවද ඒ මහතා වැඩිදුරටත් කීය.
මෙවැනි ආකාරයෙන් 100% කින් සත්ව උද්‍යාන ඇතුළුවීමේ ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් සත්ව උද්‍යාන සේවකයින් හා ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ හා ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තිය සමිති දැඩි විරෝධය පළකර ඇත.
සත්ව උද්‍යානය නැරැඹීමට පැමිණෙන ශී‍්‍ර ලංකා ජනතාවගෙන් 75% පමණ ඈත පළාත්වල දුප්පත් මිනිසුන් බවත් 100% කින් අත්තනෝමතික ලෙස ගාස්තු වැඩිකිරීම එවැනි මිනිසුන්ගේ ආර්ථික තත්ත්වයට කිසිසේත්ම හිතකර නොවන බවද ඔවුහු පවසති.
එක් පවුලකින් හත් අටදෙනෙකු සත්ව උද්‍යානය නැරැඹීමට පැමිණියහොත් ප‍්‍රවේශ පත‍්‍ර ලබාගැනීමේදී අපහසුතාවට පත්වීමට ඉඩ ඇති බවද ඔවුහු පෙන්වා දෙති.
මේ වන විට ඊයේ (01) සිට ගාස්තු දෙගුණයකින් වැඩිකර ඇත. සත්ව උද්‍යානයේ වියදම් හා නඩත්තු කටයුතු සඳහා යැයි පාලන අධිකාරිය පෙන්වා දෙන අතර සත්ව උද්‍යාන සේවකයින් හා වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ මෙම නව ගාස්තු ක‍්‍රමය මගින් සත්ව උද්‍යානය නැරඹීමට එන ශී‍්‍ර ලංකාවේ දුප්පත් ජනතාව අපහසුතාවයට පත්වී සත්ව උද්‍යානයේ ආදායම ද අඩුවිය හැකි බවයි.

ඇමැති මණ්ඩල වෙනසක්

රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු ඇමැතිවරයා ලෙස ආචාර්ය සරත් අමුණුගම මහතාත්, ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප‍්‍රවර්ධන ඇමැතිවරයා ලෙස අනුර ප‍්‍රියදර්ශන යාපා මහතාත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ ඊයේ (01) සවස 6.00 ට අරලියගහ මන්දිරයේ දී දිවුරුම් දුන්හ.
ආචාර්ය සරත් අමුණුගම සහ අනුර ප‍්‍රියදර්ශන යාපා යන මහත්වරු දිවරුම් දීමේ අවස්ථාවට අමාත්‍යවරුන් වන ෆීලික්ස් පෙරේරා, මහින්ද යාපා අබේවර්ධන, චන්ද්‍රසිරි ගජධීර, නියෝමාල් පෙරේරා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අර්ජුන රණතුංග, ජනාධිපති ලේකම් ලලිත් සී. වීරතුංග යන මහත්වරු එක්ව සිටියහ

හමුදාවෝ පරන්තන් අල්ලති




කොටින්ගේ එකම ගොඩබිම් මාර්ගය වැසේ


ඉරණමඩු හන්දියත් හමුදා අතේ




මහින්ද කුලතුංග, විජයානි එදිරිසිංහ චන්ද්‍රිකා පෙරේරා හා භක්ති මෙන්ඩිස්


යුද හමුදාව ඊයේ (01) අලුයම පරන්තන් නගරයේ බලය තහවුරු කර ගැනීමත් සමඟම කොටි ත‍්‍රස්තවාදීන්ට මුලතිව් සිට අලිමංකඩ, කිලාලි සහ මුහමාලෙහි ප‍්‍රදේශයට යෑමට තිබූ එකම ගොඩබිම් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.
පරන්තන් සිට උතුරට මුහමාලෙයි දක්වා ත‍්‍රස්තවාදීන් ගමන් කෙළේ මේ පරන්තන් නගරය හරහා ඇවිත් දකුණට හැරී ඒ – 9 මාර්ගය ඔස්සේ ය.
මේ නිසා හමුදාවට මුහමාලෙයි සහ අලිමංකඩ ප‍්‍රදේශයේ බලය අත්පත් කර ගැනීමද පහසු වනු ඇති බවත් ආරක්ෂක අමාත්‍යංශ නිලධාරීහු පෙන්වා දෙති.
පුනරීන් – පරන්තන් (බී 69) මාර්ගය සහ පරන්තන් – මුලතිව් පාර (ඒ. – 35) සම්බන්ධ වන්නේ පරන්තන් හන්දියෙනි.
මේ නිසා හමුදාව පරන්තන් හි බලය ඇල්ලීම කොටි ත‍්‍රස්තවාදීන් ලැබූ අන්ත පරාජයක් බවත් පෙන්වා දෙති.
පරන්තන් අල්ලා ගැනීම යුද හමුදාව යුදමය වශයෙන් ලැබූ විශාල ජයග‍්‍රහණයක් බවත් යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් උදය නානායක්කාර කියයි.
යුද හමුදාවේ කාර්ය සාධක බළකා 1 හි සෙබළුන් විසින් ත‍්‍රස්තවාදීන් සමඟ දින ගණනක් ඉතාමත් දැඩි සටන් කීපයකට මුහුණ දී ඊයේ අලුයම පරන්තන් හන්දියේ බලය තහවුරු කර ගැනීමට සමත් වූ අතර මේ ජයග‍්‍රහණය අත්පත් කර ගැනීමට ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ ගුවන් ප‍්‍රහාර විශාල පිටිවහලක් විය.
ගුවන් ප‍්‍රහාරවලින් ත‍්‍රස්තවාදීන් අඩපණවී සිය බංකර හැරදමා අන්දමන්ද වී පළා ගියහ. ඒ සමඟම ගොඩබිම කාර්ය සාධක බළකා 01 හි රණවිරුවෝ දැඩි ලෙස මෝටාර්, කාලතුවක්කු ප‍්‍රහාර එල්ලකර ක‍්‍රම ක‍්‍රමයෙන් ත‍්‍රස්තවාදීන් පලවාහැරීමට සමත් වූහ.
පරන්තන් නගරය අත්පත් කර ගැනීමේ සටනේ දී සතියක් පුරා පැවති දැඩි සටන්වලින් ත‍්‍රස්තවාදීන් විශාල පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබූ අතර එම සටන් වලින් හමුදාවට ද සුළු හානි සිදුවී තිබේ.
පරන්තන් සිට උතුරු කිලිනොච්චියට ඇත්තේ කිලෝ මීටර 4.5 ක දුරක් වන අතර මේ නිසා කිලිනොච්චිය අත්පත් කර ගැනීමේ සටනට ද පරන්තන් අල්ලා ගැනීම විශාල රුකුලක් බවත් ආරක්ෂක නිලධාරීහු කියති.
මේ අතර මුලතිව් දිස්ති‍්‍රක්කයේ ද මුල්ල්‍යාවේලි බටහිර ප‍්‍රදේශයේ පෙරේදා (31) හමුදාව හා ත‍්‍රස්තවාදීන් අතර දැඩි සටන් පැවති අතර එම සටන්වලින් පසු මිය ගිය ත‍්‍රස්තවාදීන් දෙදෙනකුගේ සිරුරු සහ ටී 56 අවියක් හමුදාවට හමුවී තිබේ.
මුලතිව් කුඹුරුවිට්ටන්කුලම් ප‍්‍රදේශයේ ද පෙරේදා සවස 2.00 ට පමණ ගැටුම් පැවති අතර එහිදී හමුදාව ත‍්‍රස්තවාදීන්ගේ අත්බෝම්බ 3 ක් සොයාගෙන ඇත.මේ අතර කිලිනොච්චි විජයග‍්‍රහණය කරා යමින් සිටින ආරක්‍ෂක බළසේනාවෝ ඊයේ දහවල් ඉරණමඩු හන්දිය අත්පත් කරගත්හ.
57 වැනි බළ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ඩයස් ගේ මෙහෙයවීමෙන් ඉදිරියට යන බළ සේනා ඉරණමඩු හන්දිය අත්පත් කරගන්නා විට ඉතා දුර්වල තත්ත්වයකට පත්වී සිටි කොටි ත‍්‍රස්තවාදී කිලිනොච්චි ඊසාන දෙසට යමින් සිටි බව පැවැසේ.
මේ වන විට උතුරේ සටන් වදින කොටි ත‍්‍රස්තවාදීන්ගේ මානසික තත්ත්වය ඉතාමත් දුර්වල අඩියකට වැටී ඇති බව ඔවුන් සටන් කරන ආකාරයෙන් පෙනී යන බව ඉරණමඩු ජයග‍්‍රහණය කළ ආරක්‍ෂක භට පිරිස් ප‍්‍රකාශ කළ බව යුද හමුදා මාධ්‍ය ඒකකය පවසයි.
පරන්තන් ඉරණමඩු ජයග‍්‍රහණයත් සමඟම කිලිනොච්චි ජයග‍්‍රහණය කරා ආරක්‍ෂක බළසේනා ඉතාමත් ශීඝ‍්‍රයෙන් ළඟාවෙමින් සිටින බව ප‍්‍රකාශ කරති.
57 වැනි බළ සේනාංකය සමඟ 574 බළ සේනාංකයේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් සේනක විජේසිංහ 16 වැනි සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ධම්මික දිසානායක, අටවැනි පාබල හමුදාවේ අණදෙන නිලධාරී මේජර් ඉප්සිත දිසානායකගේ වීරෝදාර බළ සේනාවෝ ඉරණමඩු ජයග‍්‍රහණය ලබා ගැනීමට එක්වූහ.

කිලිනොච්චි ත‍්‍රස්ත ඉලක්ක 3ක් ගුවන් ප‍්‍රහාරවලින් විනාශයි

චන්ද්‍රිකා පෙරේරා
කිලිනොච්චි නැඟෙනහිර ප‍්‍රදේශයේ පිහිටුවා තිබූ කොටි අණදෙන මධ්‍යස්ථානයක් සහිත කඳවුරක් හා මූලතිව් මුල්ලයාවැලි හි ත‍්‍රස්තවාදීන් එක්රැස්වන ප‍්‍රධාන ස්ථානයක් ඇතුළු ත‍්‍රස්තවාදී ඉලක්ක තුනක් ඊයේ (01) පෙරවරුවේ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ප‍්‍රහාරයෙන් විනාශවිය.
ජෙට් හා එම්. අයි. 24 ප‍්‍රහාරක යානා මඟින් ඊයේ උදෑසන 8.15 ට 10.45 ට හා 11.20 ට පමණ මේ ප‍්‍රහාරයන් එල්ල කළ බව ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවැසීය.
කිලිනොච්චි බටහිර ප‍්‍රදේශයේ ත‍්‍රස්තවාදී ඉලක්ක වෙත එදින උදෑසන 8.15 ට පමණ ජෙට් ප‍්‍රහාරක යානා මඟින් පහරදී තිබේ.
ප‍්‍රදේශයේ ආරක්‍ෂාව තහවුරු කිරීමේ යෙදී සිටින පළමුවැනි කාර්ය සාධක බළකායට සහාය පිණිස මේ ප‍්‍රහාර එල්ල කැර ඇත.
එදින පෙරවරු 11.20 ට පමණ කිලිනොච්චියට කිලෝමීටර් දෙකහමාරක් පමණ නැඟෙනහිරින් තිබූ ත‍්‍රස්තවාදීන්ගේ අණදෙන මධ්‍යස්ථානයට පහරදී තිබෙන අතර පෙරවරු 10.45 ට පමණ මූලතිව් මුල්ලයාවැලිවලට කිලෝමීටර් හතරහමාරක් පමණ වයඹ දෙසින් වූ ප‍්‍රදේශයේ ත‍්‍රස්තවාදීන් එක්රැස් වූ ප‍්‍රධාන ස්ථානයකට පහරදි තිබේ. 59 වැනි සේනාංක භටපිරිස්වලට සහාය පිණිස මේ පහරදීම සිදුකැර ඇත.

සැටලයිට් දුරකථන 3ක් සමඟ කොටි සැකකරු චෙන්නායි හිදී දැලේ

මහින්ද කුලතුංග
එල්. ටී. ටී. ඊ. සංවිධානයට සපයාදීමට තිබූ සැටලයිට් දුරකථන 3ක් සමඟ දිලීපන් නමැති 30 හැවිරිදි ශී‍්‍ර ලාංකික සැකකරුවකු ඉන්දියාවේ චෙන්නායිහිදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
අධිකරණ නියෝග මත සැකකරු රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.
එල්. ටී. ටී. ඊ සංවිධානයට එවීම සඳහා සැටලයිට් දුරකථන චෙන්නායි නගරයේදී කිසියම් පුද්ගලයකුට ලබාදීම සඳහා නගරයට පැමිණ සිටියදී අත්අඩංගුවට ගැනීමට සිදුවී ඇති බවත් හින්දු පත‍්‍රය වාර්තා කරයි.
දිලීපන් නමැති මෙම සැකකරු වසර කීපයකට පෙර ශී‍්‍ර ලංකාවෙන් පැමිණ ස්වීස්ටර්ලන්තයේ බේකරියක සේවය කර මෑතකදී ඉන්දියාවට පැමිණ ඇති බවත් සොයාගෙන තිබේ.

වාහන තද බදය උග‍්‍රයි: මහරගම පොලිසිය නිහඬයි

පන්නිපිටිය විශේෂ
පන්නිපිටිය හෝකන්දර පාර ආරම්භ වන මොරකැටිය හන්දියේ දිනපතා උදය වරුවේ සහ සවස් භාගයේ සිට රාතී‍්‍ර කාලය දක්වා පවතින වාහන තදබදය අවම කිරීම සඳහා මහරගම පොලිසිය කිසිදු පියවරක් නොගන්නා බව ගම්වාසීන් ඇතුළු මාර්ගයේ ගමන් ගන්නා රියැදුරෝ පවසති.
පෞද්ගලික රෝහල අසල මාර්ගය දෙපස කිසිදු තැකීමකින් තොරව මෝටර් රථවාහන නැවැත්වීම මත හෝකන්දර පාරේ දෙපසට පවතින වාහන තදබදය පරණ කොට්ටාව පාරේ ගමන් ගන්නා වාහන විශාල ප‍්‍රමාණයකටද තර්ජනයක් බවත් මේ පිළිබඳව මහරගම හෝ කොට්ටාව පොලිසිය වෙතින් කිසිදු ප‍්‍රතිචාරයක් නොමැති බවත් මාර්ගය ප‍්‍රයෝජනයට ගන්නෝ මැසිවිලි නගති.
නුගේගොඩ පොලිස් අධිකාරි නමින් වාහන නවතා තැබීම තහනම් පුවරු සවිකැර ඇතත් එයින් ප‍්‍රයෝජනයක් නොමැති බව ප‍්‍රදේශවාසීහු තවදුරටත් පවසති.

ආහාර නිෂ්පාදනය වැඩි වුණත් ගුණාත්මක බවේ පිරිහීමක් ඇති වෙලා දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්. එස්. ජයවර්ධන

නවීන තාක්ෂණයත් පැරැණි ක‍්‍රමයත් එක්කර දේශීය ආහාර බෝගවල ගුණාත්මක බව රැක ගනිමින් කෘෂිකර්මාන්තයේ පිබිදීම ඇති කළ යුතු බව පවසමින් මේ අදහස් දක්වන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ අධ්‍යක්ෂ වෛද්‍ය ආර්. එස්. ජයවර්ධන මහතායි.
දේශීය භෝග නිෂ්පාදනය වැඩි දියුණු කිරීම රජය විසින් ආරම්භ කර තිබෙනවා. මේ ගැන දේශීය වෛද්‍යවරයකු වශයෙන් ඔබගේ අදහස කෙසේද ?
මෙය ඉතා හොඳ අදහසක්. මෙම අදහස වඩාත් ඔප් නැංවෙන්නේ දේශීය කියන වචනයෙන්. මෙතැනදී අවංකවම අපේ දේශීය භෝග නිෂ්පාදනය කියන කාරණාව ඉස්මතු කරවා ගැනීම ඉතා වැදගත්.
සොබාවධර්මයා විසින් මිනිසාගේ පැවැත්ම සඳහා එක් එක් දේශවලට අනුරූපිකව ආහාර සපයනවා. අපේ දේශයේ වැවෙන ආහාර භෝග වල ගුණාත්මක බව සරිලන්නේ අපේ දේශයේ ඉපදුන සත්වයාටයි.
මෙය තමයි ස්වභාවධර්මයේ සමතුලිතභාවය. මේ මතය බිඳින්න විද්‍යාත්මක සංකල්පයේදී පදනමක් තිබුණත් ස්වභාවධර්මයේ රීතිය ඊට වඩා වෙනස් යයි මා සිතනවා. එම නිසා දේශීය භෝග දිරිගැන්වීමේ රජයේ සැලැස්ම ඉතා හොඳ දෙයක්.
දේශීය කෘෂි කර්මාන්තයේ පිබිදීමකට මෙය හේතුවී තිබෙනවායයි ඔබ හිතනවාද ?
මේ පිබිදීමට හේතුව මා දකින්නේ මේ විදිහට. බටහිර වැසියන් නවීන තාක්ෂණය උපයෝගි කර ගනිමින් දියුණු යයි සිතමින් කාලය ගත කළත් ඔවුන් දැන් නොයෙකුත් ලෙඩ රෝග වලට ගොදුරු වෙලා.
එම නිසා ආසියාතිකරයේ පවතින සෑම දෙයකම වටිනාකම ගැන අවබෝධයකින් උනන්දුවකින් පසුවනවා. කාබනික පොහොරවලින් හෝ ස්වභාවිකව වැවෙන හෝග සහ ඖෂධ සම්බන්ධයෙන් ඔවුන්ගේ පිබිදීම ඉල්ලුමක් බවට පත් වෙලා. අපේ රටේ දේශීය දේවල් ඉල්ලීමට ඔවුන් පෙළඹෙන නිසා කෘෂිකර්ම ක්‍ෂේත‍්‍රයද දේශීය බවේ පිබිදීම ඇතිවීමට හේතුවක් වෙලා.
විද්‍යාත්මක වශයෙන් අපේ ආහාර රටාවේ වටිනාකම පිළිබඳ වෛද්‍යවරුන් නිතර නිතර ජනමාධ්‍ය හමුවේ ප‍්‍රකාශ කිරීමත් මෙම පිබිදීමට තවත් සාධකයක්.
ස්වභාවිකව වැවෙන දේශීය භෝගයන්ගෙන් ශරීරයට අහිතකර විෂ පදාර්ථයන් අවම වීම පිළිබඳ ජනතාව තුළ අවබෝධයක් ජනිත වීමත් තව හේතුවක්. ඒ වගේම දේශීය බව අගයන ජාතික සංවිධාන මේ රට තුළ හඬක් නැගීමත් මෙම දේශීය කෘෂිකර්මයේ පිබිදීමට මහත් පිටිවහලක් වී තිබෙනවා.
මෙවර යල කන්නයේදී වී අස්වැන්න 22 % වැනි ප‍්‍රමාණයකින් වැඩි වූවා....
මෙතන තමයි ගැටලුව තිබෙන්නේ. වී නිෂ්පාදනය වැඩිවූවාට වැඩිවූයේ පිටරටින් ගෙනෙන බීජ වර්ගවල වී අස්වැන්නයි. පිටරටින් එන බීජ ඔවුන් අලෙවි කරන්නේ කෘෂිකර්මාන්තය වෙළෙඳපොළකරණයට ලක්වීමේ ප‍්‍රතිඵලයක් ලෙසයි.
අපේ ජනතාව ආහාර වැව්වේ වෙළෙඳපොළකට නොවෙයි. එදිනෙදා පරිභෝජනයටයි. වැඩිවන ජනගහනය සමග ඔවුන්ට අවශ්‍ය ආහාර ප‍්‍රමාණය වැඩි වෙනවා.
එම නිසා නිෂ්පාදනයද වැඩිවිය යුතුයි. නිෂ්පාදන ප‍්‍රතිශතය වැඩි කිරීමට උත්සාහ ගැනීමේදී නවීන තාක්ෂණය භාවිතා කිරීමට සිදු වනවා. එතැනදී දේශීය භෝගයේ ගුණාත්මක බව විනාශවීමට ඉඩ කඩ වැඩි වෙනවා.
මෙය අවම කර ගැනීමටත් නිෂ්පාදනය වර්ධනය කර ගැනීමටත් අපේ පැරැණ්නන් භාවිත කළ ක‍්‍රම අධ්‍යයනය කර ඒවා උපයෝගී කර ගැනීමට ක‍්‍රමවේද සකස් විය යුතුයි. නමුත් මෙය අමාරු කර්තව්‍යක්.
ගොවියා නිෂ්පාදනය කළ යුත්තේ තම අවශ්‍යතා සඳහා පමණක්ද ?
මා අදහස් කෙළේ එය නොවේ. ගොවියා එදා කෘෂිකර්මාන්තයේ යෙදුනේ ‘බහුජන හිතාය බහුජන සුඛාය’ යන සංකල්පයේ හිඳගෙනයි. කාරමිකකරණයත් සමගම බහුජාතික ව්‍යාපාර කෘෂිකර්මාන්තයට පැමිණියා.
මෙහි ප‍්‍රතිඵලයක් හැටියට අප රටේ ද කෘෂිකර්මාන්තය වෙළෙඳ ව්‍යාපාරයක් බවට පත් වුණා. වෙළෙඳ ව්‍යාපාරයක මූලික ලක්ෂණය වූ ලාබය අරමුණු කරගෙන ඕනෑම දෙයක් කිරීමට පෙළඹීම් ආවා.
ඒ අනුව ඕනෑම විදිහට නිෂ්පාදනය වැඩි කිරීම මත ගුණාත්මක බවේ පිරිහීමක් ඇති වෙනවා. ආහාර නිෂ්පාදනය වැඩි කළත් නිෂ්පාදිත ආහාරයේ ගුණාත්මක බව හීන නම් ඒ නිෂ්පාදනය එතරම් වැදගත් නැහැ. සෞඛ්‍ය විද්‍යාවේදී කියන්නේ එයයි.
වර්තමාන ආහාර බෝග නිෂ්පාදනය ගැන මොනවද හිතන්නේ ?
මෙය විමර්ශනය කිරීමේදී ලැබෙන පිළිතුරු ප‍්‍රතිඵල රහිත බවකුයි මට හැඟෙන්නේ. මේ නිෂ්පාදන පරිභෝජනය කරන අයගේ පැත්තෙන් බැලුවත් එදා ගොවියා වවන ලද භෝග සහ අද නිෂ්පාදනය කරන ආහාරවල ගුණාත්මක බව පරිභෝජනය කරන්නාට ඒ ආකාරයෙන් ලැබෙන්නේ නැහැ.
එදා කාපු කෙසෙල් ගෙඩියක, අඹ ගෙඩියක රසය අද දැනෙනවාද ? එළවුළු ගත්තත් හාල් ගත්තත් මේ තත්ත්වය එහෙමමයි. එදා උයන බතක සුවඳ අද දැනෙනවාද ? රසය අද තිබෙනවාද ? අද අපට පරිභෝජනය කරන්ට සිදුව ඇත්තේ ශරීරයට අහිතකර වූ රසායනික පදාර්ථයන්ගෙන් සමන්විත ආහාරයි. මෙවැනි නිෂ්පාදන වැඩිවීම නිසා අපේ ජනතාව ලෙඩ වීමේ ප‍්‍රවණතාවට ශීඝ‍්‍ර ලෙස හසුවෙමින් සිටිනවා.
නිෂ්පාදන පැත්තෙන් බලන විට නොයෙක් වෙසින් එන උපදෙස් පොහොර කෘමිනාශක භාවිතාව හේතු කොට වෙනත් වෙළෙඳ පන්තියක් බිහි වී ගොවියා ණය උගුලේ හිරවූ උපද්‍රවයද වැඩිවී තිබෙනවා.
අවසානයේ සිදුව ඇත්තේ පරිභෝජනය කරන අපිත් නිෂ්පාදනය කරන ගොවියාත් උගුලකට හසුවීමත් විදේශීය රටවල් කෘෂිකර්මාන්තය හරහා අපව අගාධයකට ඇද දමා ඔවුන් ලාබ ලබා ඇති බවයි. අපට ආරෝග්‍යා පරමාලාභාවත් නැති කොටයි ඔවුන් එම ලාබ ලබා ඇත්තේ.
කාබනික පොහොර භාවිතාව සඳහා දැන් ගොවීන්ව නැඹුරුකොට තිබෙනවා නේද ?
අපේ ගොවියා කොම්පෝස්ට් පොහොර හදා ගත්තේ කොහොමද යොදා ගන්නේ කෙසේද යන පාරම්පරික ඥානයෙන් පරිපූර්ණ වී සිටි අයෙක්. ඔවුන්ගේ මෙම පාරම්පරික ඥානය කාන්දුවීමේ ගතිය අප විසින්ම ඉවත් කළා.
එසේ වුවත් අප දැන් කාබනික පොහොර නිෂ්පාදනය කොට දිරි ගැන්වීම කාලෝචිත වෙනවා. ප‍්‍රමාද වී හෝ මෙම කි‍්‍රයාවලියට රජය අතගැසීම ඉතා හොඳයි.
ඔබ කියන්නේ අපට අවශ්‍ය ආහාරභෝග වැඩි දියුණු කිරීමේ කි‍්‍රයාවලිය කෙබඳු එකක් විය යුතු බවද ?
ආහාර භෝග නිෂ්පාදනය වැඩි කිරීමේ කි‍්‍රයාවලියක් රටට අවශ්‍යයි. අපේ කෘෂිකර්මාන්තය කියන්නේ අපේම භෝගයි. අපේ භෝග සඳහා වූ වෙනමම සංස්කෘතියක් තියෙනවා.
එයම තමයි අපේ සංස්කෘතිය. අපේ අනන්‍යතාවත් එයමයි. මෙම අනන්‍යතාව මත ඉඳිමින් වැඩිවන ජනතාවට සාපේක්ෂව අපේම භෝග වගා කළ හැකි බවයි මා කියන්නේ.
අපේ කමේ සිට නවීන තාක්ෂණය භාවිතා කරනවා විනා බටහිර සංකල්ප වල සිට නවීන තාක්ෂණය භාවිත කළ යුතු නැහැ. සතුටු විය යුතු කරුණක් සඳහන් කළ යුතුව තිබෙනවා.
මෙය අවබෝධ කොටගත් කෘෂි විද්‍යාඥයන් පිරිසක් අප රටේ දැන් සිටිනවා. එවැනි අයට බල කරමින් මේ සඳහා මැදිහත් කර ගත යුතුව තිබෙනවා.
දේශීය භෝග වගාවට ගොවියා පෙළඹවීමත් හැකි පමණ රසායනික ද්‍රව්‍යයන්ගෙන් තොරව දේශීය ක‍්‍රමෝපායන් උපයෝගී කර ගැනීමට පෙළඹවීමත් කළ යුතු වෙනවා.
තම සහෝදර ජනතාවට ගුණාත්මක බවෙන් සපිරි, නිරෝගි භාවයට අවශ්‍ය භෝගයන් නිෂ්පාදනය කළ යුතු යයි යන හැඟීම සහ චේතනාව ගොවියා කෙරෙහි රෝපණය කිරීම වැදගත් වෙනවා.


ඡායාරූප සහ සංවාද සටහන එම්. එච්. ස්ටැන්ලි අබේරත්නබෙම්මුල්ල සමූහ

ආසියානු කි‍්‍රකට් සූරයෝ

ජගත් කි‍්‍රකට් භූමි දර්ශන චිත‍්‍රය සිය මුදල් හයියත් තරග සාර්ථකත්වයත් මගින් වෙනස් කිරීමට ඉන්දියාව සමත් වුවද ගෙවී ගිය 2008 වසරේ ආසියාවේ ඉහළම කි‍්‍රකට් කණ්ඩායම වීමේ ගෞරවය හිමිකර ගත්තේ ශ‍්‍රී ලංකාව ය.
ආරක්‍ෂක අවදානම හේතුවෙන් සංචාරක කණ්ඩායම් නොපැමිණීම නිසා පාකිස්තානය 2008 වසර ගෙවා දැමුවේ එකම ටෙස්ට් තරගයක් හෝ කී‍්‍රඩා නොකරය.
ආසියාවේ අනෙක් කි‍්‍රකට් කණ්ඩායම වන බංග්ලාදේශය දිගටම මේ වසරේත් තරග බිමේ දඟලද්දී ජගත් කි‍්‍රකට් ජවනිකාවේ ඉහළම තලයට ආසියානු කොඩිය රැගෙන ගියේ ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව ය.
විනෝදයට සන්ධ්‍යාවේ සෙල්ලම් කරන කී‍්‍රඩාවක් බවට පත්ව තිබූ කි‍්‍රකට් කී‍්‍රඩාවේ ස්ථාවරය වෙනස් කරමින් ඉන්දියාව ඩොලර් මිලියන ගණනින් වටිනා ඉන්දියා ප‍්‍රිමියර් ලීගය කි‍්‍රයාත්මක කෙළේ ලොව කි‍්‍රකට් සුපිරි බලය බවට පත්වෙමිණි. ලොව පුරා හොඳම කී‍්‍රඩකයෝ මේ තරගාවලියට සහභාගි වූහ.
සම්ප‍්‍රදායික කි‍්‍රකට් ක‍්‍රීඩාවේදී ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව 2008 අවසන් කළේ ජයග‍්‍රාහී අයුරිනි. ඉන්දියාච විසින් එංගලන්තය පරාජය කරනු ලැබූ අතර ශ‍්‍රී ලංකාව බංග්ලාදේශය පැරැදවීය.
ගෙවුණු වසරේ කැපී පෙනෙන සිදුවීමක් වූයේ දීර්ඝ කාලයක් ජගත් ටෙස්ට් කි‍්‍රකට් පිටියේ ඒකාධිකාරය හිමිකර ගෙන සිටි දැවැන්ත කැන්ගරුවන්ගේ ඇද වැටීමය.
ලෝක සූරයන් වන රිකී පොන්ටිං ගේ පිල ප‍්‍රථමයෙන් ඔවුන්ගේ රටේ පර්ත් නුවර දී ඉන්දියාවට පරාජය වූ අතර පසුව ඉන්දියාවේදී තරග 2 - 0 කින් තරගමාලාව පරාජය විය.
ජගත් කි‍්‍රකට් බලයේ සමබරතාව අවසානයේ ඔස්ටේ‍්‍රලියානුවන් ගෙන් ඈත් වෙමින් තිබෙන බවට වූ ඒ පළමු ඉඟියෙන් පසුව දකුණු අප‍්‍රිකාව ඔස්ටේ‍්‍රලියානු පොළොවේදී ඔවුන් තරග 2 - 0 කින් පරාජය කෙළේ 1992 - 93 වකවානුවේ මුළු ලොවම ආක‍්‍රමණය කළ ක්ලයිව් ලොයිඩ්ගේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් පිල වෙතින් සිය රටේ දී අත්විඳී පරාජයෙන් පසුව ප‍්‍රථම ටෙස්ට් තරගමාලා පරාජය ඔස්ටේ‍්‍රලියානුවන්ට අත්කර දෙමිනි.
මහේල ජයවර්ධනගේ ශ‍්‍රී ලංකා කණ්ඩායම මව්බිමේදී ඉන්දියා පිල ටෙස්ට් තරග 2 - 1 කින් පරාජය කළ අතර පාකිස්තානයේදී මහේන්ද්‍ර සිං දෝනි ගේ කණ්ඩායම පරදවමින් ආසියානු එක්දින ක‍්‍රිකට් කුසලානය දිනා ගත්තේය.
ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ක්ෂේත‍්‍රයට වඩාත්ම යහපත් දෙය වූයේ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ අජන්ත මෙන්ඩිස් ගේ මතුවීම ය. 23 හැවිරිදි මෙන්ඩිස් සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවිය ආරම්භ කෙළේ ලෝක වාර්තාවක් තබමිනි.
මේ අපූරු දඟ පන්දු යවන්නා ටෙස්ට් තරග තුනකදී කඩුලු 26ක් බිඳ හෙලූ අතර එය නවක කී‍්‍රඩකයෙක් සිය මංගල තරග තුනකින් යුත් තරගමාලාවකදී ලබා ගත් වැඩිම කඩුලු සංඛ්‍යාව විය.
අතුරු කමිටුව විසුරුවයි
කී‍්‍රඩා අමාත්‍යංශයත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් අතුරු කමිටුවත් අතර වසරක පමණ කාලයක පැවැති කඹ ඇදිල්ල කෙළවර වූයේ ගාමිණී ලොකුගේ කී‍්‍රඩා ඇමැතිවරයා විසින් අර්ජුන රණතුංග ප‍්‍රධාන අතුරු කමිටුව විසුරුවා හරිමිනි.
ඉන්දියා ප‍්‍රිමියර් ලීගයේ කී‍්‍රඩක සහභාගිත්වය, සේවක ප‍්‍රශ්න, රූපවාහිනී තරග විකාශන අයිතීන්, අනුග‍්‍රාහකයන් ලබා ගැනීමේ නොහැකියාව හා කොන්ත‍්‍රාත් පදනමේ සිටි සේවකයන් 18 දෙනෙක් සේවයෙන් නෙරපීම යන කාරණා හේතුවෙන් නන්නත්තාරව දියත් වෙන කි‍්‍රකට් පරිපාලන නෞකාවේ මීළඟ කප්පිත්තා කව්රුන් වේදැයි තවමත් නිශ්චිත නැත.
රගර් අර්බුද
විසුරුවා නොහැරියත් ඒ අවදානම ළඟටම ආ තවත් කී‍්‍රඩා සංගමයකි ශ‍්‍රී ලංකා රගර් සංගමය. සංගමය බේරුණේ ඒ වෙනුවට එහි තේරීම් කමිටුව විසුරුවා හැරීමෙනි.
චීන තායිපේහි පැවැති ආසියානු රගර් තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා රගර් කණ්ඩායමේ නායකත්වයට දුෂාන්ත් ලෙව්කේ පත් කිරීමට විරෝධය පාමින් ජාතික සංචිතයෙන් හා පුහුණුවීම්වලින් ඉවත් වූ ප‍්‍රබල මහනුවර කී‍්‍රඩා සමාජ කී‍්‍රඩකයෝ ඊට මැදිහත් වන ලෙසට කී‍්‍රඩා ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
තේරීම් කමිටුව විසිරුවා හැර ගාමිණි ලොකුගේ ඇමැතිවරයා නව තේරීම් කමිටුවක් පත්කොට කණ්ඩායම හා නායකයා නැවත තෝරන ලෙසට ඔවුනට නියෝග කළේය.
නව තේරීම් කමිටුව කෙළේ චීන තායිපේ තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහභාගි වන තරග දෙකට නායකයන් දෙදෙනෙකු පත් කිරීමය.
ඉන් එක් නායකයකු දුෂාන්ත් ලෙව්කේ ම වීම හේතුවෙන් සිය වර්ජනය දිගටම ගෙන ගිය මහනුවර කී‍්‍රඩකයෝ එම තරගාවලියට පමණක් නොව ඊට පෙර හොංකොංහි පැවැති 2009 ලෝක කුසලාන සත් සාමාජික රගර් තරගාවලියට ආසියානු සුදුස්සන් තේරීමේ තරගාවලියටද සහභාගි වීමෙන් වැලැකී සිටියහ.
ශ‍්‍රී ලංකා සත් සාමාජික රගර් කණ්ඩායම ගෙවුණු වසරේදී විදෙස් තරගාවලි දෙකකට සහභාගි විය. මේ තරගාවලි ද්විත්වයම පැවැතියේ හොංකොං දේශයේය.
වාර්ෂිකව සහභාගි වන හොංකොං සෙවන්ස් තරගාවලියේදී අසාර්ථක වූ ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉන්පසු ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේදී ඊටත් වඩා අසාර්ථක විය.
කණ්ඩායමේ දුර්වලතාව මොනවට ප‍්‍රදර්ශනය කරමින් සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේදී ශ‍්‍රීලංකාවට පරාජය කිරීමට හැකිවුයේ රගර් තරග බිමට ඉතාම ලාබාලයන් වන අසල්වැසි ඉන්දියාව පමණි. කෙටියෙන් කිවතොත් 2008 යනු ශ‍්‍රී ලාංකික රගර් ක්ෂේත‍්‍රයේ දැවැන්ත කඩාවැටීමක් දිස්වූ වසරකි.
ඔලිම්පික් පදක්කම් සිහිනය
බීජිං ඔලිම්පික් උළෙලේදී ශී‍්‍ර ලංකාවේ පදක්කම් සිහිනය බොඳවී ගියද මතු යම් දිනයෙක එවැනි බලාපොරොත්තුවක පහන් දල්වමින් ෂෙහාන් අඹේපිටිය යොවුන් මලල කී‍්‍රඩකයා ජගත් කරලියට පිවිසියේය.
ඉන්දියාවේ පූනෙ නුවර පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය කණිෂ්ඨ කී‍්‍රඩා උළෙලේදී ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සිසුවකු වන ෂෙහාන් පිරිමි මීටර් 100, මීටර් 200 හා මීටර් 100 ය 4 සහාය දිවීම ඉසව්වල රන් පදක්කම් ති‍්‍රත්වයක් දිනා ගැනීම සමත් විය.
බීජිං ඔලිම්පික් උළෙල දක්වා වූ කාලයේදී ඔලිම්පික් පදක්කමක් ගැන වැඩිම ප‍්‍රචාරයක් ඇති වූයේ බොක්සිං කී‍්‍රඩාවෙනි. එහෙත් ඒ පුරසාරම් අවසානයේ පුස්සක් ම විය.
තවත් ඔලිම්පික් පදක්කම් අපේක්‍ෂාවක් වූ සුසන්තිකා ජයසිංහ බීජිංහිදී අසාර්ථක වුවද ඇය ඉතා අගය කළ යුතු කී‍්‍රඩිකාවක් බවට පත්වූවාය.
ඔලිම්පික් උළෙලේ කාන්තා මීටර් 200 අවසාන තරගයට ඇගේ ප‍්‍රවිෂ්ටයම ඉතා ප‍්‍රශංසනීය වේ. ඔලිම්පික් පදක්කමක් දිනා ගෙන අට වසරකට පසුව යළි ඔලිම්පික් අවසාන තරගයකට පිවිසීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.
පිහිනුම් පරිපාලනයේ අර්බුද
ගෙවීගිය වසරේදී පිහිනුම් කී‍්‍රඩා පරිපාලනයේ අර්බුද රැසක් මතුවිය. පිහිනුම් අතුරු කමිටුවට චෝදනා ගණනාවක්ම එල්ලවීම හේතුවෙන් එය විසුරුවා වසර අවසානයේ නව පිහිනුම් අතුරු කමිටුවක් පත්කිරීමට සිදුවූයේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.
වසරේ දක්‍ෂතම පිහිනුම් කී‍්‍රඩකයා ලෙස කැපී පෙනුණු මහනුවර ති‍්‍රත්ව විද්‍යාලයේ හේෂාන් උනම්බුව ඔලිම්පික් උළෙලට ශී‍්‍ර ලංකාවෙන් යැවිය යුතු වඩාත්ම සුදුසු කී‍්‍රඩකයා ලෙස බොහෝ දෙනාගේ අදහසක් වුවද පිහිනුම් බලධාරීන්ගේ තීරණය වූයේ ඩැනියෙල් ලී යැවිය යුතු බවයි.
ඔලිම්පික් උළෙලට ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් යැවිය යුතු කී‍්‍රඩිකාවන් තෝරා ගැනීම හාස්‍යයෙන් පිරුණු එකක් විය. මයුමි රහීම් තෝරාගෙන තිබුණද පසුව ලැබුණු ඉල්ලීම් සලකා මිනිරුවණී සමරකෝන් සමඟ තේරීම් තරගයක් පැවැත්වීමට තීරණය විය.
තේරීම් තරගය දිනයේදී මිනිරුවණී තරග වැදීම ප‍්‍රතික්‍ෂේප කිරීමෙන් මයුමිට ඔලිම්පික් වරම් උදාවුණි. ඔලිම්පික් උළෙලේ දී මයුමිට හා ඩැනියෙල් ලීට පදක්කම් දිනාගත නොහැකි වුවද පෞද්ගලික දක්ෂතා වර්ධනය කරගැනීමට හැකිවිය.
වසරේ කැපී පෙනෙන පිහිනුම් කී‍්‍රඩිකාව ලෙස මිනේකා කරුණාරත්න සම්මානයට පාත‍්‍රවූවාය. නැඟී එන කී‍්‍රඩකයා හා කී‍්‍රඩිකාව ලෙස හේෂාන් – මිනිරුවණී සම්මාන දිනාගත්හ.
පිටපළාත්වලින් දක්‍ෂතා දැක්වූ පොළොන්නරුවේ සචින්ත වික‍්‍රමආරච්චි පිහිනුම් කී‍්‍රඩාවට අදාළ සම්පත් නොමැතිව දැක්වූ දක්‍ෂතාව ආදර්ශමත් විය. ඔහු වැවේ පිහිනා කොළඹ පිහිනුම් තටාකයේ ජයකෙහෙළි නැංවීම සිත්ගන්නා සුළුවිය.
සරේ පාසල් පිහිනුම් සූරතාවලිය, වයස් කාණ්ඩ පිහිනුම් සූරතාවලිය, ජාතික හා කණිෂ්ඨ පිහිනුම් සූරතාවලි උණුසුම් ස්වරූපයකින් නිමා නොවුණි.
ඔලිම්පික් කී‍්‍රඩිකා මයුමිගේ මීටර් 50 ළය ආර ඉසව්වේ ශී‍්‍ර ලංකා වාර්තාව බිඳහෙළීමට මිනේකා සමත්වීමත්, හෙෂාන් තමාගේම වාර්තා කිහිපයක් බිඳ හෙලීමත් කැපීපෙනුණි.
වත්මන් පිහිනුම් අතුරු කමිටුවේ සභාපති අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් පිට පළාත් පිහිනුම් කී‍්‍රඩාව දියුණු කිරීමට අදහස් කර සිටීම ආරම්භ වූ වසරේ යහපත් බලාපොරොත්තුවකි.
ප‍්‍රගතියක් නුදුටු නෙට්බෝල්
ගෙවීගිය වසරේදී නෙට්බෝල් කී‍්‍රඩාවේ ප‍්‍රගතියක් දක්නට නොලැබුණි. ආසියානු නෙට්බෝල් සම්මේලනයේ සභාපති ධූරය ද ශී‍්‍ර ලංකාවට හිමිවූ වසරේ නෙට්බෝල් සංවර්ධනයට එමගින් හෝ සේවයක් සිදු නොවීම කනගාටුදායකය.
නෙට්බෝල් පරිපාලනය කොතරම් කඩාවැටී තිබුණද යන්න පැහැදිලි කරගැනීමට හොඳම උදාහරණයක් වූවේ නෙට්බෝල් සම්මේලනයේ නිලවරණය අත්හිටුවීමට කී‍්‍රඩා අමාත්‍යවරයා ගත් දැඩි තීන්දුවයි.
නෙට්බෝල් සම්මේලනයේ ගිණුම් වාර්තා විගණනයට ලක්කිරීමේදී හෙළිවූ බොහෝ වැරදි හා සාමාජික සංගම් වෙත වාර්තා නිසි පරිදි ලබා නොදීම හේතුවෙන් නිලවරණය අත්හිටුවීමට සිදුවිය.
මාස කිහිපයකින් පසුව අජන්තා විජේසේකර මහත්මියගේ සභාපතිත්වයෙන් නෙට්බෝල් අතුරු කමිටුවක් පත්විය. එම කමිටුව නෙට්බෝල් කී‍්‍රඩාවට අදාළ සංවර්ධන කටයුතු හා තේරීම් කටයුතු වඩාත් වේගවත් කරමින් සිටියදී වසර නිමාවිය.
මේ වසරේ පැවැත්වෙන ආසියානු නෙට්බෝල් සූරතාවලියට කී‍්‍රඩිකාවන් තෝරා ගැනීමේ තේරීම් තරගයේදී උසින් වැඩි කී‍්‍රඩිකාවන් සොයාගැනීමට හැකිවීම ගෙවීගිය වසරේ ලැබූ ඉහළ ප‍්‍රතිඵලයක් බව අතුරු කමිටු ලේකම් ටි‍්‍රක්සි නානායක්කාර පැවැසුවාය.
එහෙත් එම තේරීම් තරගයේදී දක්‍ෂ කී‍්‍රඩිකාවන්ට අවස්ථාව අහිමි කළ බවට චෝදනාවක්ද එල්ල විය. එම චෝදනා සැලකිල්ලට ගෙන නැවැත තේරීම් තරගයක් පැවැත්වීමට යෑම ගැන වසර අවසානයේදී අසන්නට ලැබුණි.
හිටපු ජාතික පුහුණුකාරිනි හයසින්ත් විජේසිංහ නෙට්බෝල් පරිපාලනයට දොස් නගා තනතුරෙන් ඉවත්වූවාය. පසුව එම තනතුරට තිලකා ජිනදාස මෙනෙවිය පත් කිරීමට කී‍්‍රඩා අමාත්‍යවරයා පියවර ගත්තේය.
ආසියාවේ යොවුන් නෙට්බෝල් අනුසූරතාව ශී‍්‍ර ලංකාවට හිමිවිය. එය දිනාගත්තේ තෙවැනි වරටය.එළැඹි වසරේදී නෙට්බෝල් කී‍්‍රඩාවේ අභියෝග ජයගන්නට කී‍්‍රඩිකාවන්ට සේම නිලධාරීන්ට ද විශාල ප‍්‍රයත්නයක් දැරිය යුතුව ඇත.
ගෙවීගිය වසරේදී මෙන් කුලල්කා ගැනීම්වලින් තොරව සියලු දෙනාට ඉදිරියට යා හැකිවුවහොත් ආසියානු සූරතාව දිනා ගැනීමට අපහසු නොවනු ඇත.
ජාතික කී‍්‍රඩාවෙන් ජාතික සමගිය
වොලිබෝල් සම්මේලනය වොලිබෝල් කී‍්‍රඩාව දියුණු කිරීමට අනුග‍්‍රාහකයන් සොයා දේශීය තරගාවලි සාර්ථකව පැවැත්වීම ගෙවීගිය වසරේදී දක්නට ලැබුණි. සම්මේලනයේ සභාපති ඩිලාන් පෙරේරා මහතා නැවැත වරක් එම ධූරයට පත්වුවේද සම්මේලනය පරිපාලනමය අතින් යහපත් එකක් බවට අමාත්‍යවරයාගේ ප‍්‍රසංශාවද හිමිවීමෙනි.
ජාතික කී‍්‍රඩාවෙන් ජාතික සමගිය ඇතිකරලීම වොලිබෝල් සම්මේලනයේ ප‍්‍රධාන තේමාව විය. පිට පළාත්වලින් කී‍්‍රඩා සමාජ අඩුවෙන් පිවිසෙද්දී වයඹ හා බස්නාහිර පළාත් කණ්ඩායම් තම ආධිපත්‍ය ගෙවීගිය වසරේදීත් පැතිරූහ.අන්තර් ජාතික තරගාවලි කිහිපයකට ශී‍්‍ර ලංකාව නියෝජනය කළ ගෙවීගිය වසරේදී යොවුන් කී‍්‍රඩකයෝ ඉදිරියට පැමිණියහ.
කොළඹදී නිමාවු ආසියානු යොවුන් වොලිබෝල් තරගාවලියේදී ශී‍්‍ර ලංකාව විශාල ප‍්‍රගතියක් පෙන්වමින් 7 වැනි ස්ථානය දිනා ගැනීම කැපී පෙනුණි. මුදල් නොමැති අවස්ථාවකදී වුවද මේ තරගාවලි ශී‍්‍ර ලංකාවේ පැවැත්වීම අභියෝගයක් වුවද කිසිදු චෝදනාවකින් තොරව තරගාවලිය සාර්ථක කර ගැනීමට හැකිවීම සම්මේලනය ලැබූ ජයග‍්‍රහණයකි.
පිලිපීනයේ මැනිලා නුවර පැවැති ආසියානු යොවුන් කාන්තා වොලිබෝල් තරගාවලියේදී ශී‍්‍ර ලංකාවට අන්ත පරාජයක් අත්වීම ප‍්‍රබල පසුබෑමක් විය එකම තරගයක් හෝ ජය නොගත් එම තරගාවලියේදී ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවන් ආසියාවේ අන්තිමයා බවට පත්වීම කනගාටුවට කරුණකි.
කෙසේ වුවද එළැඹි වසරේදී වොලිබෝල් කී‍්‍රඩාවෙන් ආසියාවේ ඉදිරියට පැමිණීමේ අභියෝගය තවමත් ඉතිරිව ඇත.ඒ සඳහා පාසල් මට්ටමේ සිට සංවර්ධන කාර්යයන් දියත් කිරීමේ අවශ්‍යතාවට මුල්තැන දිය යුතු වසරක් ආරම්භ විය.
පාපන්දු කී‍්‍රඩකයන්ගේ දක්‍ෂතා ආපස්සට ගිය වසරක්
මවු බිම බේරාගැනීමේ මානුෂික මෙහෙයුමෙන් ඉදිරියට ඇදෙන යුද හමුදාව වසරේ පාපන්දු කිරුළ හිමිකර ගැනීම ගෙවී ගිය වසරේ කාගේත් අවධානයට ලක්විය.
පි‍්‍රමියර් ලීග් පාපන්දු සූරතාව යුද හමුදාව දිනාගත්තේ අපරාජිත කණ්ඩායමක් ලෙසිනි. ස්ථිර අධිෂ්ඨානය කැපවීම හා උනන්දුව නිසා ලැබූ ජයක් බව පුහුණුකරු මේජර් පත්මනාදන් පැවසුව ද ඔවුන් කෙරෙහි තිබූ විනය තවත් හේතුවක් බව බොහෝ දෙනාගේ මතය විය.
ගෙවී ගිය වසර මැද භාගයේ කොළඹ දී පැවැති ආසියානු පාපන්දු සංගම් කුසලාන තරගාවලියේ දී ශී‍්‍ර ලංකා පිලේ පසුබෑම හේතුවෙන් ජාතික පාපන්දු පුහුණුකරුට ප‍්‍රබල චෝදනා එල්ල විය. ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් බොහෝ දෙනෙකු දක්‍ෂතා නොදැක්වීම නිසා ශී‍්‍ර ලංකා පිලට වාසියක් අත් නොවුනි.
ශී‍්‍ර ලංකා පාපන්දු සම්මේලනයේ විධායක කමිටුවේ දී ජාතික පාපන්දු පුහුණුකරු ජැං ජුන්ග් ගෙදර යැවිය යුතු යැයි මතයක් පළවීමෙන් පසුව පාපන්දු පුහුණුකරු පිළිබඳ නිර්දේශ ලබාගැනීමට කමිටුවක් ද පත් කෙරුණි.
ගෙවී ගිය වසරේ අවසන් සති දෙකේදී ශී‍්‍ර ලංකා පිලේ නව පාපන්දු පුහුණුකරු ලෙස හිටපු පුහුණුකරුවෙකු වූ සම්පත් පෙරේරා මහතා පත් විය.
ගෙවී ගිය වසරේ පාපන්දු කී‍්‍රඩකයන්ගේ දියුණුවක් නැති වුවද විනය පිරිහීමේ දියුණුවක් ඇතිවී තිබුණි. පාපන්දු කී‍්‍රඩකයන් හා පෙ‍්‍ර්ක්‍ෂකයන් අතර ගුටිබැට හුවමාරුවක් ඇති වූයේ ද ඒ නිසාය කී‍්‍රඩකයන්, පුහුණුකරුවන් හා විනිසුරුවන් අතර මතභේද හේතුවෙන් තරග අත්හිටුවීමට ද සිදුවිය.
එළැඹි නව වසරේ දී ශී‍්‍ර ලංකා පාපන්දු පිලට අලුත් මුහුණු එක් කළ යුතු යැයි අදහසක් මතුවීමද යහපත් එකකි. මේ වසරේ පැවැත්වෙන ආසියානු පාපන්දු සංගම් කුසලානය දිනාගැනීමේ සැලැස්ම නව පුහුණුකරුට මෙන්ම බලධාරීන්ට ඇති ප‍්‍රධානතම අභියෝගයකි.
කැරම් ලෝක සූරයෝ
2008 ජගත් කී‍්‍රඩා ක්ෂේත‍්‍රයේ ජය කෙහෙලි නැංවීමට ශ‍්‍රී ලංකා කැරම් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ. ජගත් කැරම් සුරතාවලියේදී ශ‍්‍රී ලංකාව පිරිමි සූරතාවත් කාන්තා අනු සූරතාවත් දිනා ගත්හ. වූෂූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝද අන්තර්ජාතික රන් රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.
ගෙවී ගිය වසරේදී පාපැදි කී‍්‍රඩාවේ දක්නට ලැබුනේ ප‍්‍රබල පසුබෑමකි. එය තරග අඩුවෙන් ම පැවැති වසරක් විය.
එල්ලේ කී‍්‍රඩාව පසුගිය වසරේ සුරක්‍ෂිත වූයේ ගම්බද කී‍්‍රඩා සමාජ ඔවුනට හැකි පමණින් ඉරිදා දිනවල පැවැත්වූ කී‍්‍රඩා තරගාවලි නිසාවෙනි.
ශෝකාන්ත
2008 ජාතික කී‍්‍රඩා තරාදියේ බර ජය පරාජයන්ගෙන් මෙසේ දෙපැත්තට දෝලනය වෙද්දී ශෝකාන්ත සිදුවීම් දෙකකට මුහුණ දීමට තරම් ශ‍්‍රී ලාංකේය කී‍්‍රඩා ක්ෂේත‍්‍රය අවාසනාවන්ත විය.
කොටුව දුම්රිය ස්ථානයේ සිදු වූ කුරිරු ත‍්‍රස්ත බෝම්බ පිපිරීමෙන් කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ බේස්බෝල් කී‍්‍රඩකයන් හත් දෙනෙකු ම මිය ගියහ.2008 අප්‍රේල් 6 වැනි දින වැලිවේරියේ පැවැත්වීමට සංවිධානය කර තිබූ මැරතන් තරගයක් ආරම්භයේ මරාගෙන මැරෙන කොටි ත‍්‍රස්තවාදියෙක් විසින් සිදු කළ බෝම්බ පිපිරීමකින් තරග ආරම්භක සංඥාව නිකුත් කිරීමට පැමිණි ඇමැති ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ, ජාතික කී‍්‍රඩා පුහුණුකරු ලක්ෂ්මන් ද අල්විස්, ජාතික මැරතන් සුර කේ. ඒ. කරුණාරත්න (මැරතන් කරු), මලල ක‍්‍රීඩා තාක්‍ෂණ නිලධාරි ආර්. ඒ. සිරිපාල, තරග ආරම්භක නිලධාරි කර්නල් උදයදීර, කාලඝනක නිලධාරීන් වන සිසිර විජේසිංහ හා චමින්ද රත්නායක යන මහත්වරු සහ ක‍්‍රීඩකයන් තිදෙනෙක් ද එතැනදීම මිය ගියහ.
හොඳ හා නරක දෙකම අත්විඳීන්නට සලස්සමින් 2008 කී‍්‍රඩා වසර ගෙවී ගියේය. දැන් එළැඹ ඇත්තේ 2009 නව කී‍්‍රඩා වසරකි. උදා වූ අලුත් කී‍්‍රඩා අවුරුද්ද අයහපතට වඩා යහපත් එකක් ම වේවායි අපි ප‍්‍රාර්ථනය කරන්නෙමු.