Ministry of Defence - Sri Lanka (MOD)

Lankaenews

Sri Lanka News Updates at LankaNewspapers.com

රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නිතිය හා සාමය පිළිබද අමාත්‍යාංශය

Powered by Department of Government Information-Sri Lanka

Sri Lanka News - ColomboPage.com

Security News Feed - http://www.navy.lk

Friday, October 31, 2008

ජනාධිපති ආරක්ෂකයන්ගේ තනතුරුවලට අදාළ නිල ලාංඡන පැළඳවීම......


පුදුකුඩුඉරුප්පු කළු කොටි පුහුණු කඳවුරකට ගුවන් ප‍්‍රහාර පොට්ටු අම්මාන් නිතර ආ ගිය තැනක්

චන්ද්‍රිකා පෙරේරා
කොටි බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන් මෙහෙය වූ පුදුකුඩුඉරුප්පු කළු කොටි පුහුණු කඳවුරු පරිශ‍්‍රයක් ගුවන් හමුදාව ඊයේ (30) පෙරවරුවේ පහර දී විනාශ කැර තිබේ.
මෙම කඳවුරු සංකීර්ණය ඍජුවම පොට්ටුඅම්මාන් ගේ අණසක යටතේ පාලනය වී ඇති අතර ඔහු නිතර එහි කටයුතුසොයා බැලීම සඳහා ආගිය බවට හෙළි වී ඇත.
ප‍්‍රහාරය එල්ල වූ අවස්ථාවේ පොට්ටුඅම්මාන් එහි සිටියේ ද යන්න මෙතෙක් අනාවරණය වී නැති බව ආරක්‍ෂක අංශ පවසයි.
එදින පෙරවරු දහයට පමණ ජෙට් ප‍්‍රහාරක යානා උපයෝගී කර ගනිමින් එල්ල කළ මෙම ප‍්‍රහාරයෙන් කඳවුරු පරිශ‍්‍රයේ තිබුණු ගොඩනැගිලි පුපුරා විනාශ වී ඇති අතර එහි පුපුරන ද්‍රව්‍ය හා අවි සහිත ගබඩාවක් ද තිබුණු බවට ආරක්‍ෂක අංශ විශ්වාසය පළ කරයි.
පුදුකුඩුඉරුප්පු සිට කිලෝ මීටර් හයක් පමණ වයඹ දෙසින් පිහිටි මෙම කළු කොටි පුහුණු කඳවුරේ දී ප‍්‍රභූ ඝාතන හා ආර්ථික මර්මස්ථානවලට ප‍්‍රහාර එල්ල කිරීම සඳහා මරාගෙන මැරෙන කොටි සාමාජිකයන් පුහුණු කැර ඇති බවට බුද්ධි අංශ මඟින් තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
මේ අනුව නිවැරදි ඉලක්ක වෙත ප‍්‍රහාර එල්ල කළ බවට තහවුරුව ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර මහතා පැවැසීය.

ජයපුරම් ගැටුමේ දී කොටි 30ක් පලා යති දැඩි දඬුවම් දෙන්නැයි ප‍්‍රභාගෙන් නියෝග

වවුනියාව උතුර සමූහ බන්දුල සෙනෙවිරත්න
ජයපුරම් ප‍්‍රදේශයේදී හමුදා ප‍්‍රහාර හමුවේ පලා ගිය මුහුදු කොටි සාමාජිකයන් අත්අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස එල්ටීටීඊ නායකත්වය නියෝග කොට ඇතැයි හමුදා බුද්ධි අංශ අනාවරණය කොටගෙන තිබේ.
දැඩි හමුදා ප‍්‍රහාර හමුවේ කිලිනොච්චි ජයපුරම් ප‍්‍රදේශය අතහැර මුහුදු කොටි සාමාජිකයන් 30ක් පමණ වෙරළ තීරය ඔස්සේ පුනරින් ප‍්‍රදේශයට පලාගොස් ඇති අතර මේ බව දැනගත් කොටි නායකත්වය ඔවුනට එරෙහිව කි‍්‍රයාකරන ලෙස නියෝග කොට ඇතැයි ද ඒ බව පණිවිඩ හුවමාරු මගින් අනාවරණය වූ බවද සඳහන් කරයි.
මේ අතර පෙරේදා (29) නාච්චිකුඩා උතුර හා දකුණු ප‍්‍රදේශවල ඇතිවූ ගැටුම් වලදී හමුදා ප‍්‍රහාරවලට මුහුණ දිය නොහැකි නිසා අතිරේක භට පිරිස් සටන් බිමට එවන ලෙස කොටි ඉල්ලා ඇතත් ඊට කොටි නායකත්වයෙන් සාර්ථක ප‍්‍රතිචාර ලැබී නැතැයිද වාර්තා වේ.
මෙම තත්ත්වය හමුවේ නාච්චිකුඩා යුද පෙරමුණේ සිටි කොටි නායකයන් හා කිලිනොච්චි කොටි නායකයින් අතර මත ගැටුම් හටගෙන ඇතැයිද පැවසේ.

කොටින්ට ආයුධ ලැබුණු ප‍්‍රධාන සැපයුම් මාර්ගයක් හමුදා අතේ

භක්ති මෙන්ඩිස්, වෙල්ලස්සේ බණ්ඩාර සහ උපාලි කරුණාරත්න
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ප‍්‍රබල මුහුදු කොටි කඳවුරක් වන නච්චිකුඩා මුහුදු කොටි කඳවුර හමුදාව අල්ලා ගැනීමත් සමඟම කොටින්ගේ ප‍්‍රධාන සැපයුම් මාර්ගයක් ඔවුන්ට අහිමි වන බව 58 වැනි සේනාංකාධිපති බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා පැවැසීය.
58 වන සේනාංකය විසින් මෙම ප‍්‍රදේශය අල්ලා ගැනීම සඳහා 58 වැනි සේනාංකයේ සෙබළු කොටි ත‍්‍රස්තවාදීන් සමඟ මාස දෙකකට අධික කාලයක් මුහුණට මුහුණලා දරුණු සටනක නිරතවූහ.
නච්චිකුඩා මුහුදු කොටි කඳවුර රැක ගැනීම සඳහා කොටි ප‍්‍රබල උත්සාහයක නිරත වූවත් යුද හමුදාව උපක‍්‍රමශීලිව කටයුතු කර මෙහි බලය අත්පත් කර ගැනීමට සමත්විය.
එල්.ටී.ටී.ඊ. සංවිධානයට ඉන්දියාව හරහා අවි ආයුධ ඇතුළු සැපයුම් සියල්ල ලැබුණේ මෙම මුහුදු කොටි කඳවුර හරහා බවත් මෙම ප‍්‍රදේශය හමුදා යටතට පත්වීමත් සමඟ ඒ සියල්ල දැන් නතරවී ඇති බවත් යුද හමුදාව කියයි.

නව පරපුරෙන් ගීත ලොවට ආ ගායකයා

චින්තක මලිත් ජාඇල ප‍්‍රදේශයෙන් ගීතලොවට බිහිවූ නව පරපුරේ දක්ෂ ගායකයෙකි.

වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් සිප්සතර හැදෑරු චින්තක පාසල් අධ්‍යාපනයෙන් පසු මිතුරන් කිහිපදෙනෙකුගේ එකමුතුවෙන් ස්පාර්ක් නමින් සංගීත කණ්ඩායමක් පිහිටුවා ගත්තේය.
මෙහිදී ප‍්‍රවීණ සංගීත ශිල්පී මර්වින් පි‍්‍රයන්ත මහතාගෙන් ලද ගුරුහරුකම් චින්තකයේ සංගීත දිවිය තව තවත් ඔපවත් කළ අතර ඔහු ක්ලැසික් ගිටාර් III ශ්‍රේණිය දක්වා හැදෑරීමද සිදු කර ඇත.
චින්තකට ගායන ශිල්පියකු ඉදිරියට එන්නට වරම් ලැබුනේ දිනේෂ් සුබසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පවත්වාගෙන ගිය DRC Members සංගීත කණ්ඩායමට සම්බන්ධවීමෙන් මෙහිදී වාදන ශිල්පි කොන්රඩ් ද සිල්වා මහතා ඔහුට සහයෝගය ලබා දී තිබේ.
චින්තක මලිත් මේ දිනවල අපට හමුවන්නේ දෙරණ - ඩී‍්‍රම්ස්ටාර් තුළින්. ඔහු මෙම තරගයට ඇතුළත් වුණේ දහසක් බලාපොරොත්තු ඇතිවයි.
ඒ බලාපොරොත්තු මල්ඵල ගන්වමින් ඔහු පසුගිය සතිය වන විට අවසන් 10 දෙනා අතරට පැමිණ ඇත්තේය.
තම බලාපොරොත්තු පිළිබඳව අදහස් දක්වන චින්තක මලිත් පවසන්නේ දෙරණ ඩී‍්‍රම්ස්ටාර් තුළින් තම හැකියාවන් ජනතාව අතරට ගෙනයාමට හැකි වූ බවයි.
සංගීත ක්ෂේත‍්‍රය තුළ කාලයක් පවතින හොඳ නිර්මාණයක් කරලා පෙ‍්‍ර්ක්ෂක ජනතාවගේ සිත් තුළ රැඳීම මගේ බලාපොරොත්තුවයි. හොඳ නිර්මාණයක පැවැත්ම දීර්ඝකාලීන බව මගේ විශ්වාසයයි.
දෙරණ ඩී‍්‍රම්ස්ටාර් තුළින් රසික ජනතාවක් මා වටා රොක්වුණා. ඒ අයගේ බලාපොරොත්තු ඉටු කරමින් හොඳ නිර්මාණ බිහිකිරීමයි මගේ අරමුණ. චින්තක පවසා සිටී.
සංගීත දිවියේ මෙතෙක් ආ ගමනේදි මගේ අම්මා, තාත්තා, අයියලා, මට කළ උදව් අප‍්‍රමාණයි. මගේ පාසලේ විදුහල්පතිතුමා, ගුරුවරුන් , යහළු යෙහෙළියන් , ගමේ අය මේ සියලු දෙනා මා ආ මාවත එළිය කළ අයයි.
ඔහුගේ ලිපිනය - 59/5 පල්ලිය පාර වැලිගම්පිටිය ජා-ඇල. ඔහුගේ කලා දිවියේ දිරිගැන්වීම් ,යෝජනා චෝදනා මේ සියල්ල මෙම ලිපිනය ඔස්සේ දන්වන මෙන් චින්තක මලිත් ඉල්ලා සිටියි.
බුද්ධිකා ඉඹුලාන

ජවිපෙට කොරහෙත් කිඹුල්ලු පෙනෙනවා - නිමල් සිරිපාල ද සිල්වා සෞඛ්‍ය හා පෝෂණ ඇමැති

උතුරට සැලසෙන ඉන්දීය සහන ගැන එජාපය කියන කතා ගැනත්, ඉන්දු ලංකා සබඳතාවන්හි නූතන පෙළගැස්ම ගැනත්, සෞඛ්‍ය සේවයේ හෙද ප‍්‍රශ්න ගැන මාධ්‍ය ඔස්සේ පළවන විවිධ කතා ගැනත් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මෙසේ අදහස් දක්වයි.
උතුරේ මුදා නොගත් ප‍්‍රදේශවල ජනතාවට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම්, බෙහෙත් ද්‍රව්‍ය හා අත්‍යවශ්‍ය ආහාර ඉන්දියාව විසින් ශී‍්‍ර ලංකා රජයට ලබාදීමට දෙරට අතර එකඟතාවයක් ඇතිවී තිබෙන බවට මාධ්‍ය මගින් කරුණු අනාවරණය වුණා. ඒ වගේම මේ එකඟතා පිළිබඳව විවිධ අය විවිධ මත පළකරන බවත් පෙනෙනවා . ඒ ගැන ඔබට කියන්නට ඇත්තේ කුමක්ද කියල මුලින්ම ඇහුවොත්?
විපක්‍ෂයේ බොහෝ දේශපාලන පක්‍ෂ බලාපොරොත්තු වුනේ පසුගිය දිනවල උද්ගතවූ තත්ත්වය නිසා රජය විශාල ගැටලුවකට මුහුණදීල, රටේ අස්ථාවර තත්ත්වයක් ඇතිවෙයි කියලයි.
ඒත් අද වන විට ශී‍්‍ර ලංකා රජය හා ඉන්දීය රජය අතර රාජතාන්ති‍්‍රක සුහද ගණුදෙනුවක් ලෙස සියලු ගැටලු නිරාකරණය කර ගැනීමට පුලුවන්කම ලැබිල තියෙනවා.
සමහර දේශපාලන කණ්ඩායම්, විදේශ රාජ්‍ය විශේෂයෙන්ම ඉන්දීය රජය නොමඟ යැවීමේ උත්සාහයක යෙදුණු බවත් අපි දන්නවා. ඒත් එම දුර්මත පරදවමින් ඇත්ත තත්ත්වය ඉන්දියාවට පහදාදීමට අපිට පුලුවන් වෙලා තියෙනවා.
ඇත්තෙන්ම මේක ජනපතිතුමා හෝ ආණ්ඩුව ලැබූ දේශපාලන ජයග‍්‍රහණයක් නෙමෙයි. රටක් ජාතියක් ලෙස අපි කවුරුත් ලැබූ පොදු ජයග‍්‍රහණයක්
ඉන්දියාව අපේ දිගුකාලීන මිත‍්‍ර රාජ්‍යයක් ඔවුන් අප ගෙනයන ත‍්‍රස්තවාදය පරාජය කරන සටනට පූර්ණ සහය ලබාදෙනවා. පසුගියදා ජනාධිපති තුමාගේ විශේෂ නියෝජිතයකු ලෙස ඉන්දීය සංචාරයට එක්වූ බැසිල් රාජපක්‍ෂ මහතාටත් ඉන්දියාව මේ ප‍්‍රතිඥාව ලබාදී තිබුණා.
ශී‍්‍ර ලංකා රජය මේ සටන ගෙනියන්නෙ දෙමළ ජනතාවට විරුද්ධව නෙමෙයි. අපි හැමදාම දෙමළ ජනතාව ආරක්‍ෂා කරනව. මේ සටනේ අරමුණ රටට පිළිලයක් වූ ත‍්‍රස්තවාදය පරාජය කිරීමයි.
මේ ඇත්ත ඉන්දියාවට පහදල දෙන්න අපට පුළුවන් වුණා. ඒ අනුව තමයි ශි‍්‍ර ලංකා රජයට ලබාදෙන සහයෝගයක් වශයෙන් බෙහෙත්, සෞඛ්‍යාධාර, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ශි‍්‍රලංකා රජයට ලබාදීමට ඉන්දියාව එකඟතාවය පළකරල තියෙන්නෙ.
ශී‍්‍ර ලංකාවේ සැබෑ තත්ත්වය මොකක්ද කියල අදවන විට තමිල්නාඩු ප‍්‍රාන්තයත් තේරුම් අරගෙන තියෙනව. ඒ නිසා සමහර දේශපාලන පක්‍ෂත් එල්. ටී. ටී. ඊ. සංවිධානයත් බලාපොරොත්තු වූ දේ අද සිදුවෙන්නෙ නැහැ.
උතුරේ යුද්ධයට දේශපාලන විසඳුමක් අවශ්‍ය බව ඉන්දියාව ඇතුලු ජාත්‍යන්තර ප‍්‍රජාව අවධාරණය කරල තියෙනව. ශී‍්‍ර ලංකා රජයත් දේශපාලන විසඳුමක අවශ්‍යතාවය පිළිගන්නව. ඒ අතරම මේ දේශපාලන විසඳුම ලබාදෙන්නෙ යුද්ධය කරන අතර තුරද නැතිනම් සටන්විරාමයක් ඇති කර ගැනීමෙන් පසුවද කියා එජාපය ප‍්‍රශ්නයක් නඟනවා.මේ පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?
මම මීට පෙරත් කියල තියෙනවා මේ යුද්ධය ආරම්භ කළේ රජය නෙමෙයි එල්. ටී. ටී. ඊ. සංවිධානය ජනාධිපතිතුමා බලයට ඇවිල්ල මාසයක් ගතවුණේ නැහැ.
එල්. ටී. ටී. ඊ. සංවිධානය ප‍්‍රහාර ආරම්භ කළා. යුද හමුදාපතිතුමා, ආරක්‍ෂක ලේකම්තුමා ඝාතනය කිරීමට තැත් කළා. මාවිල්ආරු සොරොව්ව වසාදමා මුතුර් නගරයට ප‍්‍රහාර එල්ල කළා, බස් රථවල බෝම්බ පිපිරෙව්වා.
එල්. ටී. ටී. ඊ. ය මේ සියලු දේ කළේ රජය සමඟ සටන් විරාම ගිවිසුමක් තියෙද්දීයි මේ කාරණා බැලුවහම යුද්ධය ආරම්භ කළේ කවුද යුද්ධය අවශ්‍ය වෙලා තිබුනෙ කාටද කියල පොඩි ළමයකුට වුණත් තේරෙනව.
අපි හැමදාම විශ්වාසය තැබුවෙ දේශපාලන විසඳුමක් පිළිබඳව. ඒත් ප‍්‍රභාකරන් හැමදාම කටයුතු කළේ මේ විශ්වාසය බිඳෙන විදිහටයි දේශපාලන විසැදුමකට අපි සූදානම්.
ඒත් සටන් අතහැරල ආයුධ බිම තියල සාකච්ඡා මගට එන්න එල්. ටී. ටී. ඊ. සංවිධානය සූදානම් විය යුතුයි. ජනාධිපතිතුමා වුණත් කියන්නෙ ඒ කාරණය තමයි.
සමහරු අපේ ආණ්ඩුව යුදවාදී ආණ්ඩුවක් කියා සීල් එකක් තියන්න උත්සාහ කරනව. ඒත් අපේ ආණ්ඩුව එහෙම නෙමෙයි කියල මට පැහැදිලිව කියන්න පුලුවන්. අපි ත‍්‍රස්තවාදයට ප‍්‍රති ප‍්‍රහාර එල්ල කරනව. ඒක වගකිවයුතු ආණ්ඩුවක යුතුකමක් සහ වගකීමක්.
වර්තමානයේ ඇතිවී තිබෙන දේශපාලන වාතාවරණය තුළ ඉන්දියානු බලපෑමට ශී‍්‍ර ලංකාව යටත්වෙමින් සිටින බවට ජවිපෙ, ජ. නි. පෙ. වැනි දේශපාලන පක්‍ෂ ආණ්ඩුවට චෝදනා එල්ල කරනව.මේ පිළිබඳව ඔබගේ අදහස කුමක්ද?
මම නම් ඒ චෝදනා පිළිගන්නෙ නැහැ. ශී‍්‍ර ලංකා රජය කාටවත් යටත්වෙලා නැහැ. අසල්වැසියන් සමඟ සුහද ගණුදෙනුවකයි යෙදී සිටින්නෙ. එතැන කිසිම යටත්වීමක් නැහැ. දේපාර්ශවයම සම තත්ත්වයේ සිට ප‍්‍රශ්න ගැටලු විසඳ්‍ර ගැනීමකුයි සිදු වෙන්නෙ.
ජවිපෙ වගේ දේශපාලන පක්‍ෂ පාරෙ තියෙන වතුර වලවල්වලත් කිඹුල්ලු දකිනව. කොහොමත් ජවිපෙ වගේ දේශපාලන පක්‍ෂවලට තමන්ගේ පැවැත්ම ආරක්‍ෂා කර ගන්න සටන් පාඨ ඕනෑ.
කාලෙකට ස්ට‍්‍රයික් කරනවා. පෙළපාලි යනවා. ඒ වගේ දේවල්වල තමයි ඔවුන්ගේ පැවැත්ම තියෙන්නෙ. ප‍්‍රශ්න ගැන සාකච්ඡා කරන්න ආරාධනා කළාම ඒ ආරාධනාව ප‍්‍රතික්ෂේප කරනවා. ඒ නිසා මේ වගේ අය කියන හැම දෙයක්ම පිළිගන්න බැහැ.
අද ජවිපෙ තමන්ගෙ සාමාජිකයන්, ඡන්ද දායකයන්සමග දේශපාලනය කරන දේශපාලන පක්‍ෂයක් නෙමෙයි. පෝස්ටර් සහ මාධ්‍ය හමු මගින් දේශපාලනය කරන පක්‍ෂයක්. අද ඔවුන් පත්වෙලා ඉන්නෙ ඉතාමත් කණගාටු දායක ඉරණමකට යි.
පඩි වැඩිවීම, බඩු මිල අඩු කිරීම ඇතුළු කිසිදු මහජන ඉල්ලීමකට ආණ්ඩුව මෙතෙක් කිසිදු විසඳුමක් ලබාදී නැහැ කියලයි මෙවර අයවැයෙන්වත් ජනතාව අපේක්‍ෂා කරන එම සහන ලැබෙයි ද?
ජනතාවගේ මේ ඉල්ලීම්වල අසාධාරණයක් මම දකින්නෙ නැහැ. මේ සහන ජනතාවට ලබාදිය යුතු බව මමත් පිළිගන්නව. පසුගිය අවුරුද්දෙ ජනතාව බලාපොරොත්තු වූ සියලු දේ ලබාදීමට අපට බැරි වුණා.
එයට යුද්ධය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තත්ත්වයන් ද සැබෑ ලෙසම බලපෑව. ඒ නිසා මේ ගැන ආණ්ඩුවටම චෝදනා එල්ල කිරීම පිළිගන්න බැහැ. මේ සියලු දේට පසුගිය කාලයේ තිබූ ආර්ථික තත්ත්වය විශාල වශයෙන් බලපෑවා.
ඒත් ලබන වසරේ දී තත්ත්වය වෙනස් වී මහජනතාවගේ පැත්තෙන් කිසියම් සහනයක් ලැබෙයි කියල මම බලාපොරොත්තු වෙනවා.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ යාමේ වාසිය ඉදිරි අයවැයේ දී පාරිභෝගිකයාට ලැබීමට නියමිත යි. එමගින් ප‍්‍රවාහන ගාස්තු පහළ යාම ඇතුළු සියලු දේවල මිල යම් තරමකට පහල යාමක් සිදුවෙන්න පුළුවන්.
පසුගිය මාස දොළහට සාපේක්‍ෂව අද වන විට උද්ධමනය පහළ යමින් තිබෙනව. මෙය ජනතාවගේ පැත්තෙන් යහපත් තත්ත්වයක්.
ජාත්‍යන්තර මූල්‍ය අර්බූදයේ බලපෑම්වලින් බේරී සිටීමට අපිට පුළුවන් වෙලා තියෙන්නෙත් රජයේ මූල්‍ය කළමනාකරණයේ දක්‍ෂතාවය නිසයි. ඒ නිසා ඉදිරියේ දී තීරණ ගැනීමේදීත් මේ ගැන අවධානය යොමුකළ යුතුයි.
අයවැයේ රහස් මම දන්නෙ නැහැ ඒත් ලැබෙන ආරංචිවල හැටියට නම් මෙවර අයවැයෙන් රජයේ සේවකයන්ගේ වැටුප් රුපියල් දෙදහසකට ආසන්න මුදලකින් ඉහළ දැමීමට නියමිතයි. මගේ අදහසට අනුව නම් පුද්ගලික අංශයේ වැටුප් ද ඉහළ නැංවිය යුතුයි.
ඒත් ජවිපෙ සම්බන්ධ වෘත්තීය සමිති ඉල්ලන්නෙ රුපියල් පන්දහසක වැටුප් වර්ධකයක්. එජාපය ඉල්ලන්නෙ රුපියල් හත්දහස් පන්සියයක වැටුප් වර්ධකයක්. ඒත් අයවැයෙන් ලැබීමට නියමිතව ඇත්තෙ ඊට අඩු වැටුප් වර්ධකයක්. මේ තත්ත්වය තුළ ලැබෙන වැටුප් වර්ධකය පිළිබඳව වැඩකරන ජනතාව සෑහීමකට පත්වෙයි ද?
එජාපයේ හා ජවිපෙ ගැටවලට අද වැඩ කරන ජනතාව අසුවෙන්නෙ නැහැ කියන එක ස්ථිරයි. එජාප ජවිපෙ හවුල් වර්ජනයට සිද්ධ වෙච්ච දේ මතක ඇතිනෙ.
කොහොමත් අද තියෙන තත්ත්වය අනුව රුපියල් හත්දහස් පන්සියයකින් වැටුප් ඉහළ දමන්න පුලුවන්ද රුපියල් පන්දහසකින් පඩි වැඩි කරන්න පුලුවන් ද කියන එක ප‍්‍රශ්නයක්.
එජාපයේ සහ ජවිපෙ ඉල්ලීම්වල යථාර්ථවාදී නැහැ. ඔවුන්ගේ දේශපාලන කුහක කම සහ අවස්ථාවාදී ස්වභාවය තමයි මේ ඉල්ලීම්වලින් තහවුරු වෙන්නෙ.
අද එජාප ආණ්ඩුවක් තිබුණ නම් රුපියල් හත්දහස් පන්සියයකින් වැටුප් වැඩි කරයිද එහෙම වෙන්නෙ නැහැ කියල මට ස්ථිරවම කියන්න පුළුවන්. එජාපය මේ වගේ ඉල්ලීම් කරන්නෙ ආණ්ඩුව අමාරුවෙ දමන්න.
ලබන වසරේ මුල පාර්ලිමේන්තුව විසුරුවනව කියල ආරංචි පැතිරෙනව. ඉදිරි මාසයේ දී තෝරාගත් පළාත් සභා දෙකක් විසුරුවන බවටත් රාවයක් තියෙනව. රට යුදමය වශයෙන් තීරණාත්මක සංධිස්ථානයකට පැමිණිලා තියන මේ මොහොතේ දී මැතිවරණ පැවැත්වීම රට අස්ථාවර කිරීමක් බව ඇතැමුන් කියනව මේ ගැන ඔබේ අදහස කුමක්ද?
එහෙම මැතිවරණ පැවැත්වීමක් ගැන මම නම් දන්නෙ නැහැ. පත්තරවල තිබුණ කියල ඡන්ද පවත්වන්නෙ නැහැ. හැබැයි ඕනෑම මැතිවරණයකින් ජය ගැනීමට සන්ධානයට පුළුවන්. පසුගිය මාසවලදී පැවැත් වූ පළාත් සභා මැතිවරණවලින් ඒක හොඳින් තහවුරු වුණා.
පාර්ලිමේන්තුවේ පැහැදිලි මන්තී‍්‍ර බහුතරයක් අපිට ඉන්නව. අවුරුදු දෙකකට කිට්ටු නිල කාලයක් ඉතිරි වෙලා තිබෙනවා. එහෙම තියෙද්දි මහ මැතිවරණයක් පැවැත්වීමට තරම් දේශපාලන අවශ්‍යතාවයක් නැහැ.
හැබැයි මහ ඡන්දයක් තිබ්බොත් අදටත් වඩා විශාල මන්තී‍්‍ර බහුතරයක් සන්ධානයට ගන්න පුළුවන්. මෑතක දී පළාත් සභා මැතිවරණයක් තියෙයි කියල මම හිතන්නෙ නැහැ.
පශ්චාත් ප‍්‍රාථමික හෙද පුහුණු පාඨමාලා කඩිනමින් ආරම්භ කරන ලෙස හෙද වෘත්තීය සමිති සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරල තියෙනව නේද?
මේ පාඨමාලා කඩිනමින් ආරම්භ කළ යුතු බවට විවාදයක් නැහැ. එහෙත් වෘත්තීය සමිතිවලට අවශ්‍ය ආකාරයටම හැම දෙයක්ම කරන්න බැහැ. අපි කටයුතු කළ යුත්තෙ කිසියම් පිළිගත් රාජ්‍ය ප‍්‍රතිපත්තියකට අනුවයි.
ඒ නිසා මේ පාඨමාලා ආරම්භ කිරීම ප‍්‍රමාදවීම පිළිබඳව ප‍්‍රශ්නයක් ඇතිවෙලා තියෙනවා. අපි වෘත්තීය සමිතිවල ඉල්ලීම් ප‍්‍රතික්ෂේප කරන්නෙ නැහැ. ඒත් මේ සඳහා කාලයක් අවශ්‍යයි. රාජ්‍ය ප‍්‍රතිපත්තියක් අවශ්‍යයි’ අපේ සියලු දේ කරන්නෙ රාජ්‍ය ප‍්‍රතිපත්තියට අනුවයි.
පළමු ශ්‍රේණියේ හෙද නිලධාරීන්ගේ හිඟයක් තිබෙනව. එම හිඟය පිරවීමට අවශ්‍ය කටයුතු අමාත්‍යාශ මට්ටමින් ආරම්භ කරල තිබෙනව.
මේ සියලු අඩුපාඩුකම් සපිරීම අමාත්‍යංශයේ යුතුකමක් ලෙසයි සලකන්නෙ. අපේ අරමුණ වෙලා තියෙන්නෙ සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ අඩුපාඩු විධිමත් ලෙස සපුරාලීමයි. එහෙම නැතිව වෘත්තීය සමිතිවල ඉල්ලීම් පමණක් සපුරාලීමට කටයුතු කිරීම යහපත් දෙයක් ලෙස සඳහන් කරන්න බැහැ.
කොහොමත් පශ්චාත් හෙද පුහුණු පාඨමාලා නුදුරු දිනකදීම ආරම්භ වීමට නියමිතව තිබෙනව. ඒ නිසා ගැටලුවක් ඇති වෙන්නෙ නැහැ.
සාකච්ඡා කෙළේඋදිත ගුණවර්ධන

උතුරුමැදට එජාපයෙන් නව මන්තී‍්‍ර 3ක්

චූල බණ්ඩාර කුලසේකර සහ වෝල්ටර් දයාරත්න අනුරාධපුර දිසා විශේෂ
උතුරුමැද පළාත් සභාවේ අනුරාධපුර දිස්ති‍්‍රක්කයට එක්සත් ජාතික පක්‍ෂයෙන් නව මන්තී‍්‍රවරු තිදෙනෙක් පත් කෙරෙති.
ඉකුත්දා අනුරාධපුරයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයෙන් මියගිය මේජර් ජනරාල් ජානක පෙරේරා, සුනිල් දිසානායක සහ ඒ. අනුර්දීන් මන්තී‍්‍රවරුන්ගේ පුරප්පාඩු වූ මන්තී‍්‍රධූර සඳහා නව මන්තී‍්‍රවරු පත්වූහ.
මනාප 13,058ක් ලබා එජාප ලැයිස්තුවේ නවවැනි ස්ථානයේ සිටි කේ. බී. තෙන්නකෝන් සහ මනාප 12,357 ක් ලබා එකොළොස්වැනි ස්ථානයේ සිටි අරුණ බුද්ධික ගුණසේකර මහත්වරු උතුරුමැද ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ මහතා ඉදිරියේ ඊයේ (30) දිවුරුම් දුන්හ.
මනාප 12,769ක් ලබා, දහවන ස්ථානයේ සිටි රෝහණ ගමගේ මහතා ඉකුත් 28 වැනිදා ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දුන් නේය.

කොදෙව් කාන්තා කි‍්‍රකට් පිල හෙට ශ‍්‍රී ලංකාවට

ජගත් පෙ‍්‍ර්මචන්ද්‍ර
කී‍්‍රඩිකාවන් 14 දෙනෙකුගෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා කි‍්‍රකට් කණ්ඩායම ජාත්‍යන්තර එක්දින තරග සංචාරයක් සඳහා හෙට (01දා) ශී‍්‍ර ලංකාවට පිවිසෙයි.
කොදෙව් කාන්තා කි‍්‍රකට් කණ්ඩායමක් මෙරටට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි.
මීට ප‍්‍රථම දෙරට අතර තරග 8ක් පවත්වා ඇති අතර ඉන් තරග 7ක්ම ජය ගැනීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවෝ සමත් ව තිබේ.
අවසන් වරට පැවැති තරගයේ ජය බටහිර ඉන්දීය කොදෙව් කී‍්‍රඩිකාවෝ සතු වූහ. 2005 වසරේ දී අවසන් වරට හමුවූ දෙපිළේ කී‍්‍රඩිකාවෝ වසර 3කට පසුව මෙහිදී මුණ ගැසෙති.
දෙරට අතර 2003 වසරේ දී කොදෙව් දූපත් හිදී පැවැති තරග 6කින් සමන්විත තරගාවලිය 6 - 0 ක් ලෙස ජයගැනීමට සංචාරක ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවෝ සමත් වීම කැපී පෙණුනි.
40 හැවිරිදි නදිනි ජෝර්ජ් ශී‍්‍ර ලංකාවට එරෙහිව ප‍්‍රථම වරට නායකත්වය උසුලමින් මෙම සංචාරයට එක්ව තිබේ.
ඇය 2003 වසරේ දී ශී‍්‍ර ලංකාවට එරෙහි ව පළමු වරට එක්දින ජාත්‍යන්තර වරම් දිනා මේ වනවිට තරග 36 ක් නියෝජනය කළ කී‍්‍රඩිකාවකි. කණ්ඩායමේ කඩුලු රකින්නිය සහ ආරම්භක පිතිකාරිය ද වන නදිනි එරට එකම ටෙස්ට් ශතක ලාභිනිය ද වන්නීය.
දකුණතින් ආරම්භක වේගපන්දු යවන කිර්බිනා ඇලෙක්සැන්ඩර් කණ්ඩායමේ උප නායිකාව වේ.
එක්දින ජාත්‍යන්තර තරග 7කට සහභාගී වී සිටින ඇය ශී‍්‍ර ලංකාවට එරෙහිව තරග බිමට පිවිසෙන්නේ ප‍්‍රථම වතාවටය. ඇය සමග අනෙක් අන්තයෙන් වේග පන්දු යවන ඩීන්ඩ‍්‍රා ඩොටීන් ද එක්දින ජාත්‍යන්තර තරග 7කට සහභාගි වී සිටින්නියකි.
කනිෂ්ඨ කී‍්‍රඩිකාවන් රැසකගෙන් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් දූපත් කාන්තා කි‍්‍රකට් කණ්ඩායම ලෝක එක්දින ශ්‍රේණිගත කිරීම අනුව 8 වැනි ස්ථානයේත් ශී‍්‍ර ලංකාව 4 වැනි ස්ථානයේත් රැඳී සිටිති.
හෙට මෙරටට පැමිණෙන බටහිර ඉන්දීය කොදෙව් කී‍්‍රඩිකාවෝ නොවැම්බර් 03 දා පී.සරවනමුත්තු පිටියේ දී පුහුණු එක්දින තරගයකට සහභාගී වෙති.
අනතුරුව නොවැම්බර් 05,07 සහ 09 දිනවල රංගිරි දඹුල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදීත් 11 සහ 12 දිනවල කොළඹ ආර්.පෙ‍්‍ර්මදාස ජාත්‍යන්තර කී‍්‍රඩාංගනයේදීත් එක්දින තරගාවලියට මුහුණ දෙති.
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම;
නදිනි ජෝර්ජ්(නායිකාව)කිර්බිනා ඇලෙක්සැන්ඩර්(උප නායිකාව) මෙරිස්සා අගුලෙයිරා, පර්නෙල් චාලෙස්, ෂානෙල් ඩැලි, ඩීන්ඩ‍්‍රා ඩොටින්, ඇෆී ෆ්ලෙචර්,ඊවා ගිඩින්ග්ස්, ස්ටචි ඇන් කින්ග්, අනීසා මොහොමඩ්, ජුලියානා නෙරෝ, ඩැනියෙලී ස්ටෝල්,මාලන් මායිට්,ස්ටෙෆනි ටේලර්

Thursday, October 30, 2008

නච්චිකුඩා-ජයපුරම්-අක්කරායන්කුලම්


නච්චිකුඩා-ජයපුරම්-අක්කරායන්කුලම් නගර හා අවට ප‍්‍රදේශය අත්පත් කර ගැනීමට ඊයේ (29) සවස් වන විට ආරක්‍ෂක හමුදාවෝ සමත් වූහ. එම ප‍්‍රදේශය අත්පත් කර ගැනීමෙන් පසු හමුදා සාමාජිකයෝ එහි බලය තහවුරු කර ගත් අයුරු.
ඡායාරූප - යුදහමුදා මාධ්‍ය ඒකකය

ප‍්‍රධාන සැපයුම් මාර්ග කොටින්ට අහිමි වේ නච්චිකුඩා-ජයපුරම්-අක්කරායන්කුලම් සම්පූර්ණ බලය හමුදා සේනාංක අතේ

චන්ද්‍රිකා පෙරේරා, භක්ති ධර්මප‍්‍රිය මෙන්ඩිස් සහ මහින්ද කුලතුංග සහ වෙල්ලස්සේ බණ්ඩාර
එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන් ගේ උතුරේ ප‍්‍රධානතම බළකොටුවක් වූ නච්චිකුඩා ප‍්‍රදේශයේත් ජයපුරම් ගම්මානයේ සහ අක්කරායන්කුලම් කොටි ආරක්ෂක බැම්මේ බලය මුළුමනින්ම අත්පත් කර ගැනීමට ඊයේ (29) සවස් වනවිට ආරක්ෂක හමුදාවෝ සමත් වූහ.
මෙම ප‍්‍රදේශ ආරක්ෂක හමුදාව අත්පත් කර ගැනීමත් සමඟ කොටින්ගේ සියලු සැපයුම් මාර්ග ඔවුනට අහිමි වී ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසයි. මෙම ප‍්‍රදේශවල බලය තහවුරු කර ගැනීමට සති ගණනාවක් තිස්සේ ගැටුම් පැවැතිණි.
කොටි ත‍්‍රස්තවාදීන්ගේ කිළිනොච්චියට භාණ්ඩ ප‍්‍රවාහනය කරන ප‍්‍රධාන සැපයුම් මාර්ගය වැටී ඇති ජයපුරම් ගම්මානය අත්පත් කර ගැනීම ඊයේ පෙරවරුවේදී සිදුකෙරිණි.
කොටි ත‍්‍රස්තවාදීන්ගේ නච්චිකුඩා ඉදිරි ආරක්ෂක වළල්ල ඊයේ (19) සවස වනවිට සම්පූර්ණයෙන්ම ආරක්ෂක හමුදාව අත්පත් කර ගත්තේය.
යුද හමුදාවේ 58 වැනි සේනාංකාධිපති බි‍්‍රගේඩියර් ෂවීන්ද්‍ර සිල්වා මහතාගේ නායකත්වයෙන් මෙම ඉදිරි ආරක්ෂක වළල්ල සම්පූර්ණයෙන්ම තම අණසක යටතට ගෙන තිබේ.
නච්චිකුඩා ප‍්‍රදේශයේ සති ගණනාවක සිට ඉතාමත් දරුණු ගැටුම් පැවැති අතර මෙම ඉදිරි ආරක්ෂක වළල්ල ආරක්ෂා කැර ගැනීමට කොටි උපරිම උත්සාහ දරා ඇත.
කොටින්ගේ ඉතා වැදගත් මර්මස්ථානයක් වූ නච්චිකුඩා ප‍්‍රදේශය හමුදාව අතට පත්වීමෙන් පසුව කොටින්ගේ සියලු සැපයීම් මාර්ග ඇහිරී ගොස් තිබේ.
නැඟෙනහිර කිළිනොච්චියටත්, පුනරින් මාර්ගයේ බටහිර කොටසටත් මායිම්ව පිහිටි නච්චිකුඩා ඉදිරි ආරක්ෂක වළල්ල බිඳවැටීමෙන් පසුව කොටින්ට මෙතෙක් පැවැති එකම සැපයුම් මාර්ගය ද අහිමිවී ඇත.
මේ අතර කොටි ත‍්‍රස්තවාදීන් කිලිනොච්චියට භාණ්ඩ ප‍්‍රවාහනය කරනු ලබන ප‍්‍රධාන සැපයුම් මාර්ගය වැටී ඇති ‘ජයපුරම්’ ගම්මානය ද අත්පත් කර ගැනීමට පළමුවැනි කාර්ය සාධක සේනාංකය ඊයේ (29) පෙරවරුවේ සමත් විය.
මෙම ගම්මානයේ වෙසෙන ජනතාවගේ ප‍්‍රමාණය උතුරේ ඇති අනෙකුත් ගම්මාන සමඟ සැසඳීමේ දී කිලිනොච්චියේ වෙසෙන සිවිල් ජනගහනයට පමණක් දෙවැනි වන අතර නිවාස ඇතුළු ගොඩනැඟිලි විශාල ප‍්‍රමාණයක් එහි ඇති බව ආරක්ෂක අංශ පවසයි.
කිලිනොච්චියේ ප‍්‍රදේශ ගණනාවක් මේ වනවිට ආරක්ෂක අංශවලට නතුව තිබේ. කිලිනොච්චි නගරය අත්පත්කැර ගැනීමට තවත් කිලෝමීටර් එකහමාරක පමණ දුර ප‍්‍රමාණයක් ඉදිරියට ගමන් කළ යුතු බව යුද හමුදාව කියයි.
ජයපුරම් ගම්මානය නච්චිකුඩා සිට ඊසාන දෙසින් පිහිටි ප‍්‍රදේශයකි. මෙම ප‍්‍රදේශයේ ඇතිවූ ගැටුම් හා ත‍්‍රස්තවාදී බලපෑම් හේතුවෙන් එම ගම්මානයේ වැසියන් පලාගොස් ඇති බව ආරක්ෂක අංශ සඳහන් කෙළේය.
මෙම ගම්මානය හරහා වැටී ඇති මාර්ගය ඔස්සේ ත‍්‍රස්තවාදීන් කිලිනොච්චි හා ඒ – නවය මාර්ගය වෙත විවිධ දේ ප‍්‍රවාහනය කර ඇති අතර එම මාර්ගය මෙම අත්පත්කර ගැනීම හේතුවෙන් ත‍්‍රස්තවාදීන්ට අහිමිව ඇති බව ආරක්ෂක අංශ වැඩිදුරටත් කියයි.
දෙවැනි කාර්ය සාධක සේනාංකය ඒ – නවය මාර්ගය දෙසින් ද 58 සේනාංකය තුනුක්කායි හරහාද කිලිනොච්චි වෙත ඇතුළු වී බලය තහවුරු කරමින් සිටින අතර 59 වැනි සේනාංකයේ භට පිරිස් වැලිඔය අන්දන්කුලම් දෙසින් මුලතිව් වෙතට ඇතුළු වී එහි බලය තහවුරු කරමින් ඉදිරියට ගමන් කරයි.

ප‍්‍රභූ ඝාතනයකට කුරුමානම් ඇල්ලූ කළු කොටියෙක් පිටකොටුවේ ලොජ් එකකදී අල්ලා ගනී

විජයානි එදිරිසිංහ
ප‍්‍රභූවරයකු ඝාතනය කිරීමේ නියෝගය ලැබෙන තෙක් කොළඹ තාවකාලික නවාතැන්පළක (ලොජ්) ලැඟුම් ගෙන සිටි මරාගෙන මැරෙන කොටි ත‍්‍රස්තවාදියකු පිටකොටුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ජී. මනෝහරන් (40) හෙවත් සුදර්ශන් නමැති මෙම ත‍්‍රස්තවාදියා අත්අඩංගුවට ගෙන ඇත්තේ පිටකොටුවේ ප‍්‍රධාන පෙළේ නවාතැන්පළක සිටිය දී ලැබුණ ඔත්තුවක් මත බව බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්අධිකාරී රංජිත් ගුණසේකර මහතා පැවසීය. සැකකරුගේ ගමන් මල්ලේ තිබී ග‍්‍රෑම් 300ක අධිබලැති සී – 4 පුපුරන ද්‍රව්‍ය දැමූ කාල බෝම්බයක් ද සොයාගෙන ඇත.
ඩෙටනේටර් සහ සෙසු ආම්පන්න යොදා යම් තැනක තබා පුපුරුවා හැරීමට එම බෝම්බය සකස් කර තිබූ බව ද පොලීසිය කියයි. මීට සති කීපයකට පෙර පිටකොටුවේ ඇපල් තට්ටුවක් යට කුඩා කාල බෝම්බයක් තබා පුපුරුවා හැර ඇත්තේ ද සැකකරු බව හෙළි වී තිබේ.
මොහුට කොළඹදී ජීවත් වීමට අවශ්‍ය මුදල් සහ ඔහු ගේ පවුලේ අයට වියදමට අවශ්‍ය මුදල් ප‍්‍රංශයේ සිටින කොටි හිතවාදියකු විසින් එවන බව ද ප‍්‍රකාශ කර ඇත.
යාපනය විශ්වමඩු අලවෙඩ්ඩි ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන සැකකරු මරාගෙන මැරෙන කල්ලියට බඳවාගෙන තිබෙන්නේ බලහත්කාරයෙන් බව ද තමාට පැවරුනු කාර්යය ඉටු නොකළොත් තම පවුලේ සාමාජිකයන්ට හිරිහැර විඳීමට සිදුවන බව ද සැකකරු ප‍්‍රකාශ කර තිබේ. ඔහු මරාගෙන මැරෙන පුහුණුව ලැබීමෙන් පසු කොළඹට පැමිණ ඇත.
ඔහුට යම් පුද්ගලයකු මරාගෙන මැරීමට නියෝගය සහ ඊට අදාළ ඇඳුම් පැළදුම් ලැබෙන තෙක් මෙම නවාතැන්පළේ නැවතී සිටි බව ප‍්‍රකාශ කර තිබේ. ඔහු මීට පෙර වත්තල හේකිත්ත ප‍්‍රදේශයේ ස්ථානයක නැවතී සිට ඇත. එහි තිබී හැඳුනුම්පත් 15ක් සහ විදේශ ගමන් බලපත් 19ක් ද සොයාගෙන ඇත.
එම ස්ථානයේ අධිබලැති පුපුරන ද්‍රව්‍ය වළදමා තිබූ බව ප‍්‍රකාශ කර ඇත. පොලීසිය එම ස්ථානය වැටලීමේ දී එහි තිබූ පුපුරණ ද්‍රව්‍ය මීට පෙර ගොඩගෙන ඇති බව ද සොයාගෙන තිබේ.
පිටකොටුව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ජී. එම්. ජයරත්න මහතා ඇතුළු කණ්ඩායමක් රඳවාගැනීමේ නියෝග මත සැකකරුගෙන් ප‍්‍රශ්න කරගෙන යයි.

දික්වැල්ලේ ජනතාව කොටි යානයක් දැකලා

යූ. එම්. රුවන් – දික්වැල්ල සමූහ
දික්වැල්ල වලස්ගලට ඉහළ අහසේ පෙරේදා (28) රාත‍්‍රි 7.00 ත් 7.30 ත් අතර කාලයේ සැහැල්ලු ගුවන් යානයක් ඉතා පහළින් පියාසර කරන අයුරු ප‍්‍රදේශවාසීන් දැක තිබේ.
අඩි 100 ක් 125 ක් අතර උසකින් විදුලි බුබුළු දල්වා ගත් අඩි 04 ක් පමණ දිගින් යුත් යානයක් පියාසර කර තිබෙන බව ප‍්‍රදේශවාසීහු කියති.
ප‍්‍රදේශවාසී ඩේවිඩ් ඒකනායක මහතා පැවසුවේ තී‍්‍රරෝද රථයකින් කුලී ගමනක් ගොස් ආපසු එමින් සිටියදී පොල් ගසක් පමණ උසින් යුත් ඉහළ අහසේ විදුලි බුබුලු දල්වා ගත් යානයක් ගමන් ගත් බවයි.
එම යානය කඩා වැටෙනු ඇතැයි තමා සිතූ බව ද ඔහු කීය.
වෙළෙඳ ව්‍යාපාරිකයකු වන අනුර විජේසිංහ මහතා පැවසුවේ කිසිම ශබ්දයක් නොමැතිව දික්වැල්ල දිසාවේ සිට ඉතාමත් පහළින් විදුලි බුබුලු දල්වාගෙන කුඩා ගුවන් යානයක් බෙලිඅත්ත දිසාවට පියාසර කරමින් එක පාරටම හරවන අයුරු දුටු බවයි.

ප‍්‍රහාර දෙකට ආවේ එක ම යානයක් කැලණිතිස්ස බලාගාරය වනසන කොටි වෑයම ව්‍යර්ථ කරයි

චන්ද්‍රිකා පෙරේරා

කැලණිතිස්ස විදුලිබලාගාරයේ ගොඩනැගිල්ලක කොන්කී‍්‍රට් වහලය සිදුරුවී තිබූ අයුරු.
ඡායාරූපය – රංජිත් ජයවීර
කොටි ත‍්‍රස්තවාදීන් කැලණිතිස්ස විදුලි බලාගාරයට පෙරේදා රාතී‍්‍ර ගුවනින් එල්ල කිරීමට ගිය දැවැන්ත ප‍්‍රහාරය නාවික හමුදාවෙන් හා ගොඩබිම සවිකර ඇති ගුවන් යානා නාශක අවිවලින් පහරදීම හේතුවෙන් ව්‍යර්ථ කිරීමට හැකිවී තිබේ.
එදින රාතී‍්‍ර මන්නාරම ඊසාන දෙසින් පැමිණ ඇති කොටි ගුවන් යානය තල්අඩි යුද හමුදා කඳවුරට බෝම්බ තුනක් හෙලා මුහුදු ප‍්‍රදේශයෙන් කොළඹ දෙසට පියාසර කැර තිබේ.
කැලණිය මෝය දෙසින් ගොඩබිම ඉහළ අහසට පැමිණ ඇති මෙම යානය දෙසට නාවික හමුදා යාත‍්‍රාවලින් දිගින් දිගටම වෙඩි තබා තිබේ.
කැලණිතිස්ස බලාගාරය දෙසට පියාසර කළ කොටි යානයට ගොඩබිමින්ද ප‍්‍රහාර එල්ල වී තිබෙන බවත් එම පහරදීම් හමුවේ බලාගාරය පරිශ‍්‍රයට බෝම්බයක් හෙළා ඇති කොටි යානය පලා ගොස් තිබෙන බවත් ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වින්ග් කමාන්ඩර් ජනක නානායක්කාර පවසයි.
තල්අඩි කඳවුරට මෙන්ම කැලණිතිස්ස බලාගාරයටද එකම යානයකින් කොටින් පහරදී තිබෙන බව මෙතෙක් කළ පරීක්ෂණ මඟින් හෙළිව තිබෙන බවද හෙතෙම කීය.
හමුදා ප‍්‍රහාර හමුවේ කොටි ගුවන් යානය නැවතත් මන්නාරම දෙසින් අනාරක්ෂිත ප‍්‍රදේශය කරා පලා ගොස් තිබේ.
මෙම ප‍්‍රහාරවලින් තල්අඩි කඳවුරේ සෙබළුන් තිදෙනෙකුට තුවාල සිදුව තිබෙන අතර කැලණිතිස්ස බලාගාරයේ ගින්නක් පමණක් හටගත් බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පැවැසීය.
තල්අඩි කඳවුර වෙත බෝම්බ තුනක් හෙළා ඇති අතර ඉන් එකක් පමණක් පුපුරා ගොස් තිබෙන බව යුද හමුදාව පවසයි.

ඉලංකෝවන්ට එරෙහි ඉදිරි කි‍්‍රයාමාර්ගවලට නීතිපති උපදෙස් නෑ මෝදර පොලිසිය අධිකරණයට දන්වයි

රන්ජිත් පද්මසිරි
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නාවික ප‍්‍රවාහන අංශයේ දෙවැනියා ලෙස හඳුන්වන සිංගප්පූරුවේ පුරවැසිභාවය හිමි මුත්තුසාමි ඉලංකෝවන් හෙවත් සාමි නැමැති සැකකරු සම්බන්ධයෙන් ගන්නා ඉදිරි කි‍්‍රයාමාර්ග පිළිබඳව මෙතෙක් නීතිපතිවරයාගේ උපදෙස් ලැබී නොමැති බව මෝදර පොලිසිය ඊයේ (28) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය.
අතිරේක මහේස්ත‍්‍රාත් මංජුල තිලකරත්න මහතා හමුවේ මෙම පැමිණිල්ල ඊයේ (28) යළි කැඳ වූ අවස්ථාවේදී මේ බව දන්වා සිටි පොලිසිය නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන සැකකරු පිළිබඳව ගන්නා ඉදිරි පියවර දැනුම් දෙන බව කීය.
රඳවා ගැනීමේ නියෝග මත රඳවා ගෙන සිට දැනට රිමාන්ඩ් භාරයට පත්කර සිටින සැකකාර ඉලංකෝවන් නැමැති අය ඊයේ (28) අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ නැත.
සැකකරු බන්ධනාගාරයේ අධිකරණය වෙත ඉදිරිපත් කළ බව ද දන්වා සිටියේය. ඉදිරියටත් සැකකරු එම බන්ධනාගාරය වෙත ඉදිරිපත් කරන ලෙස නියම කළ අතිරේක මහේස්ත‍්‍රාත් තිලකරත්න මහතා නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන සැකකරු, පිළිබඳ ගන්නා ඉදිරි පියවර ලබන පෙබරවාරි මස 11 වැනි දින දැනුම් දෙන ලෙස මෝදර පොලිසියට නියම කෙළේය.

ජනතා ආශිර්වාදය රජයට ශක්තියක් - චමල් රාජපක්‍ෂ වාරිමාර්ග, ජල කළමනාකරණ, වරාය හා ගුවන් සේවා අමාත්‍ය

වාරිමාර්ග හා ජල කළමනාකරණ, වරාය හා ගුවන් සේවා ඇමැති චමල් රාජපක්‍ෂ මහතා රටේ වත්මන් දේශපාලන තත්ත්වය සංවර්ධන ව්‍යාපෘතිවලදී ප‍්‍රගතිය, වීරවිල ගුවන් තොටුපළ, හම්බන්තොට වරාය ආදියෙහි ඉදිකිරීම් කටයුතුවල වත්මන් තත්ත්වය හා වාරි කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ ආදී කරුණු පිළිබඳ මෙසේ අදහස් දක්වයි.
* ත‍්‍රස්තවාදය පරාජය කොට උතුරේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය තහවුරු කිරීමට කටයුතු කරගෙන යද්දී විපක්‍ෂය සහ තවත් කණ්ඩායම් ඒ සම්බන්ධව ආණ්ඩුවට නොයෙකුත් චෝදනා කරමින් ඉන්න බව පෙනෙනවා. මේ පිළිබඳ ඔබට කියන්නට ඇත්තේ කුමක්ද?
රටේ සාමය ඇතිකිරීමටත් රට සංවර්ධනය කිරීමටත් අපට ශක්තිමත් වැඩපිළිවෙළක් තියෙනවා. අපි මේ වන විට කරමින් ඉන්නේ මහින්ද චින්තන කියන එම ශක්තිමත් වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමයි. නමුත් විපක්‍ෂය මේ සෑම කටයුත්තක් දෙසම බලන්නේ ඊර්ෂ්‍යාවෙන්. ඔවුන්ට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ ආණ්ඩුව කෙසේ හෝ පෙරළා දමා බලයට එන්නයි. ඒ සඳහා ඔවුන් රජයේ සියලු දේට විරුද්ධ වෙමින් ඒවා කඩාකප්පල් කරන්නට උත්සාහ ගන්නවා. අපේ වීරෝදාර රණවිරුවන් විශිෂ්ට යුද ජයග‍්‍රහණ ලබා ගනිද්දී ඒවා අවතක්සේරු කරමින් කථා කරනවා වගේම ජනතාවගේ යහපතට රජය කි‍්‍රයාත්මක කරන යෝධ සංවර්ධන ව්‍යාපෘති හෑල්ලුවට ලක් කරනවා.
නමුත් මේ කිසිවකින් රජයේ ගමන නවත්වන්න බැරි බව විපක්‍ෂය මතක තබා ගත යුතුයි.
ජනාධිපතිවරණයේදී මේ රටේ ජනතාව ප‍්‍රධාන වශයෙන් කරුණු තුනක් ගැන අවධානය යොමු කළා. රට නොබෙදීම, ත‍්‍රස්තවාදය පරාජය කිරීම සහ රට සංවර්ධනය කිරීම ඒ කරුණු තුන. මෙම කරුණු තුන කි‍්‍රයාත්මක කළ හැකියි කියලා ඔවුන් විශ්වාස කළ නිසා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බලයට පත් කළා. ජනාධිපතිතුමා දැන් කරන්නේ ජනතාව තමන් බලයට පත් කරද්දී කළ ඉල්ලීම් ඉටු කිරීම. ඒවාට විරුද්ධ වෙන්න කාටවත් අයිතියක් නැහැ.
විපක්‍ෂය මානුෂීය මෙහෙයුම්වලට විරුද්ධව කථා කළත් සාමාන්‍ය ජනතාව මෙහෙයුමට විරුද්ධ නැහැ. ඔවුන් දැනට තිබෙන යම් යම් අපහසුකම් දරාගෙන, අනාගත බලාපොරොත්තු සහිතව මෙහෙයුම්වලට ආශීර්වාද කරන්නේ ඒ නිසයි. මෙන්න මේ ආශිර්වාදය තමයි ආණ්ඩුවට තියෙන ලොකුම ජයග‍්‍රහණය. ජනතා ආශිර්වාදය තරම් වටින තවත් කරුණක් රජයකට නැහැ. විපක්‍ෂයට වුවමනා වෙලා තියෙන්නේ මේ සුහදතාව විනාශ කරන්නයි.
* යුද්ධයෙන් ජනවාර්ගික ගැටලුවට විසැඳුම් සොයන්න බැරි බවයි විපක්‍ෂය කියන්නේ. යුද්ධ කිරීමෙන් පසුගිය වසර දෙකක කාලය තුළ රටට අත්වුණ සෙත කුමක්ද?
පළමුවෙන් අවධාරණය කළ යුතුයි රජය මෙහෙයුම් කරන්නේ එක් ජාතියකට හෝ ආගමකට විරුද්ධව නොවෙයි. මේක ත‍්‍රස්තවාදය පරාජය කිරීමට කෙරෙන යුද්ධයක් පමණයි. අපට අවශ්‍ය රටේ සියලු දෙනාට සාමයෙන් සමඟියෙන් ජීවත් වීමට හැකි වාතාවරණයක් සකස් කරන්නයි. මේ යුද්ධය අප පටන් ගත් එකක් නොවෙයි. යුද්ධය ඉල්ලා සිටියේ කොටි සංවිධානයමයි. අප සාකච්ඡා මගින් මේ ගැටලුව විසඳන්න උත්සාහ කරද්දී නොයෙකුත් අමානුෂික කි‍්‍රයාවල යෙදෙමින් යුද්ධයම ඉල්ලා සිටියේ එල්. ටී. ටී. ඊ. යයි.
යුද්ධයෙන් දිනාගත් දේ නොව ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් අපට, රටට ලැබුණු දේ පිළිබඳව මුළු ලෝකයම දන්නවා. විපක්‍ෂය මොන චෝදනා කළත් ඒ ඇත්ත සඟවන්න බැහැ. අද නැඟෙනහිර පළාතේ ජනතාව විඳින නිදහස තමයි අපට ලැබුණු ලොකුම තෑග්ග.
අනෙක් වැදගත් කාරණය තමයි මේ ගැටලුවට යුද්ධයෙන් විසඳුම් සෙවීමට රජය කිසි විටෙකත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. යුදමය කි‍්‍රයාමාර්ගවලින් ත‍්‍රස්තවාදය පරාජය කොට දෙමළ ජනතාවට දේශපාලන විසැඳුමක් ලබා දීමයි රජයේ අරමුණ. ඒ සඳහා වූ නිශ්චිත වැඩපිළිවෙළක් රජය සතුයි.
* ශී‍්‍ර ලංකාවේ දැනට කි‍්‍රයාත්මක දැවැන්ත ව්‍යාපෘතියක් වන හම්බන්තොට වරාය ඉදිකෙරෙන්නේ ඔබ අමාත්‍යාංශය යටතෙයි. එහි වර්තමාන ප‍්‍රගතිය කෙබඳුද?
හම්බන්තොට වරායේ ඉදිකිරීම් දැනට සියයට 30 කින් පමණ අවසන්. අපි බලාපොරොත්තු වුණේ වරායේ පළමු අදියර 2011 වසරෙදි නිම කරන්නයි. නමුත් දැනට කටයුතු කෙරෙන වේගය දෙස බැලුවාම 2010 වසරේ මැයි මාසය වන විට ව්‍යාපාර කටයුතු ඇරඹිය හැකියි විශ්වාස කරනවා.
ඇත්තෙන්ම හම්බන්තොට වරාය ඉදිකිරීම කියන්නේ මුළු හම්බන්තොට දිස්ති‍්‍රක්කයම නැවත පුබුදුවන ව්‍යාපෘතියක්. කොළඹ වරාය නිසා කොළඹ නගරය දියුණු වුණා වගේ අනාගතයේදී හම්බන්තොටත් දියුණු වේවි. මේ දිස්ති‍්‍රක්කයට පමණක් නොවෙයි මුළු රටම පිබිදවීමේ හැකියාවක් හම්බන්තොට වරායට තිබෙනවා.
* වීරවිල ප‍්‍රදේශයේ ඉදිකිරීමට නියමිතව තිබූ ගුවන් තොටුපළ නොයෙක් විරෝධතා නිසා වෙනත් ස්ථානයකට ගෙන යන්න සිදුවුණා නේද?
පරිසර සංවිධාන කියන්නේ පරිසරය ගැන කතා කරන්න ඉන්න උදවිය. ඒත් එකක් පැහැදිලිව කියන්න ඕනේ අපිත් පරිසරයට ආදරය කරන අය. අපේ ජනාධිපතිතුමා ගමේ හැදිලා ගමට ආදරය කරන පරිසරය ගැන වැටහීමක් තියෙන ජනතා නායකයෙක්. එතුමා අපට කවදාවත් ඉඩ දෙන්නේ නැහැ පරිසරයට හානියක් කරන්න.
වීරවිල ගුවන් තොටුපළට මුල්ගල් තිබ්බේ 2006 වසරේදී. ගුවන් තොටුපළ ඉදිකරන්න සියලු කටයුතු කරගෙන යද්දී අපට පෙනුණා, මේ නිසා සරුසාර කුඹුරු අක්කර 1500 ක් පමණ මේ නිසා අහිමි වන බව. විශේෂයෙන් වසර ගණනාවක් අතපහු වෙවී තිබ්බ ලුණුගම්වෙහෙර, වෙහෙරගල වගේ ජලාශ ඉදිකිරීම් කඩිනම් කරන්න රජය කටයුතු කරද්දී එම ජලාශවලින් පෝෂණය වෙන කුඹුරු අතහැරීම අපරාධයක් බව අපට පෙනුණා.
ලෝකය දැනටමත් මුහුණ දී සිටින දැවැන්ත ආහාර අර්බුදය හමුවේ මේ දේ කරන්න අපට පුළුවන්කමක් නැහැ. මොකද මේ ආහාර අර්බුදය ගැන කලින්ම දැකලා ලෝකයේ හැම රටකටම පෙර ඊට මුහුණ දෙන්න වැඩපිළිවෙළ හැදුවේ අපේ ජනාධිපතිතුමා. ඉතින් එවැනි පසුබිමක් යටතේ අපට මේ ගැන දෙවරක් හිතන්න සිදුවුණා. ඒ වගේම ප‍්‍රදේශවාසීන්ගෙන් ප‍්‍රාදේශීය සභාවලින් ඉල්ලීම් ආවා. මේ ව්‍යාපෘතිය මීට වඩා නොදියුණු, කටුක ප‍්‍රදේශයක් වන මත්තලට ගෙන යන්න කියලා.
අපි ඒ ගැනත් සළකා බලලා ඒ ජනතාව යෝජනා කළ ප‍්‍රදේශය අධ්‍යයනය කරලා මාස හයක් ඇතුළත ඒ ප‍්‍රදේශයේ ගුවන් තොටුපළ ඉදිකිරීමට ඇති හැකියාව සොයා බැලුවා. මේ ප‍්‍රදේශයේ භූගෝලීය පිහිටීම අනුව වීරවිල ප‍්‍රදේශයට වඩා අඩු කාලයකින් ගුවන් තොටුපළ ඉදිකරන්න හැකි වෙතැයි කියලා මං විශ්වාස කරනවා. එය රටටත් ජනතාවටත් වුණ යහපතක්.
* ආන්දෝලනයකට ලක්වුණ මිහින් ලංකා ගුවන් සේවය නැවත ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. ගුවන් සේවා විෂය භාර ඇමැතිවරයා ලෙස ඒ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?
මිහින් ලංකා ගුවන් සේවය ආරම්භ කරන්න රජය තීරණය කළේ රටේ ජනතාවට පහසු මිලට ගුවන් සේවයක් ලබාදීමේ අරමුණ ඇතිවයි. මෙය අඩු වියදම් ගුවන් සේවයක්. විශේෂයෙන් ජාත්‍යන්තර ගුවන් සේවා ගමන් නොකරන ගමනාන්තවලට ගුවන් සේවා ලබාදීමත් මෙහි එක් අරමුණක් වුණා. ඒ සඳහා අලුත් දැක්මකින් කටයුතු කළ හැකි සභාපතිවරයෙක් අධ්‍යක්‍ෂ මණ්ඩලයක් ජනාධිපතිතුමා විසින් පත් කළා. මෙවර අභ්‍යන්තර ගුවන් සේවාවක් අරඹන්න අපේ අවධානය යොමු වෙලා තියෙනවා.
ඊට අදාළ කටයුතු මේ වන විටත් කෙරෙමින් පවතිනවා. මේ අවුරුද්දේ දෙසැම්බර් පමණ වන විට ගුවන් සේවා කටයුතු අරඹන්න මම බලාපොරොත්තු වෙනවා.
* රජය කි‍්‍රයාත්මක කළ “අපි වවමු - රට නගමු” දේශීය ආහාර නිෂ්පාදන වැඩපිළිවෙළත් සමඟ රටේ කෘෂිකර්මයේ විශාල පිබිදීමක් තිබෙන බවක් පේනවා. වාරිමාර්ග ඇමැතිවරයා වශයෙන් ඊට ඔබගේ දායකත්වය කෙබඳුද?
ඇත්ත වශයෙන් ම ගොවියාට හිතවත් රජයක් ලෙස අද අපේ රජය ගොවි ජනතාව රජකරවන්න පුළුවන් තත්ත්වයට රට ගෙනත් තිබෙනවා.
ජනාධිපතිතුමාගේ උපදෙස් මත අපේ කෘෂි කර්මාන්තය ඉතාමත් දියුණු මට්ටමකට ගෙන එන්න අපිට හැකි වුණා. අතීතයේ අපේ රටේ තිබ්බ දියුණු වාරි සංස්කෘතිය නැවත ඇතිකිරීම එතුමාගේ බලාපොරොත්තුවයි. ඒ සඳහා මේ රටේ කවදාකවත් නොකෙරුණු තරමේ දැවැන්ත වාරි ව්‍යාපෘති රැසක් අපේ රජය පසුගිය කාලයේ ආරම්භ කළා.
මහවැලි ව්‍යාපාරයෙන් පසු මේ රටේ දැවැන්ත වාරි ව්‍යාපෘති කි‍්‍රයාත්මක වුණේ නැහැ. හදපු සැලසුම් පවා දිනෙන් දින අතපහු කළා. කරන්න බෑ කියපු ව්‍යාපෘති පවා අපේ ජනාධිපතිතුමාගේ නිර්භීත තීන්දු නිසා කි‍්‍රයාත්මක කරන්න අපට පුළුවන් වුණා.
ඒ අතර කුරුණෑගල, පුත්තලම් දිස්ති‍්‍රක්කවල ජනතාවට ජලය ලබා දීමට අපි දැදුරු ඔය ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කළා. ඒ වගේම අම්පාර දිස්ති‍්‍රක්කයේ රඹුක්කන් ඔය ඇරඹුවා. නැෙඟනහිර පළාතේත් අපි වාරි ව්‍යාපෘති ආරම්භ කළා. උමා ඔය, යාන් ඔය වගේම වෙහෙරගල වගේ දැවැන්ත ව්‍යාපෘති දැනට කි‍්‍රයාත්මකයි. මේවායේ තියෙන විශේෂත්වය තමයි බොහෝ දුරට දේශීය තාක්ෂණය යොදා ගැනීම. ඒ මගින් අපේ ඉංජිනේරුවන්ගේ දැනුම ලෝකයටම පෙන්නුම් කිරීමට අපට අවස්ථාව ලැබුණා.
අනුරාධපුරය, පොළොන්නරුව ප‍්‍රදේශ මුල්කරගෙන දිවයින පුරා පිහිටි වැව් ප‍්‍රතිසංස්කරණය කිරීමේ අරමුණෙන් වාරි පුබුදුව වැඩසටහන කි‍්‍රයාත්මක කළා.
වසර ගණනාවක් තිස්සේ නඩත්තු නොකෙරුණු විශාල ජලාශවල වේලි මේ යටතේ ප‍්‍රතිසංස්කරණය කෙරෙනවා.
ලෝකයම මුහුණ දෙන ආර්ථික අර්බුදය හමුවේ අපේ ආහාර අපිම නිෂ්පාදනය කර ගත යුතුයි. ඒ සඳහා කටයුතු කරන අතරම කිරිවලින් ස්වයංපෝෂිත දේශයක් බිහිකරන්නත් අපි කටයුතු කරනවා.
සාකච්ඡා කෙළේ ධනුෂ්ක ගොඩකුඹුර

අලි බියෙන් ඇළැලුණු දිය කැපිල්ලේ අවනඩුව

“මම කසාද බැඳලා මේ ගමට එන කොට ගමේ තිබුණේ පවුල් තුනයි. මම මෙහාට එනකොට මට වයස විසිඑකයි. ඒකාලෙත් ගම වහගෙන කැළෑව තිබුණා. අපි අතුකඩාගෙන කැළේ බිඳගෙන තමයි ඒ කාලෙත් ගමන් බිමන් ගියේ. හැබැයි අද වගේ අලි කරදර නම් තිබුණේ නෑ.
“අඩසිය වසකට වැඩි කලක් තිස්සේ විඳි දුක්ගැහැටවල උච්චතම මොහොත දැන් එළැඹී තිබෙන්නාක්සේය. මුහුණේ ඇඳුණු රේඛාවලින් කියැවුණේ ජීවිත කාලයක විඳි දුක් කන්දරාවයි. කොතැනින් පටන් ගම්දෝයි සිතන්නේ බඳු හැඟීමකින් යුතුව ඒ වයසක අම්මා අපට සියල්ල කීමට පේ වී සිටියාය. ඇය පමණක් නොව “දියැකැපිල්ල” ගමේ සියලු සෙනඟ එතැනට එකතු වී උන්නාහ. ඒ ඔවුන් පෙළන දහසක් දුක්ඛ දෝමනස්සයන් අපට කීමටය. ඔවුන්ට ඇති ලොකුම දුක වල්අලින් ගෙන් ලැබෙන දුකය.

අලින්ගෙන් අලාභ හානි වූ නිවෙසක්

මේ දරුවන්ට අනාගතයක් ?
දියකැපිල්ල ගම පිහිටා තිබෙන්නේ දඹුල්ලේ සිට කිලෝමීටර් 15 ක් ඈතිනි. සීගිරියේ සිට ඒ ගමට කිලෝ මීටර් හයකි. ගමේ පවුල් 40 ක් පමණ වෙසෙති. සියල්ලෝ ගොවීහුය. ලොකු ලුනු හා මුං ඇට ඔවුන්ගේ ප‍්‍රධාන වගා භෝගයයි.
ඊට අමතරව මිරිස් වට්ටක්කා බණ්ඩක්කා ආදී එළවළු කීපයක්ද කුඹුරුද මේ ගොවීයෝ වගා කැරෙති. එහෙත් බීජ සිට වූ දා සිට අස්වැන්න ගන්නා තෙක් ඒවා අලීන්ගෙන් රැක ගැනීමට දියකැපිල්ලේ මිනිසුන් නොවිඳිනා දුකක් නැත.
ඉන්නේ ගස්උඩ
අප බොහෝ විට අසා තිබෙන්නේ වගා රැක ගැනීමට ගස්උඩ පැල් රකින්නේ තරුණයන් නැතිනම් පිරිමි පාර්ශ්වය බවය. එහෙත් දියකැපිල්ලේ කෙස් සුදු වූ වයසක අම්මවරුන් පවා දවසේ වැඩි කාලයක් ගත කරන්නේ මේ ගස් උඩ පැල්පත්වලය. ගිනි අව්ව වැටෙන දහවල් පැය කීපයක් පමණක් නිවසේ සිටින ඔවුන් යළිත් පවුල් පිටින් හැන්දෑ යාමේ පැල්වලට නැග ගනිති.
“මේ... දහදුක් විඳලා හදාගත්ත ලුනු ටික. ඉල්ලන්නේ කුණු කොල්ලෙට.”
බිසෝ මැණිකා ලුනු අහුරක් අතට ගෙන අපට පෙන්වා යළි අත හැරියේ සෝබර මුහුණෙනි. ඇගේ ගේ පිළිකන්නේ ලුනු තොග පිටින් නරක් වී යයි හේතුව ඒ මුහුණෙන් හෙළි විණ. අප සියලු දෙනා සිටියේ බිසෝ මැණිකාගේ මිදුලෙහිය. අර වයසක අම්මා කතාවේ ඉතිරිය කියන්නට පුල පුලා සිටියාය. ඩී.එස්.එම්. මුතුමැණිකාය. වයස හැට නමයකි. දියකැපිල්ලේ දැනට සිටින පැරැණිම සාමාජික අයය. දෙවියන්ට කරන කන්නලව්වක් ලෙස ඈ කියවාගෙන යයි.
මං දැන් මේ ගමේ අවුරුදු හතළිහකට වැඩිය ඉඳලා තියෙනවා. ඒ කාලේ අපි පාඩුවේ හිටියා. ඉඩකඩම් එළිවෙලා වාඩි ගහලා මිනිස්සු පදිංචි වුණා. ඊට පස්සේ අලි බලන්න එන කට්ටිය කැලේ ගිහින් අලින්ට කෑම දීලා පුරුදු වෙලා. ඒකයි අලි ගමට එන්නේ. අසූදෙකේ අවුරුද්දේ කන්තලේ හිටිය වල්අලි අල්ලලා බේත් විදලා මින්නේරිය වැවට ගෙනත් දාපු දා ඉඳලා තමයි අපිට මේ අලි කරදර.
හැන්දෑවට මේ පාරේ අලි රංචුව යනවා. ඒ වේලාවට ලෙඩක් දුකක් හැඳුණත් මගට බහිනවා බොරු. අපේ කාලේ නම් ඉවරයි. ඒත් මේ පොඩි එවුන්ට යන කලක් තියෙන්නේපැයි. අපිට ආධාර ඕන නෑ. මේ පාරට බොරුළු ටිකක් දාලා ලයිට් ටිකක් දුන්නොත් ඇති. වීදුරු මෙන් දිලිසෙන කඳුළු ඇති ඇස්වලින් බලාගෙන ඈ කියයි.
“රෑට විතරක් නෙවෙයි උදේටත් අලි පාරේ ඉන්නවා.”
“ලයිට් තිබුණා නම් මේ ප‍්‍රශ්නෙ ටිකක් හරි විස¼දෙනවා.”
මේ ආදි නොයෙක් දේ සමහර විට එකම දේ පිරිස මහ හ¾ඩින් කියයි. “එක් කෙනෙක් කතා කරන්න” අපි එසේ කීවෙමු. එවර කතා කළේ මහින්ද ජයතිලකය.
අලි නිසා වනජීවී එකෙන් විදුලි වැටක් ගහනවා. වෑවල ඉඳන් හබරණට අපේ ගම එළියට දාලා පාර පටු කරලා. එතකොට අපි ඉන්නේ අලින්ට අයිති සීමාවේ.
අපි මේ ගමේ ඉන්නේ අවුරුදු ගාණක් ඉඳන්. මේ ගම අවුරුදු 175 ක් පරණයි. තවත් කිසිවෙක් ඌණ පුරනයක් කරයි. ඔව් දැන් මේ ඉන්නේ අපි දන්න හතරවෙනි පරම්පරාව.
දැන් අවුරුදු දහයක ඉඳන්නේ. ලයිට් ඉල්ලන්නේ. ඇමැතිවරු කී දෙනෙකුට කිව්වද ? එස්. එම්. විජේවීර බණ්ඩා එසේ කියන්නේ කලකිරීමෙනි.
අන්තිමට ලයිට් දීලා තියෙන්නේ කොයි හරියේද අපි ඇසිමු.
සීගිරිය හෝටලෙට තියනවා. එතන ඉඳලා මෙතෙන්නට තියෙන කිලෝමීටර් දෙක තමයි ඔය ලයිට් දෙන්න බැරිවෙලා තියෙන්නේ ලයිට් තිබුණා නම් අලි කරදරත් අඩුවෙයිනේ.
ඔහු ආවේගයෙන් මෙන් තවත් බොහෝ දේ කියවා ගෙනයයි. ඒවා අනුමත කිරීමට මෙන් බොහෝ දෙනා නිහඬය. ඉඳහිට ඇතැමෙක් “ඔව්” කියති.
මේ පාර දෙපැත්තේ තියන ඉඩම් කාටවත් වගා කරන්නවත් දෙන්නේ නැහැ. අවුරුදු පහකට කලින් බස් එකක් තිබුණා. දැන් ඒකත් නැහැ. ඕගොල්ලෝ වගා කරන්නේ කොහෙද ? කෝ හේන් කුඹුරු අපි ඇසිමු.
”ඒව සේරම තියෙන්නේ “කොස්ගහඇළ” ගමේ. මෙතන ඉඳලා කිලෝමීටර් 02 ක් තියෙනවා
”අපි හැමෝම ඉස්සර හිටියේ ඒ ගමේ. එහේ වතුර එහෙම තියෙනවා. ඒත් පාරක් නෑ. කැලේ මැදින් යන්න ඕන. අපි ආවේ අලි ප‍්‍රශ්නෙ නිසා. ඒත් වගා කරන්නේ එහේ.
”ඇයි වතුර නැත්තේ? අපි ඇසුවෙමු.
”හුණුගල් නිසා ළිං කපන්න බැහැ. නාන්නවත් වතුර නැහැ. සතුන්ගේ ඇටකටු හේදුන ඇළවල්වලින් තමයි අපි නාන්නේ.
”ගමට ඉස්පිරිතාලයක්වත් නෑ කියන්න පුතේ. පාංශුකූලයක් දීගන්න හාමුදුරු කෙනෙක් වඩම්මගන්න පන්සලක්වත් නෑ කියන්න”
බිසෝ මැණිකා අප ඉදිරියේදීම පුතුට උපදෙස් දෙයි. ඔව්... බේත් ගන්න නම් කිලෝමීටර් 06 ක් සීගිරියට පයින් ගිහින්, ඊට පස්සේ කිඹිස්සට බස් එකේ යන්න ඕන” සංජීව අපිට පැහැදිලි කරයි.
මොන්ටිසෝරියට ගුරුවරියක්
අපේ මේ කතාබහ අතරතුර ගමේ ළපටි දරු දැරියෝ එතැනට විත් සිදුවන්නේ කුමක්දැයි මුව අයා බලා සිටියහ. අප දුන් බිස්කට් පැකට්ටුව පවා ඔවුනට වටිනා වස්තුවක් වී තිබිණ.
”අනේ මේ ළමයින්ට අකුරක් ඉගෙන ගන්න මොන්ටිසෝරියක් නෑ. උගන්වන්න ටීචර්ලා එන්නෑ අලින්ට බයේ. ඒ ගැනත් මොනවා හරි ලියන්න බැරිද?
”කවදාවත් මොන්ටිසෝරියක් තිබුණෙ නැද්ද? අපේ කෙනෙක් එසේ ඇසීය.
”දවස් 5 ක් තිබුණා. ඒ ටීචර් එනකොට අපි තී‍්‍රවීල් එකට රුපියල් 200/- ක් එකතු කරලා දෙනවා. අපි දුප්පත් නිසා ටීචර් ඒක ගන්න කැමති වුණෙත් නැහැ. ඒත් දැන් එයත් නැහැ. මේ ළමයින්ට අකුරක් කියා දෙන්න කෙනෙක් නැහැ. ඔක්කොම ළමයි විස්සක් විතර ඉන්නවා.
ඈ ඇසිපිය ගසා කඳුළු වළකයි.
කිසිවෙකු විසින් ඒ මොහොතේ දිය කැපිල්ල ප‍්‍රාථමික විද්‍යාලයේ උප විදුහල්පති සුගත් එදිරිසිංහ මහතා එහි කැඳවාගෙන ආවේය. ගමට ඇති එකම රජයේ ආයතනය මේ පාසලයි. එහි පංති තිබෙන්නේ පහ ශ්‍රේණියට පමණකි. ළමයි 17 කි. එදිරිසිංහ මහතාගේ බිරිය එහි විදුහල්පතිනියයි. වසර 11 ක් තිස්සේ පාසලට ගුරුවරුන් ලෙස සිටින්නේ ඔවුන් දෙදෙනා පමණි. ඔහු පවා සිටියේ කිසියම් කනගාටුවකිනි.
ඔහු ගම්මුන්ට වඩා පැහැදිලිව අප වෙත සියලු තොරතුරු ගොනු කරමින් කීවේය.
ඉංගී‍්‍රසි, විද්‍යාව වගේ විෂයන්වලට මේ ළමයි ගුරුවරයෙක් දැකලාවත් නෑ. අලින්ට බයේ ගුරුවරු එන්නේ නැහැ. ශිෂ්‍යත්වෙට මෙවර ළමයි දෙන්නෙක් ඉදිරිපත් වුණා. එක ළමයෙක් ලකුණු 98 ක් ගත්තා. ඒ බාහිර පොතක්වත් පත්තරයක්වත් දැකලාවත් නෙවෙයි. ගිය අවුරුද්දෙත් ළමයි 5 දෙනෙක් ශිෂ්‍යත්වෙට හිටියා. එක ළමයෙක් ලකුණු 127 යි. අනිත් දෙන්නා 114 කුත්, 111 කුත් ගත්තා. මේ ළමයින්ට පාසල් අධ්‍යාපනය විතරයි. රේඩියෝවක්, පත්තරයක් දකින්න නැහැ.
ගිය අවුරුද්දේ විදේශික මහත්මයෙක් ඇවිත් පුස්තකාලයක් හදලා දුන්නා. ඒත් තාම පොත් නැහැ.
වනජීවීන් සහ මනුසත්තු
මේ ළමයින්ට කියවන්න පොත් ටිකක් ලැබුණොත් ලොකු ප‍්‍රයෝජනයක්. ;ම් ඉස්කෝලෙට කිසිම දේශපාලන ආධාරයක් නෑ. බාහිර ආයතනවලින් යම් යම් උදව් තියෙනවා. මේ ගම පටන් ගත්තටම පස්සේ ගිය අවුරුද්දෙ තමයි ළමයෙක් සාමාන්‍ය පෙළ සමත් වුණේ. ඒ, එන්. ජී. ඕ. එකකින් ඒ ළමයින්ව සීගිරිය ඉස්කෝලෙට වාහනයකින් ගෙනිච්ච නිසා.
නැත්නම් ළමයි උදේට යනවා. මග අලි ඉන්නවා කියලා එනවා. වනජීවී එකෙන් ගමේ සංවර්ධනයට බලපෑම් තියෙනවා. ඉනාමළුව හන්දියේ ඉඳලා මේ හරියට අභය භූමියක් කියලයි කියන්නේ. වනජීවී එකෙන් අවසර නැතුව කිසි දෙයක් කරන්න බෑ. විදුලිය ලබාගන්න අමාරුවෙලා තියෙන්නෙත් ඒකයි.
දියකැපිල්ලේ උළු ගෙවල් 7 කට වඩා නැත. වැඩි හරිය පොල් අතුය. පොල් අත්තක් රුපියල් 15 ක් බැගින් ගෙවා මැල්සිරිපුරෙන් ගෙන්වා ගත යුතුය. වරිච්චි බිත්ති බොහොමයක හුඹස් බැඳලාය. කිසිවෙක් ගෙයි නොරැඳි ගස් උඩම දිවි ගෙවනා නිසාදෝ විය හැකිය. ගෙවල් බොහොමයකට ජනෙල් පියනක්වත් නැත.
මේ මිනිසුන් වෙනුවෙන් ඔවුන්ගේ ගැටලු විසැඳීමට කිසියම් වැඩපිළිවෙළක් අවශ්‍ය බව නම් හැඟේ. මන්ද මේ දුක් විඳින්නේ අපට බත සපයන තවත් ගොවීන් පිරිසකි. අප වැනිම වූ මිනිසුන් පිරිසකි. තුන් තිස් පැයේම “අලි භීතිකාවෙන්” තැවෙන මේ මිනිසුන් වෙනුවෙන් කිසිවක් කිරීමට අදාළ බලධාරීන් ඇස් ඇරිය යුතු කාලය මෙය බව නම් නොකියාම බැරිය.
සටහන - රසිකා ඔලබොඩු

අය-වැය සමයේ දී මැති ඇමැතීන්ට විදෙස් සංචාර බෑ

වෙල්ලස්සේ බණ්ඩාර
ඉදිරියේදී පැවැත්වෙන අයවැය විවාදය සමයේදී කිසිම විදේශ සංචාරයක නිරත නොවී එම විවාදයන්ට සහභාගි වන ලෙස ආණ්ඩු පක්ෂයේ සියලු මැති ඇමැතිවරුන්ට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (29) උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ සවස අරලියගහ මන්දිරයේදී පැවැති මෙම රැස්වීමේදී අය වැය විවාදය පැවැත්වෙන කාලය තුළ පාර්ලිමේන්තුව ඝණ පූරණය ඇතිව පවත්වාගෙන යමින් ආණ්ඩු පක්ෂයේ ගරුත්වය රැකෙන අයුරින් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂ මන්තී‍්‍ර කණ්ඩායමට දැනුම්දී ඇත.
අයවැය විවාදය පැවැත්වෙන කාලය තුළ ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරු විදේශ සංචාර සඳහා ඉදිරිපත් කරන කිසිම ඉල්ලීමක් නිර්දේශ නොකරන බව ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.
2009 වසරේ අයවැය කථාව නොවැම්බර් මස 6 වැනිදා පස්වරු 1.30 ට ඉදිරිපත් කෙරේ

එදා අවි අතට ගත් නැඟෙනහිර තරුණයන් අද උදැල්ල අතට ගෙන සංවර්ධනයට උරදීලා- ඇමැති ලක්ෂමන් යාපා අබේවර්ධන

වෙල්ලස්සේ බණ්ඩාර
උතුරේ සිදු කෙරෙන මානුෂීය මෙහෙයුම් නතර කරන ලෙස ඉල්ලා තමිල්නාඩුවේ පැවැති විරෝධතාවන් නැවැත්වීමට ඉංදියාව සද්භාවයෙන් කි‍්‍රයා කිරීම නිසා ඉංදියාවෙන් අප රටට එවීමට එකඟ වු ආහාර තොගය බාරගත් බව ජනමාධ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප‍්‍රකාශ කරයි.
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ජනමාධ්‍ය මඟින් අසා ඇති ප‍්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් ඇමැතිවරයා මෙසේ පැවසීය.
ඉංදියානු රජයෙන් ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ටොන් 800ක් රජයට බාර දීමට එකඟ වී තිබෙන අතර එම ආහාර බෙදා හරිනු ලබන්නේද රජය විසින් බවද ඊයේ (29) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ප‍්‍රකාශ කළේය. දෙරට අතර උසස් රාජ්‍යතාන්ති‍්‍රක මට්ටමෙන්, ඇතිවීමට ගිය ගැටළු සහගත තත්ත්වයන් නිරාකරණය කර ගැනීම ගැන අප සතුටුවිය යුතුව ඇතැයි ද මෙහිදී ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කබීර් හෂීම් මහතා විසින් තෙල්මිල අඩුවීමෙන් රජය අයුතු ලාබ ලබන බව පවසමින් රට නොමග යැවීමට උත්සාහ දරා ඇති බවද මෙහිදී ඇමැතිවරයා අවධාරණය කළේය.
තෙල්මිල අඩුවීමේ ප‍්‍රතිලාභ ජනතාවට ලබා නොදි ආණ්ඩුව ගසා කනවා යැයි එක්සත් ජාතික පක්ෂය චෝදනා කළත් ඇත්තවශයෙන්ම තෙල්වලට බදු මුදල් පනවා ජනතාවගෙන් ඒ බදු මුදල් ගසා කෑමේ පසුගිය එක්සත් ජාතික පක්‍ෂ පාලන කාලයේදී සිදුකළ බවද ලක්‍ෂ්මන් යාපා ඇමැතිවරයා මෙම මාධ්‍ය හමුවේදී ප‍්‍රකාශ කළේය. ඇමැතිවරයා මෙසේද කීය.
එක්සත් ජාතික පක්ෂ පාලන සමයේදී 2002 වසරේ මෙරට ඇමෙරිකානු ඩොලර් බිලියන 694ක් වටිනා ප‍්‍රමාණයක් ආනයනය කැර තිබෙනවා. ඒ ප‍්‍රමාණයෙන් 44% එනම් ඇමෙරිකානු ඩොලර් බිලියන 302.9ක් බදු වශයෙන් රජය ජනතාවගෙන් අය කරගෙන තිබෙනවා. 2003 වසරේ රුපියල් බිලියන 731 ක් වටිනා තෙල් මෙරටට ගෙන්වා ඇති අතර ඒවායින්ද ඇමෙරිකානු ඩොලර් බිලියන 300.2ක් බදු වශයෙන් අය කරගෙන ඇත.
මෙම බදු ප‍්‍රමාණය 2004 වසරේ සිට අඩු වෙමින් ඇත.
2004 වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1061ක තෙල් ආනයනය කර තිබෙනවා. බදු වශයෙන් ලබාගෙන ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 169.3 ක් වැනි 14% කි. 2005 වසරේ ආනයනික වටිනාකම බිලියන 1400ක් වන අතර බදු මුදල බිලියන 150ක් වේ. එය 11% කි. 2006 වසරේ ඇමෙරිකානු ඩොලර් බිලියන 1766 ක් වටිනා ප‍්‍රමාණයක තෙල් ආනයනය කැර ඇති අතර බදු වශයෙන් අය කැර ඇත්තේ බිලියන 235ක් වේ. ඇමෙරිකානු ඩොලර් බිලියන 2000ක තෙල් ප‍්‍රමාණයක් 2007 මෙරටට ආනයනය කැර තිබුණත් රජය බදු වශයෙන් ලබාගෙන ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 293.52 කි. මෙම වසරේ ජුනි මාසය දක්වා තෙල් ආනයනික වටිනාකම ඇමෙරිකානු ඩොලර් 1535ක් වන අතර බදු වශයෙන් රජය අය කැර ගෙන ඇත්තේ ඇමෙරිකානු ඩොලර් 151.70 ක් වේ.
මෙම තොරතුරු අනුව රජය තෙල්වලින් උපරිම බදු සහණයක් දී තිබෙනවා.
ඉදිරි අයවැයේදී තවදුරටත් තෙල්මිල අඩුකිරීම පිළිබඳව රජයේ සැලකිල්ල යොමු වී තිිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය හමුවකදී රජය මානුෂීය මෙහෙයුම් නතර කර දේශපාලන විසඳුමකට යන්නේදැයි ප‍්‍රශ්න කැර තිබෙනවා.
ජනාධිපතිතුමා විසින් රට බෙදීමට සටන් වදින ප‍්‍රභාකරන් ඇතුළු කණ්ඩායමට අවි බිම තබා සාකච්ඡාවට පැමිණෙන්ට කියා මෑතකදීත් දැනුම් දුන්නා. රජය දේශපාලන විසඳුමක් ලබාදීමට කිසිසේත්ම මැලිවන්නේ නැහැ.
මෙම ගැටුම්වලින් මියයන්නේ මේ රටේ තරුණයන් බව රජය දන්නවා. එදා නැගෙනහිර අවි අතට අරන් යුද වැදුණු තරුණයන් අද උදැල්ල අතට අරන් නැගෙනහිර පළාතේ සංවර්ධනයට උර දී සිටිනවා. රටේ නිෂ්පාදනයට ඔවුන්දායක වෙනවා.
උතුරේද ඉතා ඉක්මනින් පළාත්පාලන හෝ පළාත් සභා හෝ මැතිවරණ පවත්වා ඒ පළාතේ ද සිවිල් පාලනය තහවුරු කිරීමට පියවර ගන්නවා. ඒ අනුව දේශාපලන විසඳුමක් ලබාදීමට රජය විමසිල්ලෙන් හා දැඩි වුවමනාවෙන් කි‍්‍රයා කරනවා. එය මානුෂීය මෙහෙයුම් නතර කරලාද කියා අසමින් එක්සත් ජාතික පක්ෂය මේ ප‍්‍රශ්නය වෙනත් පැත්තකට යොමු කිරීමට උත්සාහ දරනවා.
දේශපාලන විසඳුමට යෑමට රජයේ ඇති උනන්දුව සර්ව පාක්ෂික කමිටුවක් පත් කිරීමෙන් හා එහි කටයුතු කඩිනම් කිරීමෙන්ද තහවුරු වෙනවා.
ඉංදියාව පැහැදිලිවම වෙනත් රටක අභ්‍යන්තරික කටයුතුවලට බලපෑම් නොකරන බව සෘජුවම ප‍්‍රකාශකැර තිබෙනවා.
මේ අර්බුදය දෙරටේම ගෞරවය සුරැකෙනුසේ විසඳ්‍ර ගැනීමට ඉංදියාව චක්වූ හිතවාදී ප‍්‍රතිපත්තිය ගැන සියලුම දේශපාලන පක්ෂ ප‍්‍රසාදය පළකරමින් රටේ කෘතවේදී බව පළකරන ලෙස සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා.

කොළඹ නගර සභා කටයුතු පරීක්ෂාවට කොමිෂන් සභාවක්

වයිමන් හෙට්ටිආරච්චි
කොළඹ මහ නගර සභාවේ කටයුතු පරීක්ෂා කිරීමට විශ‍්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හෙක්ටර් යාපා මහතාගේ ප‍්‍රධානත්වයෙන් තවත් කොමිෂන් සභාවක් බස්නාහිර පළාත් ප‍්‍රධාන ඇමැති රෙජිනෝල්ඩ් කුරේ මහතා පත්කැර ඇත.
චන්ද්‍රදාස නානායක්කාර කොමිෂන් සභාවේ පරීක්ෂණවලදී ඇතැම් චෝදනාවලට මුළු සභාවම වරදකරු වීම නිසා සමහර නිර්දෝශී මන්තී‍්‍රවරුන්ට තම නිවැරදිභාවය කියා පැමට අවස්ථාව මෙතෙක් නොලැබු අතර ඔවුනට මෙම කොමිෂන් සභාවට කරුණු කීමට අවස්ථාව සැලසේ.
මීට අමතරව චන්ද්‍රදාස නානායක්කාර නොමිෂන් සභාවෙන් නිගමනය වු තවත් චෝදනා 7 ක් සම්බන්ධයෙන්ද මෙම අලුත් කොමිෂන් සභාව මඟින් විභාග කොට මාස තුනක් තුළ වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.

ජාතික රුවල් ඔරු තරග නොවැම්බර් 1-2 දිනවල

ප‍්‍රින්ස් ගුණසේකර
ශ‍්‍රී ලංකා රුවල් ඔරු සම්මේලනය ජනශක්ති රක්‍ෂණ සමාගමේ පූර්ණ අනුග‍්‍රහයෙන් ජාතික රුවල් ඔරු තරගාවලිය නොවැම්බර් 01 හා 02 දිනයන්හි බොල්ගොඩ වැවේදී පැවැත්වේ.
කිසිදු යාන්ති‍්‍රක - මෝටර් ආධාරයකින් තොරව පවතින සුළඟ මගින් රුවලේ ආධාරයෙන් තරග වදින තරගකරුවන්ට වටිනා තෑගි පිරිනැමීමට සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.
මෙම ජාතික රුවල් ඔරු තරගාවලියට ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රිය බෝට්ටු වර්ග 4 ක් එකම අවස්ථාවක තරග කිරීම කැපී පෙනේ. අවුරුදු 15 ට අඩු දරු දැරියන් උදෙසා ඔප්ටිමිස්ට් පන්තියේ බෝට්ටුවේ එක් අයකු යාත‍්‍රා කරමින් තරගයට එක්වේ.
අවුරුදු 19 න් පහළ ඉසව්වේ කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන්ට ලේසර් 4.7 බෝට්ටුවේ තරග කළ හැකි අතර එක් අයෙකු බැගින් යාත‍්‍රා කළ යුතුය.
මෙම තරගාවලියට සහභාගිවන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට එන්ටර්ප‍්‍රයිසස් හා ජී. පී. 4 පංතිවලදී යාත‍්‍රාවක දෙදෙනකුට සහභාගි විය හැක. ලේසර් රේඩියල් හා ස්ටෑන්ඩඩ් පංතියේදී එක් යාත‍්‍රාවක එක් අයෙක් තරග වැදිය යුතුය.
දිවයිනේ ප‍්‍රසිද්ධ රුවල් ඔරු කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහභාගි වන මෙම තරගාවලියට සිලෝන් මෝටර් යොට් ක්ලබ්, රෝයල් කලම්බු යොට් ක්ලබ්, ශ‍්‍රී ලංකා නාවික හමුදා රුවල් ඔරු සමාජය, රුහුණු රුවල් ඔරු සමාජය හා බෙන්තොට රුවල් ඔරු සමාජයට එක්විය හැක.

Monday, October 27, 2008

දීපාවලි උලෙළ අදයි


සමඟිය මිත‍්‍රත්වය සඳහා කැප වෙමු
- ජනපති
සමගි කාරක බලවේගයක් වන දීපාවලි භක්ති පූජා මඟින් අපේක්ෂා කරනුයේ රටේ වෙසෙන සමස්ථ ජනතාව අතර වාර්ගික, ආගමික හා පන්ති භේදයකින් තොරව සමගිය, මිත‍්‍රත්වය හා අවබෝධයක් ඇති කිරීම යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.
දීපාවලි දිනය නිමිත්තෙන් ජනාධිපතිතුමා විසින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.
මෙම දීපාවලි දිනයේ දී සියලු ශී‍්‍ර ලාංකික හින්දු ජනතාවට මා සුබ පතන්නේ ඉමහත් සතුටිනි.
හින්දු ආගමේ වැදගත් දිනයක් සහ සෞභාග්‍යයේ උත්සවයක් වන දීපාවලි ප‍්‍රඥාවේ ආලෝකය පතුරුවයි.
මෙම උත්සවය සංකේතවත් කරන්නේ නපුර පරදා යහපතත් අවිද්‍යාව පරදා ඥානයත් ජයග‍්‍රහණය කරවීම ය.
මෙම උතුම් දිනයෙහි අපේ රට එක්සත් කර සියලු දෙනාටම සාමයෙන්, සමගියෙන්, අභිමානයෙන් හා නිදහසේ ජීවත්වීමට අවශ්‍ය කරන සමාජයක් ගොඩනැගීම සඳහා කැපවීම යළි සපථ කරමු.
යුක්තිය දිනවීම අභිප‍්‍රායයි
- අගමැති
යුක්තිය ජයග‍්‍රහණය කරවීමත් යහපත පැතිර විමත් සාධාරණ මිනිසකුගේ අභිප‍්‍රාය යැයි අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතා “දීපාවලී” නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටී.
තවද එය සපුරන විටෙක අනුවණකමේ අන්ධකාරය දුරු වී ආලෝකය පැතිරී යන බවද එහි සඳහන් වේ. අගමැති රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ දීපාවලී පණිවුඩයේ මෙසේ ද සඳහන් වෙයි.
නරකාසුර පරාජය කිරීම දීපාවලී උලෙළ හා බැඳී පවතින එක් ප‍්‍රබල ජනප‍්‍රවාදයකි.
හෙතෙම මනුෂ්‍යයන්ට පමණක් නොව දෙවියන්ට මහා මුණිවරයන්ට ද විපත් පමුණුවන ලද්දෙකි. විෂ්ණුගේ මැදිහත්වීමෙන් දිනෙක එම අසුරයා පරාජයට පත්විණ. විපත් දුරුවින ආලෝකයේ පහන් දැල්විණ.
අදද අපි යහපත හා යුක්තිය පතා කන්නලව් කරන්නෙමු. යහපත් දේශයක් සදහා පෙරුම් පුරන්නෙමු.
ඒ සඳහා විමුක්තිය වෙසින් පෙනී සිටින ත‍්‍රස්තවාදයේ නපුර පරාජය කළ යුතුය. අප තුළම පවතින නපුර පිටුදැකිය යුතුය.
එවිට හදපුරා පවතින නිරාමිස පී‍්‍රතියෙන් යුතුව ලොවක් එළිය කරනා පහන් දැල්විය හැකිය.
එතෙක් සම්ප‍්‍රදායික චාරිත‍්‍රයක් ඉටුකරන හින්දු බැතිමත් ජනතාව හා දීපාවලී උලෙළට එක්වෙමින් ඊට සුබ පැතුම් එක්කරමි.

මහවැසි මධ්‍යයේ මුලතිව් කිලිනොච්චියට ප‍්‍රහාර අටවා තිබූ බෝම්බ 91ක් සොයා ගනී

මහින්ද කුලතුංග, භක්ති ධර්මපි‍්‍රය මෙන්ඩිස්
මහවැසි මැද කිලිනොච්චිය සහ මුලතිව් දිස්ති‍්‍රක්කවල ත‍්‍රස්තවාදීන්ට ආරක්ෂක හමුදාව විසින් පෙරේදා (25) දැඩි ප‍්‍රහාර එල්ල කර කිලිනොච්චියේ කල්මාඩු ප‍්‍රදේශයේ කොටි බංකර රැසක් විනාශකර කොටි බල ප‍්‍රදේශයක් අත්පත්කරගෙන තිබේ.
කිලිනොච්චියේ අක්කරයාන්කුලම් සහ අංගපමොඩෙයි ප‍්‍රදේශවල කොටින්ගේ ඉදිරි ආරක්ෂක වළලු රැසකට හමුදාව පහරදීමෙන් ත‍්‍රස්තවාදීන්ට හානි සිදුවු බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය.
කිලිනොච්චියේ අක්කරයාන්කුලම් සහ අංගපමොඩෙයි ප‍්‍රදේශවල කොටින්ගේ ඉදිරි ආරක්ෂක වළලු රැසකට හමුදාව පහරදීමෙන් ත‍්‍රස්තවාදීන්ට බරපතළහානි සිදුවු බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය.
මුලතිව් ආන්දන්කුලම් ප‍්‍රදේශයේදීද දැඩි සටන් පැවති අතර එහිදීද ත‍්‍රස්තවාදීන්ට බරපතළ හානි සිදුවී ඇති බවත් මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය.
එම ප‍්‍රදේශයේ සටන්වලින් පසු හමුදාව කරන ලද මෙහෙයුමේදී ත‍්‍රස්තවාදීන් විසින් අටවා තිබු පුද්ගල නාශක බෝම්බ 91 ක් සොයාගත් අතර ත‍්‍රස්තවාදීන්ගේ පුද්ගල හැඳුනුම්පත් තුනක්ද සොයාගෙන ඇත.
මේ දිනවල පවතින ධාරානිපාත වර්ෂාව ආරක්ෂක මෙහෙයුම් වලට දැඩි බාධාවක් වුවත් හමුදාවේ දැඩි චිත්ත ශක්තිය මත එම සියලු බාධාවන් මැඩගෙන ත‍්‍රස්තවාදීන්ට පහරදීම් සිදුකරන බවත් ආරක්ෂක නිලධරයෙකු කීය.
විශේෂයෙන් යුදඅගල් ජලයෙන් පිරී පවතින අතර හමුදා වාහන මඩේ එරීම නිතරම සිදුවන බවත් එහෙත් හමුදාව ඊට සාර්ථකව මුහුණ දෙමින් ගමන් කරන බවත් හෙතෙම සඳහන් කළේය.
මේ අතර ති‍්‍රකුණාමලයේ චිප්ටිකන්දාල් ප‍්‍රදේශයේදී හමුදාව සිදුකල විශේෂ මෙහෙයුමකදී ටී 56 අවියක්, මැගසින් එකක් සහ පතරොම් 30 ක්ද සොයාගෙන ඇති බවත් මාධ්‍ය මධ්‍යස්ථානය සඳහන් කළේය.

කාන්තන්කුඩියේ මුස්ලිම් පල්ලියට බෝම්බ ප‍්‍රහාර

මහින්ද කුලතුංග
මඩකළපුවේ කාන්තන්කුඩියේ අලුහුසේ නිසා මුස්ලිම් දේවස්ථානයට පෙරේදා (25) උදේ කොටි ත‍්‍රස්තවාදීන් විසින් අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමෙන් සිවිල් වැසියන් පස්දෙනකු තුවාල ලබා තිබේ.
උදේ 7.45 ට පමණ මෙම බෝම්බ ප‍්‍රහාරය එල්ල කර තිබේ

කොටින්ගේ ම්ලේච්ඡත්වයට දිගින් දිගටම පහර ආහාර නැව් වනසන්න කළ තැතත් අසාර්ථකයි

ඕනෑම සත්වයෙකුට ආහාරපාන ලබාදීම ඉතා උතුම් කි‍්‍රයාවක් මෙන් ම සෑම සමාජයක් ම පිළිගන්නා මූලික මිනිස් අයිතිවාසිකමකි.
එහෙත් ම්ලේච්ඡ කොටි ත‍්‍රස්තවාදීන් මිනිසුන්ගේ ආහාරවේලට පවා පහර දෙන්නට තරම් අමානුෂික බව මේ වන විට ලොවට ප‍්‍රදර්ශනය කොට හමාරය. එය ඔවුන් අවස්ථා කිහිපයකදීම ලෝකයට ප‍්‍රදර්ශනය කළහ.
එහි ආසන්නතම සිදුවීම ඉකුත් 22 දා උදෑසන උතුරු මුහුදේ දී සිදු විය.
යාපනය මයිලඩි ජැටිය කරාගමන් කරමින් තිබූ නිමලව සහ රුහුණ නෞකා දෙකට කොටි මරාගෙන මැරෙන ප‍්‍රහාර දෙකක් එල්ල කළ හ.එහෙත් එය අසාර්ථක විය.
නෞකා දෙකෙන් එකක සම්පූර්ණයෙන්ම තිබුණේ යාපනයේ සිවිල් වැසියන්ට අවශ්‍ය ආහාර ද්‍රව්‍යයන් ය. කොටින්ගේ ප‍්‍රහාරවලින් මෙම නෞකාව විනාශ වූයේ නම් යාපනයේ වැසියන්ට ගෙන යමින් තිබූ ආහාර ඔවුන්ට අහිමි වනු ඇත.
රුහුණ නෞකාවේ අත්‍යවශය ආහාර ද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් 2500ක් තිබූ අතර නිමලව නෞකාවේ සිමෙන්ති මෙටි‍්‍රක් ටොන් 3500ක් තිබී ඇත.
මෙම සිමෙන්ති යාපනය කරා ගෙන ගියේ සිවිල් වැසියන්ගේ නිවාස තැනීමට පමණක් ම බව රජයේ උසස් නිලධාරියෙකු මුර අඩවියට කීය.
මරාගෙන මැරෙන පිරිස අඩුවෙලා
කොළඹ සිට කන්කසන්තුරේ වරායට ගමන් කළ නෞකා දෙක මයිලටි ජැටියට භාණ්ඩ ගොඩබෑම ආරම්භ කර තිබුණි.
භාණ්ඩ ගොඩබෑම අවසන් කිරීමට නොහැකි වීම නිසා නෞකා දෙක රාතී‍්‍ර කාලයේදී කන්කසන්තුර වරායට රැගෙන ගියේ ය.
ඒ නෞකාවල ආරක්ෂාව සඳහාය.මේ සියලු කර්තව්‍යයන් නාවික හමුදාව විසින් සිදු කරනු ලබයි.
යළි පසුදින (බදාදා) මයිලඩි ජැටිය කරා නෞකා දෙක යාත‍්‍රා කෙරිණි. වේලාව උදෑසන පහ පමණ වී තිබුණි. මයිලඩි දෙසට විනාඩි දහයක් යාත‍්‍රා කළ නෞකා දෙකට කොටි ත‍්‍රස්තවාදීහු මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කළහ.
ඒ මොහොත වන විටත් නෞකාවන්ට ආරක්ෂාව දෙමින් ඉදිරියට ඇදුණු ඩෝරා යාත‍්‍රා ප‍්‍රහාරය හඳුනා ගත්තේය. වහාම කි‍්‍රයාත්මක වූ ඩෝරා තවත් කොටි ඉලක්ක දෙකක් වෙත අඛණ්ඩව දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කළේය.
එම ප‍්‍රහාරයෙන් මරාගෙන මැරෙන මුහුදු කොටි යාත‍්‍රාවක් කොටි ත‍්‍රස්තයන් දෙදෙනෙකු සමඟ දියබත් විය. ඒ සමඟ ම තම තියුණු ඇස මහ සයුරට යොමු කළ නාවික හමුදාවෝ කොටින්ගේ මරාගෙන මැරෙන යාත‍්‍රාවක් අත් අඩංගුවට ගැනීමට සමත් වූහ.
කොටි ත‍්‍රස්තයන් හයදෙනෙකු යාත‍්‍රා තුනක් උපයෝගී කරගනිමින් “නිමලව“ සහ “රුහුණු” නෞකාවලට මෙම ප‍්‍රහාරය එල්ල කිරීමට පැමිණි බව පසුව අනාවරණය විය.
මුහුදු කොටි බලකාය විසින් මරාගෙන මැරෙන මෙම යාත‍්‍රාව ජලයට සමාන්තරව ගමන් කිරීමට හැකි ආකාරයට සකස් කර ඇත. මුහුදු රළ උස් පහත් වන අවස්ථාවේදී යාත‍්‍රාව මුහුදේ පාවෙනු දැක ගත නොහැකි වන අකාරයට සකස් කිරීමට ද කොටි වගබලා ගෙන ඇත.
සාමාන්‍ය මරාගෙන මැරෙන යාත‍්‍රාවක් ඉතා වේගයෙන් ගමන් කරන මුත් කොටින් ගේ මෙම යාත‍්‍රාව සෙමෙන් ගමන් කරයි. මොවුන් මේ සඳහා අශ්වබල පහළොව මෝටර් එන්ජිමක් යොදා ගනී.ත‍්‍රස්තවාදීන් යාත‍්‍රාව සඳහා භාවිතා කළ වර්ණය වී ඇත්තේ ද නිල් පැහැයයි.
මෙම යාත‍්‍රාව මුහුදේ තිබෙන අවස්ථාවේ දුර සිට එකවර හඳුනා ගැනීමට පවා අපහසු ය. කොටි ත‍්‍රස්තයන් උපක‍්‍රම රාශියක් භාවිතා කරමින් මෙම ප‍්‍රහාරය දියත් කිරීමට උත්සාහ ගත්ත ද නාවික හමුදාවේ තියුණු ඇස අභිබවා යන්නට ඔවුන්ට නොහැකි වූ බව නාවික හමුදා ප‍්‍රකාශක කමාන්ඩර් ඩී.කේ.පී. දසනායක මුර අඩවියට අවධාරණය කළේ ය.
මුහුදු කොටි විසින් මෙලෙස ම “ජෙට්ලයිනර්” නෞකාව ඇතුළු නෞකා රාශියකට උතුරු මුහුදේ දී ප‍්‍රහාර එල්ල කිරීමට පැමිණ වැඩ වරද්දා ගත් බවද නාවික හමුදා ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
අපි කොටින්ට වැඩිය ගොඩක් ඉදිරියෙන්. මුහුදු කොටි මොන උපක‍්‍රම යෙදුවත් ඒවා හඳුනාගන්න අපට ශක්තිය තියෙනවා. අපි ඔවුන්ගේ කි‍්‍රයාකාරකම් ගැන හොයාබලනවා.
මෙලෙස අවධානයෙන් ඉන්න නිසා ම කොටින් ගේ ආයුධ ගබඩා සහිත නෞකා රාශියකට අපි ප‍්‍රහාර එල්ල කළා. මහ සයුර මැද කොටි ඉලක්කයක් ගන්නවා කියන්නේ ලොකු වැඩක්.
ඒත් ඒක සාර්ථකව කරන්න අපට පුලුවන් වෙලා තියෙනවා. නිමලව, රුහුණ නෞකා දෙකට කොටි පහර දෙන්න ආවේ ඉතා රහසිගතව, උපක‍්‍රමශීලීව. ඒත් ඒ සියල්ල අපි හඳුනාගත්තා.
ඒ න විට ඩොරා විදුලි වේගයෙන් කි‍්‍රයාත්මක වෙලා ඉවරයි. ඒ නිසා අපි කොඩි පරාජය කළා. යයි කමාන්ඩර් ඩී.කේ.පී. දසනායක පැවසීය.
මෙම ප‍්‍රහාරයෙන් කොටින්ගේ ප‍්‍රබල නායකයන් දෙදෙනෙකු විනාශ කිරීමට නාවික හමුදාව සමත් වී ඇත.
කොටි සංවිධානය ලබා දී ඇතැයි කියන ව\නන් කර්නල් නිලයන් සහිත නායකයන් දෙදෙනෙකු මෙලෙස මිය ගොස් ඇත.
කුබේරන් හා ඉලක්කියා
මෙලෙස නාවික හමුදා ප‍්‍රහාරවලින් මිය ගොස් තිබේ.
කොටි නායක ප‍්‍රභාකරන්,
බුද්ධි අංශ නායක පොට්ටු අම්මාන්, නාවික කටයුතු වලට සම්බන්ධ වීමේදී එහි සියලු සම්බන්ධීකරණ කටයුතු සිදු කළේ කුබේරන් නමැත්තා බව නාවික හමුදා බුද්ධි තොරතුරු අනාවරණය කරයි.
එපමණක් නොව කාටි නායක ප‍්‍රභාකරන් ගමන් කරන ඕනෑම නාවික යාත‍්‍රාවක් හසුරවන්නේ ද මොහු බව
පැවසේ.
නාවික හමුදා ප‍්‍රහාරවලින් මිය ගිය ඉලක්කියා මුහුදු කොටි බලකායේ කාන්තා අංශයේ දෙවැනියා ය.
ඇය උතුරු මුහුදේ ම හෙයුම් රැසකට අණදුන් තැනැත්තියක් බවත් මුහුදු කොටි නායක සුසෙයිගේ ගැටලුවෙන් පසුව එම බලකායේ ප‍්‍රබලයකු වූ බවත් අනාවරණය වී ඇත.
නෞකා දෙකට පහර දීමට පැමිණ මිය ගිය සෙසු කොටි ත‍්‍රස්තවාදීන් සිව් දෙනාගෙන් දෙදෙනෙකු ප‍්‍රාදේශීය නායකයින් බව පැවසේ. කොටි සංවිධානය මරාගෙන මැරෙන ප‍්‍රහාර සඳහා ඉහළ නායකයින් යොදා ගැනීම තුළින් කරුණු කිහිපයක් පසක් වෙයි.
කොටින්ගේ මරාගෙන මැරෙන බලකායේ පිරිස අඩු වී ඇත. තවත් පිරිසක් ඉන් ඉවත් වී ඇත. මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කිරීමට ජ්‍යෙෂ්ඨ කොටි නායකයින් යොදා ගන්නේ සංවිධාන ශක්තිය අඩු වී ගොස් ඇති බැවිනි.
එපමණක් නොව හොඳින් පුහුණුව ලැබූ කොටි සාමාජිකයින්ගේ අඩුවක් මේ වන විට කොටි සංවිධානය තුළ ඇති බව මෙයින් පෙනී යයි.
ඔක්තෝබර් මස මුල් සතියේ දී ඒ 9 මාර්ගය වසා දමමින් කොටි ත‍්‍රස්තවාදීන් යාපනයට භාණ්ඩ ප‍්‍රවාහනය කිරීම නතර කිරීමට කටයුතු කළා. පමණක් නොව ඒ 9 මාර්ගය හරහා සිවිල් ජනතාව උතුර සමඟ කළ සියලු කටයුතු නවතාදැමීමට පියවර ගත්හ.
රුහුණු නෞකාව
කොටි මෙම මාර්ගය වසා දැමීමට පියවර ගත්තේ රජය අපහසුතාවට පත් කිරීමට ය.
අනාරක්ෂිත ප‍්‍රදේශවල සිටින සිවිල් ජනතාවට ආහාර පාන ලබා දීම රජය විසින් සිදු නොකරන බව ලෝකයාට පෙන්වමින් රජයට අපකීර්තියක් එක් කරමින් නොයෙක් ජාත්‍යන්තර බලපෑම් එල්ල කරවීම ද කොටින්ගේ අරමුණක් විය.
එහෙත් කොටින්ගේ මෙම බලාපොරොත්තුව සුණු, විසුණු කර දැමූ රජය යාපනයට මෙන් ම අනාරක්ෂිත ප‍්‍රදේශවලට දිගින්, දිගට ම අත්‍යවශය ආහාර යැවීමට කටයුතු කළේය.
යාපනයේ සිවිල් වැසියන්ට දකුණට ඒම සඳහා නැව්සහ ගුවන් පහසුකම් ලබා දුන්නේය. මෙම තීරය සටහන් තබන මොහොතේ ද යාපනයේ සිවිල් වැසියන්ට එම පහසුකම් ලැබෙමින් පැවතුණි.
කොටි ත‍්‍රස්තවාදීන් ඒ 9 මාර්ගය වසා දමමින් ඔවුන්ට ම වළ කපා ගත් බව පෙන්වා දිය හැකිය. ඒ 9 මාර්ගය විවෘත ව පැවැති සමයේ එයින් ගමන් ගන්නා ජනතාව කොටි ත‍්‍රස්තයන්ට නොයෙක් අයුරින් කප්පම් මුදල් (බදු මුදල්) ගෙවිය යුතු විය.
නැතිනම් කොටි විසින් සිවිල් වැසියන්ට නොයෙක් වදහිංසා පමුණුවනු ලබති. කොටි ත‍්‍රස්තයන් ඒ 9 මාර්ගයෙන් පමණක් දිනකට රුපියල් ලක්ෂ දහයකට වැඩි කප්පම් මුදලක් සිවිල් ජනතාවගෙන් අය කර ගත් අතර අද ඔවුන්ට එය අහිමි ව ගොස් තිබේ.
කොටි ත‍්‍රස්තයන් කුමන අමානුෂික කි‍්‍රයාවක නිරත වුණද රජය ද්‍රවිඩ වැසියන් ගැන සිතමින් ඔවුන්ට අවශ්‍ය දේ ලබා දීමට සෑම පියවරක්ම ගනිමින් සිටී.
පාඩුව කොටින්ටමයි
වර්ෂාව, මඩ වඟුරු, දුෂ්කර මාර්ගයන්, තද සීතල, තෙතබරිත ඇඳුම්, කොටින්ගේ ගෑස් ප‍්‍රහාර මේ සියල්ලම හමුදාවන්ට සාමාන්‍ය දේ වී හමාරය. එකම අරමුණ ක් එකම ඉලක්කයක්, එකම ශක්තියක් ලබා ගෙන අහිංසක ද්‍රවිඩ සිවිල් ජනයා කොටි ග‍්‍රහණයෙන් මුදා ගන්නා මානුෂික මෙහෙයුම් ඉකුත් සතියේ තවත් උණුසුම් වී ඇත.
අක්කරායන්කුලම් සිට නච්චිකුඩා දක්වා කොටි ඉදි කර තිබූ දැවැන්ත පස් බැම්ම බිඳ දැමීමට 57 වන සේනාංකයේ සෙබලුන් සති කිහිපයක සිට ගත් උත්සාහය මේ සතියේ මල් පල ගැනුණි.
57 වන සේනාංකයට සම්බන්ධ පාබල බල ඇණි වෙත පැවරුණු මේ අභියෝගය ජය ගැනීම සඳහා කොටින් සමඟ මාරාන්තික සටන් වල නිරත වන්නට සිදුවිය.
57 වන සේනාංකය යටතේ කි‍්‍රයාත්මක වන 9 වන ගජබා රෙජිමේන්තුව අක්කරයාන්කුලම් වැවට බටහිරින් ද 12 වන සිංහ රෙජිමේන්තුව එයට වම් පසට වන්නට ද කොටින් සමඟ මුහුණ ට මුහුණ ලා සටන් කිරීමෙන් පසු කිලෝමීටර් හයක කොටි ඉදිරි ආරක්ෂක වළල්ලක් අත් පත් කර ගත් හ.
අක්කරායන් කුලම් වැවෙන් නැගෙනහිර කොටස 3 වන ගජබා රෙජිමේන්තුවේ සෙබලුන්ගේ ග‍්‍රහණයට හසු විය. එම ප‍්‍රදේශයෙන් කොටි පළවා හැරි රණවිරුවෝ කුඩා කොටසක බලය සියතට ගත්හ. කොටින්ගේ කි‍්‍රයාකාරීත්වය අභිබවමින් වර්ෂාවට ද මුහුණ දීමට මෙම සෙබලුන් හට සිදු විය.
නිමලව නෞකාව
කොටි ඉදිරි ආරක්ෂක වළල්ලේ කිලෝමීටර් හයක ප‍්‍රමාණයක් අත්පත් කර ගැනීම සඳහා සමහර අවස්ථාවලදී පැය පහකට අධික කාලයක් කොටි සමඟ මුහුණට මුහුණ ලා සටන් කිරීමට හමුදා සෙබළුන්ට සිදු විය.
කොටි හමුදාව ආපස්සට හැරවීම සඳහා මුළු ශක්තියම යොදා ප‍්‍රහාර එල්ල කළ හ. එහෙත් හමුදා සෙබළුන් ආපස්සට හැරවීම සඳහා මේවා කිසිසේත් ප‍්‍රමාණවත් නොවීය.
කොටි ත‍්‍රස්තයන්ගේ ආරක්ෂක බැම්ම තරණය කිරීමට හමුදා සෙබළුන්ට විශාල පරිශ‍්‍රමයක් යෙදීමට සිදු වුව ද එය තමන් සතු කාර්යයක් බැවින් නොපිරිහෙළා ඉටු කිරීමට සෙබළුන් සමත් වූහ.
ඉකුත් 18, 19, ද මේ ප‍්‍රදේශයේ පැවති ගැටුම්වලට කොටි ත‍්‍රස්තවාදීන් විසින් ගෑස් ප‍්‍රහාර ද එල්ල කළ බව භූමියෙන් වාර්තා විණි.
එහෙත් මේවායින් කිසිදු සොල්දාදුවෙකුට අනතුරක් සිදු නොවුණු අතර සෙබළුන් කිහිපදෙනෙකු පමණක් වමනය ක්ලාන්තය වැනි සුළු ආබාධවලට ලක් වී ඇත.
එහෙත් මේ තීරය සටහන් තබන මොහොතේ සෙබළුන්ගේ තත්ත්වය සාමාන්‍ය බව මෙහෙයුම්වල නිරත උසස් හමුදා නිලධාරියෙක් අවධාරණය කළේය.
“අපි කිලිනොච්චි සීමාවේ සිටින්නේ. කොටි ත‍්‍රස්තවාදීන් නොයෙක් උපක‍්‍රම භාවිතා කරලා අපව වළක්වන්න හදනවා. ඒත් ඒක සාර්ථක නෑ. අපි දිගින් දිගටම කොටින්ට ප‍්‍රහාර එල්ල කරනවා.
කොටි විශාල වශයෙන් මිය යන බවත්, තුවාල ලබන බවත් බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබෙනවා. ගැටුම් පවතින මේ ප‍්‍රදේශයට දිනපතා ම වර්ෂාව මහා මාර්ග සියල්ලම මඩ වගුරු වෙලා සමහර ප‍්‍රදේශවල අඩි 3 , 4 ක් උසට වතුර හැබැයි මේ කිසිවක් හමුදා ගමනට බාධාවක් නෙමෙයි.
කිලිනොච්චිය අල්ලා ගැනීමේ මෙහෙයුමේ නිරත සෙබළුන්ගේ චිත්ත ධෛර්යය ඉතා උසස් මට්ටමක තියෙනවා යැයි ඉහත නිලධාරියා මෙම තීරයට කියා සිටියේය.
මන්නාරාම බලා ගමන් ආරම්භ කර ඇති 58 වන සේනාංකය ඊයේ වන විට කිලිනොච්චි දිස්ති‍්‍රත්කයට අයත් පුංචිකුලම ගම්මානය සියතට ගැනීමට සමත්ව තිබේ.
කොටින්ගේ බාධක රැසක් මැඩලමින් ජයගනිමින් මේ ප‍්‍රදේශය අත්පත් කරගත් බව 58 වන සේනාංකාධිපති බි‍්‍රගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මෙම තීරයට පැවසීය.
පුංචිකුලම ප‍්‍රදේශයට පිවිසෙන මාර්ගය දෙපස කොටි ත‍්‍රස්තයන් විසින් විශාල යුද අගල් කපා පොළොව මට්ටමට සරිලන ලෙස බංකර් සකස් කර ආරක්ෂක වළල්ලක් යොදවා තිබුණි. කොටි ත‍්‍රස්තයන් සමඟ මුහුණට, මුහුණලා දරුණු සටනකින් පසු මේ ප‍්‍රදේශය හමුදාව සතු විය.
වන්නේරිකුලම් සිට අක්කරායන්කුලම් දෙසට වූ කිලෝමීටර් දහයක් දිග පස්කන්ද පිහිටි ප‍්‍රදේශයට ඉදිරියෙන් කිලෝමීටර් හයක් දුරට 58 වන සේනාංකයේ සෙබළුන් ස්ථානගත වී ඇත.
මේ සටනේ භූමිය අතින් වැදගත් ම ස්ථානයක් වූ පුනරින් ප‍්‍රදේශය කරා 58 වන සේනාංකයේ සෙබළුන්ට තව කිලෝමීටර් අටක පමණ දුරක් යා යුතුව තිබේ.
අතිශය වැදගත් වන මෙම භූමිය රැක ගැනීම සඳහා කොටි තමන්ගේ උපරිම බලය යොදා හමුදා ගමන වැළැක්වීමට කටයුතු කරනු ඇත.
හමුදාව මෙය අත්පත් කර ගැනීමත් සමඟ ම කොටින්ට ප‍්‍රධාන සැපයුම් මාර්ගයක් අහිමි වනු ඇත. එපමණක් නොව ඉන්දියාව හරහා මන්නාරමට ඉහළ මුහුදින් සිදු කෙරුණු කොටින්ගේ සියලුම ප‍්‍රවාහන කටයුතු නවතිනු ඇත.
පුනරින් කොටි ත‍්‍රස්තයන් විසින් ඔවුන්ගේ බර අවි ප‍්‍රහාර එල්ල කිරීම සඳහා දිගින් දිගට ම යොදා ගත් ස්ථානයකි. කොටි ත‍්‍රස්තයන්ට මෙම ස්ථානයේ සිට නිදහසේ කිළිනොච්චි මුලතිව් ඇතුළු ප‍්‍රදේශ ගණනාවකට සම්බන්ධ වීම මින් ඉදිරියට ගැටලුවක් වනු ඇත.
මේ අතර කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේම ප‍්‍රබල නගරයක් වන අනෙයිවෙට්ටාන් ගම්මානය සියතට ගැනීමට 58 වන සේනාංකයේ සෙබලුන් ඉකුත් 19 දා සමත් වූහ.
වර්ග කිලෝමීටර් අටකට ආසන්න ප‍්‍රමාණයක පිහිටි කොටින්ගේ මෙම ප‍්‍රදේශය තුළ කොටි ත‍්‍රස්තවාදීන් විසින් කි‍්‍රයාකාරකම් රැසක නියැලුණ බව දැකගත හැකිය.
ත‍්‍රස්තයන්ගේ දේශපාලන ආර්ථික සන්නද්ධ අංශ මෙහි වැඩි වශයෙන් කි‍්‍රයාත්මක වී ඇති බව එහි වූ සාක්ෂිවලින් පෙනීයයි. කොටි නායකයින් මෙහිදී නිතරම මුණ ගැසී සාකච්ඡා පවත්වා ඇති බවට තොරතුරු භූමියේ භටපිරිස් සතුව තිබේ.
ඉදිරි බැම්ම අත්පත් කර ගැනීමට සූදානම් ව
ලුතිනන් කර්නල් සුරාජ් සහ ලුතිනන් කර්නල් සංජය වනසිංහ මෙහෙයවන බල ඇණි 58 වන සේනාංකයේ ඉදිරි ගමන කරා දැවැන්ත සහයෝගයක් ලබා දේ. 6 වන ගැමුණු , 9 වන ගැමුණු, 12 ගැමුණු, 11 පාබල, 8 වන ගැමුණු, 10 වන ගජබා යන බල ඇණි මෙහෙයුම් ජයග‍්‍රහණය කිරීමෙහිලා පෙරමුණ ගෙන කි‍්‍රයා කරති.
බි‍්‍රගේඩියර් නන්දන උඩවත්ත යටතේ 59 වන සේනාංකය මගින් ආන්දම්කුලම් ප‍්‍රදේශයේ කිලෝමීටර් දෙකක් බලය අත්පත් කර ගැනීමට සමත් වී තිබේ.
මේ ප‍්‍රදේශයේ කොටින්ගේ කි‍්‍රයාකාරකම් අධ්‍යයනය කරමින් ඒවාට ප‍්‍රහාර එල්ල කරන යුද හමුදා සෙබළුන් කොටින්ගේ ඉදිරි බැම්ම අත්පත් කර ගැනීම සඳහා සූදානම් ව සිටිති.
කර්නල් රසික ප‍්‍රනාන්දු යටතේ 223 බල සේනාව විසින් වැලිඔය ගජබාපුර ගම්මානය ඇතුළු ප‍්‍රදේශය මුදා ගත්හ. ගජබා පුර ප‍්‍රදේශය අවසන් සිංහල ගම්මානය වන අතර මෙය වසර නවයකට ඉහත දී හමුදාවට අහිමි වී තිබිණි.
මෙම ගම්මානය සෑම අංශයකින් ම පොහොසත් ව පැවතිණි. ගජබාපුර මුදා ගැනීමට පෙර මෙම සේනාංක ය විසින් ම කොටි ග‍්‍රහණයේ පැවති රණබා පුර මුදා ගත්හ. කොටි ත‍්‍රස්තවාදීන්ගේ අනාරක්ෂිත ප‍්‍රදේශයේ ආසන්නයේම පිහිටි එකම සිංහල ගම්මානයද මෙය වේ.
මේ අතර කොටි ග‍්‍රහණයේ සිටි ද්‍රවිඩ වැසියන් දහතුන් දෙනෙකු ඉකුත් 23 දා කොටි ග‍්‍රහණයෙන් මිදී හමුදාව වෙත භාරවී තිබුණි.
මුලතිව් සිවිල් ප‍්‍රදේශයක සිට පැමිණ මොවුන් පුල්මුඩේදී මෙලෙස ආරක්ෂක අංශ වෙත භාර වී ඇත පිරිමි පුද්ගලයන් නව දෙනෙක් සහ කාන්තාවන් පස් දෙනෙක් ඔවුන් අතර වෙති. කොටි ග‍්‍රහණයෙන් මිදී පලා ඒම සඳහා තමන්ට උපක‍්‍රම රාශියක් යෙදීමට සිදු වූ බව ;මාවුන් ආරක්ෂක අංශ වෙත පවසා තිබේ.
වතුකරයේ කොටි කි‍්‍රයාකාරකම් සම්බන්ධයෙන් ඉකුත් දිනවල තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පොලිස් හා හමුදා බුද්ධි අංශ සමත් වූහ.
දැවැන්ත ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා සූදානම් ව සිටි කොටි ත‍්‍රස්තයන් දොලොස් දෙනෙකු ඉකුත් 24 දා උදෑසන විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනිණි.
නුවරඑළිය උඩුපුස්සැල්ලෑවේ වතු හතරකදී මොවුන් අත්අඩංගුවට ගැනුණේ ඉංග‍්‍රීසි භාෂාව උගන්වන ගුරුවරයෙකු ද සමඟිනි. දළදා මාලිගාව, දියතලාව හමුදා කඳවුර ඇතුළු තවත් ප‍්‍රදේශ කිහිපයක දැවැන්ත ත‍්‍රස්ත ප‍්‍රහාරයක් දියත් කිරීම මොවුන්ගේ අරමුණ වී තිබේ.
අවුරුදු 20ත්, 30ත් අතර වන මොවුන් වසර හතරකට පෙර කොටි සංවිධානයට සම්බන්ධ වී අවි පුහුණුව, මරාගෙන මැරෙන පුහුණුව බෝම්බ සැකසීමේ පුහුණුව ඇතුළු කි‍්‍රයාකාරකම් රැසක් සිදු කර ඇති බව මේ වන විට අනාවරණය කරගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් කොටි ත‍්‍රස්තයන්ට සිංහල භාෂාව හැසිරවීමට මනා හැකියාවක් ඇත. මොවුන්ට කතා කිරීම මෙන්ම සිංහල කියවීම, ලිවීම ද මනා ලෙස හැකි බව තහවුරු වී ඇත.
සැකකරුවන් වතුකරයේ කොටි කි‍්‍රයාකාරකම්වලට සෘජුවම සම්බන්ධ වී ඇත. වතුකරයේ තරුණයන්ට සුභසාධන වැඩසටහන් පවත්වන මුවාවෙන් කොටි සංවිධානයේ දේශන පවත්වා කොටි සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීම මොවුන් විසින් සිදු කර ඇත.
මේ පිරිස මඩකලපුවට ගොස් ඉන් අනතුරුව වන්නියට ගිය බවද මේ වන විට පොලීසිය විසින් සොයා ගෙන ඇත. සුනාමි සහන කණ්ඩායමක් ලෙසින් ද කලක් මොවුන් කි‍්‍රයා කර ඇත.
කොළඹ ආදුරුප්පු වීදියේ වෙළෙඳ සැලක සිටි කොටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන දිගින්, දිගටම ප‍්‍රශ්නකිරීමේදී මෙම කොටි කණ්ඩායම පිළිබඳ තොරතුරු සොයා ගැනීමට පොලිසිය සමත්විය.
වතුකරයට ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් එහි රැඳී සිටිමින් අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ සිදු කර මේ පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
වතුකරයේ අවි ආයුධ සඟවා ඇති ආකාරයත්, ඒවා වතුකරයෙන් පිටතට ගෙන යන ආකාරයත් ඒවායින් ප‍්‍රහාර සැලසුම් කරන ආකාරයත් කොටි ත‍්‍රස්තයන් විසින් මේ පිරිසට පුහුණු කොට ඇතැයි කියවේ.
මේ කොටි කණ්ඩායම යටතේ පුහුණුව ලැබූ තවත් පිරිසක් වතුකරයේ ඇති බවට පොලිස් බුද්ධි අංශ වෙත තොරතුරු ලැබීමත් සමඟ වතුකරයේ කොටි කි‍්‍රයාකාරම් පිළිබඳව පොලිස් බුද්ධි අංශ පරීක්ෂණ ආරම්බ කර ඇත.
ඉකුත් සතියේ මෙම තීරය සටහන් තබන මොහොතේ යුද්ධයට ඉන්දියාවේ බලපෑම් කුමන අයුරින් බලපායි දැයි ගැටලුවක් මතු වී තිබුණි. එහෙත් මානුෂික මෙහෙයුම් නතර නොකර කොටින්ගේ ග‍්‍රහණයෙන් දෙමළ සිවිල් ජනතාව මුදා ගන්නා බව රජය පසක් කළේය.
“අපි කිසිවිටෙක දෙමළ ජනයාට හිරිහැර කරන් නෑ. දෙමළ, මුස්ලිම්, බර්ගර්, කියල වෙනසක් නෑ. මේ රජයේ සාමාජිකයන් හැම ජාතියකින්ම, හැම ආගමකින්ම ඉන්නවා.
මේ රජය බලයට පත් වෙලා කොටි ග‍්‍රහණයෙන් ද්‍රවිඩ වැසියන් මුදවා ගන්නවා කියලා ජනතාවට පොරොන්දු වුණා. අද අපි ඒ පොරොන්දුව ඉටු කරමින් ඉන්නේ.
කොටි ත‍්‍රස්තයන් නොයෙක් බාධක එල්ල කරමින් ඒ ගමන වළක්වන්නට උත්සාහ කරනවා. අහිංසක දමිළ වැසියන් කොටි ග‍්‍රහණයෙන් මුදවා ගන්නා දවස වැඩි ඈතක නැතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම තීරයට අවධාරණය කළේය.
සටහන භක්ති - ධර්මප‍්‍රිය මෙන්ඩිස්ඡායාරූප- රුක්මාල් ගමගේ

නුවරඑළියෙන් අල්ලාගත් ත‍්‍රස්තයන්ගෙන් තොරතුරු රැසක්

භක්ති ධර්මප‍්‍රිය මෙන්ඩිස්
නුවරඑලිය උඩුපුස්සැල්ලාව ප‍්‍රදේශයේදී කොටි ත‍්‍රස්තවාදීන් 12 දෙනකු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ත‍්‍රස්තකි‍්‍රයා රැසක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර ගැනීමට පොලිසිය සමත් වී තිබේ.
ඉංග‍්‍රීසි ගුරුවරයෙකු සමග මෙම සැකකරුවන් දොළොස් දෙනා ඉකුත් 24 වැනිදා විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් උඩුපුස්සැල්ලාව වතු හතරකදී අත්අඩංගුවට ගෙන තිබුණි.
දළදා මාලිගාව දියතලාව හමුදා කදවුර ඇතුළු ස්ථාන කිහිපයකට මරාගෙන මැරෙන ප‍්‍රහාර ඇතුළු ප‍්‍රහාර කිහිපයක් එල්ල කිරීමට කොටි සැකකරුවන් සැලසුම් කර ඇති බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය විය.
කොළඹ ආදුරිප්පු වීදියේ වෙළඳ සැලක සේවය කරමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ද්‍රවිඩ තරුණයෙකුගෙන් ප‍්‍රශ්න කිරීමේදී මේ සැකකරුවන් පිළිබඳව තොරතුරු හෙළි වී ඇත.

මනිමේඛලා ගේ ඉලක්කය ප‍්‍රභූවරයෙක්

පුත්තලම සමූහ වාර්තාකරු ඩබ්ලිව්. සී. බී. ප‍්‍රනාන්දු
කල්පිටිය මන්ඩල්කුඩා ප‍්‍රදේශයේදී මීට සති කිහිපයකට පෙර පොලිස් අත්අඩංගුවට ගනු ලැබූූ මනිමේඛලා නමැති සැකකාර කොටි කාන්තාව එහි පැමිණ ඇත්තේ නොරොච්චෝලේ තාප බලාගාරයට පැමිණෙන ඉහළ පෙළේ ප‍්‍රභූවරයකු ඝාතනය කිරීම අරමුණෙන් බවට පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
මෙම තාප විදුලි බලාගාරයට විදුලිබල හා බලශක්ති ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතාද නිතර යන එන බැවින් ඔහු ඝාතනය කිරීම සඳහා මෙම කාන්තාව පැමිණියේද යන්න සැකකරයි.
අත්අඩංගුවට ගැනීමෙන් පසු රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප‍්‍රශ්න කිරීමේදී ඇයගෙන් තොරතුරු හෙළිකර ගැනීමට හැකි වූ බව පොලීසිය කියයි.
මන්ඩල්කුඩා ගම්මානයේදී අත්අඩංගුවට ගත් මෙම කාන්තාව මඩකළපුවේ කලුවන්කර්නිහි පදිංචිව සිටි සිවලිංගම් තිරුචෙල්වම් නමැති 28 හැවිරිදි දෙදරු මවකි.
කොටි සංවිධානයේ විවිධ කි‍්‍රයාකාරකම්වලට සම්බන්ධ වී සිට පසුව මරාගෙන මැරෙන කොටි කල්ලියට එක්ව ඇති බවත්, නොරච්චෝලේ තාප විදුලි බලාගාරයට පැමිණෙන ඉහළ පෙළේ ප‍්‍රභූවරයකු ඝාතනය කිරීම ඇයගේ ඉලක්කය වී ඇත.
නොරචෝලෙට තරමක් ආසන්නයේ පිහිටි මන්ඩල් කුඩා ගම්මානයට පැමිණ පෙදරේරුවෙකු සමඟ විවාහ වී දරු දෙදෙනෙකුද හදාගෙන මෙහි ගත කර ඇත්තේ කොටි සංවිධානය දී ඇති ඉලක්කය කි‍්‍රයාත්මක කිරීමට නියෝග ලැබෙන තුරු බවද හෙළි වෙති.

යුග පුරුෂයකුගේ පිය සටහන්

1937 ජනවාරි 25 වැනිදා කළුතර දිස්ති‍්‍රක්කයේ වාද්දුව තල්පිටියේදී උපත ලැබූ ගුරුගේ පෙ‍්‍ර්මසිරි කේමදාස පෙරේරා, ශ‍්‍රී ලාංකීය සංගීතයේ ජාත්‍යන්තර සලකුණ බවට පත්වේවි යැයි එදා කිසිවකු නොසිතන්නට ඇත.
ආචාර්ය පෙ‍්‍ර්මසිරි කේමදාසයන් සංගීතය අතැඹුලක් සේ දත්තෙකු විය. හේ සංගීතයේ නිරත සියලුම අංශවලින් සිය සලකුණ තබන්නට සමත් විය. “නිධානය”, “ගොලු හදවත” ආචාර්ය කේමදාසයන්ගේ චිත‍්‍රපට සංගීතයේ උච්චතම අවස්ථාව ලෙස සැලකිය හැක.
“සැනසුම කොතැනද” චිත‍්‍රපටයේ “සුලං කුරුල්ලෝ” ගීතයෙන් චිත‍්‍රපට ගීත කලාවේ නව මානයක් විවර කළ කේමදාසයන්, ටෙලි නාට්‍ය කලා සංගීතයේ උපරිමය “දඬුබස්නාමානය” ටෙලි නාට්‍යය තුළින් අපට දායාද කෙළේය.
“මරාසාද්” වේදිකා නාට්‍යය වෙනුවෙන් නිර්මිත සංගීතය, වේදිකා නාට්‍ය කලා සංගීතයේ සදානුස්මරණීය අවස්ථාවකි.
“මානසවිල”, “පිරිනිවන් මංගල්‍යය” අපේ සංගීතය ජාත්‍යන්තරයට රැගෙන ගිය අවස්ථා විය.
ජනාධිපති සම්මාන, සරසවි සම්මාන, ඕ. සී. අයි. සී. සම්මාන ඇතුළු පැවැති සියලුම සම්මාන උලෙළහි දී සම්මානයට පාත‍්‍ර වූ කේමදාසයන්ව, රුහුණු විශ්වවිද්‍යාලය ආචාර්ය උපාධියකින් ද පුදනු ලැබුවේය.
තමා අනුදත් ශාස්ත‍්‍රය ඉදිරි පරපුරට ලබා දීමේ මහඟු පින්කමට දායකව සිටි ආචාර්ය පෙ‍්‍ර්මසිරි කේමදාසයන් රෝගීව දැඩි සත්කාර ඒකකයේ සිටියදී පවා සොයා බලා ඇත්තේ ඔහුගෙන් සංගීත ඥානය ලබා ගැනීමට එන ඉදිරි පරපුර පිළිබඳවය.
දේශීය සිනමාවේ අපට හමුවන පළමු සිනමාරූපී සංගීතවේදියා කේමදාසයන් ය. මෙරට දෘෂ්‍ය සංගීතයේ ( ඍඪඵභචත ර්භඵඪජ) පියා ඔහු ය. කේමදාසයන්ගේ සංගීතය චිත‍්‍රපටයක චරිතයක් බඳු ය.
ඔහුගේ නිසර්ග සිද්ධ ප‍්‍රතිභානයට ඕනෑම පුද්ගලයකු පවසන දෙය මනාව වැටහේ. ඒ ඔහු පෙර ආත්මයෙන් ගෙන ආ දෙයකි.
අප රටට, රටේ ජනතාවට මහාර්ඝ වස්තුවක් බඳු වූ මේ මහා කලාකරුවා අද අපට අහිමි වී ඇත. ඔහු අප අතැර ගොස් අවසන් ය. ඔහුගේ අඩුව, හිඩැස යළි කිසිවකුට, කිසි දවසක පුරවාලිය හැකිද?
හෙළ සංගීතයේ ජාත්‍යන්තර සලකුණ වූ ආචාර්ය පෙ‍්‍ර්මසිරි කේමදාසයනි, ඔබගේ අභාවය වෙනුවෙන් “දිනමිණ” සාතිශය සංවේගය මෙසේ පළකරමු.
- සංස්කාරක
ශ‍්‍රී ලංකාවෙන් ලෝකයට දුන් විශිෂ්ට දායාදය
- මහින්ද රාජපක්ෂ - ශ‍්‍රී ලංකා ජනාධිපති
ශ‍්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම ගාන්ධර්වයකු ලෙස අප ගෞරවයට පාත‍්‍ර වූ ආචාර්ය පෙ‍්‍ර්මසිරි කේමදාස ශූරීන්ගේ අභාවය පිළිබඳ පුවත දැනගැනීමෙන් මම බලවත් සේ සංවේගයට පත් වූයෙමි.
වාද්දුව තල්පිටිය ප‍්‍රදේශයේ දී උපත ලබා පානදුර ශ‍්‍රී සුමංගල විද්‍යාලයෙන් සහ පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ පෙ‍්‍ර්මසිරි කේමදාසයන් මරදානේ සංගීත මංජරියෙන් ඇරැඹූ නිර්මාණාත්මක සංගීත චාරිකාව කූඨ ප‍්‍රාප්තියට පත් කෙළේ ලොව විශිෂ්ට සංගීතඥ නාමාවලියට තම නාමය ඇතුළත්කර ගනිමිනි. ගුවන් විදුලි ගීතය, වේදිකා නාට්‍ය, සිනමාව සේම ටෙලි නාට්‍යය ද ඔහුගේ මියුරුසරින් පෝෂණය විය.
“නිධානය” , “බඹරු ඇවිත්”, “ගොළු හදවත”, තුන්වෙනි යාමය ආදී සිනමා නිර්මාණයන්ට ඔහු සැපයූ සංගීතය සිනමාපටය පමණක් නොව අප ශ‍්‍රී ලංකාද්වීපය ද ලෝක පූජිත ස්ථානයක රැඳවූයේ ය.
බැරි සිල්, කැලෑ මල්, සිංහල අවුරුද්ද, මහ මුහුද, පිරිනිවන් මංගල්‍යය ආදී ගීත නාටක, ඔපෙරා, කැන්ටාටා සංගීත සංධ්වනී ආදියෙන් ඔහු සංගීත ක්ෂේත‍්‍රය පෝෂණය කෙළේය.
ආචාර්ය කේමදාසයන් ශ‍්‍රී ලංකාවෙන් ලෝකයට දියහැකි විශිෂ්ට දායදායක් විය. එසේම ලෝකයේ විශිෂ්ට සංගීත සම්ප‍්‍රදායයන් ශ‍්‍රී ලංකාවට දායාද කිරීමේ විශිෂ්ට මෙහෙවර ද කෙළේ ආචාර්ය පෙ‍්‍ර්මසිිරි කේමදාසයන්ය.
ආචාර්ය පෙ‍්‍ර්මසිරි කේමදාසයන්ගේ අදීන ගුණාංගයන්ට මම මහත් සේ ගෞරව කරමි. ඔහුගේ සංගීත ඥානය සේම දේශපාලන විඥාණය ද ජනතා හිතසුව පිණිස ම විය.
පෙ‍්‍ර්මසිරි කේමදාසයන්ගේ දැවැන්ත මෙහෙවර කිසි දිනෙක කාලයේ වැලිතලාවට වැසී යා නොදී තව තවත් ඔපමට්ටම් කර සිංහල සංගීතය ප‍්‍රබල ස්ථානයක ඔසවා තැබීමට සියලු කලා ලැදි සංගීතඥයන්ට මෙන්ම සංගීත ලෝලීන්ටත් පැවරෙන භාරදූර වගකීමක් සේම කේමදාසයන්ට කරන ගෞරව පූර්ව කෘතවේදීත්වයක් ලෙසත් සලකමි.
මුළුමහත් ශ‍්‍රී ලාංකික සංගීත ක්ෂේත‍්‍රයට සැනසුම ලබාදුන් පෙ‍්‍ර්මසිරි කේමදාසයන්ට නිවනින් සැනසුම අත්වේවා ! යි අපි ප‍්‍රාර්ථනා කරමු.
එතුමාගේ වියෝවෙන් ශෝකයට පත් ආදරණීය දරු දෙපළ ඇතුළු පවුලේ සියලු ඥාතී මිත‍්‍රාදීන් වෙත මාගේ සාතිශය සංවේගය මෙයින් ප‍්‍රකාශ කරමි.
සංගීත ක්ෂේත‍්‍රයේ අග‍්‍රගණ්‍ය සංගීතවේදියා
- අනුර ප‍්‍රියදර්ශන යාපා - ජනමාධ්‍ය හා තොරතුරු ඇමැති
සංගීතය පිළිබඳ සහජ හැකියාවක් තිබූ විශිෂ්ට ගනයේ සංගීතඥයකු වූ පෙ‍්‍ර්මසිරි කේමදාසයන්ගේ අභාවය රටටම සිදුවූ බලවත් පාඩුවක්.
ටෙලි නාට්‍ය මෙන්ම සිනමා කෘතිවලට ද සංගීතය සැපයීමෙන් අමිල මෙහෙවරක් කළ විශාරදයකු ලෙස කේමදාස මහතා සැලකිය හැකියි.
“ඔපෙරා” වැනි නව සංගීත නිර්මාණ කරමින් සංගීත ක්ෂේත‍්‍රයේ විශාල හැකියාවක් තිබූ සංගීත ක්ෂේත‍්‍රයට බිහිවූ යුග පුරුෂයෙක් බව කිව යුතුයි.
ඒ මහතාගේ තිබූ සුවිශේෂී හැකියාව හේතුවෙන් දෙස් විදෙස් ජනාදරයට පාත‍්‍ර වූ බව ද පැවසූ ඒ මහතා, සංගීත ක්ෂේත‍්‍රයේ මෑත බිහිවූ අග‍්‍රගණ්‍යම සංගීතවේදියකු බව ද නොබියව පැවසිය හැකියි.
ඔහුගේ වියෝව රටට මහත් පාඩුවක්
- ලක්ෂ්මන් යාපා අබේවර්ධන - ජනමාධ්‍ය ඇමැති
තම සංගීත ඥානය ඉදිරි පරපුරට ඉතිරි කැර රටට දැයට අමිල මෙහෙවරක් ඉටු කළ විශාරද පෙ‍්‍ර්මසිරි කේමදාස මහතාගේ හදිසි අභාවය මුළු රටටම වූ අතිමහත් පාඩුවක්.
ගෝලයන් රැසක් ක්ෂේත‍්‍රයට දයාද කළ කේමදාසයන්, නව නිර්මාණ අත්හදා බලමින් ඉදිරි පරපුරට දැනුම් සම්භාරයක් ලබා දුන් ගුරු පියෙකු ලෙස හඳින්විය හැක.
සංගීත ක්ෂේත‍්‍රයෙන් මංපෙතට ගිය ඒ මහතා මෙරට පමනක් නොව විදේශයන්හිද ඉතා කීර්තියට පාතු වූ අයෙක් පමණක් නොව ලෝකයා ඉදිරියේ ශී‍්‍ර ලාංකීය නාමය බැබළු පුද්ගලයෙකි.
ඔහුගේ හදිසි අභාවය පිරිමැසිය නොහැකි පාඩුවක්ව. රටක් ලෙස ගත් විට එය අති විශාල පාඩුවක්.
සංගීතයට නව මුහුණුවරක් ලබා දුන්නා
ගයන්ත කරුණාතිලක - එජාප මාධ්‍ය ප‍්‍රකාශක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර
චිත‍්‍රපට, ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය සඳහා සංගීතය සපයමින් සිංහල සංගීත වංශ කථාව නව මඟකට හැරවීමට පෙ‍්‍ර්මසිරි කේමදාසයන් කි‍්‍රයා කළා.
තුරුණු විය එළැඹෙත්ම උසස් පෙළ විභාගයට පෙනී සිටිමින් ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවට සම්බන්ධ වූ ඒ මහතා එමඟින් සංගීත ජීවිතය ආරම්භ කළා.
දේශීය සංගීතයට, කලාවට උපන් හපන්කම් තිබූ කේමදාසයන් දේශීය සංගීතය නව මුහුණුවරකට ගෙන ආවා.
දෙස් විදෙස් හි කේමදාස නාමය ප‍්‍රචලිත වූයේ ඒ මහතා තුළ තිබූ සහජ හැකියාවෙන් මිස අන් කිසිදු බලපෑමකින් නොවේ.
සංගීතය නව මුහුණුවරට ගෙන යමින් මෙරට තරුණ තරුණියන් මනා රසඥතාවයක් ලබා දීමට ඒ මහතා කටයුතු කළ බවද මේ අවස්ථාවේ සිහි කළ යුතුය.
කේමදාසයන් සැම විටම ජනතා සම්මානය අගය කළා
විමල් වීරවංශ (පා. ම.) - නායක, ජාතික නිදහස් පෙරමුණ

දේශයේ ගාන්ධර්වයා ලෙස විරුදාවලිය ලත් ප‍්‍රවීණ සංගීතඥ පෙ‍්‍ර්මසිරි කේමදාස සූරීන්ගේ අභාවය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණ ලෙස අපගේ බලවත් ශෝකය පළකර සිටින්නෙමු.
කේමදාසයන් සම්මානනීය සංගීතඥයකු ලෙස දෙස් විදෙස් ගෞරවයට පාත‍්‍ර වූ අතර ජනාධිපති සම්මාන, සරසවි සම්මාන හා ඕ.සී.අයි.සී සම්මානවලින් පිදුම් ලැබූ වාර ගණන බොහෝ ය.
එහෙත් ඔහු සැමවිටම අගය කළේ ජනතා සම්මානයයි. මනුෂ්‍යත්වයෙන් හා සමානත්වයෙන් සපිරි සමාජයක් ගොඩනැඟීම සඳහා ස්වකීය ආත්ම ප‍්‍රකාශනය වූ සංගීතය අවියක් කර ගත් ප‍්‍රථම ලාංකේය සංගීතඥයා ලෙස අප ඔහු හඳුනා ගන්නේ ඒ නිසායි.
ශී‍්‍ර ලංකාව පුරා විසිරී සිටි දක්‍ෂතා සපිරි දූ දරුවන් රැසක් ඔහු විසින් ශී‍්‍ර ලාංකේය සංගීත ක්‍ෂේත‍්‍රයට දායාද කළා.
ඔහුගේ අඩුව පිරවිය නොහැක
-මහින්ද යාපා අබේවර්ධන - සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ ඇමැති
මෑත කාලයේ සංගීත ක්ෂේත‍්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කළ විශාරදයෙකු ලෙස කේමදාසයන් හැදින්විය හැකියි.
‘මානස විල’ වැනි ඒ කේමදාසයන් අතින් බිහිවූ නිර්මාණ, අති විශිෂ්ඨ නිර්මාණ ලෙස සැලකිය හැකියි.
ජාතික වස්තුවක් ලෙස හැදින්විය හැකි කේමදාසයන් සංගීත ක්ෂේත‍්‍රය විවිධ පැතිකඩ ඔස්සේ ඉදිරියට ගෙන ගියා සිය ජීවිතයම සංගීතය වෙනුවෙන් කැපකළ විශිෂ්ටතම සංගීතඥයකු ලෙස හැඳින්විය හැකියි.
ඔහුගේ අඩුව අදට වඩා දැනෙන්නේ මතුවටයි. ඔහු සැබවින්ම අපේ සංගීත කලාව ජාත්‍යන්තරයට ගෙන ගිය සංගීත වේදියායි. එසේම ඔහු පොදු ජනතාවගේ හදවත හඳුනාගෙන නිර්මාණ කළ සංගීත වේදියෙක්.
තනතුරු තාන්න මාන්න වෙනුවෙන් සිය කලාව පාවිච්චි නොකළ මේ ප‍්‍රවීණ කලාකරුවා සිය පිට කොන්ද කෙළින් තබා ගෙන කටයුතු කළ අදීන පුද්ගලයෙක්.
මෙවන් කලාකරුවන් රටක පහළවන්නේ කලාතුරකින්. ඔහුගේ අඩුව කිසිදාක පිරවිය නොහැකි හිඩැසක් වේවි.
ඔහුගේ නිර්මාණ මතු පරපුරට පරීශීලනය කරන්න ඉඩකඩ සැලැස්වීම අපි ඔහුට කරන ලොකුම උපහාරයයි.
ඔහු අපට ජාතික වස්තුවක්
- විජේරත්න පතිරාජ - සභාපති -ජාතික නාට්‍ය අනුමණ්ඩලය
සංගීතවේදී පෙ‍්‍ර්මසිරි කේමදාසයන්ගේ අභාවය අප හද සසල කළ පුවතක් වූවා. එය රටක් වශයෙන් අපට දැරීමට නොහැකි පාඩුවක්.
අප දේශීය සංගීතය එකතැන පල්වීමට ඉඩ නොදී එය නව මාවත් ඔස්සේ ගෙන යමින් හෙළ සංගීත ලෝකයට, එසේත් නැතහොත් ජාත්‍යන්තරයට අරගෙන ගිය පුද්ගලයා ආචාර්ය පෙ‍්‍ර්මසිරි කේමදාසයන්.
ඔහු සැබැවින් ම අපට, අප රටට ජාතික වස්තුවක්. කේමදාසයන් අභීත පුද්ගලයෙක්. කිසිදා වාසියට, මුදලට තම කලාව පාවා නොදුන් අදීන පුද්ගලයෙක්.
මෙවැනි පුද්ගලයන් රටකට බිහිවන්නේ ද කලාතුරකින්. ඔහුගේ අභාවය පිළිබඳව ජාතික නාට්‍ය අනු මණ්ඩලයේ ශෝකය මෙසේ ප‍්‍රකාශ කර සිටිනවා.
ඔහු උදාර මිනිසෙක්
- පැල්පොල විපස්සී හිමි

අභාවප‍්‍රාප්ත ප‍්‍රවීන සංගීත වේදී ආචාර්ය පෙ‍්‍ර්මසරිර කේමදාස මහතා සිංහල සිනමාවට හා සංගීත ක්ෂෙත‍්‍රයට අමිල සේවාවක් ඉටු කළ උදාර මිනිසෙකි.
සිය දක්ෂ තාවයන්ගෙන් සංගීත ක්ෂේත‍්‍රයට නව නිර්මාණ බිහි කරමින් පෙ‍්‍ර්ක්ෂක ජනතාවට සංගීතයේ මිහිරියාව ලබා දුන් ඒ මහතා ගායක ගායිකාවන්ට ගුරුවරයෙක්, හිතවතෙක් ලෙස කටයුතු කළ අයෙකි.
ජනාධිපති සරසවි සම්මාන ප‍්‍රමුඛව සම්මාන රැසකින් පිදුම්ලත් ඔහු ඔපෙරා සංගීතයේ නිර්මාතෘවරයා වෙමින් දෙස් විදෙස්හි කීර්තියක් අත්කර ගත් අයෙකි.
පෙ‍්‍ර්මසිරි කේමදාසයන් දැයක් එකලු කළා
දිනේෂ් ගුණවර්ධන - නාගරික සංවර්ධන හා පූජාභූමි සංවර්ධන ඇමැති
දේශයක අභිමානය දේශදේශාන්තරවල සනිටුහන් කරමින්, ජාතියක සිත් සතන් පෝෂණය කළ හෙළයේ මහා කලාකරුවකුගේ නික්මයාම පිළිබඳ මම මහත් සංවේගයට පත් වුනෙමි.
හෙළ කලා කෙත අස්වද්දන්නට අනුපමේය මෙහෙවරක් කළ ආචාර්ය පෙ‍්‍ර්මසිරි කේමදාස ශූරීන් අප අතරින් සදහටම සමුගන්නේ ජාතියකට ඔවුන් වැන්නවූන් වඩ වඩාත් ඇවැසි මොහොතකය.
සිය නිර්මාණ තුළ දේශීයත්වය සුරක්ෂිත කරමින් විශ්ව සංගීතය හා බද්ධව ඔහු කළ පර්යේෂණ හා නිර්මාණ බොහෝය.
එමෙන්ම සිය දැනුම් සම්භාරය මතු පරපුරට දායාද කිරීමට ඔහු සුවිශේෂී කි‍්‍රයාදාමයන් වල නිරත විය.
මීට දෙවසරකට පමණ පෙර ගිලන්ව පේරාදෙණිය රෝහලේ සිටියදී ඔහුගේ සුවදුක් බැලීමට ගිය අවස්ථාවේ කී වදනක් මට දැනුදු සිහිපත්වේ.
“අප වැනි කලාකරුවන් ඇගැයීම නොවෙයි වටිනාකම, අප කල සාර්ථක දෑ ඉදිරියට ගෙන යාමට සලස්වා මතු පරපුරට දායාද කිරීමයි වටිනාකම”
සංගීත සංයෝජනයෙන් හෙළ සිනමාව දිග්විජය කල ඔබ වේදිකාව, පුංචි තිරය ඇතුළු ජන සිත් පහන් කල සංස්කෘතික අංගයන්ට දායකත්වය දී ඒ සැම අර්ථවත් කෙළේය.
රන් පියුම ගිලිහුණා
අදහස - අමර පී. වීරසිංහ


නිලබල හමුවෙ කිසිවිට නොනැමුව කොන්ද
සර සප්තකයෙ සීමා මායිම් බින්ද
ලොවටම බෙදා දුන් සත්සර මක රන්ද
ඒ රන් පියුම ගිලිහිණි දන මන බැන්ද


කතාබහ - නිරූෂි විමලවීර, සුභාෂිනි සේනානායක, නදීකා දිල්හානි ඩයස්

ශ‍්‍රී ලාංකීය සංගීතයේ යුගයක අවසානය - ආචාර්ය අජන්තා රණසිංහ

ඒ නෙවිල් ජයවීර නම් කෘතහස්ත සිවිල් නිලධාරි මහතා ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ජනරාල්ව සිටි අවදියයි.
එපමණක් නොව ඒ මහතා එවක රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ පදවිය ද දැරීය. මේ දිනවල ගුවන් විදුලියේ වාදක මණ්ඩලයේ වැඩවර්ජනයක් පැවැත්විණ.
ඒ සමගම කිසියම් ගුවන්විදුලි සංවත්සර උලෙළක් හෝ එබඳු අන් කිසියම් උත්සවයකට ගුවන් විදුලිය සුදානමින් දින නියම කොට ගෙන තිබිණ.
ආචාර්ය පෙ‍්‍ර්මසිරි කේමදාසයන්ගේ සංගීතාංගයක් එම ගුවන් විදුලි උලෙළ සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ. මේ සංගීතාංගයේ වාදනය කරනුයේ ගුවන්විදුලි වාදක මණ්ඩලයයි.
උලෙළට දින සමීප වුව ද වාදක මණ්ඩලයේ වැඩවර්ජනය නතර වී නොතිබිණ එබැවින් උලෙළට ඉදිරිපත් කිරීමට නියමිතව පැවැති කේමදාසයන්ගේ සංගීතාංගය ද ඉදිරිපත් කර නොහෙන තත්ත්වයක් උද්ගතව පැවතිණ.
නෙවිල් ජයවීර මහතා ආචාර්ය කේමදාසයන් තමා වෙත කැඳවා වැඩවර්ජනයේ නියැලී වාදන ශිල්පීන් මේ සංගීතාංගයට සහභාගී කරවා ගැන්මට තමන්ට කිසිසේත් අවසර දිය නොහැකි බව පවසා ඔවුන් වෙනුවට වෙන වාදන ශිල්පීන් යොදවා සංගීතාංගය ඉදිරිපත් කළ නොහැකි දැයි යන ප‍්‍රශ්නය මතු කෙළේය.
‘මට පුළුවන්. ඒත් මම ඒක කරන්න කැමති නෑ. මේ අය මුලඉඳන් ම පුහුණුවීම්වලට ඇවිත් මට උදව් කරපු අය.’
‘එහෙනම් අපට මේ සංගීතාංගය නතර කරන්න වෙන්නේ.’ ජයවීර මහතා ස්ථිර තීන්දු මුඛයෙන් පැවසීය.
‘කමක් නැහැ....’ කේමදාසයෝ සුවිශේෂ අවස්ථාව අතැර යන්නට ගියහ.
එහෙත් ජයවීර මහතා මඳක් තැන් ගිය ඔහුට අත්පුඩි ගසා කතා කෙළේය. ජයවීර මහතා මේ ස්ථිරසාර පුරුෂයාගේ සිරුර දෙස තීක්ෂණව මොහොතක් විමසුම් නෙතින් බලා සිටියේ ය.
‘හොඳයි මිස්ටර් කේමදාස. ඒ අය අරන් වැඩේ කරන්න.
එදින මේ සංගීතාංගය ඉදිරිපත් කිරීමට වාදන ශිල්පීන් පැමිණියේ වාද්‍ය භාණ්ඩ උඩ දමමින් අල්ලමිනි.
ඒ ආචාර්ය පෙ‍්‍ර්මසිරි කේමදාසයන්ගේ පිළිවෙතයි. ඔහුගේ ජීවිතය මබඳු සිද්ධීන්වලින් ගහණ වී ඇත.
ඔහු ධනවාදී සම්ප‍්‍රදායයන් තුළ එහෙත් බෞද්ධ සංස්කෘතික උරුම සහිත පරිසරයක ඉපිද හැදීවැඩුණු පුද්ගලයෙකු විය.
මේ නිසාම වාමාංශික ප‍්‍රගතිශිලී චින්තනයෙන් මෙහෙයවනු ලැබූ ඔහුගේ ගතිලක්ෂණ, සමාජ සම්ප‍්‍රදාය හා ගැටෙමින් බිහිකරන ලද්දේ අපූර්ව විරල මිනිසෙකි.
ඔහුගේ ගමන හුදකලා ගමනක් විය. ඔහු වටා පිරිස් සිටිය ද ඔවුන් අතර ඔහු හඳුනා ගැන්මට සමත් වූවෙක් නොවුණු බැවින් ඔහු හුදකලා විය. ඒ නිසාම නිදහස් සිතුවිල්ලෙන් නිගමන ගැනීමට ඔහු සමත් විය.
ඔහුට අවස්ථාව උදාවිය. ඔහුවෙත පැවැතියේ පාසලින් උගත් දේ නොව දුක්විඳින සමාජයේ චර්යාව තුළ ග‍්‍රහණය කරගත් අත්දැකීම් පමණි.
ඔහු මුවින් නොබා සමාජය කෙරෙහි පතළ දයාවෙන් ඇති වුණු වේදනා සංකා මේ නිසාම ඔහුගේ සංගීත නිර්මාණ බහුතරයක් විනිවිදව දැකගැන්ම අසීරු නොවේ.
කේමදාසයන් විසින් නිර්මිත ප‍්‍රථම සංගීත සංධවනි වන ‘සිංහල අවුරුද්ද’, ‘මුහුදු නියග සහ වැස්ස’ අභ්‍යන්තරයේ ප‍්‍රබුද්ධ සංගිත ශ‍්‍රාවකයාට ඉවවැටෙන ඔහු නියෝජනය කරන දුගී ගැමි මානව පරිසරයක් අපේ සංස්කෘතික උරුමයත්ය. එසේ වීමට කේමදාසයන්ගේ පංති උත්පත්තිය ඔහුට අනියම් අයුරකින් බලපාන්නට ඇත.
දරුවන් එකොළොස්දෙනෙකුගෙන් යුත් පීඩිත පංති පවුලක ඔහු එකොළොස්වැන්නා විය.
එබැවින් ම ඔහුට පවුලෙන් ලැබුණු දෙයට වඩා නොලැබුණු දේ වැඩි විය. ඔහුට ක‍්‍රමානුකූල පොතෙන් උගැන්මක් නොවීය. කිරි එළදෙන් පට්ටියක් ගෙදර සිටි බැවින් ඒ කිරි විකුණා ඔවුහු යැපුණාහ.
මේ එළදෙනුන් කිරිවැරී වියපත් වූ විට කේමදාස මසකට වතාවක් දෙවතාවක් සිය ගම වන වාද්දුවට ගොස් උනට තණකොළ පුන්නක්කු මාසයට ම සරිලන සේ ලබාදීමට අසල්වැසියන්ට මුදල් හදල් දී පවරයි.
ඔහුගේ සංගීත චාරිකාවේ මුල් අවදියට සෙවණ දෙනුයේ කඨෝර පරිසරයෙන් යුත් මෝටර් රථ, වාහන, දුම්රිය එංජින් ශබ්ද හෝන් නලා ශබ්ද වලින් දූෂිත වුණු මරදාන දුම්රියපොළ අබියස මහල් ගොඩනැගිල්ලක දෙවැනි මහල් කුටියයි.
‘සංගීත මංජරිය’ නමින් හඳුන්වනු ලැබූ මේ ගොරහැඩි පරිසරයේ පිහිටි මේ කුටියේ එවක ජෝ අබේවික‍්‍රම, විජය කුමාරණතුංග, ජාත්‍යන්තර කීර්තිධර වයලීන වාදන ශිල්පී ඩග්ලස් පර්ඩිනන්ස්, ධර්මදාස වල්පොල වැනි කලා ශිල්පී ශිල්පිණියෝ ගායන වාදන පුහුණු වීම කළාහු ය.
වරක් අප කේමදාසයන් සමඟ ඉන්දියාවට ගියේ ‘වසන්තත්තිල් ඔරු වානවිල්’ නැමැති ඉන්දීය දමිල චිත‍්‍රපටියේ සංගීත නිර්මාණය ඔහුට පැවරුණ අවස්ථාවේ එම කාර්යයෙහි නිරීක්ෂකයෙකු වශයෙනි.
ගීත පටිගත කිරීමට ශබ්දාගාරයට ගිය අවස්ථාවේ හැත්තෑ පහක් පමණ වූ වාද්‍ය ශිල්පීන් ;ක්මදාසයන්ට මේ සඳහා කවර හෝ උදව්වක් නොකරනු පෙනිණ.
‘පුංචි තිතක් වැනි මේ ලංකාවෙන් ආපු මේ පොඩියන්ගේ මෙහෙයවීමට අපි මොකට වාදනය කරවා’දැයි සංගීත ශාස්ත‍්‍රයෙහි කෙළ පැමිණි ඔවුන් සියල්ලන් ම සිතන්නට ඇත.
එහෙත් එම වාදක මණ්ඩලයේ සිටි ඇන්ග්ලෝ ඉන්ඩියන් ජාතික ගිටාර් වාදකයෙක් කෙසේ හෝ කාර්යය සඳහා ඔවුන් පොළඹවා ගැන්මෙන් පසු ඔවුහු ගීත පටිගත කිරීමට සහය දුන්හ.
ඉනික්බිතිව සිදුවූයේ මහත් ඓශ්චර්යයකි. වාදක මණ්ඩල සාමාජිකයෝ සියලු දෙන පැමිණ කේමදාසයන් වටා රොක්ව ඔහුගේ දෑත් සිප වැළඳ ඔහුගේ සාර්ථකත්වයට සතුට පළ කළහ. ඒ ඉන්දීය සංගීතඥයින් ශාස්ත‍්‍රය උගත්තාට පමණක් සලකන බැවිනි.
විශ්ව සංගීත රිද්ම සහ ශිල්ප ක‍්‍රම ඇසුරින් මතුවන සංගීත නාද රටා ග‍්‍රහණය කරගැන්මටත් ඒවා අප හෘර්ද ස්පන්දනයට ගෝචර වන ආකාරයෙන් ප‍්‍රති නිර්මාණය කිරීමටත් ඔහු හුදකලාවම දැරූ අපමණ ප‍්‍රයත්නයෙහි ප‍්‍රතිඵලය වනුයේ ඔහුගේ බොහෝ සර්ව කාලීන සංගීත නිර්මාණයෝ ය.
කේමදාසයන් තුළ අතිශයින් සංවේදී අහිංසක මිනිසෙකු මෙන් ම කවර රජයකට හො කවර අසාධාරණ බල පරාක‍්‍රමයකට හෝ කඩේ නොයන අපූර්ව ඍජු හිතුවක්කාරයෙකු ද ජීවත්විණි. එය සනාථ කිරීම සඳහා ඔහුගේ ජීවන චාරිකාවේ හමුවන සිදුවීම් බහුලය.
අති ප‍්‍රවේගාත්මක ප‍්‍රකාශන වශයෙන් ඔහු නිර්මාණය තුළ ‘මානස විල’ වැනි අප‍්‍රමාණ සංගීත නිර්මාණ සමාජ අසාධාරණය පිළිබිඹු කොට නිර්මිත සාර්ථක සංගීත කෘති වශයෙන් බොහෝ දෙනා හැඳින්වූහ.
පෙ‍්‍ර්මගීත නිර්මාණයේ දී ඔහු දැක් වූ භද්‍ර යෞවන හැඟීම් පියාසර කරන නිර්මාණාත්මක ගුණය හා ප‍්‍රතිභාවට සාධක වශයෙන් සුළං කුරුල්ලෝ, ගීතයෙන් අරඹා විකසිත පෙම් පොකුරු පියුම්, මේ අයුරින් අපි සංසාරේ, සඳ හොරෙන් හොරෙන් බලා, ආදරයේ රන් විමනේ, ලාහිරු සහසක්, ඔබ ළඟ ඉන්න මගේ වාසනා, සීත රෑයාමේ වැනි සිය ගණනක පෙ‍්‍ර්ම ගීතාවලියක් නිදසුන් වශයෙන් දැක්විය හැකිය.
අප ඔහු යුග පුරුෂයෙකු වශයෙන් හැඳින්වීමට පෙළඹෙනුයේ එය ඔහු විසින් ම සනාථකර ඇති බැවිනුත් ආචාර්ය කේමදාසයන් හැඳින්වීමට ඊට වැඩි තක්සේරුවෙන් අන්මගක් නොමැති නිසාත් ය.
සමාජ අසාධාරණයට එරෙහි ව ස්වකීය විරෝධතා ආකල්ප ජනතාවට හඳුන්වාදීමට ඔහු සටන් පාඨ රැගත් ගීත නිර්මාණය නොකළේ ය.
එහෙත් ඒ අපේක්ෂාවන් ජනතා හදවත මුදුන්පත් කරදීමට සංගීතය චක‍්‍රායුදයක ආකාරයෙන් උචිත අවස්ථාවන්හි ඔහු මැනැවින් මෙහෙයවීමට පසුබට නොවීය.
ඉන් ජනතාව තුළ කෝපාග්නි දැල්වුනා නොව තමන් අත්විදින අසරණත්වය ඔවුන් තත්වාවබෝධයෙන් පසක් කර ගත්තා පමණි. ඒ අවබෝධය තුළින් සංගීත ශ‍්‍රාවකයෝ ආචාර්ය කේමදාසනම් මෙම සංගීතවේදියා උච්චස්ථානයක ආසනාරූඩ කළහ.
කේමදාසයන්ගේ ප‍්‍රථම චිත‍්‍රපටය වන ‘සැනසුම කොතැන ද’ හි ගීත සහ සංගීත නිර්මාණයෙන්, ඔහු සම්ප‍්‍රදායානුකූල සාවද්‍ය මගින් පිටපැන ශ‍්‍රාවකයින්ගේ හද ගැහෙනා රිද්මය මෙතෙක් ආයාචනාවෙන් අපේක්ෂා කළ සංගීත කෘතිය දොරට වැඩමවීය.
එමගින් ශ‍්‍රී ලාංකීය චිත‍්‍රපටියේ අනන්‍යතාව සටහන් කෙරිණ. නිර්ව්‍යාජ සිංහල ගීතයේත් විශ්ව සිනමාවේ අපි එතෙක් අත්විදි සිනමාත්මික සංගීතයේත් ගතිලක්ෂණ ද අපි ඉන් අත් වින්දෙමු.
එවක එය යුගයේ අවශ්‍යතාවයක් ව පැවතිණ. කාලය සමඟ ඉදිරියට යමින් කාලයට තමා අභිබවා යාමට අවකාශ නොදී එතැන් පටන් ආචාර්ය කේමදාසයෝ දහසක් අවහිරතා කටුකොහොල් බාධක පවුරු පදනම් තුගු ගිරි සිඛර තරණය කොට ඒ අතරින් ස්වකීය සංගීත චාරිකාව අඛණ්ඩව සංගීත ශ‍්‍රාවකයා වෙනුවෙන් මෙහෙය වූහ.
කේමදාසයන්ගේ සංගීත නිර්මාණ කෘතිය ජනතාවගේ දෘෂ්ටිය විය. ඒ දෘෂ්ටිය හඳුනා ගැන්මේ විචාරාක්‍ෂිය ඔහුට ලැබුණේ් කොතැනින්දැයි කෙසේදැයි යන්න නිවැරදිව දන්නා කිසිවෙකු මෙතෙක් අපට නම් හමුවී නැත.
එහෙත් ඔහු සංගීතවේදියෙකු වශයෙන් තම කාර්යයභාරය දශකයෙන් දශකයට යුගයෙන් යුගයට වෙනස් වන සමාජ පරිසරයට අනුකූලව ඉටු කළේය. දුක්විදිනා ජනතාව දැක කළකිරී පැත්තකට වී ඔහු සොවින් තැවී ඔහේ කරබාගෙන උන්නානම් නොවේ.
කලාශිල්පියෙකු විසින් තමා ජනිත කළ මාතෘභූමියේ නාමයෙන් ජාතියේත් දේශයේත් උන්නතිය උදෙසා කළ යුතු වූ කිසියම් විෂයය මෙහෙවරක් ඇද්ද, දේශපාලන බැමි පුපුරවා හැර ඔහු ස්වාත්මයෙන් ම ඒ කාර්යයයෙහි නිවැරැදිව නිරත විය.
සංගීත රස විචාරයට නිවැරැදිව අවතීර්ණ වූවෝ එදා අපට නොසිටියහ. දැනුදු ඇත්තේ නැත. එබැවින් තම කෘතිය ස්වයං විචාරයට භාජනය කොට නිගමනයට එළඹීමට සංගීත කේෂත‍්‍රයෙහි නිර්මාන කාර්යයෙහි නිරත වන්නන්ට සිදුවේ.
මෙය දැලිපිහියෙන් කිරිකන්නා වැනි අසීරු කටයුත්තකි. නිවැරැදිව කරන්නේ නම් සැබවින් ම ඒ ව්‍යායාමය ඉතා අසීරුය.
මක් නිසාද යත් සංගීත කලාශිල්පියාගේ නිගමනය, ඔහුගේ සංගීත ප‍්‍රකාශනය පරම්පරාවකට බලපා එමගින් ඒ පරපුර ‘මේ නම් සත්‍ය මාර්ගය යැ’යි එම නිගමන පිළිගන්නා බැවිනි.
ඒ සත්‍ය මාර්ගය අසත්‍යයක් වූයේ නම් එය පරම්පරාවකට බලපාන ජාතික අපරාධයක් වනු ඇත. එපමණක් ද එම කලාශිල්පියාගේ ප‍්‍රතිරූපයට පවා අනාගත වංශය ශාප කරනු ඇත.
ආචාර්ය කේමදාසයන් සත්‍යාර්ථය මැනැවින් දැන හැඳින එය දැයේ රිද්මයට අනුගත වන අයුරින් සිය නිර්මාණ ශ‍්‍රාවකයාට ප‍්‍රදානය කෙළේය. එබැවින් සියවස් ගෙවෙන හෙට දිනයේ ඉතිහාසය ඔහු ඓතිහාසික සම්මානලාභියෙකු කරනු නිරනුමානය.
කේමදාස සංගීතයේ මෙම සත්‍ය සනාථ වනුයේ කේ. ඒ. ඩබ්. පෙරේරාගේ ‘සැනසුම කොතැන ද’ චිත‍්‍රපට යුගයෙන් ඇරැඹි ඔහුගේ නිර්මාණ චාරිකාව යසපාලිත නානායක්කාර ගේ ධර්මසේන පතිරාජගේ ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් ගේ සිනමා කෘති හරහා පරාක‍්‍රම නිරිඇල්ලගේ, ධර්මසිරි බණ්ඩාරනායකගේ, ජයන්ත චන්ද්‍රසිරිගේ සිනමා සහ ටෙලි කෘති වලට සම්බන්ධව ඉනික්බිතිව අද යුගයේ දේවින්ද කෝන්ගහගේ ටෙලි වෘතාන්ත කෘතිය හා බැඳි යුගයෙන් යුගයට අඛණ්ඩව මෙසේ පැමිණීම සිදුව ඇති බැවින් බව සඳහන් කළ මනාය.
ශ‍්‍රී ලාංකික සංගීතයේ මේ යුගයක අවසානය බව දනිමු. එහෙත් මීළඟ යුගය කවුරුන් විසින් කවදා කෙසේ අරඹනු ලබන්නේ ද යන ප‍්‍රශ්නය අබියස අපි නතර වී ඉදින්නෙමු.

රසික හදවත් වේදනා ඔපෙරාවේ වප් මහේ කඳුලින් ම බර අහසේ..

සංගීතයටත් හෘදය සාක්‍ෂියටත් අවංක වූ විප්ලවවාදී කලාකරුවා ඔහු ය. කඳු මුදුන්වල සේම නිම්න භූමිවල පවා ඔහුගේ සංගීතය නින්නාද දුන්නේ එබැවිනි.
මානව සංහතියේ උත්තරීතරම භාවමය ප‍්‍රකාශනය සංගීතය ම බව හේ තරයේ විශ්වාස කළේ ය. ඒ නාදේශ්වරයාණෝ පෙ‍්‍ර්මසිරි කේමදාසයෝ වෙත්.
මනුෂ්‍යත්වයේ ගැඹුර සමීප කොට දක්වන දුරේක්ෂයක් බඳු ඔහුගේ සංගීතාත්මය සදාකාලිකව අප අතර සැරිසරනු ඇත.
ඒත් ඔහු අද නිහඬ ය. ස්වර අතර සක්මන් කළ දසැඟිලි පොකුර එකට බැඳී ඇත. සියලු මෙහෙවර අවසන් කළා යැයි පවසනු වැන්න.
“මම කියන්නෙ නෑ හැම ප‍්‍රශ්නයක් ම මේ සංගීතයෙන් ම විසඳන්න පුළුවන් කියලා. ඒත් මතක තියා ගන්න, සංගීතය රස විඳින්න පුළුවන් වෙන තැනට මනස සකස් කරන්න හැකි වුණු දාට ජනතාවගේ ආධ්‍යාත්මික විනය නිවැරදිව ගොඩ නැගෙනවා...”
මානව සංහතියේ ආධ්‍යාත්මිත සාධනීය සංස්කරණයක් උදෙසා ඇප කැප වූ පෙ‍්‍ර්මසිරි කේමදාසයන් ගේ යථොක්ත ප‍්‍රකාශනය මුළු මහත් විශ්වයේ ම සංගීතය වෙනුවෙන් පරමාදර්ශී ප‍්‍රකාශයක් වන්නේ, ඔහුගේ සංගීතමය භාවිතය මේ වනවිටත් ජාතික තලය අතික‍්‍රමණය කරමින් විශ්වය ම සිසාරා පැතිර ගොස් ඇති බැවිනි.
වචනයෙන් තොර, භාවිත භාෂාවක් වූ සංගීතයෙහි සංතුෂ්ටිකර ආනන්දය, ගීතයකට තනුවක් නිමවා පමණක් ප‍්‍රකාශනය කළ නොහැකි බවත්, විශ්වයේ සියලු තැන් හී විවිධ ස්වරූපයෙන් එය ප‍්‍රකාශමාන වන බවත් ඔහු විශ්වාස කරයි.
සංධ්වනි, ඔපෙරා, කැන්ටාටා හා සොනාටා වැනි මහා සාම්ප‍්‍රදායේ සංගීත රචනාවන් ශී‍්‍ර ලංකාවට හඳුන්වා දුන් පුරෝගාමියා ඔහු ය. සිය සහෘද මතකය ආවර්ජනය කළ ලූෂන් බුලත්සිංහල කලාකරුවා වරෙක ඔහු ගැන මෙසේ කීය.
“ඔහුට හිතෙන්නේ මේ කොදව්ව හුදු පාරිභෝජන සමාජයකට කොටු වී, කමින් බොමින් තෙල කෙළිමින් කාලය ගත කරන ක¼ඳ බඩ මහත් වී මෝරා ගියත් නොමේරූ මනසින් කේඩෑරි වූ මිනිසුන්ගෙන් පිරුණු භූමියක් වේය කියා යි.
එහි පෙර නිමිති ඔහුට පෙනේ. වර්ග වාදී යුද්ධයේ අවසානයක් නොපෙනේ. මිනිස් සිරිරු බෝම්බයක් බවට පරිවර්ථනය කර ගැනීමට තරම් සාහසික වූ අධ්‍යාත්මයන් ඇති මිනිස් ප‍්‍රාණ මළමිණී සේ නුවරින් නුවර හොල්මන් කරයි.
කේමදාස ඔහුගේ යථාර්ථවාදී මතවාදය නම් නැව ගෙන එන්නේ ජාතික සංගීතය අධ්‍යාපනය හා ජනමාධ්‍ය එල්ල කරගෙන ය.”
ලූෂන් බුලත්සිංහල පවසන පරිදිම මෙවන් පරිභෝජනවාදී සමාජයක උඩුගම් බලා පිහිනා යෑමට හැකි වන්නේ, නොසැලෙන ආත්ම විශ්වාසයක් ඇත්තෙකුට පමණ ය.
කේමදාසයන්ගේ ආත්ම විශ්වාසය ගැන සහ ඔහුගේ මානව ගුණාංග පිළිබඳ තිස්ස අබේසේකරයන් දැක් වූ අදහස් මෙ බඳුය.
ඔහුට දැඩි ආත්ම ශක්තියක් තිබුණා. ඒක තමයි ඔහුගේ ලොකුම පෞරුෂය.
ඔහු තමන් යායුතු මග දැන සිටියා. ඔහුට පැහැදිලි දැක්මක් තිබුණා. ඔහු ඒ මාර්ගය කඩාගෙන ගියා.
මේ ආත්ම විශ්වාස ලේසියෙන් කෙනෙකුට පිහිටන්නේ නෑ. තමන්ගේ නිවැරැදි බව පිළිබඳ පුදුම විශ්වාසයකුත් ඔහුට තිබුණා.
තමන් වරදක් කළත්, ඒකත් නිවැරැදියි කියන්න තරම් ශක්තියක් ඔහුට තිබුණා.
මේ විප්ලවවාදී සංගීතඥයා විවිධ කලාංග හරහා පෑ ප‍්‍රාතිහාර්යයෙන් අංශුවක්වත් මෙම ලියමනෙහි සනිටුහන් කිරීමට මට නොහැකිය. එවන් වූ යුග මෙහෙවරක් පත් ඉරුවකට හකුලුවා හොවා දැක්වීම මහා සමුද්‍රයක් දෝතින් ගැනීමට වෑයම් කරනවා වැනි නිෂ්පල කි‍්‍රයාවක් වනු ඇත.
කේමදාසයෝ කිසිවකුගේ අනුප‍්‍රාප්තියකු නොවූහ. කිසිදු ගුරුකුලයක් ඔහුට නැත. ඔහුගේ එකම ගුරුකුලය වූයේ සංගීතය සහ හෘදය සාක්‍ෂිය පමණක්ම ය.
ගීතය නම් සරල සිල්ලර කලා මාධ්‍යයකින් පවා ඔහු උත්සහ කළේ මනුෂ්‍යසත්වය ගැඹුර අවදි කිරීමට ය. ගීත රචකයාගේ ආකෘතික බන්ධනාගර සිඳබිඳ දමන ඔහු, ස්වර රචනාව සිය ස්වාධීනත්වයේ කෙළිබිම බවට පත්කර ගනී.
සඳ හොරෙන් බලා වලාකුළක සැඟවිලා අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා කුලරත්න ආරියවංශ ලියූ එකී ගීතය ආකෘතික පාර්ශ්වය ඔහු බිඳ දමන්නේ මෙලෙසිනි
සඳ හොරෙන්, හොරෙන්, හොරෙන් බලා.. සැබවින්ම එසඳ බැල්මෙන් සංභෝ ශෘංගාරය තිව‍්‍ර නොවන්නෙහිද? මේ සඳහා උදාහරණ කිහිපයක් ම ගෙනහැර දැක්වීම වටී.
ළදුනේ, කන්‍යාවී, උදුම්බරා හිනැහෙවා, හෙමින් සැරේ පියා සලා ඒ රන් කඳ පෙම් රැව් දිදී හඳුනා ගත්තොත් ඔබ මා. ආදී සියලු ගීතය තුළ ස්පර්ශ කළ හැකි සංගීතයේ ගැඹුරු තැන් ඔහු අපට පෙන්වා දෙයි.
කේමදාසයන්ගේ ‘මගේ කාලයේ මවුනි’ සිංහල අවුරුදු, නියඟය, වැනි සංගීත නිර්මාණ මෙන්ම මානස විල, දොරමඬලාව, පිරිනිවන් මංගල්ලය, වැනි සංගීත නිර්මාණද ඔහු ප‍්‍රකාශනය කරන්නේ ද මානවයාගේම ආනන්දනීය විශ‍්‍රාන්තිය පිණිසමය.
සිනමාව සහ ටෙලි නාට්‍ය කලාව තුළ කේමදාසයන්ගේ සංගීත භාවිතය විග‍්‍රහ කිරීමේ දී අපට පෙනී යන්නේ ඔහුට සම කළ අයෙකු මේ කොදෙව්වේ නොමැති බවයි.
තිස්ස අබේසේකරයන් පවසන පරිදි ගොළු හදවත සහ නිධානය යන චිත‍්‍රපට යුගලෙහි සංගීතය ම පමණක් ඊට සෑහේ. නිධානයෙහි සංගීතය ලෝකයේ විශිෂ්ටතම චිත‍්‍රපට සංගීත රචනයක්සේ සංස්කරණය කර ඇත. ශී‍්‍ර ලංකේය සිංහල චිත‍්‍රපට 118 කට පමණ හේ සංගීතය මුසු කොට ඇත.
කඩුල්ල, ඇල්ල ළඟ වලව්ව, මායා, ගොළු හදවත, දඬුබස්නාමානය, වෙදහාමිනේ ඇතුළු ටෙලි නාට්‍ය 17 කට ඔහුගේ දායකත්වය ලබා දී ඇත.
දේශීය දෙමළ චිත‍්‍රපටයක් වූ ‘වසන්තත් නිල් ඔරු වානවිල්” චිත‍්‍රපටයට සංගීතය එක් කොට ද ඔහු අපට පෙන්වා දුන්නේ සංගීතයේ ඇති බහුමාණි ලක්ෂණයන්ය. ඔහු විසින් සංගීතය සැපයූ ජාත්‍යන්තර චිත‍්‍රපට දෙකක්ද මේ සඳහා නිදසුන් වශයෙන් දැක්විය හැකිය.
Thousand Flowers, MUSIC Garden (French) මෙම චිත‍්‍රපට දෙකෙන් අපට පෙනීයන්නේ ඔහුගේ ප‍්‍රතිභාව දිදුලන බහුරූපේක්ෂණයක් බව ය. මරාසාද්, මහාසාර, වැනිසියේ වෙළෙන්දා, චෙරිවත්ත ආදි වේදිකා නාට්‍ය 21 කටද වේදිකා සංගීත රංගන හේ ස්වකීය නිර්මාණ දායකත්වය ලබා දී ඇත.
කේමදාස නම් ගුරුවරයාගේ භූමිකාව පිළිබඳව මෙහි දී සිහිපත් කළ යුතුමය. ගුරු ගීතයේ කියවෙන ද්‍රයිෂෙන්ලා මෙවන් සමාජාර්ථික ක‍්‍රමයක් තුළ කළුනික වැනි වුවද කේමදාසයන් ද්‍රයිෂෙන් ලක්ෂණ වලින් ආඨ්‍ය ගුරුවරයෙක් සැබවින්ම ‘කේමදාස පදනම’ බිහිවන්නේ එහි ප‍්‍රතිඵලයක් ලෙසයි.
තමන් ප‍්‍රගුණ කළාවු සංගීත ඥානය රටේ පොදු ජනතාවගේ දරුවන්ට බෙදා දීමේ අවංක අදිෂ්ඨානයක් ඔහු තුළ තිබුණේ එබැවින්ය. ඔහු වරෙක රජවරුන්ගේ සම්මාන ප‍්‍රතික්ෂේප කළා අපට මතකය.
සැබවින්ම රජවරුන් සේවය කරන්නේ මරණයටය. කලාකරුවා සේවය කරන්නේ ජීවිතය වෙනුවෙනි.
ස්වර අතර සැරි සැරූ ඔහුගේ දසඟැලි, සියලු මෙහෙවර නිමා කොට එකම පොකුරට පටලවාගෙන ඔහු අද නින්දට වැටී ඇත. ඒත් ඔහුගේ සංගීතාත්මය අප අතර සදාකාලකවම අවදියෙන් සිටිනු ඇත.
අමිල තේනුවර

සබරගමුව අය-වැය සම්මතයි

සබරගමුව පළාත් සභාවේ 2009 ඉදිර වසර සඳහා අය වැය වැඩි ඡන්ද 24 කින් සභා සම්මත විය.
පළාත් සභාවේ සභාපති, අතුල කුමාර රාහුබද්ධ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අය වැය විවාදය පැවැත්විණි.
අය වැයට පක්ෂව පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් සියලුම මන්ති‍්‍රවරු (24) ඡන්දය ප‍්‍රකාශ කළහ.

මවු බිමට තර්ජන ඇති විට ජවිපෙ නැඟී සිටිනවා - ටිල්වින් ජනපතිට ලියයි

ආදරණීය මවු බිමට හෝ ජනතාවට එරෙහිව දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් කි‍්‍රයාත්මක වන ඕනෑම තර්ජනයක දී ඊට එරෙහිව නැගී සිටීමට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බව එම පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා විසින් ජනාධිපතිතුමාට යවන ලද ලිපියක සඳහන් වෙයි.
පෞද්ගලික ප‍්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් තොරව රටත් ජනතාවත් වෙනුවෙන් කැපවීමට තම පෙරමුණ සූදානම් බවද එම ලිපියේ සඳහන් වෙයි.
රටේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට එන්නැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කරන ලද ආරාධනය ප‍්‍රතික්ෂේප කරමින් ජනාධිපතිට යවන ලද ලිපියේ ඒ බව දැක්වෙයි.

ප‍්‍රබල බ්ලූස්ටාර් පරදවා රිනවුන් ජය ගනී

ප‍්‍රින්ස් ගුණසේකර
ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙහෙයවන ඩයලොග් ප‍්‍රීමියර් ලීග් පාපන්දු තරගාවලියේ ඊයේ කොළඹ සී.ආර්. පිටියේ පැවැති තරගයේදී ප‍්‍රබල බ්ලූස්ටාර් පිල ගෝල් 4 – 2 කින් පරදවා රිනවුන් පිල ජයග‍්‍රහණය වාර්තා කළේය.
තරගයේ ප‍්‍රථම භාගයේදී රිනවුන් පිල ගෝල් 1 – 0 ක් ලෙස ඉදිරියෙන් සිටියේය.
රිනවුන් පිල වෙනුවෙන් එම්.ෆසාල් ගෝල්3ක්ද, එම්.අනාම් ගෝලයක් හා බ්ලූස්ටාර් පිල වෙනුවෙන් එම්.ෆර්සීන් ගෝල් 2ක් වාර්තා කළහ.
රත්නම් පෙරමුණේ
ඩයලොග් ප‍්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලියේ තවදුරටත් පෙරමුණ ගැනීමට කොටහේන රත්නම් කී‍්‍රඩා සමාජයට හැකි විය.

රත්නම් හා පොලිස් කී‍්‍රඩා සමාජය අතර පැවැති තරගයේ දී රත්නම් පිලට ගෝල් 2 – 1 ක ජයක් හිමිවීමත් සමග ‘ඒ’ කොටසේ ප‍්‍රසාද ලකුණු සටහනේ රත්නම් ඉදිරියෙන් සිටී.
පසුගිය වසරේදී ද ප‍්‍රිමියර් ලීග් පාපන්දු සූරතාව දිනාගත් රත්නම් පිල මෙවර තරග 5කදී ජයග‍්‍රහණ 4ක් ලබා සිටී.
මීගමුවේ දී පැවැති ජුපිටර්ස් සමග තරගය ගෝල් 2 – 1 කින් රත්නම් පරාජයට පත් විය.
කොළඹ සී. ආර්. පිටියේ දී නිමාවූ රත්නම් හා පොලිස් අතර තරගයේ දී රත්නම් පිල වෙනුවෙන් කසුන් ජයසූරිය හා ඊ. බී. චන්න ගෝල් වාර්තා කළහ.
නිව්යංග්ස් - යුද හමුදාව
වෙන්නප්පුව ඇල්බට් එෆ්. පීරිස් කී‍්‍රඩාංගණයේ දී නිමා වූ නිව් යංග්ස් හා යුද හමුදාව අතර තරගයෙන් ගෝල් 1 – 0ක් ලෙස යුද හමුදාව ජයග‍්‍රහණය වාර්තා කළේ ය.
සරසවි – කලුතර පාක්
ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ කැපීපෙනෙන කණ්ඩායමක් බවට පත්ව සිටින කෝට්ටේ සරසවි කී‍්‍රඩා සමාජය කලුතර පාක් පිල ගෝල් 1 – 0 කින් පරාජයට පත්කිරීමට සමත්විය.
කලුතර දී පැවැති මෙම තරගය සරසවි කී‍්‍රඩා සමාජය මෙවර තරගාවලියේ දී මුහුණදුන් 5වැනි තරගය වූ අතර තරග 4ක් ජයගැනීමට සමත් විය.
ඒ අනුව කෝට්ටේ සරසවි කී‍්‍රඩා සමාජය ‘බී’ කාණ්ඩයේ ප‍්‍රසාද ලකුණු සටහන් ඉදිරියෙන් ම සිටී.

Friday, October 24, 2008

කඩ සාප්පු වසයි ප‍්‍රවාහනය නතර වෙයි


ආහාර නැව්වලට පහර දුන්නාට කොටින්ට එරෙහිව යාපනයේ හර්තාල්

උතුරේ ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැගත් නෞකා දෙකකට ප‍්‍රහාර එල්ල කිරීමට තැත් කිරීමට එරෙහිව යාපනය වැසියෝ ඊයේ (23) දවස පුරා හර්තාල් ව්‍යාපාරයක යෙදුණාහ.
කොටි සැරසෙන්නේ ඔවුන්ගේම ජාතිය කෑම නොදී මරන්නට යැයි හර්තාල්කරුවෝ චෝදනා කළහ.
යාපනයේ සිට දුරකථනයෙන් “දිනමිණ” ට කතා කළ නම හෙළි නොකළ යාපනයේ වැසියකු කීවේ කොටි සූදානම් වන්නේ ඒ අයගේ ජාතියම විනාශ කිරීමට බවයි.
”ඒගොල්ලො බිහිවුණේ අපි ජීවත් කරන්නයි. ඒත් දැන් හදන්නේ කන්න නොදී මරන්නයි” ඔහු කීවේය. කිසිදු අයෙකුගේ හෝ කණ්ඩායමකගේ මෙහෙයවීමකින් තොරව යාපනයේ වැසියන් සිය දෛනික කටයුතු අතහැර මෙම හර්තාලයට එක්ව ඇති අතර රජයේ රෝහල පමණක් විවෘතව ඇති බව ආරක්‍ෂක අංශ පවසයි.
ප‍්‍රවාහන කටයුතු නතර කර කඩ සාප්පු පාසල් වසා සිය එදිනෙදා කටයුතුවලින් ඉවත්ව විරෝධය පළකරන වැසියකු දුරකථනය මගින් “දිනමිණ” ට සම්බන්ධ කැර ගැනීමට හැකි විය.
”මෙහෙ මිනිස්සු සිය කැමැත්තෙන් මේ විරෝධය පළකරන්නේ. කොටි කියන්නෙ අපෙන් බිහිවුණ අය. ඒගොල්ල හදන්නෙ අපිව බඩගින්නෙ තියන්න, බෙහෙත් නොදී මරන්න.
අපි කියන්නෙ එහෙම අය අපේ පිහිටට එපා. අපි ඉල්ලන්නේ මේ අයගේ කටයුතු නවත්වන්න කියලා” සිංහල බස අමාරුවෙන් උච්ඡාරණය කළ ඔහු ත‍්‍රස්තවාදීන් තවමත් සැඟවී පහර දෙන බැවින් නම හෙළි නොකරන ලෙස ඉල්ලා සිටියේය.

‘වයිකෝ’ අත්අඩංගුවේ

ඉන්දීය මරුමලව තිරාවඩ මුත්නේත‍්‍ර කලකම් පක්ෂයේ නායක “වයිකෝ” ඉන්දීය පොලීසිය විසින් ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.
එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදීන්ට හිතවාදී ලෙස ඉන්දීය මධ්‍යම රජය සහ ඉන්දීය අගමැති මන් මෝහන් සිං විවේචනය කරමින් කරන ලද ප‍්‍රකාශ හේතුවෙන් මොහු අත්අඩංගුවට ගෙන තිබේ.
දීර්ඝ කාලයක් එල්.ටී.ටී.ඊ. ත‍්‍රස්තවාදී සංවිධානයට හිතවත් ආකාරයෙන් කටයුතු කර ඇති මොහු මීට පෙරද මේ ආකාරයෙන් ඉන්දීය පොලීසියේ අත්අඩංගුවට පත් විය.

කොටි රසායනික අවියට හමුදාව පෙර සූදානමක - ඇමැති නිමල් සිරිපාල

දයා පෙරේරා, දුමින්ද ගුරුගේ, ස්වර්ණා විජේකෝන්
කොටි ත‍්‍රස්තවාදීන් යම් හෙයකින් රසායනික අවි භාවිත කළහොත් අවශ්‍ය වෛද්‍ය උපකරණ හා බෙහෙත් වර්ග රණවිරුවන්ට ලබාදීම සඳහා පූර්ව සූදානමකින් කටයුතු කර ඇතැයි සභානායක, සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) ප‍්‍රකාශ කෙළේය.
ඇමැතිවරයා එසේ පැවැසුවේ අනුරාධපුර මහ රෝහලේ වෛද්‍ය වර්ජනය සමථයකට පත්කිරීම සඳහා ගෙන ඇති කි‍්‍රයාමාර්ග කවරේදැයි ජනතා විමුක්ති පෙරමුණේ මන්තී‍්‍ර ආර්. පී. ඒ. රණවීර පතිරණ මහතා ඇසූ ප‍්‍රශ්නයකට පිළිතුර වශයෙනි.
වර්ජනයට හේතුව වෘත්තීය සමිති ගැටලුවක් බවත් වර්ජනය සමථයකට පත්කිරීම සඳහා අවශ්‍ය කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශය ලේකම්වරයා සිදුකරගෙන යනුලබන බවත් එක් කොටසක් සතුටු කරනවාට තවත් කොටසක් සතුටු නැති බවත් ඇමැතිවරයා කීවේය.
“අනුරාධපුර මහ රෝහල සංවර්ධනය සඳහා රජය ඉහළම ප‍්‍රමුඛත්වය ලබාදී තිබෙනවා. නවීකරණය සඳහා ජයිකා ආයතනයෙන් රුපියල් මිලියන 400ක මුදලක් ලබාගෙන නව ගොඩනැගිලි ඉදිකරනවා. උපකරණ හා වෛද්‍යවරුන් විශාල පිරිසක් සපයා තිබෙනවා” යැයි ද ඇමැතිවරයා කීවේය.
රණවීර පතිරණ මන්තී‍්‍රතුමාට අපට තිබෙන ජාතික කැක්කුම වෛද්‍යවරුන්ට හා අනෙක් කාර්ය මණ්ඩලවලට ලබාදෙන්නෙ කොහොමද යන ප‍්‍රශ්නය විසඳ්‍රගන්න තිබෙනවා. ඒක ලබාදෙන තුරු මේ ප‍්‍රශ්න තිබෙනවා.”
“නීතියට වැඩකරන, වෙලාවට රැකියාවට එන අය ගැන සොයා බලන අයටත් ඇතැම් පිරිස් කැමැති නැහැ. එවැනි අය ඉවත් කරන්නැයි කියනවා. හොඳ පරිපාලනයක් තිබෙන තැනක අයට විරුද්ධව වැඩකරන්න බැහැ. ඒක සාධාරණ නැහැ” යි ද ඇමැතිවරයා පැවැසීය.

අද පවතින අර්බුද රැසකට හේතුව පවතින මැතිවරණ ක‍්‍රමයයි - දිනේෂ් ගුණවර්ධන නාගරික සංවර්ධන හා පූජා භූමි සංවර්ධන ඇමැති

වර්තමානයේදී රටේ ඇති වී තිබෙන දේශපාලන ප‍්‍රවණතා, මැතිවරණ ක‍්‍රමය සංශෝධනය පිළිබඳ යෝජනා සහ නාගරික සංවර්ධනය සඳහා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ පිළිබඳව ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා දැක්වූ අදහස් මෙසේය.
පසුගිය අවුරුදු දහය පහළොව පුරාම මැතිවරණ ක‍්‍රමය සංශෝධනය ගැන විවිධ කතාබහ ඇතිවුණා. පසුව මැතිවරණ ක‍්‍රමය සංශෝධනය පිළිබඳ සොයා බැලීමට පාර්ලිමේන්තු කමිටුවකුත් ඇතිකළා. එහි සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ඔබ. ඒත් අද වෙනකම් මැතිවරණ ක‍්‍රමයේ සංශෝධනයක් සිදුවූ බවක් පෙනෙන්න නෑ. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?
අද මේ රටේ හැම දේශපාලන පක්‍ෂයක් ම පාහේ මැතිවරණ ක‍්‍රමය සංශෝධනය විය යුතුයි කියල පිළිගෙන තියෙනවා. සංශෝධනය විය යුතු ආකාරය ගැනත් විවිධ යෝජනා අදහස් දේශපාලන පක්‍ෂ මගින් මතුකර තිබෙනවා.
ඒත් මැතිවරණ ක‍්‍රමය සංශෝධනය විය යුතු ආකාරය කෙසේද යන්න පිළිබඳ එකඟතාවක් නැහැ. ඒ නිසා තමයි මැතිවරණ සංශෝධන යෝජනා මෙතෙක් සම්පූර්ණ ලෙස කි‍්‍රයාත්මක කිරීමට බැරිවෙලා තියෙන්නෙ.
අද ඇතිවෙලා තියෙන බොහෝ අවුල්වලට ප‍්‍රධාන වශයෙන් ම වර්තමාන මැතිවරණ ක‍්‍රමයේ දුර්වලතා බලපාලා තියෙනව.
ඒ නිසා මේ ක‍්‍රමය අනිවාර්යයෙන් ම වෙනස් විය යුතුමයි. මගේ විතරක් නෙමෙයි රටේ බහුතර ජනමතය වෙලා තියෙන්නෙත් එයමයි.
සමානුපාතික ඡන්ද ක‍්‍රමය සම්පූර්ණයෙන් බැහැර කළ යුතුයි කියල අපි යෝජනා කරන්නෙ නැහැ. ඒත් රටට ගැළපෙන සුදුසු ක‍්‍රමයක් ඇතිවිය යුතුයි. එමඟින් අපිට පුළුවන් රටට හිතකර මැතිවරණ ක‍්‍රමයක් ඇතිකිරීමට.
වර්තමානයේදී කි‍්‍රයාත්මක සමානුපාතික මැතිවරණ ක‍්‍රමය නිසා රටක දේශපාලන ස්ථාවර භාවයට පවා ප‍්‍රශ්න ඇතිවෙන්න පුළුවන්.
උදාහරණයක් විදියට 2004 මහ මැතිවරණය එම මැතිවරණයේදී සන්ධානය රටේ මැතිවරණ කොට්ඨාස මට්ටමින් තුනෙන් දෙකක ජයග‍්‍රහණයක් ලැබුවා.
ඒත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධූර ප‍්‍රමාණය අනුව ගත්තහම සරල බහුතරයට අවශ්‍ය මන්තී‍්‍ර ධූර ප‍්‍රමාණයවත් සන්ධානයට නැහැ. මේක තමයි සමානුපාතික ඡන්ද ක‍්‍රමයේ තියෙන දුර්වලතාව.
ඒ වගේම මේ ඡන්ද ක‍්‍රමය තුළින් සාමාන්‍ය මිනිහෙකුට පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධූරයකට පත්වීම දුෂ්කරයි. ඒත් ආසන ක‍්‍රමය තුළ සාමාන්‍ය මිනිහෙකුටත් පාර්ලිමේන්තු යන්න පුළුවන්.
ඒත් සමානුපාතික ඡන්ද ක‍්‍රමය මගින් සුළු දේශපාලන පක්‍ෂවලට පාර්ලිමේන්තුවේ අවස්ථාව විවර වෙනව. විකල්ප අදහස්වලටත් පාර්ලිමේන්තුවේ ඉඩකඩ ඇතිවෙනව.
ඒ නිසා මැතිවරණ ක‍්‍රමයක් වශයෙන් සමානුපාතික මැතිවරණ ක‍්‍රමයේ සාධනීය ලක්‍ෂණත් තියෙනව. ඒ නිසා අපි තේරුම් කමිටුවක් වශයෙන් යෝජනා කර තිබෙනවා. මේ ක‍්‍රම දෙකේම මිශ‍්‍රණයක් සහිත ක‍්‍රමයක් සුදුසුයි කියල.
මෙතෙක් කල් ඡන්දය පාවිච්චි කිරීමට හැඳුනුම්පත අනිවාර්ය කරල තිබුණෙ නැහැ. ඒත් දැන් ඡන්දය ප‍්‍රකාශ කිරීමට හැඳුනුම්පත නැතිව බැහැ. මෙය ඉතාමත් හොඳ දෙයක් ලෙස සඳහන් කළ යුතුයි.
ඒ නිසා මැතිවරණ ක‍්‍රමය සංශෝධනය සඳහා ඇතිකළ පාර්ලිමේන්තු කමිටුවෙන් වැඩක් වුණේ නැහැ කියල කවුරු හරි කියනව නම් ඒක පිළිගන්න බැහැ.
ඒත් සමහර සුළු ජාතික දේශපාලන පක්‍ෂ සමානුපාතික ඡන්ද ක‍්‍රමය වෙනස් කිරීමට විරුද්ධයි නේද?
ඔව්. සමහර සුළු ජාතික දේශපාලන පක්‍ෂ මැතිවරණ ක‍්‍රමය සංශෝධනයට එතරම් කැමැති නැහැ. ඒකට ඔවුන්ට ආවේනික වූ දේශපාලන ගැටලුත් බලපානවා ඇති.
ඒත් අපි යෝජනා කරන්නෙ සියලු කණ්ඩායම්වලට සාධාරණය ඉටුවන මැතිවරණ සංශෝධනයක් පිළිබඳවයි. මේ ක‍්‍රමය කේවල සහ අනුපාත යන ක‍්‍රම දෙකේම එකතුවක් ලෙසයි පෙන්වා දෙන්න පුළුවන් වෙන්නෙ. ඒ වගේම අපේ රටට වඩාත් ගැළපෙන්නෙත් මේ වගේ මිශ‍්‍ර ක‍්‍රමයකුයි.
ඊළඟ මැතිවරණයවත් සංශෝධිත මැතිවරණ ක‍්‍රමය යටතේ පැවැත්වීමට හැකි වෙයිද?
මට එහෙම ස්ථිර ප‍්‍රකාශයක් කරන්න බැහැ. ඒත් අනාගතයේදී මැතිවරණ ක‍්‍රමය සංශෝධනය වෙනවා. ඒත් මට ඒ ගැන ස්ථිර දින වකවානු සඳහන් කරන්න බැහැ.
බොහෝ විට මූලික අත්හදා බැලීමක් වශයෙන් ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී මැතිවරණ ක‍්‍රමයේ සංශෝධනයක් සිදුවිය හැකියි. මේ සංශෝධනය පළාත් පාලන ආයතන මට්ටමින් ආරම්භ කිරීම වඩාත් සුදුසුයි.
ටී. එම්. වී. පී. පක්‍ෂය සර්ව පාක්ෂික සමුළුව සඳහා සහභාගි වීම පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
ටී. එම්. වී. පී. පක්‍ෂය සර්ව පාක්ෂික සමුළුව සඳහා සහභාගි වීම පමණක් නොවෙයි, ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට එකතුවීමත් යහපත් දෙයක් විදිහටයි අපි දකින්නෙ.
මෙතෙක් කල් එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ප‍්‍රචණ්ඩත්වය සමඟ එකතු වී සිටි ටී. එම්. වී. පී. පක්‍ෂය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිළිවෙතකට පැමිණීම ඉතාමත් යහපත් දෙයක් ලෙස සඳහන් කළ හැකියි.
අපි ඔවුන්ගේ මෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පිවිසීම පිළිගත යුතුයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදි ප‍්‍රවාහයේ ඉදිරියට යාමට ආධාර උපකාර කළ යුතුයි.
කාලයක් වේලුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ සමීපතමයකු ලෙස කටයුතු කළ කරුණා අම්මාන් මහතා අද ත‍්‍රස්තවාදයේ සහ ම්ලේච්ඡත්වයේ නිෂ්ඵලතාව පිළිගෙන තියෙනව.
මේ තත්ත්වය නිසා එල්. ටී. ටී. ඊ. සංවිධානය ජාත්‍යන්තර වශයෙන් හුදෙකලා කිරීමට පුළුවන්කමක් ලැබිල තියෙනව. එල්. ටී. ටී. ඊ. සංවිධානය දෙමළ ජනතාවගේ එකම නියෝජිතයා කියන තර්කය අද වන විට සම්පූර්ණයෙන් ම බිඳ වැටිල තියෙනව.
දැන් ටී. එම්. වී. පී. පක්‍ෂයේ නියෝජිතයන්ට පුළුවන් සර්ව පාක්‍ෂික සමුළුවට සහභාගි වෙලා ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කරන්න. ඒ නිසා ටී. එම්. වී. පී. සාමාජිකයන් සර්ව පාක්‍ෂික සමුළුවට සහභාගි වීම යහපත් ප‍්‍රවණතාවක් ලෙස සඳහන් කළ හැකියි.
වන්නි යුද මෙහෙයුම්වලට එරෙහිව තමිල්නාඩු ප‍්‍රාන්තයේ හා ඉන්දීය මධ්‍යම රජයේ බලපෑම් ශී‍්‍ර ලංකා රජය වෙත එල්ල වෙමින් ඇතැයි ඇතැම් දේශපාලන පක්‍ෂ චෝදනා කරනව. මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
ඒ වගේ බලපෑමක් නැහැ රාජ්‍ය තාන්ති‍්‍රක වශයෙන් අදහස් හුවමාරුවක් දෙරට අතර සිදුවී තිබෙනව. ජනාධිපතිතුමා සඳහන් කළ ආකාරයට මේ වගේ කිසිදු බලපෑමක් වෙලා නැහැ කියල.
යුද්ධයක් සිදුවුණත් සිවිල් ජනතාවට හානියක් වීමට ආණ්ඩුව කටයුතු කරල නැහැ. අද උතුරේ සිදුවන්නෙ මානුෂික මෙහෙයුමක්. පසුගිය කාලයේදී ශී‍්‍ර ලංකාවට ඉන්දියාව විශාල වශයෙන් යුද ආධාර ලබාදීලා තියෙනවා.
තමිල්නාඩු ප‍්‍රාන්තය සමඟ නෙමෙයි ශී‍්‍ර ලංකා රජය ගනුදෙනු කරන්නෙ ඉන්දීය මධ්‍යම රජය සමඟයි. ඒ හින්දා සමහරු කියන අවුලක් ඉන්දු – ලංකා සබඳතාවල ඇතිවෙලා නැහැ.
ඒත් සමහරු උත්සාහ කරනව මෙහෙම අවුලක් තියෙනව කියල පෙන්වන්න. ඒත් මම කියනව එහෙම දෙයක් නැහැ කියල. මේ මොහොත දේශපාලනය පෙරට දමාගෙන කටයුතු කළ යුතු මොහොතක් නෙමෙයි සියලු දෙනා රට වෙනුවෙන් සිතා කටයුතු කළ යුතු මොහොතක්.
ආණ්ඩුව නියෝජනය කරන ඇතැම් සුළු ජාතික පක්‍ෂත් වන්නි යුද මෙහෙයුම් නතර කළ යුතු බවට මාධ්‍යවලට අදහස් පළකර තිබුණා. කඳුරට ජනතා පෙරමුණේ නායක ඇමැති චන්ද්‍රසේකරන් මහතාත් මේ අතර සිටිනව. මේ ගැන ඔබේ අදහස කුමක්ද?
රජයේ හා ජනාධිපතිතුමාගේ නිල මතය මේ වන විට හෙළිදරව් කරල තියෙනව. ඒ නිසා රජයට සම්බන්ධ වෙනත් අය කියන අදහස් රජයේ නිල මතය නෙමෙයි. අනෙක මේ වගේ අදහසක් රජයට නිල වශයෙන් දන්වල නැහැ.
නාගරික ප‍්‍රදේශවල ජනතාව මුහුණ දෙන ප‍්‍රධාන ගැටලුවක් බවට පත්ව ඇත්තේ ඔවුන්ට ස්ථිර නිවාස නොමැතිවීම හා ජීවත්වීමට මූලික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමයි. මේ සඳහා නාගරික සංවර්ධන අමාත්‍යාංශය ගෙන තිබෙන පියවර මොනවාද?
අපි කොළඹ නගරයේ පැල්පත්වාසීන්ගේ ප‍්‍රශ්න පිළිබඳ අවධානය යොමු කරල තිබෙන්නෙ. ඉදිරියේදී කොළඹ නගරයේ පැල්පත්වාසීන්ට ස්ථිර නිවාස ලබා දීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් වෙලා තිබෙනවා.
ඒ අතර දැනටමත් කොළඹ පැල්පත්වාසීන්ට ස්ථිර නිවාස ලබා දීමට අවශ්‍ය කටයුතු සිදුවෙමින් පවතිනවා. අපේ අමාත්‍යාංශයේ අරමුණ වෙලා තියෙන්නෙ.
මෙයට අමතරව නාගරික සංවර්ධනය වෙනුවෙන් අපි විශාල වැඩපිළිවෙළක් ආරම්භ කරල තිබෙනව. මහින්ද චින්න ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය තුළත් නාගරික සංවර්ධන විෂය පිළිබඳ ප‍්‍රධාන වශයෙන් අවධානය යොමු කරල තිබෙනවා.
අපි උත්සාහ කරන්නෙ ඉදිරි කාලය තුළ නාගරික ජනතාවගේ ප‍්‍රශ්න විසඳිය හැකි වැඩපිළිවෙළක් සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාමයි.
පසුගිය අවුරුද්දක කාලය පුරා රටේ බඩු මිල සීඝ‍්‍ර ලෙස ඉහළ ගියා. එයට හේතු වශයෙන් සඳහන් කළේ ඉහළ යන ජාත්‍යන්තර තෙල් මිල සහ ජාත්‍යන්තර සාධකයි. ඒත් දැන් ජාත්‍යන්තර තෙල් මිල පහළ ගිහින් තිබුනත් ඉහළ ගිය බඩු මිල පහළ හෙළීමට ආණ්ඩුව තාම නිසි වැඩපිළිවෙළක් ආරම්භ කරල නැහැ.මේ පිළිබඳ ඔබගේ අදහස කුමක්ද?
රටේ යුදමය තත්ත්වයක් තියෙන මේ වගේ කාලයක රටක ආර්ථික තත්ත්වය උද්ධමනය ඉතාමත් යහපත් ලෙස පවත්වාගෙන යන්න බැහැ. ඒත් අපේ ආණ්ඩුව ආර්ථික කළමනාකරණය, සංවර්ධනය, යුද්ධය යන හැම දෙයක් ම සමබර ලෙස පවත්වාගෙන යනව.
ඒ නිසා මේ ආණ්ඩුව අසමත් ආණ්ඩුවක් ලෙස හඳුන්වන්න බැහැ. ජනාධිපතිතුමා ඇතුළු රජය රටේ හැම ප‍්‍රශ්නයක් ම නිසි ලෙස විසඳමින් සාර්ථක ලෙස ඉදිරියට ගමන් කරමින් තිබෙනව.
ජාත්‍යන්තර ඉන්ධන මිල පහළ යාමට සමානව මෙරට ඉන්ධන මිල තාම පහළට ගිහින් නැති බව ඇත්ත. ඒත් ඉදිරියේදී ජනතාවට සහනයක් ලැබෙන බව ස්ථිරවම කියන්න පුළුවන්.
මේ සියලු දේ පිළිබඳ රටේ ජනතාව හොඳ තක්සේරුවකයි ඉන්නෙ. සුළු සුළු අඩුපාඩු දුර්වලකම් අමතක කරල ජනතාව ආණ්ඩුව සමඟ ඉන්නෙ ඒ නිසයි. එජාපය එදා කළ ද්‍රෝහි වැඩපිළිවෙළ ජනතාවට අමතක නැහැ. එදා එජාප ආණ්ඩුව තමයි රටේ සම්පත් විජාතිකයන්ට විකුණන ද්‍රෝහි වැඩපිළිවෙළ ආරම්භ කළේ.
ඒත් අද අපිට පුලුවන් වෙලා තියෙනවා ජාතික සම්පත් විකිණීම ප‍්‍රතිපත්තියක් වශයෙන් ම අත්හිටුවීමට. ඒ සියල්ලම සලකළා තමයි පසුගිය පළාත් සභා මැතිවරණවලදී ජනතාව ආණ්ඩුවට කැමැත්ත පළකළේ.
අද ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ සටනත් ඉතාමත් සාර්ථක ලෙස කි‍්‍රයාත්මක වෙනවා. මේ සියල්ල ජනතාව ලැබූ ජයග‍්‍රහණ ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.
සාකච්ඡා කෙළේ උදිත ගුණවර්ධන